ඇන්ටනොව් යානා දෙකක්‌ බිම දැමූ කොටි පැටව් දෙන්නා!

Spread the News

ඇන්ටනොව් යානා දෙකක්‌ බිම දැමූ
කොටි පැටව් දෙන්නා!

source:

විරාඡ් තුරේරාජ් සහ තුරෙයිරාජා සුබ්‍රමනියම්… මේ මීට වසර දහසයකට පමණ ඉහතදී 17 හා 18 වැනි වියේ පසුවූ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය වෙනුවෙන් එල්ටීටීඊයට එක්‌ව සිටි උතුරේ කොටි පැටව් දෙදෙනෙකි. අද වන විට වැඩුණු මිනිසුන් වී සිටින ඔවුන්ගේ වයස පිළිවෙළින් 33 ක්‌ හා 34 ක්‌ පමණ වේ

එල්ටීටීඊයට එක්‌ වෙද්දී විරාඡ් යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටියේය. සුබ්‍රමණියම්ගේ පදිංචිය මුලතිව් ප්‍රදේශය වී තිබිණි. එල්ටීටීඊය මේ බිමෙන් අතු ගා දැමුණු ඉකුත් වන්නි මෙහෙයුමේ අවසානය දක්‌වාම විරාඡ් හා සුබ්‍රමණියම් එල්ටීටීඊයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකුවද සිටියහ.

එහෙත් වන්නි මෙහෙයුමේ අවසන් මොහොතේ ආරක්‍ෂක අංශ ඇසටද වැලි ගසමින් සාමාන්‍ය වැසියන් අතරට වැදී අසරණයන් සේ තමන්ගේ මුල් ගම් බිම් වෙත පැමිණි පදිංචි වන්නටද මොවුන් දෙදෙනා දක්‍ෂයෝ වූහ.

“සර් යුද්දේ කාලේ එල්ටීටීඊ එකේ සීක්‍රට්‌ යුනිට්‌ එකක හිටිය දෙන්නෙක්‌ දැන් ෂේප් එකේ යාපනේටයි, මුලතිව්වලටයි ඇවිත් ඉන්නවා.. දෙන්නවම ගත්තොත් සර්ලට වැදගත් තොරතුරු ගොඩක්‌ හොයා ගන්න පුළුවන් වෙයි.

කලක්‌ එල්ටීටීඊයේ සිට අද පුනරුත්ථාපනය ලබා ගොස්‌ යාපනයේ සිටින හිටපු කොටි සාමාජිකයකු වෙතින් ඉකුත් දිනෙක කොළඹ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ උසස්‌ පොලිස්‌ නිධාරියකු වෙත දුරකථන ඇමතුමක්‌ ලැබෙන්නට වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙසිනි.

“මොකක්‌ද එයාලා හිටිය එල්ටීටීඊ යුනිට්‌ එක.. තොරතුර ලබා දුන් පුද්ගලයාගෙන් උසස්‌ පොලිස්‌ නිලධාරියා පෙරලා විමසන්නට වූයේ එහි ඇති වැදගත්කම අවබෝධ කර ගන්නා අදහසිනි.

මෙහෙමයි සර්.. සර්ලා එයාලව අරගන්න.. එතකොට දෙන්නම කියයි ඒ යුනිට්‌ එක මොකක්‌ද කියලා.. පොලිස්‌ නිලධාරියාගේ ප්‍රශ්නයට එසේ පිළිතුරු දුන් හිටපු කොටි සාමාජිකයා අවසානයේ පෙරකී කොටි දෙදෙනා සිටින ඉසව්ව පිළිබඳවද පැහැදිලිව තොරතුරු ලබා දී දුරකථනය විසන්ධි කරනු ලැබීය.

මේ තොරතුර ලැබුණේ හිටපු කොටි සාමාජිකයකුගෙනි. එහෙයින් එල්ටීටීය පිළිබඳ බොහෝ අත්දැකීම් ඇති ත්‍රස්‌ත විමර්ශන ඒකකය මෙම තොරතුරේ සැඟවුණු වැදගත්කමක්‌ තිබිය හැකි බවට නිශ්චය කර ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක්‌ ඇරඹීමට තීරණය කරනු ලබන්නේ දෙවරක්‌ නොසිතමිනි.

අවසානයේ ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ විශේෂ නිධාරින් කණ්‌ඩායමක්‌ යාපනයට හා මුලතිව් ප්‍රදේශවලට යමින් විරාඡ් හා සුබ්‍රමනියම් අත්අඩංගුවට ගන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. පසුව අත්අඩංගුවට ගත් විරාඡ් හා සුබ්‍රමනියම් කොළඹට ගෙනවිත් ප්‍රශ්න කිරීමට ත්‍රස්‌ත විමර්ශන නිලධාරිහු පියවර ගනිති.

අරුමයකි මේ ප්‍රශ්න කිරීමේදී මෙතෙක්‌ කිසිවකුත් අනාවරණය කර නොතිබූ එල්ටීටීඊයේ තවත් සුපිරි බළ ඇණියක තොරතුරු විරාඡ් සහ සුබ්‍රමනියම් වමාරන්නට පටන්ගන්නේ ත්‍රස්‌ත විමර්ශන නිලධාරින්ද අන්ද මන්ද කරවමිනි.

“සර්.. අපි ඉස්‌කෝලේ යන කාලේ සර් එල්ටීටීඊ එකට බැඳුණේ.. ඒ දවස්‌වල මුලතිව් පුදුමාතලන් පැත්තේ කඳවුරක අපි 250 ක්‌ විතර මුලින්ම පුහුණු වුණා. ඒ පුහුණුව මාස හයක්‌ විතර තිබුණා. ඒ අතරේ තමයි දවසක්‌ අපි පුහුණු වෙච්ච කෑම්ප් එකට එල්ටීටීඊ එකේ ෆයිටින් ලීඩර් කෙනෙක්‌ විදිහට හිටිය කර්නල් ගඩාබි ඇවිත් අපි අතර හිටපු හොඳම ෂූටර්ලා දහසය දෙනෙක්‌ තෝරගෙන මන්නාරමට අරගෙන ආවේ.

එහෙම මන්නාරමට ගෙනාවට පස්‌සේ ගඩාබි යටතේ අපිට බර අවි පුහුණුවක්‌ දෙන්න ගත්තා. ඒ පුහුණුව අතරතුරේ ගඩාබිගේ නියෝගයකට අපිව එල්ටීටීඊ එකේ තිබුණ පාණ්‌ඩියන් යුනිට්‌ එකටත් ඇතුළු කළා. මන්නාරමේ පුහුණුවේදී ගඩාබි අපිට මිසයිල විදින්නත් පුරුදු කළා.

මාස තුනක්‌ විතර තිබුණ ඒ පුහුණුවෙන් පස්‌සේ ගඩාබි අපේ අතට ස්‌ටින්ජර් මිසයිල් ලොන්චර් දීලා අපි දහසය දෙනාව දෙන්නා ගණනේ කණ්‌ඩායම් අටකට බෙදලා මන්නාරමේ වෙඩිතල්තිව්වල තිබුණ මුහුදු කොටි කෑම්ප් එකේ ඉඳන් බෝට්‌ටුවකින් විල්පත්තු කැලේට එව්වා..

එතනදී එල්ටීටීඊ එකේ නායකයන් ඇවිත් අපිට උපදෙස්‌ දුන්නා හමුදාවේ සෙබළුන් අරගෙන යන ගුවන් හමුදා යානා නිසා එල්ටීටීඊ එකට ගොඩක්‌ පාඩුයි ඒවට ගහන්න කියලා..

අපි වෙඩිතල්තිව් ඉඳන් විල්පත්තුවට ආවේ ධීවරයන් වගේ වෙස්‌ වලාගෙන.. අපි ආපු බෝට්‌ටුව පැද්දේ වෙඩිතල්තිව්වල හිටිය ධීවර රස්‌සාව කරන වයසක සීයා කෙනෙක්‌.. අපි විල්පත්තුවේ ඉන්නකම්ම සතියකට සැරයක්‌ අපිට කෑම අරගෙන අවේත් ඒ වයසක සීයා..

ඔහොම ඉන්න අතරේ තමයි 1998 ජනවාරි මාසේ වගේ දවසක අපි දෙන්නා එකතු වෙලා මුලින්ම විල්පත්තු කැලේ උඩින් ගිය ගුවන් හමුදාවේ එම්. අයි. 24 චොපර් එකකට මිසයිල් ෂෝට්‌ එකක්‌ ගැහුවේ.. ඒත් එදා ඒක වැදුණේ නැහැ..

එදා අපේ ඉලක්‌කේ වැරදුණාම ප්‍රභාකරන්ට හොඳටම කේන්ති ගියා. පස්‌සේ ප්‍රභාකරන් අපිව ආයෙත් වන්නියට ගේන්න කියලා නියෝග කරලා කරපු වරදට අපි දෙන්නව සුමාන දෙකක්‌ “ෂෙල් වහලා” හිරකරලා තිබ්බා.

ඒත් එහෙම හිරකරලා ඉන්න අතරේ දවසක්‌ ගඩාබි ඇවිත් ප්‍රභාකරන්ට කියලා අපි දෙන්නව නිදහස්‌ කරගෙන ආයෙත් පුරුදු විදිහටම වෙඩිතල්තිව් ඉඳන් ධීවරයෝ වගේ විල්පත්තු කැලේට එව්වා. ඒ එව්වෙත් ගුවන් හමුදාවේ ෆ්aලයිට්‌වලට ගහන්න කියලා.. එහෙම ඉන්න අතරේ තමයි අපි දෙන්නට දවසක්‌ වෝකිටෝකි සෙට්‌ එකෙන් වන්නියෙන් තොරතුක්‌ ලැබුණේ පලාලි ඉඳන් එන ගුවන් යානයක්‌ මන්නාරම පැත්තෙන් එනවා කියලා..

එදා අපි දෙන්නා සෙට්‌ වෙලා මන්නාරම මුහුද පැත්තෙන් ඒ ෆ්ලයිට්‌ එක එනකොට ඒකට මිසයිල් එකක්‌ ගැහුවා.. එදා අපේ ඉලක්‌කේ හරියටමහරි ගියා.. අපි ගහපු ෂොට්‌ එකෙන් ෆ්ලයිට්‌ එක පුපුරලා මුහුදට වැටුනා..

විරාඡ් සහ සුබ්‍රමණියම් කියන මේ වකවානුවේ උතුරු යුද බිම වූයේ මොහොතක්‌ පාසා ගිනියම් වෙමිනි. එසේ තිබියදී විරාඡ් සහ සුබ්‍රමණියම් අද වමාරන ඔවුන්ගේ පළමු නිවැරදි ඉලක්‌කය වූ ගුවන් යානය හරියටම 1998 වසරේ සැප්තැම්බර් මස 29 වැනිදා දහවල් 1.40 ට යාපනය පලාලි ගුවන් තොටුපළින් ගුවන්ගත වූයේ කොළඹ බලා පියාසර කිරීමේ අරමුණිනි.

එය ලයන් එයාර් සමාගට අයත් බී 25 ඇන්ටනොව් වර්ගයේ එකක්‌ විය. සතුරා සමග උතුරේ සටන් වැද ලද නිවාඩුවකට නිවෙස්‌ බලා පැමිණෙමින් සිටි හමුදා සමාජිකයන් කිහිප දෙනකු සහ ඒ දිනවල යාපනය – කොළඹ ගොඩබිම් මාර්ගයක්‌ නොවූයෙන් යාපනයේ සිට කොළඹට පැමිණෙන සාමාන්‍ය වැසියන් පිරිසක්‌ද ඇතුළු පුද්ගලයන් පනස්‌ පස්‌ දෙනකු යානයේ ගමන් කරමින් සිටියහ.

එහෙත් එදා පලාලිවලින් පිටත් වූ මේ යානාව ගමන් ගත්තේ මන්නාරම මුහුදු තීරය දක්‌වා පමණි. මන්නාරම මුහුදු තීරයේදී හිටි හැටියේම එය අතුරුදන්ව ගියේ සියලු බලධාරීන් මවිතයෙන් මවිතයට පත් කරවමිනි.

අවසානයේ එකල සිටි ආරක්‍ෂක බලධාරිහු අංශ ගණනාවක්‌ ඔස්‌සේ ඒ පිළිබඳ පරීක්‍ෂණ කරනු ලැබීය. කෙසේ වෙතත් කෝටි ගණනක්‌ වටිනා ගුවන් යානයක්‌ සමග මිල කළ නොහැකි මිනිස්‌ ජීවිත 55 ක අවසානය සටහන් කෙරුණු එම සිදු වීමේ නිමිත්ත කාර්මික දොaෂයක්‌ යෑයි නිගමනය කෙරෙමින් ඒ සියල්ල අවසානයට පත් කෙරුණා අපේ මතකයේ ඇත්තේය.

මෙසේ ඒ අතීතයේදී විරාඡ් හා සුබ්‍රමණියම් එක්‌ව පළමු ගුවන් යානය බිම දැමීමෙන් පසු පසු ඔවුන්ගේ ඊළඟ ඉලක්‌කය කුමක්‌ වූයේද?

අපි එදා ඒ ගුවන් යානයට ගැහුවායින් පස්‌සේ ප්‍රභාකරන් අපිට සෙට්‌ එකෙන් කතා කරලා හරියට සුබ පැතුවා.. අපි වැඩේ හරියට කරපු එකට ප්‍රභාකරන් ගොඩක්‌ සතුටු වුණා.. ඔය විදිහට අපි අවුරුදු දෙකක්‌ විතර විල්පත්තු කැලේ හිටියා..

සමහර දවස්‌වලට කෑම අරගෙන එන බෝට්‌ටුවෙන් වෙඩිතල්තිව් ගිහින් ආයෙත් විල්පත්තුවට ආවා. එහෙම ඉඳලා තමයි අපි දෙන්නා ඊට අවුරුදු එකහාමාරකට විතර පස්‌සේ දවසක පලාලි ඉඳන් අනුරාධපුරේට එන්න ආපු ගුවන් හමුදාවේ තවත් යානයකට ඇටෑක්‌ කළේ.

ඒ ඇටෑක්‌ එකත් හරියටම හරි ගියා.. එදා අපි ගහපු ෂොට්‌ එකට ගුවන් හමුදා යානය ගිනි අරගෙන බිමට වැටුණා.. ඒ සිද්ධියත් එක්‌ක ප්‍රභාකරන් අපි දෙන්නටම වන්නියට එන්න කියලා විශේෂ පණිවිඩයක්‌ එව්වා..

එදා අපි දෙන්නා වන්නියට ගියහම ප්‍රභාකරන් හරියට සතුටු වෙලා අපිට වීර පදක්‌කම් දීලා එයත් එක්‌ක රෑ කෑමකුත් ගන්න ආරාධනා කළා.. ප්‍රභාකරන් දුන්න ඒ ඩිනර් එකට අපිත් එක්‌ක කර්නල් ගඩාබිත් හිටියා..

මොවුන් මේ අනාවරණය කරමින් සිටින්නේ ඉකුත් 2000 වසරේ මාර්තු 30 වැනිදා පලාලි සිට අනුරාධපුර ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබියදී ශ්‍රාවස්‌තිපුර කිරිවැව ප්‍රදේශයේදී ගිනි ගෙන කඩා වැටුණු ගුවන් හමුදා ඇන්ටනොව් යානයේ තොරතුරුය.

එහෙත් මෙම ගුවන් අනතුරේදීද විමර්ශන පැවැත්වූ බලධාරින් අවසානයට කියා සිටියේ එම ගුවන් හමුදා යානය කඩා වැටුනේද කාර්මික දොaෂයක්‌ හේතුවෙන් බවකි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විරුවන් 44 දෙනකු රැගෙන පලාලිවලින් පිටත් වූ එම යානය මන්නාරම මුහුදු තීරය ඔස්‌සේ පැමිණි විල්පත්තුව රක්‍ෂිතය අහසේ ගමන් කරමින් අනුරාධපුර ගුවන් තොටුපළට ගොඩබැසීමට විනාඩි කිහිපයක්‌ තිබියදී මෙසේ ගිනිගෙන කඩා වැටී තිබිණි.

එහෙත් එදා පලාලිවලින් ගුවන්ගත වී මන්නාරම මුහුදු තීරයේදී අතුරුදන් වූ සහ අනුරාධපුරයේදී කඩා වැටුණු යානා දෙකට සිදු වූයේ කුමක්‌දැයි දැන් පැහැදිලිව අනාවරණය වී තිබෙන්නේය.

ඒ කොළඹ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය පසුගිය දිනවල සිදු කළ පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයේ තවත් සැඟවුණු මානයක තොරතුරු පසුගියදා විරාඡ් සහ සුබ්‍රමණියම් ත්‍රස්‌ත විමර්ශන නිලධාරින් හමුවේ අනාවරණය කර තිබුණේ එලෙසිනි.

මානව හිමිකම් ලේබලයෙන් ලෝකයා අප පෙළන්නට කටයුතු කෙරෙද්දී එදා මේ බිමේ තිබූ ප්‍රභාක්‌රන්ගේ ම්ලේච්ඡත්වයේ තොරතුරු තවමත් හෙළිදරව් වෙමින් තිබෙන්නේද මේ අකාරයෙනි.

.මෙසේ එක්‌ සැඟවුණු කතාවක්‌ අද කියා සිටින්නේන්නේ විරාඡ් හා සුබ්‍රමණියම් පමණකි. එහෙත් ඔවුන් කියනා පරිදි එදා එල්ටීටීඊයේ සටන් ප්‍රධානියකුව සිටි ගඩාබිගේ අණින් මිසයිල විදීමේ පුහුණුව ලබා විල්පත්තු කැලයට පැමිණි කොටි ගණන දහසයකි.

එසේ නම් විරාඡ්ලා සමග සිටි තවත් දහහතර දෙනකු අදටත් සිටින්නේ නිදැල්ලේය. ඔවුන් මිය ගොසින්ද? නැද්ද? එයද අභිරහසකි.

එසේම එකී ත්‍රස්‌තයන් එදා සිට විරාඡ්ලා සේම මේ බිම පුරා ම්ලේච්ඡත්වය වැපුරූ සැඟවුණු අවස්‌ථා තව කොතෙක්‌ තිබිය හැකිද? මිසයිල විදීම වැනි භිහිසුණු පුහුණුවක්‌ ලබා සිටින ඔවුහු හෙට දිනයේ කුමක්‌ සිදු කරනු ඇතිද?

අපට කෙනහිලිකම් කරන ලෝකයා සේම අද ඒ සමග එක්‌වී සිටින්නා වූ ඉන්දියාවද කලාපයේ රැකවරණය වෙනුවෙන් වහා සොයා බැලිය යුත්තේ ඒ ටික නොවන්නේද?

සමන් ගමගේ