ජිනීවා යෝජනාවලියේ දී බාහිර මැදිහත් වීම්වලට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියේ පිහිටා ක්‍රියා කළා

Spread the News

පාර්ලිමේන්තුව 3 වැනිදා
ජිනීවා යෝජනාවලියේ දී බාහිර මැදිහත්
වීම්වලට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියේ පිහිටා ක්‍රියා කළා

– ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර source:

කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන්

ජිනීවා යෝජනාවලින් ශ්‍රී ලංකාව පරාජය වන බව කල්තියා දැනගෙන සිටියත් රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට බාහිර මැදිහත්වීම්වලට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියේ පිහිටා රජය ක්‍රියා කළ බව මානව සම්පත් ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා පැවසීය.

ඩිව් ගුණසේකර මහතා එම අදහස්‌ ප්‍රකාශ කළේ ශ්‍රී ලකාවට එරෙහිව ජිනීවාහිදී සම්මතවූ යෝජනා පිළිබඳව ඊයේ (03 වැනිදා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (03 දා) පස්‌වරු 1.00 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

අනතුරුව සභාව අද (04 දා) පස්‌වරු 1.00 දක්‌වා කල් තැබුවේය. සභාව කල් තබන අවස්‌ථාවේදී විවාදය සඳහා යෝජනාව අනුර කුමාර දිසානායක මහතා (ප්‍ර. ජා. ස.) විසින් ඉදිරිපත් කරමින් මෙසේ කීය.

ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කවුන්සලයේදී සම්මතවූ යෝජනාව ගැන වැඩබලන විදේශ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කළා. විවිධ ඇමැතිවරු විවිධ ප්‍රකාශ නිකුත් කළා. මේ පිළිබඳ රජයේ ස්‌ථාවරය පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ යුතුයෑයි යෝජනා කරනවා. ජිනීවාහි සම්මතවූ යෝජනාවෙන් අප රටේ ස්‌වෛරීභාවයට තර්ජනයක්‌ මෙන්ම රටේ ප්‍රශ්නවලට විදේශයන්ට අතපෙවීමේ දොරටු විවර කර තිබෙනවා. මේ තීරණාත්මක සන්ධිස්‌ථානයේදී අප හැසිරිය යුත්තේ කෙසේද යන්න ගැන අවධානය යොමු කළ යුතුයි. ඒත් මෙහි බරපතළ තත්ත්වය තේරුම් ගන්නවා වෙනුවට ඇමැතිවරුන් එකිනෙක ගැටෙන මත පළකරනවා.

මේ යෝජනාව සම්මත වීමෙන් අඩුම තරමේ ආර්ථික සම්බාධක පැනවීමවත් කළ නොහැකි බව විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළා. ඒත් ඇමැතිවරුන් විවිධ ප්‍රකාශ කළා.

ජිනීවා ගිය රජයේ දූත පිරිස්‌ ඒ පිළිබඳ රටට මනා විග්‍රහයක්‌ කරනු ඇතැයි බලාපොරොත්තු වුණා. මාධ්‍ය සාකච්ඡාවේදී ජී. එල්. පීරිස්‌ ඇමැතිවරයා කළ ප්‍රකාශයක්‌ ගැන කීවා.

ජී. එල්. පීරිස්‌ ඇමැතිවරයා ප්‍රකාශ කළේ ඔහුගේ පෞද්ගලික ප්‍රකාශය බව වැඩබලන ජනමාධ්‍ය ඇමැතිවරයා පැවසුවා. රජයේ නිලමතය නුදුරේදීම ප්‍රකාශ කරන බව කීවා. ඒ නුදුරු දිනය කවදා එළැඹේද කියා අප බලාපොරොත්තුවෙන් සිටිනවා.

එක්‌සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් සිය ආධිපත්‍යය පතුරුවා හරිමින් සිටිනවා. ලෝකය සර්ව සාධාරණයෑයි අප තේරුම් ගත යුතු නැහැ. සමාජ ඡන්ද අයිතිය ඇති ආයතනයක්‌ ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්න බැහැ. ලාභ ශ්‍රමය, ලාභ අමුද්‍රව්‍ය සොයාගෙන තමන්ට සුවච කීකරු පාලනයක්‌ ඇතිකර ගැනීම සඳහා අධිරාජ්‍යවාදී එක්‌සත් ජනපදය කටයුතු කරනවා.

ආණ්‌ඩුව අධිරාජ්‍යවාදීන් සමඟ ගැටෙන ආණ්‌ඩුවක්‌ බවට පෙන්වන්න උත්සාහ කරනවා. දේශප්‍රේමී සළුපිළි බොරුවට පොරවාගෙන ඉන්න ලාභ දේශප්‍රේමීන් අපි දකිනවා. සෝමාවතිය අසල අක්‌කර 5,000 ක්‌ ලබා දුන්නා ඇමරිකානු සමාගමකට. ගොවියන් ඉඩම් ඉල්ලා කෑගහද්දී ඇමරිකාවට අක්‌කර ගණන් දෙන ආණ්‌ඩුව දැන් ඇමරිකන් විරෝධයක්‌ ගැන කෑගහනවා. තෙල් සංස්‌ථාව සහ ලිහිසිතෙල් සමාගම ඇමරිකාවට දුන්නා. ආණ්‌ඩුවේ ආර්ථිකය ඇමරිකාව සමඟ එකට ගැට ගැහිලා තියෛන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්‌සත් ජනපදයෙන් වියුක්‌ත ආයතනයක්‌ නොවේ. මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරමින් ණය ගත්තා. ආණ්‌ඩුව එක්‌සත් ජනපදය සමඟ සරණ ගිහින් ඉන්නේ.

ආරක්‍ෂක ලේකම්වරයා එවක ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ සමග ආරක්‍ෂක ගිවිසුමක්‌ අත්සන් කළා. ඒ ගිවිසුම මොකක්‌ද? කළාපයේ යුද්ධයක්‌ ඇතිවෙද්දී අපේ ගොඩබිම, වරාය, ගුවන්තොටුපළ, ආහාර, ඉන්ධන එක්‌සත් ජනපදයට ලබා දෙන්න ඒ ගිවිසුමෙන් අපි බැඳී ඉන්නවා. අපේ රට නියෝජනය කරන්නේ එක්‌සත් ජනපදය බවට අපි අපේ අතපය බැඳගෙන ඉවරයි.

ආණ්‌ඩුවේ දේශප්‍රේමය අංගවිකල දේශප්‍රේමයක්‌. කන්න ගියාම කබරගොයත් තලගොයා කරගන්නා ආකාරයේ දේශප්‍රේමයක්‌. මානව හිමිකම් ගැන කතාකරන්න එක්‌සත් ජනපදයට අයිතියක්‌ නැහැ. එක්‌සත් ජනපදයේ න්‍යාය පත්‍රයේ අංක එකට තියෙන්නේ අමුද්‍රව්‍ය, ලාභ ශ්‍රමය සහ භූමිය අත්පත් කර ගැනීමයි.

අපේ රටේ පැවැති කෝලාහළ යුද්ධයක්‌ බවට පත්කළේ ඉන්දියාව සහ ඇමරිකාවයි. සන්නද්ධ කණ්‌ඩායමක සිටි මන්ත්‍රීවරයෙකුගෙන් මම ඇහුවා ඔබතුමාගේ ටේ්‍රනින් එක කොහෙන්ද කියලා. තමිල් නාඩුවෙන් සහ ඊශ්‍රායලයෙන් කිව්වා. එක්‌සත් ජනපදය ඇඟිල්ලෙන් අනිනතුරු එල්. එල්. ආර් සී කොමිසම කියනතුරු ආණ්‌ඩුව බලා සිටියා. මේ පාර්ලිමේන්තුවේ මේ ගැන ඕනෑතරම් උණුසුම් වාද විවාද ඇතිවුණා. එල්. එල්. ආර්. සී වාර්තාව අපි පිළිගන්නේ නැහැ. එය අසම්පූර්ණ වාර්තාවක්‌. ඉන්දියාවේ මැදිහත්වීම ආයුධ දීම්, තමිල්නාඩු පුහුණුව දීම්, මුදල්දීම් මේ එල්. එල්. ආර්. සී. වාර්තාවේ තිබිය යුතුයි. මේක අංගසම්පූර්ණ වාර්තාවක්‌ නොවේ. ඒත් මේක ආණ්‌ඩුව පිළිගන්නා වාර්තාවක්‌. ඉතිහාසය සම්පිණ්‌ඩනය නොකළ වාර්තාවක්‌.