අල්ලට සිඟා කාලා ගත් ඉගෙනීමේ වටිනාකමත් නැතිවීලා අද දවසේ

Spread the News

අල්ලට සිඟා කාලා ගත් ඉගෙනීමේ
වටිනාකමත් නැතිවීලා අද දවසේ

source:
මිනිසා මානව සමාජයට එකතු වන්නේ අනෙකුත් සත්ව කොට්‌ඨාසවල මෙන් ස්‌වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්‌ ලෙසය. මවගේ, පියාගේ ජන්මානු එකතු වීමෙන් ජීවියකු නිර්මාණය වී මෙලොව එළිය දකින ජීවියාට පොදු වූ හැසිරීම් රටාවක්‌ දක්‌නට ඇත. මෙබඳු හැසිරීම් රටාවකින් යුක්‌ත වූ මිනිසා සෑම සත්ව කොට්‌ඨාසයකටම වඩා සමාජානුයෝජනයට නතුවේ. ඇමරිකානු සමාජ මානව විද්‍යාඥයකු වන ජෝර්ඡ් හර්බට්‌ සිය දෙමාපියන් පිළිගත් ධර්මතා දරුවන් විසින් අභ්‍යන්තරීකරණය කරගෙන හොඳ සුපහන් සිතක්‌ ගොඩ නඟා ගැනීම සමාජානුයෝජනය ලෙස දක්‌වයි. ඔහුට අනුව සෑම දරුවකුටම සමාජානුයෝජනය වන්නේ වැඩිහිටි පරපුර විසිනි. දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය වීමෙහිලා වැඩිහිටියන් මහඟු දායකත්වයක්‌ සපයන බව දක්‌වාලිය හැකිය. දරුවකුගේ ජීවිත කාලයේ වැදගත්ම අවධිය පවුල තුළ ජීවත් වන කාල පරාසය ලෙස හඳුනාගෙන ඇත. පවුල තුළින් දරුවකුගේ පෞරුෂ සංවර්ධනයට මහඟු කාර්යයක්‌ ඉටුවන අතරම එහි වැදගත්ම කාර්යය කොටස ඉටු කරනු ලබන්නේ මව විසිනි. පවුල තුළින් ලැබෙන්නාවූ ආදරය, සෙනෙහස, රැකවරණය මෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ වූ කරුණු හා සාධක හේතු කොටගෙන දරුවකුගේ ජීවිතයේ ඉදිරි කාලය යහපත් හෝ අයහපත් වනු ඇත. පුද්ගල සංවර්ධනය කෙරේ මව්පියන්ගෙන් ලැබෙන පටුවහල ගැන පර්යේෂණ පැවැත්වූ මිග්‍රටි මාටි සමාජ විද්‍යාඥවරිය පැසිµsක්‌ හි නිව්ගිනියා දූපත් හි ඇරසේස්‌ හා මුණාඩුගුමාර් ගෝත්‍ර ඇසුරින් එය තහවුරු කර දී ඇත. එහිදී ඇරසේස්‌ ගෝත්‍රයේ මව්වරුන් දරුවන්ට සාමකාමීව හා ආදරයෙන් සැලකීම නිසා ඔවුන් සාමකාමී අදහස්‌ හා හැසිරීම් රටාවලින් යුක්‌ත විය. එනමුත් මුණ්‌ඩුගුමාර් ගෝත්‍රයේ මව්වරුන් දරුවන් ගැන නොසොයා ආක්‍රමණශීලී ලෙස සැලකීම තුළ ඔවුහු දරුණු ප්‍රචණ්‌ඩකාරී ගති ලක්‍ෂණවලින් යුක්‌ත වූහ. මෙය එක්‌ කරුණක්‌ ලෙස ගෙන බලනවිට දරුවන්ගේ ජීවිත කෙරෙහි දෙමාපියන්ගෙන් ලැබෙන පිටුවහල ඉතා විශාල බව පෙනේ.

මවගේ සෙනෙහස, දෙතනේ කිරි උගුරක්‌ උරන්නට නොලැබීම තුළ, මව් තුරුලේ නිදන්නට නොලැබීම තුළ දරුවකුගේ මුළු ජීවිත කාලයම බිඳ වැටෙනු ඇත. මව් උකුලේ සිට මැවූ සිහින පොකුරු මව් සෙනෙහසේ මිහිරි සුවඳ තුළ දිනක සැබෑ වනු නියතය. නමුත් මව් තුරුලක සුවය, දෙතනේ කිරි උරන්නට නොලැබෙන දරුවා තුළ ඇතිවන මාතෘතවිහිනතාවය හිමි දිනක ඔහු සමාජ පිළිලයක්‌ බවට පත් කිරීමට පසුබිම සපයන බව නම් කීමට අවැසි නොවේ.

වර්තමාන සමාජය තුළ “මව”, “දරුවා”, “පවුල” යන මූලික සංකල්ප සමාජය තුළින් දුරස්‌ථව පවතින බව පෙන්වා දිය හැකිය. එයට මූලිකම හේතුව පවුල නම් වූ සමාජ සංස්‌ථාවේ විශේෂයෙන්ම මවගේ කාර්යභාරය විස්‌තාරණය වීමය. මවගේ කාර්යභාරය අද වනවිට පියාගේ කාර්යභාරයද ඉක්‌මවා ගොස්‌ ඇති අයුරක්‌ පෙනෙන්නට ඇත. ඒ තුළින් දරුවා හුදෙකලා වීම, මාතෘතවිහිනතාවයට පත්වීම වළක්‌වාලීමේ හැකියාවක්‌ නොමැත.

දරුවන්ගේ ලෝකය යහපත් කරලීමේදී පවුල මෙන්ම පාසලද සුවිශාල වූ කාර්යභාරයක්‌ ඉටු කරනු ලබයි. ද්විතීයික සමාජානුයෝජන කාර්යයක්‌ වන පාසල තුළින් දරුවා පුළුල් සමාජ සබඳතා සඳහා සූදානම් කරනු ලබන බව දැක්‌වීම වරදක්‌ නොවේ. මුල් කාලීනව එකී කාර්යය සිදුකරනු ලැබුවේ පවුල තුළිනි. නමුත් සමාජය සංකීර්ණවත්ම ඒ සඳහා වෙනම ආයතනයක්‌ ලෙස පාසල බිහි විය. පාසල තුළින් මූලිකවම නිවස තුළ මව්පියන්, වැඩිහිටියන් විසින් උගන්වන ලද හොඳ නරක දේවල්, කළයුතු හා නොකළ යුතු ලෙස බෙදා වෙන්කර දැක්‌වූ කරුණු තවදුරටත් තහවුරු කර දරුවන්ට වටහා දෙයි. අධ්‍යාපන මනෝ විද්‍යාඥයකු වූ පියාඡේ විසින් වරෙක අදහස්‌ දක්‌වමින් පවුල හා සමාජය යන ලෝක දෙක අතර අන්තර් මාධ්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලෙස පාසල තුළින් පුද්ගලයකු සමාජානුයෝජනයට ලක්‌කර උදාර පුරවැසියකු බවට පත් කරන බව දක්‌වයි.

නමුත් අද වනවිට සිදුව ඇත්තේ පාසල් තුළින් ඉටුවන කාර්යභාරය උඩු යටිකුරු වීමකි. පාසල – ශිෂ්‍ය හා ගුරුවරයා අතර සබඳතාවය දුරස්‌ථවී ඇත. පාසලද අද වනවිට වෙළෙඳ පොළක්‌ බවට පත් වී ඇත. එයද වාණිජකරනයට හසුවී හමාරය. බොහෝ විට අද දරුවකු පාසලකට ඇතුළත් කර ගැනීමේදී බොහෝ ගුරුවරු, විදුහල්පතිවරු නීති විරෝධී ක්‍රියා සිදුකරති. එය අපට පුදුමයට කරුණක්‌ද නොවේ. ලක්‍ෂ ගණන් දරුවකූ පාසලට ගැනීම සඳහා අල්ලස්‌ ගන්නා පාසල් තුළ අද වනවිට එය තවත් නවීකරණය වී සිය දරුවා වෙනුවෙන් ඇතැම් මව්වරුන්ට විදුහල්පතිවරුන්, ගුරුවරුන් වෙනුවෙන් සිය ශරීරයෙන් වන්දි ගෙවන්නට සිදුවූ අවස්‌ථාද අපට අසන්නට, දකින්න, ලැබීම කාගේ අවාසනාවක්‌ දැයි නොහැඟේ.

අද වනවිට ඉගෙනුම, ඉගැන්වීම වෙනුවෙන් ගුරු පඬුරු යදින දිසාපාමොක්‌ලා සමාජය තුළ විරල නොවෙති. අධ්‍යාපනය වෙළෙ¹මකි. මාµsයාවකි. ඒ තුළින් ගුරු මුෂ්ටිය හා ගුරු පඬුරු යෑදීම එමෙන්ම ටියුෂන් වටවන්දනාව ද සුලබ කරුණකි. අතීත සමාජය තුළ ඉගෙනුම, ඉගැන්වීම සමාජ සේවයක්‌ බවට පත් විය. නමුත් අද වනවිට එයද විකුණාගෙන කන, බඩ ගෝස්‌තරවාදීන් අද බිහිවන සමාජයේ දක්‌නට ලැබීම කනගාටුවට කරුණකි.

බොහෝ විට සමහර පුවත්පත් තුළින්ද ලංකාවේ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයා අභිෂේක කිරීමේ මහා මංගල්‍යයකට සැරසෙන අයුරු දක්‌නට ලැබේ. සුපර්ස්‌ටාර්, ඩී්‍රම්ස්‌ටාර්, මෙන්ම දැන් ටියුෂන්ස්‌ටාර්ද කරළියට පැමිණ ඇත. විනාඩි හතළිහකට සිය ආදරණීය ශිෂ්‍ය පරම්පරාවට ගුරු මුෂ්ටියකින් තොරව සිය ඥනය ප්‍රදානය කරන අපේ කාලයේ ගුත්තිල පඬිවරුන්ට ලැබෙන්නේ වරප්‍රසාදවලින් තොර සේවා කාලයක්‌ පමණි. පාසලේ බයිලා කියමින්, අනුන්ගේ ඕපාදූප කතා කරමින් මුදලට අධ්‍යාපනය විකුණන ගුරු හොරුන් ළඟට යන දැයේ දරුවන්ට හා රටට සිදුවන විනාශය ගැනද අටුවා ටීකාද අපට කෙසේවෙතත්, වැරැදි පැටවීම එක්‌ පක්‍ෂයකට පමණක්‌ සිදුකරලීම නිරර්ථක වෑයමකි. මන්ද යත් ගුරුවරුන්ගෙන් මෙන්ම ශිෂ්‍යයන්ගෙන්ද වැරැදි සිදුවූ අවස්‌ථා එමටය. පාසලක ගුරුවරයකු දරුවකුට දඬුවම් දුන් විට සිය මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනයක්‌ සිදු වූ බව කියමින් ගුරුවරයාට විරුද්ධව පොලිසිය, උසාවිය වෙත ගොස්‌ ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීමට තරම් අද ශිෂ්‍ය පරම්පරාව පහත් තත්ත්වයකට පත්වීම කවර නම් අභාග්‍යයක්‌ දැයි නොහැඟේ. හැකිනම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද ගොස්‌ පැමිණිලි කරයි. නමුත් එය අපහසු නිසා එකී කාර්යයෙන් බැහැරව සිටියි.

මුල් කාලීන සමාජය තුළ ගුරුවරුන් දඬුවම් කරනු ලැබුවද ඒ වෙනුවෙන් සිසුන් හඬක්‌ නොනැඟුවේ ඒ සියල්ල සිය යහපත, සුබසිද්ධිය වෙනුවෙන්ම සිදුකළ නිසාවෙනි. වේවැල්, නාරං, සියඹලා, කිතුල්, පොල් ඉරටුවලින් දඬුවම් දුන්නද ඔවුන් සැම විටම සිය ගුරුවරුන්ට පැවසුවේ මින් මතුවට පමා නොවී අකුරට එන බවය. නමුත් අද එවැන්නක්‌ දක්‌නට නොලැබෙන්නේ මක්‌නිසා දැයි ගැටලුවකි.

කෙසේ වෙතත් කෙලෙසක හෝ අධ්‍යාපනය හදාරන සරසවි බිමේ වැලි කැට පෑගි භාග්‍යය අද බොහෝ දෙනකුට හිමි වී ඇත. එකී වරප්‍රසාදයද කප්පාදු කිරීමට අර අදින උත්තමයන් යෑයි කියා ගනු ලබන පිරිසක්‌ අද ලංකාව තුළ බිහි වී ඇත. එනම්, පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හඳුන්වාදීමට අවශ්‍ය පදනම සකස්‌ කරලීමයි. ඒ තුළින් නැවතත් සිදු කරන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ අඳුරු සෙවණැලිවලට පණ දීමක්‌ය. 1896 ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව යටතේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයක්‌ ලංකාවේ වගා කරන්නට වූ අතර ඒ තුළ සුද්දන්ට ගැතිකම් කළ පර ගැති වූ කළු සුද්දන්ට පමණක්‌ අධ්‍යාපනය ලැබීමේ වරම හිමි විය. එනමුත් දේශාභිමානිත්වය, ජාතිකාභිමානය විසින් දරාගත් අපේ වීරයන්ගේ දරුවන්ට, පුරන් කුඹුරු අස්‌වද්දා වේලක්‌ හැර වේලක්‌ කා කුසගිනි නිවාගත් අහිංසක අම්මා අප්පච්චිගේ දරු පැටවුන්ට සිදු වූයේ අම්මලා අප්පච්චිලාට උදව්වට කුඹුරට හේනට ගොස්‌ ඔවුන්ගෙන් උදැල්ල, කැත්ත සමඟ හටන් කරන සැටි උගන ගන්නටය. ඔවුන්ට “අ” යන්න “ආ” යන්න ඉගෙන ගන්නට කිසිදු විටක මඳකුදු අවකාශයක්‌ නොවිණි. නැවතත් මේ… අරඹන්නට යන්නේ එවැනි කාල පරිච්ඡේදයකි. කෙසේ හෝ දුක්‌ විඳ ඉගෙනගෙන සරසවි පිං බිමේ අකුරු කරන්නට වරම් ලැබූ දුගී දුප්පත් අම්මා අප්පච්චිගේ දරු පැටවුන්ගේ අධ්‍යාපන අයිතිය උදුරා ගන්නටය. සිහින අහුරු පොඩි කරන්නටය. මේ නීති, පනත් සවිමත් කර ගන්නට දත කන උන්දලාගේ දරුවන් ලංකාවේ නොව එංගලන්තය, ඇමරිකාව වැනි ධනවාදී රටවල ඉංග්‍රීසියෙන් රුපියල්, ශත, නොව ඩොලර්, යුරෝ වියදම්කර ඉගෙන ගන්නවුන්ය. ඔවුන්ට සිය දරුවන් හට උගන්වන්නට ඕනෑතරම් මුදල් ඇත. නමුත් ගමේ අහිංසක දෙමාපියන්ට එපමණ මුදලක්‌ නැත. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාට පිං පමුණුවමින් සිය දරුවන් ගමේ පාසලට කෙසේ හෝ යවා විශ්වවිද්‍යාලයට පාර පාදා දෙන්නේ ඉහ, කන උකසට තබමින්ය. සරසවි බිමට පැමිණි පසුද ලලිත් ඇතුලත්මුදලි මහතාට පිං දෙමින් දරුවන් කෙසේ හෝ දොස්‌තර හාමු කෙනකු, ඉංජිනේරු හාමු කෙනකු, ඉස්‌කෝල නෝනා කෙනකු වී ගමට එනතුරු මඟ බලා සිටින්නේ සිය මරණය ඉන්පසු සිදුවුවත් කම් නැත යන හැඟීමෙනි.

එනමුත්…. මහා උගතුන්, දේශපාලනඥයන් යෑයි කියා ගනු ලබන පිරිසක්‌ විසින් සම්මත කර ගැනීමට දත කන පෞද්ගලිකකරණ (විශ්වවිද්‍යාල) පනත තුළින් අහිංසක දෙමාපියන්ගේ මිලිනවන සිහින වලට වන්දි ගෙවන්නේ කෙලෙසක දැයි දැනට කිසිවකු නොසිතා ඇත. රටකට සංවර්ධනය අවශ්‍යය. ආර්ථිකය ඉහළ මට්‌ටමකට පැමිණිය යුතුය. ඒ සඳහා කළ යුත්තේ නිවැරැදි ආයෝජනය හා ඵලදායි ශ්‍රම දායකත්වයක්‌ ලබා ගැන්මය. එසේ නොමැතිව විශ්වවිද්‍යාල, පාසල් පෞද්ගලීකරණය තුළින් මුදලට අධ්‍යාපනය විකිණීම සිදු කිරීම ඉතා අශෝභන ක්‍රියාවලියකි. නැවත රදල ධනපති පැලැන්තියක්‌ සමාජය තුළ ගොඩ නැඟීමට දරනු ලබන නිර්දය උත්සාහය නිර්ලඡ්ජි ක්‍රියාවලියකි. නිවැරැදිම දේ වැරදි නිවැරැදි කර ඉදිරියට ගමන් කිරීමය. වරදකරුට නිසි දඬුවම් දීමය. එය පාට, පක්‍ෂ භේද නොසලකා වරදට දඬුවම මෙන්ම සුදුස්‌සාට සුදුසු තැන ලබා දීමට පියවර ගැනීම නිසි බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන්නේය. නිසි බලධාරීන් මේ පිළිබඳ පුළුල් අවධානය යොමුකරලීම වැදගත් වේ. නමුත් එවැනි වූ පුද්ගලයන් සොයා ගැනීම අද කළුනික සෙවීමටත් වඩා අපහසු ක්‍රියාවක්‌ වී ඇත. නැතිනම් නිසි බලධාරීන් හොර නින්දේය. මර නින්දේ සිටින්නවුන්ට වඩා හොර නින්දේ සිටින්නවුන් ඇහැරීම අපහසුවන්නේ ඔවුන් හොරාට නිදා සිටින නිසාය. නමුත් ඇහැරනු ලබන තැනැත්තා හොරට ද, සත්‍ය ලෙසම නිදා සිටින්නේද යන්න දනී. නමුත් ඔහුට කරන්නට දෙයක්‌ නොමැත්තේ නඩුත්, බඩුත් හාමුදුරුවන්ගේ නිසාවෙනි. අවසානයේ සිදු වන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව යනුවෙන් සිත හදා ගැනීම මිස අනෙකක්‌ නොවේ…..

පියුමි නෙළුම්ගම
කැලණිය විශ්වවිද්‍යාලය