Spread the News

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට
ඇමරිකාව සහය දක්‌වනවා
source:


ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌

රොබට්‌ බ්ලෙක්‌ සහ මානව හිම්කම් පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියවූ මේරි ඔටෙරෝ

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලෙක්‌ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ මේරි ඔටේරෝ පෙරේදා (13) සවස කොළඹ හිල්ටන් හෝටලයේදී දෙස්‌ විදෙස්‌ මාධ්‍ය පාර්ශ්වයන් අමතා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ මන්ද යන්න ගැන හෙළි කළහ.

මෙහිදී නැඟුණු ප්‍රශ්න හා එම ඇමරිකානු රාජ්‍ය නිලධාරීහු දැක්‌වූ ප්‍රතිචාර මෙසේය.

ප්‍රශ්නය(- උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ අඩු ලුහුඬුකම් තිබෙන බවට ප්‍රකාශ වුණා. මේ අඩුලුහුඬුකම් මොනවාද?

පිළිතුර(- උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවෙන් නිසිලෙස යුධ අපරාධ චෝදනා ගැන ආවරණය වී නැහැ. යුධ මෙහෙයුමේ අවසාන සමයේ සිදුවූයේ කුමක්‌ද යන්න දැන ගැනීම වැදගත්. ඒ ගැන විමර්ශනය කිරීමද වැදගත් බව කිව යුතුය.

ප්‍රශ්නය(- ඔබ කියන්නේ මේ කොමිසමේ වාර්තා වගකීම සම්බන්ධවට දැක්‌වෙන්නේ නැතැයි කියාද?

පිළිතුර(- වගකීමට අදාළ කරුණු ගැන එහි දැක්‌වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනයක්‌ කිරීමට දේශීය යාන්ත්‍රණය දියත් කළ යුතුය. නොඑසේනම් ජාත්‍යන්තර යාන්ත්‍රණයන් ස්‌ථාපිත කරන ලෙස අපට බලපෑම් එල්ල වෙනවා. එසේම ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත්වන ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවට ඇමරිකාවේ සහය ලැබෙනවා. එහිදී කරුණු දක්‌වන්න ශ්‍රී ලංකාවට අවස්‌ථාව හිමිවෙනවා.

ප්‍රශ්නය(- ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික විමර්ශනයන් කෙරේ යොමු වෙනවාද?

පිළිතුර(- ඇමරිකාව නිරීක්‍ෂණයට ලක්‌වී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු යෝජනාව ගැනයි.

ප්‍රශ්නය(- ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඉන්දියාවේ සහයලැබෙනවාද?

පිළිතුර(- රටවල් කීපයක සහය ලැබෙනවා. මෙම මාධ්‍ය සාකච්ඡාව ඇමතු සහකාර රාජ්‍ය ලේකම් මේරි ඔටෙරෝ කොටි සංවිධානය තහනම් ත්‍රස්‌ත සංවිධානයක්‌ ලෙස පිළිගත් රටවල් අතුරින් එක්‌ රටක්‌ ඇමරිකාව බවත් උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් වාර්තාවේ අඩුලුහුඬුකම් ඇතැයි කියා සිටියාය. බලය විමධ්‍යඝත කිරීම හමුදා ක්‍රියාකාරකම් ඉවත් කිරීම ඇතුළු කරුණු ගැන කොමිසම අවධානය යොමුකර තිබෙනවා. ජනාධිපතිවරයා සමග මා කළ සාකච්ඡාවේදී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට එකඟ වුණා. මා එහිදී ලබන මාර්තු මස එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත යොමුවන යෝජනාවට ඇමරිකාවේ සහය ලැබෙන බව ස්‌ථිර කළා. රජය සියළුම ජන සමූහයාගේ අවශ්‍යතා මැද ක්‍රියාකළ යුතු බවත් මා පැවසුවා, දේශපාලන විසඳුමක්‌ සඳහා දෙමළ සන්ධානය සහ රජය සමග පවතින සබඳතාවයන් ඉතාමත් දුෂ්කරයි. දෙපාර්ශ්වයම විශ්වාසයෙන් යුක්‌තව සාකච්ඡාමය විසඳුමකට එළැඹිය යුතු යෑයි මා ඉල්ලා සිටිනවා යෑයි මේරි ඔටෙරෝ තවදුරටත් සඳහන් කළාය.

මෙම ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමරිකාවේ සහය ලැබෙන බව පවසා පැය 24 ක්‌ ගත වීමට මත්තෙන් කොටින් සමග සබඳකම්පවත්වන යුරෝපා පක්‍ෂ පහක්‌ යුරෝපා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක්‌ ගෙන අවුත් එය සම්මත කරගනු ලැබිණි. මේ යෝජනාවේ දැක්‌වූයේ යුධ අපරාධ ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම විසින් අන්තර් ජාතික විමර්ශනයක්‌ ආරම්භකළ යුතු බවයි.

මේ යෝජනාව ඉදිරිපත් කළ පක්‍ෂ පහ අතුරින් ගි්‍රන් පක්‍ෂයේ නියෝජිතවරිය වූයේ ජර්මනියේ බාමරා ලොහබිලර් නමැත්තියයි.

ඇය විවාහව වී සිටින්නේ හිටපු කැරලිකරුවකු වන රංජිත් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ටි නමැත්තා සමගයි. ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් ෆොa රූපවාහිනි සේවාවට සාවද්‍ය වීඩියෝ පට යෑවූ ජර්මනියේ ඡේ. ඩී. එස්‌. නමැති කොටි හිතවාදී මාධ්‍ය සංවිධානයට සිය ලිපිනය ලබා දුන්නේද මොහු යෑයි හෙළි විය.

ජර්මනියේ ඇමනෙස්‌ට්‌ සංවිධානයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ බාබාරා ලොහබිලර්ද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වූ යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවට අත්පත් කිරීමෙන් මෙතෙක්‌ පැළඳගෙන සිටි වෙස්‌මුහුණු ගැලවී බිම වැටිණි.

මේ පසුබිම මැද රොබට්‌ බ්ලෙක්‌ හා මේරි ඔටේරාගේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවේ සෘජුවම කියා සිටින්නේ එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා ගැන දේශීය වශයෙන් විමර්ශනය කර ඊට වගකිවයුත්තන්ට දඬුවම් කරන ලෙසයි.

එහෙත් යුධ අපරාධවලට වගකිවයුතු ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ විශ්වනාදන් රුද්ද්‍රකුමාරන් ඇමරිකාවේ සිටි. ඔහුට ආරක්‍ෂාව සපයන්නේ රොබට්‌ බ්ලේක්‌ය.

පෙරේදා (13) කොලඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී රොබට්‌ බ්ලේක්‌ සහ මේරි ඔටේරෝ ක්‍රියා කළේ පැමිණිලිකරු සාක්‍ෂිකරු හා විනිසුරු ලෙස බව පැහැදිලි විය.

බ්ලේක්‌ විසින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමරිකානු සහය පළකරන බවට ප්‍රකාශ කිරීමට දින 10 කට පෙර නෙදර්ලන්ත ගුවන්විදුලි සේවාව විසින් ඒ බව හෙලිකර තිබිණි.

මෙලෙස ශ්‍රී ලංකාවට ඇඟිල්ල දික්‌ කරන රොබට්‌ බ්ලේක්‌ ඇමරිකානු යුධ අපරාධ ගැන කියන්නේ කුමක්‌ද? ඉරාකයේ සිවිල් වැසියන් ලක්‍ෂයක්‌ද ඇෆ්ගනිසථානයේ පනස්‌දාහක්‌ද, ලිබියාවේ විසිදහසක්‌ ද මියගිය බව වාර්තාවේ. වියට්‌නාමයට එල්ල වූ ප්‍රහාරවලින් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක්‌ මියගොස්‌ තිබේ. එසේම වියට්‌නාමය මයිලායි ගම්මානය මුළු මනින්ම විනාශ කළ ලුතිනන් කැලි නමැති හමුදා නිලධාරියාව මාස කීපයකට පසු නිදහස්‌ කිරීමට ඇමරිකානු බලධාරීහු ක්‍රියා කරනු ලැබීය.

මේ පසුබිම මැද ඇමරිකානු මානව හිමිකම් කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ මේරි ඔටේරෝ හිල්ටන් හෝටලයේද පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී තම රජය සමගත් සිවිල් සංවිධාන, දේශපාලන නායකයන් හා මාධ්‍යවේදීන් හමුවී සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව හෙළි කළාය.

ඇය හමුවූ මාධ්‍ය පාර්ශ්වයන් කවුරුන්ද? එසේනම් පැහැදිලි වන ප්‍රධාන කාරණය නම් ඇයට කේලම් කීමට මේ මාධ්‍ය පාර්ශ්ව ඉදිරිපත් වූ බව නොවේද?

කීර්ති වර්ණකුලසූරිය