දැක්‌කොත් බුවා නොදැක්‌කොත් එබුවා ජාන සම්පත් සොරකමේ ගිය විදෙස්‌ නඩය කොටු වූ හැටි

Spread the News

දැක්‌කොත් බුවා නොදැක්‌කොත් එබුවා
ජාන සම්පත් සොරකමේ ගිය විදෙස්‌ නඩය කොටු වූ හැටි
source:

පසුගිය පෙබරවාරි මස 24 වැනිදා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයත් එහි නීති අංශයත් එක්‌ව සුවිශේෂ වැටලීමක්‌ සිදු කළේය. ඒ පුත්තලමටත් එපිටින් පිහිටි කල්පිටිය අර්ධද්වීපයේ එක්‌තරා සංචාරක හෝටලයක්‌ කේන්ද්‍රකර ගනිමිනි. මෙහි අරමුණ වූයේ මෙරට වටිනා ජාන සම්පත් (ඩී. එන්. ඒ. සාම්පල් සහ සජීවී සත්ත්ව නිදර්ශක) සොරකමේ යෙදී පසුදා එනම් 25 වැනිදා අළුයම මෙරටින් පිටව යැමට නියමිතව සිටි විදෙස්‌ පිරිසක්‌ සුපරික්‍ෂා කිරීම සහ අවශ්‍ය වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයට ලැබුණු ඔත්තුවක්‌ මත ක්‍රියාත්මක වූ එම නිලධාරීහු මෙම ජාන සොරුන් අල්ලා ගැනීමේ මෙහෙයුම සැලසුම් කළහ. එහිදී ඔවුන් කරුණු අනාවරණය කරගනු ලැබුවේ සිංහරාජය, හග්ගල, නුවරඑළිය ඇතුළු මෙරට ජෛවවිවිධත්වයෙන් පොහොසත් ප්‍රදේශ රැසක මෙම විදෙස්‌ පිරිස සංචාරය කර ඇති බව හා ඔවුන් පරිසර ක්‍රියාකාරී සංවිධානයක්‌ ලෙස වාහන හා කැමරා ආම්පන්න ඇතුළුව කණ්‌ඩායමක්‌ සේ පෙනී සිටි බවයි. මෙරට කඳවුරු ආම්පන්න සේවා සැපයීමේ ප්‍රකටම ආයතනයක්‌ මෙම විදෙස්‌ පිරිසට මාර්ගෝපදේශක කාර්යයේ සහ නවාතැන් පහසුකම් සම්බන්ධීකරණ කටයුතු අතින් සහයෝගය ලබාදී තිබිණි. මෙවන් තොරතුරු ඔස්‌සේ හඹාගිය වනජීවී වැටලීම් ඒකකය, ඒ වන විට ජාන සම්පත් මංකොල්ලයට සම්බන්ධ විදෙස්‌ කණ්‌ඩායම කල්පිටිය ප්‍රදේශයේ සංචාරක නවාතැන්පළක රැඳී සිටින බවට තොරතුරු ලබාගත් අතර 25 වැනිදා අළුයම මෙම කණ්‌ඩායමේ කිහිපදෙනකු රටින් පිටව යන බවටද නිලධාරිහු කරුණු අනාවරණය කර ගත්හ. ලැබී තිබුණු තොරතුරු අනුව මෙරට දුලබ හා සංරක්‍ෂිත ශාඛ හා සත්ත්වයන්ගේ ජාන සම්පත් මොවුන් එකතු කරගෙන ඇති බවට ඒ වන විටත් වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිණි.

ලැබී තිබුණු තොරතුරු හා ඉතා සූක්‍ෂම ලෙස සිදුකරන ලද පරීක්‍ෂණ කටයුතු අනුව අදාළ විදෙස්‌ කණ්‌ඩායම් සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත බවද බෙල්ජියම් ජාතිකයන් දෙදෙනකු, ජර්මානුවන් දෙදෙනකු, ඔස්‌ටේ්‍රලියානුවෙකු, වෙනිසියුලානු ජාතිකයකු සහ එක්‌ ඇමෙරිකානුවකු මේ කණ්‌ඩායමේ සිටින බවද දැනගෙන සිටි වැටලීම් ඒකකය තවත් සුවිශේෂ කාරණයක්‌ද අනාවරණය කරගත්හ.

එනම් මෙම කණ්‌ඩායමට අයත් එක්‌ පුද්ගලයකු 25 වැනිදා අළුයම දිවයිනෙන් පිටත්ව යන බවයි ඒ. ඒ අනුව රාත්‍රිය පුරා සුපරික්‍ෂාවෙන් සිටි වනජීවී නිලධාරීහු කණ්‌ඩායම වශයෙන් බෙදී අලුයම දෙකට පමණ පුත්තලම, කල්පිටිය පාරේ ආලංකුඩා මාර්ග බාධකයේදී එක්‌තරා වාහනයක්‌ නවතා සුපරීක්‍ෂා කළහ. මෙහිදී මෙම පුද්ගලයා ගෙන යන්නට උත්සාහ දරන ජාන සම්පත් අත්අඩංගුවට ගැනීම නිලධාරීන්ගේ අරමුණ වු නමුත් ඇමෙරිකානුවකු වූ ඔහුගෙන් ප්‍රශ්න කෙරුණේ මත්ද්‍රව්‍ය පිළිබඳ වය. ඒ වැටලීම පිළිබඳ තොරතුරු අනෙක්‌ සාමාජිකයන්ට සන්නිවේදනය වීම වැළකීම සඳහාය. එහෙත් පූර්ණ සෝදිසියක්‌ සිදුකළද, ඔහු ළඟ හෝ අදාළ රියේ සැකකටයුතු දෙයක්‌ සොයා ගැනීමට වනජීවී නිලධාරීහු අසමත් වූහ. එනිසා ඇමරිකානුවා නිදහස්‌ව ගියේය. එහෙත් මේ වන විටත් තවත් කණ්‌ඩායමක්‌ අනෙකුත් සාමාජිකයන් ලැගුම් ගෙන සිටි සංචාරක හෝටලය ආවරණය කර තිබිණි. අනෙකුත් සංචාරක පිරිස්‌ හට කිසිදු අවහිරයක්‌ බාධාවක්‌ හෝ වෙනත් බියක්‌ ඇති නොවන පරිදි තමන් විසින් ටක්‌කෙටම දැනගෙන සිටි හෝටල් කාමර අංක අනුව අදාළ කාමර වලට ගොස්‌ ඒවා පිරික්‌සන්නට ඉන්පසු නිලධාරීහු ක්‍රියා කළහ. ඒ අනුව ප්‍රථමයෙන්ම වැටලීම් කණ්‌ඩායමක්‌ ඇතුළු වූයේ බෙල්ජියම් ජාතික එමානුවෙල් නම් වූ පිය පුතු රැඳී සිටි කාමරය වෙතය. පාන්දර පහට පමණ සිදු කළ මෙම මෙහෙයුමේදී මෙම විදෙස්‌ සංචාරක පිරිස ලංකාවට ගෙන ඒම සඳහා චාරිකාව සංවිධානය කළ මෙම පළමු හා දෙවැනි චූදිත පිය පුතු යුවළගේ කාමරයෙන් ඩී. එන්. ඒ. සාම්පල් ලබාගත් පරීක්‍ෂණ නල හා ඩී.එන්.ඒ. සාම්පල් සොයා ගන්නට නිලධාරීන්ට හැකි වූ අතර උරගයින් අල්ලන්නට භාවිත කළ විශේෂිත උපකරණද ඔවුන් ළඟ තිබී අල්ලා ගන්නා ලදී.

ඉන්පසු තෙවැනි චූදිත වෙනිසියුලා ජාතික එඩ්ගාර් අන්තෝනියෝ සන්තකයේ තිබී ආරක්‍ෂිත උභය ජීවීන් දෙදෙනකු වන පුල්ලි මැඩියා සහ බඩ සුදු මොට හොඹු මැඩියාගේ සජීවී නිදර්ශක දෙකක්‌ද, සිංහරාජයෙන් ගලවාගෙන එන ලද තවත් ආරක්‍ෂිත ශාඛ විශේෂ 7 ක සජීවී නිදර්ශකද අත්අඩංගුවට ගනු ලැබිණි.

සිව්වන චූදිත ජර්මන් ජාතික රෝලන් ෂොබෙල් සන්තකයේද සජීවී උභය ජීවියකු වූ අතර, උභය ජීවීන් අල්ලන්නට භාවිත කරන උපකරණයක්‌ද ඔහු සතු විය. පස්‌ වැනි සැකකාර ජර්මානුවා වූ බර්නාඩ් ද රෝලන් අනුව යමින් සජීවී උභය ජීවියකු හා උභය ජීවීන් අල්ලන උපකරණයක්‌ සතුව සිටියේය.

සයවැනි චූදිත ඔස්‌ටේ්‍රලියානු ජාතික හා එරට සත්ව උද්‍යානයක සේවයේ යෙදෙන බව කියන පශු වෛද්‍ය ඩේමියන් ෂේන් අත්අඩංගුවට පත් වූයේ ගරා කටුස්‌සකුගේ සජීවී නිදර්ශකයක්‌ සහ උරගයන් අල්ලන උපකරණයක්‌ද සමගිනි.

මීට අමතරව ඔවුන්ගේ දත්ත ගබඩා කර තිබූ පරිගණක උපාංගද, පොත්පත් යන ආදියද නඩු භාණ්‌ඩ ලෙස අත්අඩංගුවට ගනු ලැබිණි. එසේම ඔවුන්ගේ කැමරා උපකරණ පරීක්‍ෂාවේදී මෙරට වනාන්තර තුළ හා ඇතැම් නවාතැන්වල හිඳ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත සතුන් සමග ගත් ඡායාරූප රැසක්‌ද පිටපත් කර ගැනීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

මේ අනුව ලැබී තිබුණු තොරතුරු හා මෙම කණ්‌ඩායමේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳ කරුණු රැසක්‌ අනාවරණය කරගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවට හැකිවිය. ඒ අනුව නීති විරෝධීව මෙසේ ශාඛ සහ සත්ත්ව නිදර්ශක මෙන්ම ඩී. එන්. ඒ. කොටස්‌ ළඟ තබාගැනීම මත පිරිස අත්අඩංගුවට ගනු ලැබීය. මේ අතර අදාළ සැකකරුවන් විසින් තමන් අත්අඩංගුවෙන් බේරා ගන්නා ලෙස මෙරට ඇතැම් සත්ත්ව විද්‍යා පර්යේෂකයන්ට විද්යුත් ලිපි (ඊ-මේල්) යවා තිබූ බවද දැන් අනාවරණය වී ඇත.

කෙසේ හෝ අත්අඩංගුවට ගනු ලැබූ විදෙස්‌ කණ්‌ඩායම සමග නඩු භාණ්‌ඩ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

ඔවුන්ගේ කටඋත්තර පරිදි නීති විරෝධී මෙම ජාන සම්පත් සොරකමට තමන් වැරදිකරුවන් බව මෙම පිරිස පුත්තලම අතිරේක මහෙස්‌ත්‍රාත් ධම්මිකා ඉලංගසිංහ මිය ඉදිරියේදී පිළිගත් අතර පසුගිය 29 වැනිදා හාර ලක්‍ෂ තිස්‌පන්දහසක දඩයකට යටත් කර ඔවුන් නිදහස්‌ කරනු ලැබිණි.

මෙම ජාවාරමට මෙරට ඇතැම් පර්යේෂකයන්ගේද සහාය ලැබී ඇති බවට විශ්වාස කරන අතර ඒ පිළිබඳව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් කරුණු සොයමින් සිටී.

වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ උපදෙස්‌ පරිදි වනජීවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (නීති ක්‍රියාත්මක කිරීම්) රංජන් මාරසිංහ, වන සත්ත්ව අඩවි ආරක්‍ෂක – ඩී. එම්. වීරසිංහ, හදිසි වැටලීම් අංශයේ ස්‌ථානාධිපති වන සත්ව අඩවි ආරක්‍ෂක ආර්. ඒ. සමරනායක, අඩවි සහකාර ඩබ්. එන්. ප්‍රේමසිරි, වන සත්ව නියාමක වරුන් වන ජී. ආර්. රත්නායක, ඩී. උපුල් විඡේරත්න, එන්. එස්‌. සේනාධීර සහ එස්‌. පී. සූරියආරච්චි, පී. එන්. පී. වික්‍රමසිංහ යන වන ජීවී නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.

ජගත් කණහැරආරච්චි