Spread the News

සොඳුරුතම රාත්‍රියේ ජීවිතයට සමුදුන් සුදර්ශනී
source:
යාපනය නගරය හරි කලබලය. කොළඹ, යාප නය හරහා උතුරේ නෑයෝ, දකුණේ නෑයෝ හමුවීමට යති, එති. ව්‍යාපාර වල නිරතවූවන්ද උතුරට දකුණට යති එති. අද මෙන් මේ කියන දිනවල ද රට සන්සුන්ය. සුදර්ශනී ශකිලා කනකසබේලාගේ මව්පියෝද එකල විවිධ ව්‍යාපාරවල නිරත වෙමින් යහමින් මුදල් හම්බ කළහ. 1983 වසර සුදර්ශනීට මතකය. ඇයට ඒ වන විට වයස අවුරුදු දහඅටකි. දමිළ භාෂාව මෙන්ම ඉංගී්‍රසි බස චතුර ලෙස හසුරවන ඇයට සිංහල ද කතා කිරීමට හැකි වූයේ එකල උතුර දකුණ අද මෙන් එකට යාව තිබූ නිසාය.

83 කලු ජූලියෙන් පසුව මේ අය කොළඹ, කොටහේන පදිංචිය අතහැර දමා එංගලන්තයේ පදිංචියට පැමිණියහ. සුදර්ශනීලාගේ පවුලේ උදවියත් ශංකර්ලාගේ පවුලත් අතර කලක සිට ලොකු හිතවත්කමක්‌ තිබිණි. එය පරම්පරා කිහිපයක සිට ඇති බැඳීමකි.

ශංකර්, සුදර්ශනීට වඩා අවුරුදු දෙකක්‌ වැඩිමල්ය. ශංකර්ලාද ව්‍යාපාරිකයන්ය. බීඩි ඔතන කඩදාසි මෙරටට ගෙන්වීමේ සිට ව්‍යාපාර කිහිපයක්‌ම ශංකර්ලා කළේ හොඳ හැටි මුදල් උපයමිනි.

යුද ගිනිදැල් වලින් මේ පවුල් දෙක ඈත්කර දැමුවත් ඔවුන් යම් යම් අවස්‌ථාවල දුරකථනයෙන් සැප දුක විමසන්නට අමතක කළේ නැත. ශංකර් 1988 වසරේදී කොල්ලුපිටියෙන් නිවසක්‌ මිලදී ගෙන විවාහ වන්නට කල්පනා කළේය. නෑ හිතමිතුරන්ගේ ආශිර්වාද මැද ඔහු විවාහ ගිවිස ගත්තේ රූමත් තරුණියක්‌ය. ශංකර්ලාගේ පවුලට දරුවන් තිදෙනෙක්‌ම එක්‌ වූ පසු ව්‍යාපාරද පුළුල් වූයේ දරුවන්ගේ වියහියදම් ද එකතු වූ නිසාය.

ව්‍යාපාර පුළුල්වීමත් සමග ශංකර් 2002 වසරේ දී දරු තිදෙනාත්, ආදරණීය බිරිඳත් සමඟ ඔස්‌ටේ්‍රලියාවට ගොස්‌ පදිංචි වූයේ මෙල්බර්න් වලය.

“දරුවන්ට හොඳට උගන්නන්න ඕනේ.” ශංකර් නිතරම බිරිඳ සමඟ එසේ කියා සිටියේය.

ශංකර් හා බිරිඳ අතර පවුල් ප්‍රශ්න තිබුණේ නැත. නමුත් මොවුන් ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරය අතහැර ඉන්දියාවට පැමිණ චෙන්නායි හි පදිංචි වන්නේ කිසියම් ප්‍රශ්නයක්‌ මුල්කරගෙනය.

චෙන්නායි වල සිට ව්‍යාපාර කටයුතු කරගෙන යැමට ගත් කුලී නිවස තරමක්‌ විශාල එකකි. නිදන කාමරය හා තවත් කාමර කිහිපයක්‌ වායුසමනය කර තිබිණි.

ශංකර් රෑ වෙනතුරුම ව්‍යාපාරවලට වෙහෙසෙයි. නිවසේ කාමරයේ තිබූ ගෑස්‌ ටැංකිය හදිසියේම පුපුරා ගියේය.

කාමරයේ සිටි බිරිඳත්, දරු තිදෙනාත් අවාසනාවන්ත ලෙස ඒ පිපිරීමට හසුව මිය පරලොව ගියහ. ශංකර්ගේ ජීවිතය අඳුරු වූයේ ඒ සිදුවීමෙන්ය. ශංකර්, චෙන්නායි නගරය මැදට වී හඬා වැටුණේ කුඩා දරුවකු කිරි ඉල්ලා හඬන අයුරින්ය.

ව්‍යාපාර මොකටද? සල්ලි මොකටද? ශංකර්ට එසේ සිතිණි. ඔහු සියල්ල අතහැර යළි ශ්‍රී ලංකාවට එන්නේ සියල්ලම අත්හැර දමමිනි.

ශංකර්ගේ මිතුරන් ඔහු අස්‌වසාලන්නට නොගත් උත්සාහයක්‌ නැත. ඥාතීහු ශංකර් පිළිබඳ නිතරම කල්පනා කරන්නට වූහ.

අවවාද කළේ පරිස්‌සමිනි. නමුත් ශංකර්ගේ හිත හැදුනේ නැත. දිනෙන් දිනම කලකිරීමට පත් වූ ඔහු ඉඳහිට බියර් බෝතල් දෙක තුනක්‌ හිස්‌කළේ කලකිරීම, මඳකට හෝ අමතක කර දමා නින්දක්‌ ලැබීමටය.

කුඩා කල ඇසුරු කළ මිතුරෝද මේ අතර ශංකර්ට කතා කරන්නට වූහ. ඒ අතර ශංකර්ගේ සිතේ තිබූ වේදනාව සමනය කරන්නට හැකි වූ මිතුරියක්‌ද වූවාය. ඇය වෙන කවුරුවත් නොව ශංකර්ගේ පවුලේ ළඟම මිතුරු පවුලේ දියණියක වූ සුදර්ශනීය. සුදර්ශනී ඒ වනවිට පදිංචිව සිටියේ එංගලන්තයේය. ඇය දරු දෙදෙනකුගේ මවකි. දෙවරක්‌ම විවාහ වී ඒ දෙවතාවෙන්ම දික්‌කසාද වී සැහැල්ලුවෙන් හා බැඳීම් වලින් තොරව ජීවත්වෙමින් සිටි ඇයට ශංකර් පිළිබඳ මහ දුකක්‌ ඇති වූවාය. එය එක අතකට ලොකු බැඳීමකි. අති විශාල ධනස්‌කන්දයකට උරුමකම් කී සුදර්ශනී, දරුවන් දෙදෙනව එංගලන්තයේ අධ්‍යාපනය වෙත යොමු කළේ එංගලන්තයේම පදිංචි ඇයගේ මවගේ උදව් ද ලබාගෙනය.

“ශංකර්… ඔයා තනිවෙලා නෑ. මට මතකයි ඒ කාලේ අපි කොච්චර සතුටින් හිටියද? ඔයාට මම ඉන්නවා. වෙච්ච දේවල් අමතක කරන්න. ඔයාට තනිකමක්‌, පාළුවක්‌ දැනුණොත් මට කතා කරන්න” සුදර්ශනී දවසට දෙවරක්‌ තුන්වරක්‌ කතා කර මිතුරාගේ සිත සැනසුවාය.

නෑ හිතමිතුරන් සියලු දෙනා අතර සුදර්ශනීගේ දුරකථන ඇමතුම හරි ආශ්වාදජනකය. සිත සන්සුන් කරන වචන පෙළකි. ඇතැම් දිනවල ශංකර් දුරකථනය දෙස බලාන සිටියේ සුදර්ශනීගේ ඇමතුම දැන් ලැබෙනු ඇතැයි සිතමිනි. කෝවිලකට ගොස්‌ සිත සැහැල්ලු කරගන්නා තරමටම… ඇයගේ හඬ ඔහුගේ සිත නිවන්නට පටන්ගෙන ඇත. ඒක මහ පුදුම බැඳීමක්‌.

ඔයාට මම කැමතියි. ඔයා ළඟටම වෙලා ඉන්න තියෙනව නම් මගෙ සිත සැහැල්ලු වෙයි. දිනක්‌ රාත්‍රියේ ඔහු ඇයගේ කනට කර ආදරය ප්‍රකාශ කළේ ජංගම දුරකථනය ඔස්‌සේය.

ඒ වනවිට මේ දෙදෙනාගේ මිතුරුකම ආදරයකට පෙරළී ගොස්‌ තිබිණි. කැස්‌ස සේ මතු වූ ආදරේ වදන් බවට පෙරළී මහා දුරකට ගලා ගියේ දෙදෙනාගේ පරණ ප්‍රේම පළහිලව් විවාහ ජීවිත දරුවන්ද දෙවැනි කරමිනි.

“ඔයා ලංකාවට එන්න. එතකොට අපිට එකට ළංවෙලා ඉන්න පුළුවන්.” ඔහු ඇයට කීය. ඇය ඔහුට කීවේ “ඔව් අනේ මගෙ රත්තරන්ව බලන්න මම ඉක්‌මනටම එනවා” කියාය.

අවුරුදු දහසය, දහඅටේ තරුණ සිතකට දැනෙන ආදරය, ශංකර්ට දැනෙන්නට පටන්ගෙන තිබිණි.

කී පරිදිම සුදර්ශනී සිය මවත් සමගම යළි ලංකාවට එන්නට පිටත් වන්නේ ශංකර්ට අලුත් ජීවයක්‌ පිඹිමිනි.

“ඔයාලව ගන්න මම කටුනායකට එන්නම්.” ශංකර් කටුනායක ගුවන්තොටුපළ අසලට වී සිය පෙම්වතිය පිළිගන්නට බලා සිටියේ හරි සතුටිනි. දැන් ශංකර්ගේ වයස අවුරුදු හතළිස්‌ නවයකි. සුදර්ශනීගේ වයස අවුරුදු හතළිස්‌ හතකි.

ආදරය, ප්‍රේමය මොන තරම් සුන්දරද? වයස, විවාහ ජීවිත, දරුවන් පවා ආදරය ඉදිරියේදී පස්‌සා දොරින් පලා යන බවට කියමන් තිබේ.

ශංකර්ලාගේ, සුදර්ශනීලාගේ ආදරය ද එවැන්නකි. සුදර්ශනීව දුටු සැනින් ශංකර් ඇය කිටි කිටියේ සිරුරට තද කරගනිමින් පිළිගත්තේ පුදුම සෙනෙහසකිනි.

“මම තනිවෙච්ච වෙලාවේ ඔයයි මාව සැනසුවේ. මට ජීවත් වෙන්න ආශාවක්‌ ඇති කළේ ඔයා” ශංකර් හිමින්සැරේ ඇයගේ කනට කර කීවේ ඇයගේ මව බලාසිටියදීය.

මොවුන් තිදෙනා කෙලින්ම කොල්ලුපිටියට පැමිණ කුඩා හෝටලයක කාමරයක්‌ වෙන්කර ගත්තේ එහි නැවතීමටය.

“අයියෝ අපිට මේකෙ ඉන්න බෑ.” ඇයත් ඇයගේ මවත් හෝටලය දුටු ගමන්ම කියා සිටියේ ශංකර් ල-ජාවට පත්කරවමිනි.

කොල්ලුපිටිය, රේණුකා හෝටලයේ කාමරයක්‌ වෙන්කර ගත්තේ ඊට පසුවය.

ශංකර් දෙදෙනා හෝටලයේ නතර කර, ඔහුගේ නිවසට ගියේය.

“දුවේ මම කනගපිල්ලේ මල්ලිලාගේ ගෙදර යනවා.” ඇයගේ මව කොළඹ ආ දවසේ සිට නෑ ගෙවල්වලට ගියේ පරණ ඥති හිතවත්කම් අලුත් කරවමිනි.

“ශංකර්…. එන්නකෝ. හෝටලයේ මම තනියම.”

ඔහු ඇය වෙත පැමිණියේය. සුදර්ශනී වොඩ්කා බෝතලයක්‌ද කඩා උගුරක්‌ බී මස්‌ කෑල්ලක්‌ද ගිල දැමුවාය. ඇය මත්පැනට ලොල් වූයේ මීට කලකට පෙර සිටය. හෝටල් කාමරයේ ඇඳ මත දිගාවී අඩියක්‌ ගසා ඇය ලැබූයේ අසීමිත සතුටකි.

ශංකර් හෝටලයට ආවේ ඔය අතරය. බීර බෝතලයකින් සෑහීමට පත් වූ ශංකර්… ඇයත් සමග සතුටු වූයේ අලුත බැඳපු, යුවළක්‌ මධුසමය ගත කරනවාට නොදැවෙනි ලෙසිනි.

“ශංකර්… මට ඔයාව හැමදාටම ඕනේ.” මධුවිතෙන් මත්ව, රාගයෙන් රත්ව සිටි ඇයට ඉබේටම කියෑවිණි.

තනි තටුවෙන් පියාඹමින් සිටි ශංකර්ට තටු දෙකක්‌ම ලැබුණා සේ දැනිණි.

ජීවිතයේ මහ පාළුව ඇයගේ පැමිණීමෙන් පසු මැකෙමින් තිබිණි.

“අපි බඳිමු” ඔහු කීවේ ඇයව තව තවත් ග්‍රහණයට නතුකර ගනිමිනි.

ශංකර්ගේ ඥතීන්ට මේ බව ආරංචි විය.

“උඹට පිස්‌සුද ඔය ගෑනිව කරේ එල්ලගන්න” ඔහුගේ ඥතීහු බැනවැදුනේ වරක්‌ දෙවරක්‌ නොවේ.

“ජනවාරි 31 වැනිදා අපි බඳිමු.” සුබ වේලාවක්‌ බැලූ ශංකර් කීවේය. ඥතීහු ඒ බව දැනගත් වහාම ශංකර් හමුවී බැනවැදී ඒ වැඩේ නොකරන ලෙසට බල කළේය.

ඔය ගෑනි බේබද්දෙක්‌. දෙපාරක්‌ම දික්‌කසාද වෙච්ච ගෑනියක්‌. ඔබට ඔය ගෑනි නැතිවට හොඳ ගෑනියක්‌ ගන්න බැරිද? ශංකර්ගේ ද සිත සසල විය.

විවාහ වන දිනය කල් ගියේ එනිසාය.

“අපි බඳිමු. බැඳලා එංගලන්තෙට යමු” ඇය පෙරැත්ත කළාය.

පෙබරවාරි 19 වැනිදා මොවුන් විවාහ වූයේ ඇයගේ මවගෙත්, තවත් ඉතා සමීප මිතුරන් දෙතුන් දෙනකුගේත් සහභාගිත්වයෙනි.

පෙබරවාරි 23 වැනිදා සුදර්ශනීගේ මව යළි එංගලන්තය බලා පියාසර කළේ “දුවේ දෙන්නම එහෙනම් ඉක්‌මනට එහෙට එන්න” කියමිනි.

අලුත විවාහ වූ දෙදෙනා හෝටල් කාමරයට වී ඇති තරම් සතුටු වූහ.

වොඩ්කා බෝතල් පිටින් හිස්‌ කරන ඇය වෙරි වූ පසු ඇඳුම් උනාදමා, අතපය හොඳ හැටි දික්‌කර සැහැල්ලුවෙන් සයනේ නිදන්නට වූවාය. එලෙස සැහැල්ලුවෙන් සිටින්නට ඕ කලක සිටම පුරුදු වී සිටියාය.

පසුගිය පෙබරවාරි 23, 24, 25 යන දිනවල ඒ කාමරය වසාගෙන දෙදෙනා එහිම රැඳී සිටියහ.

“don’t disturb” ලෙස සඳහන් බෝඩ් එක කාමරයේ දොරේ නිතරම එල්ලා තිබූ නිසා හෝටල් සේවකයන් ඒ අසලටවත් ගියේ නැත.

එළැඹුණේ 28 වැනිදාය. කාමරය අසලින් ගිය හෝටල් සේවකයකුට දුගඳක්‌ දැනිණි. ඒ දුගඳ ආවේ සුදර්ශනීලා සිටි කාමරයෙන්ය. එම සේවකයා වහාම ඒ පිළිබඳ හෝටල් කළමනාකරුට දැන්වීය. විමසා බැලූ විට පසුගිය දින තුන හතරකින් ඒ කාමරයෙන් කිසිදු ඇනවුමක්‌ද ලැබී නැත. කොල්ලුපිටිය පොලිසියට කතා කළ හෝටල් කළමනාකාරිත්වය, පොලිසිය ගෙන්වා කාමරය හැර බැලීය.

මුළු කාමරයම කුණු ගඳින් පිරී ගොසිනි. ඒ වන විට සුදර්ශනී යහනේ උඩුකුරුව මැරී වැටී සිටියේ නිරුවතිනි. දින දෙකක්‌ තුනක්‌ම මළ සිරුර එහි තිබූ නිසා එය කුණු වී ඕජස්‌ ගලමින් තිබිණි.

කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මංගල දෙහිදෙනිය මහතාත්, අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක දුමින්ද කුලසේකර මහතාත් සිද්ධිය පිළිබඳ සියලු සාක්‍ෂි සටහන් කර ගන්නට දක්‍ෂ නිලධාරීන් යෙදවූහ.

සුදර්ශනී විවාහ කරගත් ශංකර් ආගිය අතක්‌ නැත.

පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළේ අතුරුදන් වූ ශංකර් සෙවීම අරඹමිනි. කටුනායක ගුවන්තොටුපළට කතාකර, ශංකර් රටින් පිටවෙන එක නතර කළේය. කාමරයේ තිබූ ලියකියවිලි කිහිපයක්‌ ද පොලිසිය සොයා ගත්තේය. ශංකර් හෝටලයට ලබාදී තිබූ ජාතික හැඳුනුම්පත් අංකය මගින් ශංකර්ගේ ලිපිනය සොයාගත් පොලිසිය ශංකර්ගේ ඥතීන්ගෙන් ප්‍රශ්න කළේ ඔහු පිළිබඳ තොරතුරු විමසමිනි.

මංගල දෙහිදෙනිය මහතා මෙවැනි අභිරහස්‌ සිද්ධි පිළිබඳ සෙවීමට හැකි අත්දැකීම් සහිත පොලිස්‌ නිලධාරියෙකි. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර මහතාගේ අධීක්‍ෂණය හා උපදෙස්‌ මත සැකකරු කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික රෝහලක්‌ අසලදී 01 වැනිදා පෙරවරුවේ අත්අඩංගුවට ගැනිණි.

“එයා බැඳලා එංගලන්තයට යමු කියලා කිව්වා. මම කිව්වා මට මෙහෙ බිස්‌නස්‌ නතර කරලා එංගලන්තයට එන්න බෑ කියලා. එයා මට බැන්නා. බැරිනම් තමුසෙ ඉන්නවා මම යනවා යන්න. එයා එහෙම කියද්දී මට කේන්ති ගියා. කොට්‌ටේ අරන් මූණට තියලා තදකළා. එයා කෑගහන්න හැදුවා. ඊට පස්‌සේ පිහිය අරන් ගෙල කපා දැම්මා”යි සැකකරු පොලිසිය හමුවේ කියා සිටියේය.

මෙම සිද්ධිය වී ඇත්තේ 26 වැනිදා පෙරවරුවේය. 25 වැනිදා රාත්‍රියේ දෙදෙනාම ඇති පදමට වෙරි වී නින්දට ගොස්‌ ඇත. 26 වැනිදා උදැසන ද ඇය වොඩ්කා හිස්‌ කළේ හිස්‌බඩමය. බහින්බස්‌වීම ඇති වී ඇත්තේ එවිටය. සැකකරු පවසන පරිදි ඝාතනය සිදුකිරීමෙන් පසු රෙද්දකින් ඇය ඔතා හෝටලෙන් ඔහු පිටවී ගොස්‌ ඇත. හෝටලයේ කැමරා පද්ධතිවල සැකකරු පලා යන අයුරුද සටහන් වී ඇත.

ශංකර්ගේ කලින් විවාහයේ බිරිඳ හා දරු තිදෙනා මියගියේ හදිසි අනතුරකින්ද? නොඑසේ නම් එයත් ඝාතනයක්‌ද? පොලිසියට සැක පහළ වී ඇත.

ප්‍රේමය මොන තරම් සංවේදී දෙයක්‌ද. ප්‍රේමය නම් සඳ එළිය සේ අචින්තයි, පාරිශුද්ධයි, සුරම්‍යයයි කියා කවීහු ලියා ඇත. ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස්‌ ගසකට සමාන කරන කවීහුද වෙති. එය මොන තරම් සත්‍යයක්‌ දැයි සිතේ.

සුදර්ශනීලා, ශංකර්ලා පොඩි දරුවන් නොවේ. ජීවිතයේ අත්දැකීම් සමුදායක්‌ විඳි මැදිවියට ළංවූ අයය. ඒ අය රහමෙර මත්පැන් වලින් දූෂ්‍ය වී රාගයෙන් අන්ධව මිනීමරා ගැනිල්ල මොන තරම් පහත්ද?

ඡායාරූපය – නිශාන්.එස්‌.ප්‍රියන්ත
ශිරාන් රණසිංහ
හේමන්ත රන්දුණු