Spread the News

අනාගත අවදානමක පෙරනිමිති
source:
වර්තමාන සමාජය දුසිරිත්වලින් පිරී තිබේ. රටක සම්පූර්ණයෙන් ම සදාචාරවත් ජන සමාජයක්‌ දැකිය නොහැකි නමුත් අද සිදුවෙමින් පවතින මිනිස්‌ ඝාතන, ස්‌ත්‍රීන් හා බාල වයස්‌කාරියන් දූෂණය කිරීම, දූෂණය කොට මරා දැමීම, මහමඟ ධාවනය කරන වාහනවල හප්පවා මානව සම්පතට මරණය අත්කර දීම, කොන්ත්‍රාත් ක්‍රමයට මිනිසුන් මැරීම, වෙනත් හේතූන් මත සිදු කෙරෙන විවිධ මිනිස්‌ ඝාතන එන්න එන්නම වැඩිවෙමින් පවතී. මෙහිදී ආණ්‌ඩුව විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වනවා ඇරෙන්නට රටේ මිනිස්‌ සම්පත අස්‌වාභාවික ලෙස විනාශ වී යැම වළකනු පිණිස දියත් කරනු ලබන තිරසාර වැඩපිළිවෙළක්‌ ගැන නම් අසන්නට නොලැබේ.

දැන් තිබෙන දුරාචාර දෙස විමසුම් ඇසින් බලන සමාජ ශෝධන වැඩපිළිවෙළක්‌ අපේ රටට අවශ්‍ය වී තිබේ.

තම මවුබස හරිහැටි වහරන්නට නොදත් ජනයා සිටින රටක්‌ පරිහානිය කරා ගමන් කරනවා සේ ම, ස්‌ත්‍රියට හිමි තැන නොදෙන ඇය ඉහළට ඔසවා නොතබන දේශය ද පිරිහෙනු වැළැක්‌විය නො හැකිය. අවුරුදු 68 ක ගොළු ස්‌ත්‍රියක දූෂණය කළ තරුණයෙක්‌ පිළිබඳ මේ නොබෝදා අසන්නට ලැබුණේය. අවුරුදු පහේ, දොළහේ, දහතුනේ ආදී වශයෙන් බාල වයස්‌කාරියන් දූෂණය කිරීම දිනපතාම වාගේ සිදුවෙයි. ඈත ගම්බද පෙදෙසක විදුහල්පතිවරයකුගේ බිරිඳක්‌ විදේශ රැකියාවක්‌ සඳහා ගිය විට විදුහල්පතිවරයා කළේ තම ලිංගික සුවය සඳහා ශිෂ්‍යාවකගේ ඇසුර ලබා ගැනීමය. පොලිසිය සැක පිට ඔහු අත්අඩංගුවට ගත් බව පුවත්පත්වල පළවිය.

ශිෂ්‍යාවන්ගේ පෙම් සබඳතාවන් සම්බන්ධයෙන් විදුහල්පති අවවාද කිරීම නිසා ලැඡ්ජාවට පත්වීම හේතුවෙන් තම මවුපියන්ට හොරෙන් ඥාතීන් සොයා යන ගමනකදී සල්ලාලයන්ට අසුව දූෂණයට ලක්‌වීමෙන් පසු පොලිසිය විසින් ඔවුන් නිදහස්‌ කරගනු ලැබූ සැටි පසුගියදා අසන්නට ලැබිණි. කවරාකාරයෙන් වුවද තරුණියකට නිදහසේ මහමඟ ගමන් කිරීමේ අයිතිය අද සල්ලාලයන් විසින් උදුරාගනු ලබයි.

මිනිස්‌ සිත්වල කාමය අවුස්‌සන ස්‌ත්‍රී රූප ඇතුළත් රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සදාචාරවත් බවේ මුල් සිඳලනු විනා අන් කිසි යහපතක්‌ සිදු නොකරන බව අපට සෘජුවම ප්‍රකාශ කළ හැකිය. රූමතියන් ගේ සඟවා තැබෙන තැන් නිරුවත් කොට පෙන්වනවාත් එක්‌කම ඒ රූ දැක්‌ම ඡේදනය කිරීම සිදුවන්නේ විදුලි ඉරක්‌ අවුත් ඒ සැණින් ම මැකී යන්නා සේ ය. මේ නිසා මිනිස්‌ සිත් තුළ සැඟවී පවත්නා කාම සිතුවිලි අවදිව කෝපයට පත්වෙයි. අනෙක්‌ අතට සුපිරි පංතියට ස්‌වකීය කාමාශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා ගණිකා ඇසුර අඩුවක්‌ නැතිව ලබන්නට කිසිම බාධාවක්‌ නැති බවක්‌ ද මින් අඟවයි. මධ්‍යම පංතියටත් ඊටත් පහළින් සිටින අයටත් මේ සඳහා ගණිකා නිවාස ඉඩකඩ ඇහිරී නැත. මේවා නීතියට පටහැනි වුවද, නීත්‍යනුකූල භාවයක්‌ ලැබී ඇති පරිදි පවත්වාගෙන යන ඒවා වන අතර විටින්විට පොලිසිය කඩා පනින අවස්‌ථා ඇත. මේ අතර තම කාමුක හැඟීම් අනියම් ලෙස ක්‍රියාවට නැඟීමේ අවකාශ නොලබන පිරිසක්‌ ද රටේ සිටින බවත්, තමන්ට පාලනය කරගත නොහැකි කාමාශාවන්ගෙන් ඔවුන් පෙළෙන බවත් අප කළ සමීක්‍ෂණවලදී හෙළි වී තිබේ. අවුරුදු පහේ, හතේ, දහයේ, දොළහේ ආදී වශයෙන් බාල වයස්‌කාරියන් දූෂණය කරනු ලබන්නේ ඔවුන් විසින් දැයි සොයා බැලීම ඊළඟ පියවරය. එක්‌තරා පංතියකට පමණක්‌ මෙම අනියම් කාම තෘප්තිය විඳින්නට අවකාශ ලැබෙන විට ඊට පහළින් සිටින කොටසටත් ඒ කියන ආස්‌වාදය ලබා ගැනීමට ඉඩ සලසා නොතිබීමේ වැරැද්ද නිසා අත්විඳින්නට වෙතැයි සිතෙන ෙ€දනීය සමාජ දුර්විපාක අප සිත් කම්පනයට පත් කරයි. ගණිකා නිවාස ව්‍යාපාරයට නීත්‍යනුකූලභාවය ලබා දීමෙන් බාලවයස්‌කාරියන් ඇතුළු ස්‌ත්‍රී සම්පත විනාශ මුඛයට යා නොදී බේරාගත හැකිය යනු අපේ විශ්වාසයයි. නො එසේ නම් ස්‌ත්‍රී සම්පත රැක ගැනීමේ වෙනත් වැඩපිළිවෙළක්‌ තිබීම අත්‍යවශ්‍ය වෙයි.

මෙම ලිපියෙහි ඉහතින් දැක්‌ වූ පරිදි මිනිස්‌ ඝාතන, ස්‌ත්‍රී දූෂණ, මහා මාර්ගයේ සිදුවන අන්තරා, සොරකම්, මංකොල්ලකෑම්, පරිසර විනාශයන් ආදිය ගැන මේ රටේ සංඝයා වහන්සේට, අන්‍යාගමික පූජකවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, කලාකරුවන් හා වෙනත් ප්‍රභූවරුන්ගේ එකමුතුවකින් හඳුනාගැනෙන පිළිගත හැකි සමාජ ශෝධන විසඳුමක්‌ ජනාධිපති අතට පත්කිරීමේ ශුද්ධ වැඩපිළිවෙළක්‌ අප්‍රමාදව ක්‍රියාත්මක කළ යුතු නොවේ දැයි අපි අසමු. එසේ නොමැතිව උකටලීව සිටියහොත් ආණ්‌ඩුවත් ඔහේ කරබාගෙන ආණ්‌ඩුව කරගෙන යනු ඇත. අනාගතය ගැන බිය සැක සිතෙන තරම් අකටයුතුකම් දිගින් දිගටම ජන සමාජයේ සිදුවන විට ඒවාට වගකිවයුතු වන්නේ ආණ්‌ඩුව පමණක්‌ ද? ඒ වගකීම යම් ප්‍රමාණයකින් රටේ ජනතාවත් පවරා ගත යුතු ය.

තවද මේ රටේ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල මර්දනය නොකළොත් සිදුවන්නේ කුමක්‌ දැයි අප දත යුතුය. ශ්‍රී ලංකාව යනු තවදුරටත් නොදියුණු මිනිසුන් වෙසෙන රටක්‌ යෑයි ද ඔවුන් සුළු කරුණකට වුව ද තම වර්ගයේ උදවිය පවා ඝාතනය කිරීම පුරුද්දක්‌ කොට ගෙන ඇතැයි ද ස්‌ත්‍රී වර්ගයා තම කාම පිපාසය සංසිඳුවා ගැනීමේ වෙළෙඳ භාණ්‌ඩයක්‌ ලෙස ඔවුන් සලකන බව ද රාජ්‍ය පාලනය අතිශයින් ම දූෂිත තත්ත්වයක්‌ කරා ගෙන ගොස්‌ ඇතැයි ද මේ ආදී සිදුවීම් ඇතුළත් අපට එරෙහි චිත්‍රයක්‌ විදේශීය සතුරු කණ්‌ඩායම් විසින් නිර්මාණය කරනු ලැබීමෙන් පසු එය ජගත් සංවිධාන ඉදිරියේ දිග හැර පෙන්වනු ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට අහිතකරය.

ජයසේකර මලවිආරච්චි