Fri. Nov 22nd, 2024
Spread the News

මංකොල්ලකාර මානසිකත්වයකින්
ආණ්‌ඩු පිහිටුවීම සාර්ථක නොවන්නකි
source:
ජාත්‍යන්තර දේශපාලනය කෙසේ වෙතත් දේශීය දේශපාලනය නම් එන්න එන්නම ආණ්‌ඩුවට වාසිදායක වන බව පෙනේ. පසුගිය සති ගණනක්‌ මුළුල්ලේ ජාත්‍යන්තරයෙන් ලංකාවට එල්ල වූ තර්ජනය හමුවේ මේ රටේ විපක්‍ෂය ගැන ගැඹුරින් සිතා බැලීමට අපට අවස්‌ථාවක්‌ ලැබිණි. මුළු රටම හමුවේ පැවති මේ තර්ජනයට විපක්‍ෂයේ බොහෝ කොටස්‌ ප්‍රතිචාර දැක්‌වූයේ මේ ආණ්‌ඩුවේ ප්‍රශ්නයක්‌ මිස තමන්ගේ ප්‍රශ්නයක්‌ නොවන්නාක්‌ මෙනි. නමුත් ඉතිහාසයෙන් අපට කියාදී තිබෙන පාඩම වන්නේ පසුගියදා ජිනීවා නුවරදී ලංකාවට එල්ල වූ තර්ජනය කිසිදා එක්‌ ආණ්‌ඩුවකට එල්ල වූ තර්ජනයක්‌ නොව මුළු රටටම බලපෑ, දේශපාලන පක්‍ෂ හා කාලවකවානු නොතකන, සදාතනික ප්‍රශ්නයක්‌ බවයි. ඡේ. ආර්. ජයවර්ධන යනු මේ රටේ විවෘතවම දක්‍ෂිනාංශික, ධනවාදී බටහිරට ලැදි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ රාජ්‍ය නායකයකු විය. බ්‍රිතාන්‍යය ආජන්ටිනාව ආක්‍රමණය කළ අවස්‌ථාවේදී ඔහු සහයෝගය දැක්‌වූයේ බ්‍රිතාන්‍යයට මිසක්‌ ආජන්ටිනාවට නොවේ. මේ තරම් බටහිරට ලැදි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ ඡේ. ආර්. ජයවර්ධනටත් තර්ජන එල්ල වූයේ බටහිරින්මය.

බටහිර රටවල් ඡේ. ආර්. ජයවර්ධනට එරෙහිව යාමට ප්‍රධානම හේතුව 1983 ජුලි කලබල බවට ඇතැම් අය පවසනු ඇත. නමුත් එය සත්‍යයක්‌ නොවේ. බටහිර බලවතුන්ගේ මතය ලංකාවට එරෙහිව හැරීමට පටන්ගත්තේ ඊටත් කලින් සිටය. ලංකාවේ දෙමළ ත්‍රස්‌තවාදී සංවිධාන පමණක්‌ ඉතාමත්ම කුළුඳුල් අවස්‌ථාවක සිටි සමයකදී එනම් 1979 දී ඇමරිකාවේ මැසචුසෙස්‌ට්‌ ප්‍රාන්තයේ ආණ්‌ඩුකාරවරයා විසින් දෙමළ ඊළම් දිනයක්‌ පවා ප්‍රකාශයට පත් කරන ලදී. එපමණක්‌ නොව ලංකාවේ දෙමළ ඊළම් අරගලයට ඇමරිකාවේ ජනාධිපති සහයෝගය දැක්‌විය යුතු යෑයි කියමින් යෝජනාවක්‌ ද මැසචුසෙස්‌ට්‌ ප්‍රාන්ත ව්‍යවස්‌ථාදායකයේ සම්මත විය. මේ සියල්ල සිදුවූයේ ඇමරිකාවට පක්‍ෂපාතී වීම නිසාම “යෑන්කි ඩිකී” යන අනුවර්ත නාමයෙන් ද පිදුම් ලත් ඡේ. ආර්. ජයවර්ධන රට පාලනය කළ සමයේය. එකල ලංකාවේ විපක්‍ෂය නම් කථා කළේ යූ. එන්. පී. ආණ්‌ඩුව තනිකරම ඇමරිකාවේ ඔඩොක්‌කුවේ සිටින ආණ්‌ඩුවක්‌ මෙනි. නමුත් ඇමරිකාව විසින් ඔවුන්ගේ ගැත්තන්ට සැලකුවේ ඉහත දැක්‌වූ ආකාරයටය. 1980 ගණන්වල මුල සිටම ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාවට අවි ආයුධ විකිණීම පවා ප්‍රතික්‍ෂේප කළේය. අපට ආධාර වශයෙන් නොව මුදලටවත් අවි ආයුධ දීම ඔවුන් ප්‍රතික්‍ෂේප කළේය. කොටින්ම කියතොත් ඔවුන් මේ රටේ දෙමළ ත්‍රස්‌තවාදය නැගී ඒමට පෙර ලංකාවට විකිණූ යුධ උපකරණ වලට පවා උණ්‌ඩ විකිණීම ප්‍රතික්‍ෂේප කළේය. එකල ද

ඡේ. ආර්. ජයවර්ධනගේ බටහිර ගැති ආණ්‌ඩුවට ත්‍රස්‌තවාදී තර්ජනයට මුහුණදීම සඳහා චීනය, රුසියාව, පකිස්‌ථානය, ඊශ්‍රායලය මත ර¹ පැවතීමට සිදුවිය.

පසුගිය සති ගණනක්‌ මුළුල්ලේ ජිනීවාවල රඟදක්‌වන ලද නාටකය කිසිසේත්ම ලංකාවට අලුත් දෙයක්‌ නොවේ. මෙය දැන් අවුරුදු 30 කට වඩා වැඩි කාලයක්‌ මුළුල්ලේ රඟදැක්‌වෙන නාටකයේම අලුත් අනුවාදයක්‌ පමණි. 1980 ගණන්වල ඡේ. ආර්. ජයවර්ධනට එරෙහිව සිටි බලවේග වූයේ බටහිර බලවතුන් හා ඉන්දියාවයි. පසුගියදා ජිනීවා නුවරදී ලංකාවට එරෙහි වූයේද ඒ පිරිසමය. 1980 ගණන්වලදී ඡේ. ආර්. ජයවර්ධනගේ පිහිටට සිටියේ චීනය, රුසියාව, පකිස්‌ථානය වැනි රටවල්ය. පසුගියදා ලංකාවට උදවු කළේ ද ඒ පිරිසමය. මේ නිසා ලංකාව මුහුණදී ඇති තත්ත්වය එක්‌සත් ජාතික පක්‍ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සීමා වූවක්‌ නොව රටේ මොන ආණ්‌ඩුවක්‌ තිබුණත් ඒ හැමෝටම පොදු ප්‍රශ්නයකි. මේ නිසා ජිනීවා නුවර ප්‍රශ්න එන්නේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තියේ වරදක්‌ නිසාය. මටසිලිටි විදේශ ප්‍රතිපත්තියක්‌ නැති නිසාය. විදේශ කටයුතු හා මානව හිමිකම් විෂයන් බාරදී තිබෙන ඇමැතිවරුන්ගේ දුර්වලකම් නිසාය වැනි දේවල් කියමින් ඇඟ බේරාගෙන සිටීමට උත්සාහ දැරීම ඉතාමත්ම සදාචාර විරෝධී ආකල්පයක්‌ බව කිව යුතුය.

වර්තමාන විපක්‍ෂය කටයුතු කරන්නේ පාලක පන්තියක මානසිකත්වයකින් නොව අනුන්ගේ අතේ තිබෙන බලයක්‌ කෙසේ හෝ තමුන් සතුකර ගැනීමට මාන බලන දේශපාලන මංකොල්ලකරුවන් පිරිසක්‌ ලෙසින් යෑයි මට සිතේ. පාලක පන්තියක මානසිකත්වයකින් කටයුතු කිරීම යනුවෙන් මා අදහස්‌ කරන්නේ “අපට කලින් බලය තිබුණා, නුදුරු අනාගතයේදී අපි නැවතත් බලය ගන්නවා” එසේ බලය ගත්විට දිරවා ගත නොහැකි ඇටි කෙසෙල් කිසිවක්‌ බලය නැතිවිට නොකෑමට වගබලා ගැනීමයි. 70 දශකයට පෙර නම් බොහෝ විට විපක්‍ෂය පාලක පන්තියක මානසිකත්වයකින් කටයුතු කළේය. ජාතික ආපදාවක්‌ පවතින අවස්‌ථාවක ආණ්‌ඩුවේ කකුලෙන් ඇදීමට විපක්‍ෂය කටයුතු කළේ නැත. 1958 කලබල වලින්වත් 1961 යාපනයේ හදිසි තත්ත්වයෙන් වත් 1971 ජනතා විමුක්‌ති පෙරමුණ කැරැල්ලෙන් වත් දේශපාලන වාසි නෙළා ගැනීමට එදා සිටි විපක්‍ෂය කටයුතු කළේ නැත. 1961 හදිසි අවස්‌ථාව බණ්‌ඩාරනායක මැතිනිය විසින් ප්‍රකාශයට පත් කළ විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැළලෙනවා යෑයි කියමින් ඔවුන් එයින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ නැත. ඩඩ්ලි සේනානායක මහතා හදිසි නීතිය යොදවා ප්‍රශ්නය මැඬලීමට සම්පූර්ණ සහයෝගය දක්‌වන ලදී. 1971 කැරැල්ල අවස්‌ථාවේදී එකල සිටි විපක්‍ෂ නායක ඡේ. ආර්. ජයවර්ධන මහතා ද කළේ ඒ දෙයමය. එකල විපක්‍ෂයේ සිටි නායකයන් මෙලෙස දූරදර්ශී ලෙස කටයුතු කිරීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ එකල අවුරුදු 5 න් 5 ට මෙන් ආණ්‌ඩු පෙරළි සිදුවූ නිසා රටේ ඇතිවී තිබෙන ප්‍රශ්නය දැන් විසඳුවේ නැතිනම් තව නොබෝ කලකින් ඒකාන්තයෙන්ම තමන්ගේ ඔඩොක්‌කුවට වැටෙන බව දන්නා නිසා විය හැක. ඇති වී තිබෙන මෙම ප්‍රශ්නයෙන් තමන්ගේ අත් කිලිටිකර ගන්නේ නැතුව බලයේ සිටින උදවිය ලවාම එය පුළුවන් තරම් ඉක්‌මනට සෝදා පවිත්‍ර කර ගැනීම ඔවුන්ගේ අභිලාශය වූවා විය හැක. 1971 කැරැල්ල අවස්‌ථාවේදීද එජාපය එවක පැවැති සිරිමා බණ්‌ඩාරනායක ආණ්‌ඩුවට සහයෝගය දැක්‌වූයේ ද “බොක්‌කෙන්ය” බණ්‌ඩාරනායක මැතිණිය කැරැලිකරුවන්ට පහර දුන්නේද යූ. එන්. පී. කාරයින්ද ඇතැම් තැන් වල යොදවාගෙනය. අද ශ්‍රී.ල.නි.ප.යට තිබෙන ප්‍රශ්නය හෙට එජාපයේ ඔඩොක්‌කුවට වැටීමට ඉඩ ඇති නිසාය මෙවැනි මහා පරිමාණ ප්‍රශ්න වලදී මෝඩ ලෙස තාවකාලික වාසි ලබා ගැනීමට එකල සිටි විපක්‍ෂ නායකයන් උත්සාහ කළේ නැත. ඒ අද සිටින විපක්‍ෂ නායක හෙට ඒකාන්තයෙන්ම අගමැති වන බව ඔවුන් දන්නා නිසා විය හැක.

නමුත් 1977 න් පසුව ආරම්භ වූයේ එක ආණ්‌ඩුවක්‌ ඉතා දීර්ඝ කාලයක්‌ රාජ්‍ය බලය හොබවන ප්‍රවණතාවයකි. විපක්‍ෂය තුළින් පාලක පන්තියේ මානසිකත්වය ගිලිහී ගොස්‌ දේශපාලන මංකොල්ලකාරයන්ගේ මානසිකත්වය ආදේශ වූයේ මේ කාලයේ යෑයි මම අනුමාන කරමි. 1994 දී සිදුවූ ආණ්‌ඩු පෙරළිය තනිකරම මංකොල්ලකරුවන් විසින් බලය ඩැහැ ගැනීමක්‌ විය. චන්ද්‍රිකා කුමාරතුංග යනු ලංකාවේ පූලන් දේවිගේ චරිතය රඟපෑ අයෙකි. ඉන්දියාවේ පූලන් දේවි නම් මංකොල්ල කෑවේ දේශපාලනයට ඒමට පෙරය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග පූලන් දේවි කෙනෙක්‌ වූයේ බලයට ඒමෙන් පසුවය. ඇය වටා රොක්‌ වූ පිරිස මුලින්ම කළේ ප්‍රචාරක උපක්‍රම තුළින් එජාප ආණ්‌ඩුව අපකීර්තියට පත් කිරීමය. ඒ වන විට එජාපයේ සිටි ප්‍රබලයන්ගෙන් බොහෝ දෙනෙක්‌ ද කොටි සංවිධානය විසින් ඝාතනය කොට එම පක්‍ෂය දුර්වල කොට තිබීමද ඔවුන්ට බෙහෙවින්ම රුකුලක්‌ විය. වැටී සිටි එජාපය බිමටම ඇද දැමීමට ඔවුන් ක්‍රමාණුකූලව ප්‍රචණ්‌ඩත්වයද පාවිච්චි කරන ලදී.

1994 අගෝස්‌තු මහ මැතිවරණයට නාමයෝජනා බාරගන්නා දිනයේදී ශ්‍රී. ල.නි.ප. යේ සංවිධානාත්මක පිරිස්‌ විසින් එජාපයට කච්ෙච්රිය අසලදී පහර දෙන ලදී. එජාපයේ සම්පූර්ණ ඡන්ද ව්‍යාපාරයම කඩා වැටුණේ ඒ පහර දීමෙනි. මේ ආකාරයට බොරු ප්‍රචාර හා ප්‍රචණ්‌ඩත්වය තුළින් එක්‌ පැත්තකින් ජනතාවගේ චින්තනය වෙනස්‌ කොට අනෙක්‌ පැත්තෙන් එජාපය බිය වද්දා අකර්මන්‍ය කොට බලය අල්ලා ගත් පසු එකල පොදු පෙරමුණ හැසිරුණේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මංකොල්ලකාරයන් පිරිසක්‌ ලෙසින්ය. හත් අවුරුද්දක්‌ පුරා රටේ සංවර්ධනය ඇන හිටියේය. කොටස්‌ වෙළෙඳපොළ බිඳ වැටුණි. යුද්ධයේදී දෙවැනි ලෝක යුද්ධයේ පරිමාණයෙන් පරාජයන් අත්විය. මේ සියල්ල සිදුවන අතරතුර ආණ්‌ඩුවේ ප්‍රධානීන් කළේ වහසි බස්‌ දොඩමින් සියලු දෙනාටම බැණ වදිමින් ඔබ මොබ යැමත් රටේ දේපළ කොල්ලකෑමත් ඇඟේ හයියෙන් දිනාගත් බලය රැක ගැනීමත්ය. මංකොල්ලකාර මානසිකත්වයකින් හෙබි පිරිසක්‌ විසින් ආණ්‌ඩු පිහිටුවීම අසාර්ථක ව්‍යාපෘතියක්‌ බව 1994 – 2001 පොදුපෙරමුණ ආණ්‌ඩුවෙන් ඉතා මැනවින් දක්‌නට ලැබුණේය. 2001 දී ඒ ආණ්‌ඩුව බිඳ වැටුණේද ඒ ආණ්‌ඩුවේම වරදක්‌ නිසා මිස එජාපයේ තිබූ හයියක්‌ නිසාවත් බලය ගැනීමේ සූදානමක්‌ නිසාවත් නොවේ. 2001 දී බලයට පත්වන ලද එජාප ආණ්‌ඩුව නැවතත් 2004 දී බිඳවැටුණත් ඒ 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග විසින්ම නැවතත් පිහිටුවන ලද පොදු පෙරමුණේම ආණ්‌ඩුව මංකොල්ලකාරයන්ගේ ආණ්‌ඩුවක්‌ යෑයි කිව නොහැකි විය. ඒ වන විට ඒ ආණ්‌ඩුවේ සිටි ප්‍රධානීන් යම් යම් පාඩම් ඉගෙන ගෙන තරමක්‌ දුරට හෝ සංවරව සිටීම නිසා ඒ මාස 18 ක ආණ්‌ඩු කාලය ඔවුන්ගේ මුල් අවස්‌ථාවට වඩා සාර්ථක විය. 2005 දී මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව බලයට පත්වන විට එයද මංකොල්ල කෑමක්‌ නොව ඡන්ද දායකයන් අතුරෙන්ම පැනනැගි සැබෑ ජනමතයක්‌ නිසා බිහිවූවක්‌ යෑයි කිව හැක.

දැන් නැවතත් රට අවතීර්ණ වී ඇත්තේ කෙටිකාලීන ආණ්‌ඩු වෙනස්‌කම් සිදු නොවන දීර්ඝ කාලයක්‌ එක්‌ ආණ්‌ඩුවක්‌ බලයේ සිටින සමයකටය. මෙයත් සමගම විපක්‍ෂයද 1990 මුල් කාලයේදී මෙන් නැවතත් මංකොල්ලකාර මානසිකත්වයකට අවතීර්ණ වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. විදේශ මැදිහත්වීමකින් හෝ වත්මන් ආණ්‌ඩුව බිම දමා ගැනීමට හැකි නම් ඒ ආකාරයටවත් බලය ඩැහැ ගැනීමට ඔවුන්ගේ මානසිකත්වය සැදී ඇත. අද රාජ්‍ය නායකයන් බෝම්බයකට හසුවේයෑයි කියාවත් බලාපොරොත්තුවක්‌ තබාගත නොහැකි තත්ත්වයක්‌ යටතේ සියලු බලාපොරොත්තු විදේශ බලපෑම් මත ර¹ පවතී. වරක්‌ මෙවැනි දෙයකට පූර්වාදර්ශයක්‌ බිහිකළ පසු තමුන් බිහිකරන ආණ්‌ඩුවකටද ඒ බලපෑම් ඒ ආකාරයටම එල්ල වීමට ඉඩ ඇතිය යන කාරණය වත්මන් විපක්‍ෂයට ප්‍රශ්නයක්‌ නොවේ. ඔවුන්ට ඇති එකම ප්‍රශ්ණය වී ඇත්තේ බලය නැතිකමයි. බලය ගත්තාට පසු කරන දෙය කල්පනා කරන්නේ ඒ අවස්‌ථාව එළැඹුණු පසුය. එදාවේල ගැන සිතීම මිස අනාගතයක්‌ ගැන සිතීමට තරම් මානසිකත්වයක විපක්‍ෂය අද නැත. 2010 ජනාධිපතිවරණයේදී මහ ජනතාවට සරත් ෙµdන්සේකා මහතාව පෙන්වා යුද ජයග්‍රහණය ද මංකොල්ල කෑමට උත්සාහයක්‌ ගත්තද එය ඔවුන් නොසිතූ ආකාරයට ව්‍යර්ථ විය. මංකොල්ලකාර මානසිකත්වයේ ආදීනව ඔවුන්ට එයින්වත් වැටහුණේ නැත. මංකොල්ලකාර මානසිකත්වයකින් ආණ්‌ඩු පිහිටුවීම සාර්ථක වැඩපිළිවෙළක්‌ නොවන බව ඔවුන්ට චන්ද්‍රිකා කුමාරතුංගට සිදුවූ දෙයින් වත් පැහැදිලි නොවූවත් ජනතාව මේ ගැන අවබෝධයකින් සිටිය යුතුය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

Protected by Security by CleanTalk