Fri. Nov 22nd, 2024
Spread the News

ඓතිහාසිකව තිබ්බදේ තමයි අපි ඉල්ලන්නේ
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

එම්. ඒ. සුමන්තිරන්(source)

ආණ්‌ඩුව හා දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වූ සාකච්ඡාවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සාකච්ඡාවලට එක්‌වූ එක්‌ සාකච්ඡාකරුවකු වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතායි. එම සාකච්ඡාවලදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු පිළිබඳව මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂාවන් පිළිබඳව එම්. ඒ. සුමන්තිරන් මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – ආණ්‌ඩුව සහ දෙමළ ජාතික සංධානය අතර පවත්වන සාකච්ඡා වල අලුත්ම තත්ත්වය කුමක්‌ද?

පිළිතුර – අපි මෙම සාකච්ඡා කළේ මේ අවුරුද්දේ ජනවාරි 10 වැනිදා. පළමු අවස්‌ථාවේදීම අපගේ අදහස්‌ කුමක්‌ ද කියන එක අපි ප්‍රකාශ කළා. අපි එහිදී ප්‍රකාශ කළේ 2006 ජුලි මාසයේදී ජනාධිපතිතුමා සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේදී (AඡRC) කළ ප්‍රකාශය තමයි. ඒ උඩ තමයි අපි කිව්වේ අපගේ අදහසත් බලය බෙදීම බව. එම සාකච්ඡාවේදී අපගේ යෝජනා ඉල්ලා සිටියා.

දෙවැනි සාකච්ඡාව පැවැත්වූයේ පෙබරවාරි 3 වැනිදා. එම රැස්‌වීමේදී අපි යෝජනා කිහිපයක්‌ දුන්නා. ඊට පසුව රජය අපගේ යෝජනා දීර්ඝ ලෙස ඉල්ලා සිටියා. ඉන් අනතුරුව 3 වැනි රැස්‌වීම පැවැත්වූ මාර්තු 18 වැනිදා අපගේ යෝජනා දීර්ඝ ලෙස ලබා දුන්නා.

ඊට පසුව මාස කිහිපයක්‌ ගත වී ගියත් රැස්‌වීම් 7 ක්‌ පැවැත්වුවත් ඔවුන්ගේ ස්‌ථාවරය අපට ප්‍රකාශ කළේ නැහැ. එම නිසා අගෝස්‌තු 04 වැනිදා පැවැත්වූ 10 වැනි රැස්‌වීමේදී මීළඟට රැස්‌වන දිනයක්‌ ස්‌ථිර කරන්නේ නැහැ කියල අපි කිව්වා. ඔවුන්ගේ පිළිතුර සූදානම් කරගෙන අපට දන්වන්න කියලා අපි කිව්වා.

ඉන් අනතුරුව ජනාධිපතිතුමාත්, සම්බන්ධන් මහතාත් හමුවූ අවස්‌ථාවකදී යළිත් සාකච්ඡා ආරම්භ කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එහිදී යෝජනා ලිඛිතව ලබානුදුන්නත් මීට පෙර ඉදිරිපත් වූ යෝජනා උඩ යළිත් සාකච්ඡා කිරීමට තීරණය වී තිබෙනවා. ඒ අනුව මංගල මුණසිංහ කමිටු වාර්තාවත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේ ඉදිරිපත් වූ යෝජනා 3 ක්‌ පිළිබඳවත් සර්වපාක්‍ෂික නියෝජිත කමිටුවට උපදෙස්‌ දීමට පත් කළ විශේෂඥ කමිටුවේ A වාර්තාව පිළිබඳවත් යළි සාකච්ඡා පටන් ගත්තා. දැන් අපි 3 වතාවක්‌ යළි හමුවී තිබෙනවා. පසුගියදා අප හමුවූ අවස්‌ථාවේදී සාකච්ඡා කළ යුත්තේ මොනවාද කියල අපි නම් කළා. අද (බ්‍රහස්‌පතින්දා) යළිත් අප හමුවනවා. ඉදිරියේදී 6, 14 සහ 15 යන දිනවලදීත් යළි සාකච්ඡා කිරීමට තීරණය වී තිබෙනවා. එම සාකච්ඡාවලදී තමයි රජය කියන්නේ කුමක්‌ද කියල බලන්න වෙන්නේ.

ප්‍රශ්නය – දෙමළ ජාතික සංධානය, ආණ්‌ඩුව සමග සාකච්ඡා කළ කරුණු බොහෝ දුරට මාධ්‍යවල පළ වූයේ නැහැ. එම නිසා දෙමළ ජාතික සංධානය මෙම සාකච්ඡා මගින් අපේක්‍ෂා කරන අවසාන ප්‍රතිඵලය කුමක්‌ද යන්න පැහැදිලි කරනවා නම්?

පිළිතුර – ජනාධිපතිතුමා සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේදී රටේ ස්‌වෛරීභාවයට හානියක්‌ නොවන ලෙස උපරිම බලය බෙදීමක්‌ කරන බව සඳහන් කළා. අපගේ එකඟතාවයත් ඒක තමයි.

ප්‍රශ්නය – ඔබගේ පාර්ශවයෙන් ඉල්ලන්නේ මොනවාද කියන එක පැහැදිලි කරනවා නම්?

පිළිතුර – ජනාධිපතිතුමා සඳහන් කළ ඒ ඉලක්‌කයට අපි යනවා නම් බලය බෙදීමේ තේරුමක්‌ තිබෙනවා. දැන් තිබෙන ක්‍රමයට බලය බෙදනවා නම් තේරුමක්‌ නැහැ. දැන් තිබෙන ක්‍රමය ඉවත් කරල පළාත් සභාවලට දෙන බලය ආපසු ගන්න බැරි වෙන්න ඕනි. දෙන බලය එතනම තිබෙන ක්‍රමයක්‌ සකස්‌ කරන්න කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය – ඔබලා ප්‍රසිද්ධියේ සඳහන් කරන්නේ බලය බෙදීමක්‌ පිළිබඳව. නමුත් 1977 මැතිවරණය සඳහා ප්‍රකාශයට පත් කළ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වී තිබෙනවා පෘතුගිසීන් යාපනය ඇල්ලීමට පෙර තිබූ බව සඳහන් කරන රාජ්‍යයක්‌ පිළිබඳව. එමෙන්ම පසුගිය මහ මැතිවරණය සඳහා ඔබලා ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෘතුගිසින් පැමිණීමට පෙර මෙරට රාජ්‍යයන් 3 කට බෙදී පැවති බව සඳහන් වන බවත් සමහරුන් ප්‍රකාශ කරනවා. මේ අනුව පැහැදිලි වනවා නේද ඔබලා බලය බෙදීමක්‌ පිළිබඳව සඳහන් කළත් ඔබලාගේ අරමුණ වෙන එකක්‌ බව.

පිළිතුර – නැහැ 1977 දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූයේ වෙන දෙයක්‌. 1972 දී අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙන ආවා. එයට අපගේ සම්බන්ධතාවයක්‌ තිබුණේ නැහැ. ඒ අවස්‌ථාවේදී අපි ඉල්ලුවේ පෙඩරල් ක්‍රමයක්‌. ඒ අවස්‌ථාවේදී අපි ඉදිරිපත් කළ යෝජනා 12 න් වැඩි ඡන්දයෙන් නිශ්ප්‍රභා කළා. ඉන් පසුව අපි එයින් එළියට ඇවිල්ල 1972 ව්‍යවස්‌ථාව අපිට අදාළ නැහැ කියල තමයි 1977 දි ඡන්දය ඉල්ලුවේ. එයට ජනවරමක්‌ ලැබුණා. අමිර්තලිංගම් මහතා විපක්‍ෂ නායකයා බවට පත්වූවා. නමුත් ඔහුම එදා කියලා තිබෙනවා 1977 දී එම ඉල්ලීම කළාට එක රටක්‌ තුළ බලය බෙදීමක්‌ කරනවා නම් ඒක පිළිගන්නා බව.

1987 දී 13 වන සංශෝධනයෙන් පළාත් සභා ගෙනාවාට පසුව දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී දිවුරුම්දී තිබෙනවා. රට බෙදන ආකාරයට කටයුතු නොකරන බවට දැන් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් එහෙම තමයි. එම නිසා රට බෙදීමේ කටයුත්තකට අපි එකඟවෙන්නේ නැහැ. 2010 මැතිවරණයේදී පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා අපි ඉල්ලන්නේ එක රටක්‌ තුළ බලය බෙදීමේ ක්‍රමයක්‌ බව.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළ වෙනම රාජ්‍යයක්‌ පිළිබඳ අදහස ඉස්‌මතු වූයේ 1972 දී පළමු ජනරජ ව්‍යවස්‌ථාවෙන් පසුව බව. එහෙත් එස්‌. ෙ-. වී. චෙල්වනායගම් මහතා ඉලංගෙයි තමිල් අරසුකච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂය සැදුවේ ඊට පෙර චෙල්වනායගම් මහතා එම පක්‍ෂය නිර්මාණය කළ අතීතයේදී තිබූ බව සඳහන් කරන දෙමළ නිජභූමියකට නිදහස ලබාගැනීම සඳහා නේද?

පිළිතුර – ඒ මතය වැරදියි. 1970 මහ මැතිවරණය සඳහා පෙඩරල් පක්‍ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අරන් බැලුව නම් ඒකේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා රට බෙදන්න ඕනි කියන අයට ඡන්දය දෙන්න එපා කියලා. ඒ වෙලාවෙත් කයිට්‌ස්‌ වල වී. නවරත්නම් සහ වවුනියාවේ සී. සුන්දරලිංගම් යන අය සිටියා එම මතයේ. චෙල්වනායගම් මහතා 1970 දී ඒ වගේ අයට ඡන්දය දෙන්න එපා කියල කිව්වා. ඒ වගේ ස්‌ථාවරයකට 1976 දී ආවේ දෙමළ ජනතාව ඉවත් කරලා 1972 දී ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමෙන් පසුව තමයි.

ප්‍රශ්නය – නමුත් සිංහල ජනතාව අතර මතයක්‌ තිබෙනවා චෙල්වනායගම් මහතා අද ටිකයි හෙට ගොඩයි යනුවෙන් ප්‍රකාශයක්‌ කළ බවත්, කඩින් කඩ දෙමළ ඊළමක්‌ කරා ගමන් කිරීමට කටයුතු කළ බවටත්.

පිළිතුර – කවදාවත් එහෙම කියලා නැහැ.

ප්‍රශ්නය – චෙල්වනායගම් මහතා මරදානේ පැවැති රැස්‌වීමකදී එබඳු ප්‍රකාශයක්‌ කළ බවට සිංහල ජනතාව තුළ මතයක්‌ තිබෙනවා නේද?

පිළිතුර – 1947 දෙසැම්බර් 11 වැනි දිනයේදී තමයි පක්‍ෂය පටන් ගත්තේ. එම අවස්‌ථාවේදී කළ කතාව සී. පී. ඒ. ප්‍රකාශයට පත් කළ පොතක අන්තර්ගත වී තිබෙනවා. එම කතාවේ නම් එබඳු ප්‍රකාශයක්‌ අන්තර්ගත වී නැහැ. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා 1926 දී මේ රටට පෙඩරල් ක්‍රමයක්‌ හොඳ බවට කළ දේශන 5 කුත් එම පොතේ තිබෙනවා.

ප්‍රශ්නය – ඔබලාගේ පක්‍ෂය රට බෙදීමට විරුද්ධ බව ඔබ සඳහන් කළත්, සිංහල ජනතාව උතුර සහ නැගෙනහිර යන පළාත් ඒකාබද්ධ කිරීම සහ එම පළාත්වලට ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදීම රට බෙදීමක්‌ ලෙස සලකනවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – සිංහල ජනතාව එහෙම සිතන බව අපි දන්නවා. එතන තිබෙන ප්‍රශ්නය තමයි අපි කියන දේ කෙලින්ම සිංහල ජනතාව අතරට නොයැම. අපි කියන දේවල් කියල සමහර සිංහල නායකයන් එක එක දේවල් සිංහල ජනතාවට කියනවා. අපි දැන් ඒ පිළිබඳවත් අවධානය යොමු කර තිබෙනවා. අපි මේ වගේ සාකච්ඡා ලබාදීම වැනි මාර්ග මගින් අපි, අපගේ අදහස කෙලින්ම සිංහල ජනතාවට කියන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබලාගේ අරමුණ බලය බෙදීම නම් ඇයි උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා ඉල්ලන්නෙ. උතුර සහ නැගෙනහිර පළාත් දෙකක්‌ ලෙස පැවතීම හොඳින් බලය බෙදීමට හේතුවක්‌ වනවා නේද?

පිළිතුර – 1948 දී නිදහස ලැබෙන කොට සිංහල ජනතාව නැගෙනහිර සිටියේ 9% ක්‌ පමණයි. දැන් 29% ක්‌ සිටිනවා. ඒ ආකාරයට සිංහල ප්‍රතිශතය වැඩි වූයේ ජනතාව එහේ ගිහින් පදිංචිවීම නිසා නොවෙයි. අම්පාර කියල එකක්‌ හැදුවා. සේරුවිල කියල එකක්‌ හැදුවා. ගල්ඔය කියල තව එකක්‌ හැදුවා. මහවැලිය කියල තව එකක්‌ හැදුවා. රජයම සැලසුම් කරල සිංහල අය පදිංචි කළා.

සිංහල අය උතුර නැගෙනහිර පදිංචි වනවාට අපි විරුද්ධ නැහැ. එහේ හරි ආකාරයට සංවර්ධනයක්‌ ඇති වූවා නම් මිනිස්‌සු කොහොමත් එනවා. ඇවිත් පදිංචි වෙනවා.

ආණ්‌ඩුවෙන් මිනිස්‌සු ගෙනල්ලා පදිංචි කරන එක ජන අනුපාතය වෙනස්‌ කරන්න කරන දෙයක්‌ තමයි. මේ ගැන බණ්‌ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමෙත් ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුමේ සඳහන් වෙලා තියෙනවා. දැනුත් එම ප්‍රශ්නය තමයි තිබෙන්නේ. ඒක තමයි අපි උතුර නැගෙනහිර එකට තිබෙන්න ඕනි කියල කියන්නේ.

කාරණයක්‌ තිබෙනවා. අවුරුදු 60 කට පස්‌සේ දැන් අපට කියන්න බැහැ 1948 ට පසුව ආපු අයට එළියට යන්න කියලා. අපිත් එක්‌ක එකට ජීවත්වෙන්න ඕනි ඒ අය. නමුත් හරි ආකාරයට නොවෙයි ඒ අය එතනට ආවේ.

මේ රට කාටත් අයිති රට. දකුණ සිංහල අයට අයිතියි කියල අපි කියන්නේ නැහැ. ඒ වගේම උතුර, නැගෙනහිර දෙමළ අයට පමණයි අයිති කියල අපි කවදාවත් කියන්නේ නැහැ. නමුත් ඓතිහාසිකව බැලුවහම දෙමළ අය ජීවත්වෙලා තිබෙන්නේ උතුර නැගෙනහිර තමයි. එතන සංස්‌කෘතික සහ ආගමික ස්‌වභාවයක්‌ තියෙනවා. ඉතින් අපේ භාෂාව සංස්‌කෘතිය ආරක්‍ෂා කරන්න ඕනි නම් ඒකටත් ටෙරිටරි එකක්‌ ඕනි. ඒක නිකන් ආකාසේ කරන්න බැහැනේ. උතුර, නැගෙනහිර තමයි ඒ ස්‌වභාවය ඓතිහාසිකව තිබෙන්නේ. ඒ නිසා තමයි උතුර, නැගෙනහිර එකට තිබෙන්න ඕනි කියල කියන්නේ.

1931 ඩොනමෝර් කොමිෂමට කලින් කැන්ඩියන් ලීග් එක කරපු යෝජනාව තමයි මේ රටේ ෙµඩරල් ස්‌ටේට්‌ 3 ක්‌ තිබෙන්න ඕනි බව. උතුර නැගෙනහිරට එකක්‌. එකක්‌ දෙමළ. අනෙක්‌ දෙක නුවරට සහ පහත රටට. ඒක අපි ඉල්ලුවේ නැහැ. ඒක ඉල්ලුවේ නුවර අය.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළ ඓතිහාසිකව උතුර සහ නැගෙනහිර එකම සංස්‌කෘතියක්‌ පැවති බව. ඒ තුළින් ඔබ අදහස්‌ කරන්නේ නිජබිම් සංකල්පය නේද?

පිළිතුර – මේ රට මුලින්ම මගේ නිජභූමිය. ඒ වගේම මේ රට ඔබගෙත් නිජභූමිය. ඒක අපි නැහැ කියල කියන්නේ නැහැනේ. නමුත් මම කියන්නේ ඓතිහාසිකව බැලුවහම දෙමළ අය උතුර සහ නැගෙනහිර ජීවත්වී තිබෙන්නේ. සිංහල අය ජීවත්වී තිබෙන්නේ අනෙක්‌ ප්‍රදේශවල. ඒකයි ඇත්ත. නමුත් ඒක ඒගොල්ලන්ගේ නිජභූමිය, මේක මේ ගොල්ලන්ගේ නිජභූමිය කියල අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මේ ඓතිහාසික කාරණය. (හිස්‌ටොරින් µeන්ට්‌) කවුරුත් පිළිගන්න ඕනි. එච්චරයි.

ප්‍රශ්නය – සිංහල ජනතාව විරුද්ධ වන්නේ එම කාරණයට තමයි.

පිළිතුර – ඓතිහාසික කාරණයට විරුද්ධ වෙන්න බැහැනේ. ඒක තිබුණේ එහෙම තමයි කියල මම කියනවා. ඒක නැහැ කියන්න බැහැනේ.

ප්‍රශ්නය – නමුත් සිංහල ජනතාව නැහැ කියලා කියනවා නේ.

පිළිතුර – කොහොමද නැහැ කියන්නේ. දෙමළ ජනතාව ඓතිහාසිකව උතුර නැගෙනහිර ජීවත්වූවාය කියන එක ඇත්තක්‌නේ.

ප්‍රශ්නය – මේ වගේ කෙටි සාකච්ඡාවකදී ඒ බව තහවුරු කිරීමට කරුණු ඉදිරිපත් කළ නොහැකියි. නමුත් සිංහල ජනතාව කරුණු කාරණා සහිතව ඓතිහාසිකව දෙමළ නිජභූමියක්‌ නොපැවති බව ප්‍රකාශ කරනවා.

පිළිතුර – 1977 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි කිව්වේ යටත්විජිතවාදීන් එන්න කලින් රාජ්‍ය 3 ක්‌ පැවති බවයි. 1931 ඩොනමෝර් කොමිසමට පෙර නුවර අය කිව්වෙත් එතනට යන්න කියන එක තමයි. එයින් පිළිඅරගෙන තිබෙනවා වෙන වෙන ජනකොටස්‌ වෙන වෙන තැන්වල ජීවත්වී තිබෙන බව. එච්චරයි. දැන් මුස්‌ලිම් අය නැගෙනහිර පැත්තේ ඉන්නවා. ඉතින් ඒක ඇත්තක්‌නේ. නැහැ කියල කියන්න බැහැනේ. උතුරේ 90% කට වඩා ඉන්නේ හින්දු අය. ඒක නැහැ කියල කියන්න කාටවත් බැහැනේ.

ප්‍රශ්නය – වර්තමානයේ දී ජීවත්වන සංඛ්‍යාව පිළිබඳව නොවෙයි සිංහල ජනතාව සඳහන් කරන්නේ. ඔවුන් සඳහන් කරන්නේ ඓතිහාසිකව නොසිටි බවයි.

පිළිතුර – ඓතිහාසිකව තමයි. ඉන්න එක විදියටම තිබෙන්න ඕනි කියන එක තමයි අපි කියන්නේ.

ප්‍රශ්නය – වර්තමානයේ ජීවත්වන ජනතාව පිළිබඳව සිංහල ජනතාවට ප්‍රශ්නයක්‌ නැහැ. ඔවුන් ප්‍රශ්න කරන්නේ, ඓතිහාසිකව පැවති බව සඳහන් කරන දේ පිළිබඳවයි.

පිළිතුර – 1948 දී සිංහල ජනතාව නැගෙනහිර සිටියේ 9% ක්‌ පමණයි. ඒ පිළිබඳ වාර්තා තිබෙනවා. ඒක නැහැ කියන්න බැහැනේ. 1948 දී 9% ක්‌ වූ සංඛ්‍යාව දැන් 29% ක්‌ වී තිබෙන්නේ කොහොමද? ඒකයි මම කියන්නේ. අපේ සංස්‌කෘතිය දැන් තිබෙන තැන්වල තිබෙන්න ඉඩ දෙන්න කියන එක පමණයි අපි කියන්නේ. ඔයගොල්ලා එන්න එපා කියලා කියන්නේ නැහැ. ඒ තිබෙන ස්‌වභාවය ඒ විදියටම තිබෙන්න ඉඩ දෙන්න කියල කියනවා. එච්චරයි.

වෙන රටවල ආරක්‍ෂාව දෙන්නේ සුළු ජන කොටස්‌ වලට පමණයි. අපේ රටේ තමයි බහුතරයට ආරක්‍ෂාව දෙන්නේ. බහුතරයට ආරක්‍ෂාව දෙන්න අවශ්‍ය නැහැ.

ප්‍රශ්නය – දෙමළ ජනතාව උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශවලින් පිටතත් ජීවත් වෙනවා. උතුර සහ නැගෙනහිරට බලය ලබාදුන්නත් අනෙකුත් ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාවගේ සංස්‌කෘතිය ආරක්‍ෂා වෙන්නේ කොහොමද?

පිළිතුර – අපි එක රටක පුරවැසියෝ. ඒකයි මම කියන්නේ. ඒකෙ ප්‍රශ්නයක්‌ නැහැ. ඒ වගේම උතුර සංවර්ධනය වුණහම අනෙක්‌ අයත් එහෙ ඇවිත් පදිංචි වේවි. අපි ඒකට සංතෝෂයි. ඒක නොවෙයි අපි කියන්නේ. අපි කියන්නේ අපේ සංස්‌කෘතිය මේ රට තුළ ආරක්‍ෂා වෙන්න ඕනි. රජය එය වෙනස්‌ කිරීම සඳහා කටයුතු කරන්න හොඳ නැහැ.

ප්‍රශ්නය – දැනට පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඊළඟට ගන්නා පියවර කුමක්‌ද?

පිළිතුර – පළමු සාකච්ඡාවේදීම අපි ඉදිරිපත් කළේ 2006 ජුලි මාසයේදී ජනාධිපතිතුමා කළ කතාව. එම අවස්‌ථාවේදී අපි කිව්වා අපේ අදහසත් මේක තමයි කියලා. 2006 ජුලි මාසයේදී කියල තිබෙනවා උපරිම බලය බෙදීමක්‌ දෙන්න ඕනි කියලා. එම අවස්‌ථාවේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කරල තිබෙනවා ඉන්දියාව ඇතුළුව අනිකුත් රටවල් දෙස බලල උදාහරණ අරගෙන අපට සුදුසු තීරණයකට එන්න කියලා.

2006 ජුලි මාසයේ එහෙම කිව්වා නම් දැන් තිබෙන වෙනස කුමක්‌ද? දැන් තිබෙන වෙනස තමයි එදා එල්.ටී.ටී.ඊ. එක තිබුණා. දැන් නැහැ. ආණ්‌ඩුව දැන් කියනවා නම් එදා අපි බලය බෙදීමට සූදානම් දැන් අපි සූදානම් නැහැ කියලා. එහෙම නම් එයින් දෙමළ ජනතාවට දෙන පණිවුඩය කුමක්‌ද? දෙන පණිවුඩය තමයි ඔයගොල්ලා ආයුධ අරගෙන එන්න, බලය දෙන්න ලෑස්‌තියි කියන එක තමයි. ඒ වගේ පණිවුඩයක්‌ අපේ ජනතාවට දෙන්න එපා කියන එක තමයි අපි රජයට කියන්නේ.

ප්‍රශ්නය – පක්‍ෂයක්‌ ලෙස ඔබලා අපේක්‍ෂා කරන ප්‍රතිඵලය නොලැබුණොත් ඔබලාගේ පක්‍ෂය මීළඟට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද?

පිළිතුර – එක රටක්‌ තුළ ජීවත් වෙන්න අපි සූදානම්. ජාත්‍යන්තර නීතියේ අපි වගේ ජන කොටස්‌වලට බලය බෙදීම පිළිබඳ නීති තිබෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ.

රජය එය ලබාදෙන්නේ නැත්නම්. දෙන්න බැහැ කියලා කිව්වොත් අපි අපගේ ඉල්ලීම් දිගටම ඉල්ලමින් සිටිනවා. මේක අපේ නෛතික අයිතිය බව කියාගෙනම ඉන්නවා.

සාකච්ඡා කළේ
එරික්‌ ගාමිණී ජිනප්‍රිය

One thought on “ඓතිහාසිකව තිබ්බදේ තමයි අපි ඉල්ලන්නේ”

Comments are closed.

Protected by Security by CleanTalk