කුකුළාගේ ශ්‍රී ලාංකීය ජීවන චක්‍රය

Spread the News

කුකුළාගේ ශ්‍රී ලාංකීය ජීවන චක්‍රය
source:
අපිරිසිදු ආහාර විකිණූ දසදෙනකු ගණේමුල්ලේදී අල්ලා ගැනීමට ආහාර පරීක්‍ෂකයන්ට හැකිවී යෑයි දැනගන්නට තිබේ. ගණේමුල්ලෙන් පසු කොළඹ පැත්තට එන විට ඊළඟට හමුවන ප්‍රධාන නගරය කඩවත ය. ආහාර පරීක්‍ෂකයන් ඒ පැත්තට ගියොත් ගණේමුල්ලට තරගයක්‌ දිය හැකි හෝටල්කාරයන් කඩවත ද සිටින බව වටහා ගැනීමට හැකිවනවා ඇත. කඩවතින් පසු එන්නේ කිරිබත්ගොඩය. එයද ගනේමුල්ලට සහ කඩවතට දෙවැනි වන්නේ නැත. මේ යන ගමනේදී පෑලියගොඩ සමහර හෝටල්වලින් ආහාර නොගන්නා ලෙස අවවාද කරමු. ඒ අවවාදය දෙන්නේ බඩගිනිකාරයන්ගේ පණ බේරා දෙනු පිණිසය. ඒ මොනවා කළත් පිටකොටුවෙන් කෑම කෑ විට ගණේමුල්ලේ සිට පරෙස්‌සම් කරගෙන ආ බඩ ටැප් එකක්‌ ඇරියාක්‌ හා සමානව ක්‍රියාත්මක වීමට පටන් ගනී.

ශ්‍රී ලංකාව යනු ආහාර ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක්‌ ඇති රටකි. කල් ඉකුත් වූ සොසේජස්‌, කල් ඉකුත් වූ ටින් මාළු, කල් ඉකුත් වූ කිරිපිටි ඇතුළු කල් ඉකුත් වූ ඕනෑම ආහාරයක්‌ තවත් වසර කිහිපයක්‌ තබාගත හැකි අලුත්ම අලුත් ආහාර බවට පත්කිරීමේ හැකියාව සහිත දවටන අපේ රටේ තිබේ. සොසේජස්‌ නිෂ්පාදනය කරන ඇතැම් ආයතන ඒවා තොග වශයෙන් ගබඩා කර තබා කල් ඉකුත් වූ පසු ආහාර පරීක්‍ෂකයන්ට හසුවන්නේ යෑයි සිතමු. මේ සොසේජස්‌ විනාශ කළ යුතු බවට හෝ සත්ත්ව ආහාර සඳහා යෙදිය යුතු බවට හෝ ආහාර පරීක්‍ෂකයෝ තීන්දු කරති. එහෙත් ආහාර පරීක්‍ෂකයන්ගේ ඇස්‌ වසා එම සොසේජස්‌ අලුත් පැකට්‌වල පුරවා අලුත් කල් ඉකුත්වීමේ දින ගසා වෙළෙඳපොළට මුදාහැරීමට නිෂ්පාදකයන්ට හැකිය. ඇතැම් සෞඛ්‍ය පරීක්‍ෂකවරු මෙබඳු ක්‍රියා දකින විට සිය කැමැත්තෙන්ම ඇස්‌ වසා ගනිති. ඔවුන් ඇස්‌ ඇර බලන විට ඔවුන්ගේ සාක්‌කු මුදල් නෝට්‌ටුවලින් පිරිලාය.

ශ්‍රී ලංකාවේදී කුකුළාගේ ජීවන චක්‍රය තීන්දු වන හැටි බලන්න. බ්‍රොයිලර් කුකුළකු ඉපදී දවස්‌ 45 කට පසු මස්‌ සඳහා යෝග්‍ය බවට තීරණය කෙරේ. ඉන්පසු කඩයේ හෝ හෝටලයේ අධිශීතකරණයට එන බ්‍රොයිලර් මළකුණ අවුරුදු 2 ක පමණ කාලයක්‌ ශීත කර තබා ගනු ලැබේ. ඉන්පසු හෝටලයේ මුළුතැන්ගෙයිදී ඌ රෝස්‌ කෙරේ. රෝස්‌ කුකුළා දින 2 කට වඩා තබා ගත නොහැක. දින 2 කට පසුත් නොවිකුණුණොත් ඌ විශාල තෙල් තාච්චියක දමා බදිනු ලැබේ. එසේ බදින ලද මළකුණ සතියක්‌ පමණ තබා ගත හැකිය. ඒa සතිය තුළත් කුකුළා නො විකුණුණොත් කැබැලි කර හොදි උයනු ලැබේ. හෝටල්වල ඇති රසවත් චිකන් කරියේ ඇති මස්‌ කැබැලි බැද ඇති බව ඔබට දැනෙන අවස්‌ථාවකදී අප කියන මේ කාරණය සිහිපත් කළ හැකිය. හිඳෙන්නට හදන මේ හොද්ද නොවිකිණී ඉතිරි වුවහොත් මස්‌ කැබැලි හොදි සියල්ලම කොත්තු රොටි සෑදීමට යොදනු ලැබේ. කොත්තු යනු ඉතා සංකීර්ණ ආහාරයකි. කොත්තුවක්‌ අනුභව කර බඩේ අමාරුවක්‌ හැදුණොත් ගොඩ එන ක්‍රමයක්‌ සොයා ගැනීම ඉතා දුෂ්කරය. විශේෂයෙන්ම එම රොටියේ අඩංගු බැක්‌ටීරියාවලින් කවර බැක්‌ටීරියාවක්‌ විෂ වීද යන්න සොයා ගැනීම දුෂ්කරය. මෙබඳු බඩේ අමාරුවකින් මියයන කෙනකුගේ මිනිය කපා මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුමය. මන්ද? ඒ මනුෂ්‍යයා අනුභව කළ කුකුල් මසෙහි තිබූ විෂබීජය මළ මිනිසාගේ කවර ඉන්ද්‍රියකට හානි කළේ ද යන්න සොයා ගත යුතුමය.

ශ්‍රී ලංකාවේ නාගරික නළ ජලයේ 30% ක මළ ප්‍රමාණයක්‌ අඩංගුය. හෝටල්කාරයෝ වැසිකිළි වළවල් අසල නළ ළිං ගසති. පුස්‌ කෑ කේක්‌, මුඩු රස දැනෙන බූන්දි, හුළං වැදී හං වුණු රටකජු, අපගේ හෝටල් ආහාර වට්‌ටෝරුවේ බහුල ලෙස ඇත. අපගේ ජනයා හරකාගේ නොකන්නේ හම සහ කුර පමණකි. අනෙක්‌ සියලුම කොටස්‌ සුප් හැදීමේ සිට ඩෙවල් කිරීම දක්‌වා යොදාගනු ලැබේ. කුකුළාගේ නම් හමත් අනුභව කෙරේ. උගේ ඉතිරි වන්නේ පිහාටු, කරමල, හොට සහ ඇඟිලි පමණි.

හරියට වැටලීම් කළොත් මුළුමහත් ලංකාවම අපිරිසිදු ආහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිදුවන්නේය. අප ගණේමුල්ල ගැන කතා කරන්නේ මේ තත්ත්වය පසුබිමෙහි තබාගෙනය.