Fri. Nov 22nd, 2024
Spread the News

ලංකාවට එරෙහි යෝජනාව
එ. ජා. ප්‍රඥප්තියට පටහැනියි

එක්‌සත් ජාතික පක්‍ෂයේ
නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස

source:

මහ බලවතුන් කටයුතු කරන ආකාරය අපි කවුරුත් දන්නවා. අප ඒ යථාර්ථය වටහාගෙන අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට විවිධ බලවතුන්ට ඉඩ ලබා නොදිය යුතු බව මගේ අදහසයි. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය රැස්‌ව සිටි අවස්‌ථාවේදීම යම් පිරිසක්‌ කොලොන්නාව නගර සභා සභාපතිව පැහැරගනු ලැබුවා. මෙවැනි දේවල්වලින් පෙනෙන්නේ ජාත්‍යන්තර මැදිහත්වීම් ලංකාවට ගෙන්වා ගැනීමට යම් පිරිසක්‌ කටයුතු කරන බවයි.

ලංකාව ජිනීවා නුවරදී ලත් පරාජය අද වනතුරුත් දේශපාලන ක්‍ෂේත්‍රයේ කථාවෙන කාරණයක්‌ වී ඇත. විපක්‍ෂය පැත්තෙන් ඇමරිකාව විසින් ලංකාවට එරෙහිව ජිනීවා නුවරදී සම්මත කර ගන්නා ලද යෝජනාව සම්බන්ධයෙන් වඩාත්ම සවිස්‌තරාත්මක විස්‌තරය කර ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාය. එ. ජා. ප.ය හෝ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාවත් ජිනීවා යෝජනාව ගැන සවිස්‌තරාත්මකව අදහස්‌ ප්‍රකාශ කිරීමක්‌ කර නැත. නමුත් සජිත් ප්‍රේමදාස මහතා “ද සන්ඩේ අයිලන්ඩ්” පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් පහත දැක්‌වෙන අදහස්‌ ගෙනහැර දක්‌වන ලදී.

“ඇමරිකානු යෝජනාව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ සියලුම ප්‍රඥප්තීන් හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන්නකි. ජාත්‍යන්තර කටයුතුවලදී රාජ්‍යයන් කටයුතු කළයුතු ආකාරය එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් පැහැදිලිකොට ඇත. එම ප්‍රඥප්තියේ පළමු පරිච්ඡේදයේ 2 (1) වගන්තිය අනුව සියලු ජාතික රාජ්‍යයන් සමානයින් බව කියෑවෙයි. මෙයින් කියෑවෙන්නේ සෑම ජාතික රාජ්‍යයකටම පරමාධිපත්‍යය එක සමාන බවය. එනම් විශාල රටවල්වලට වැඩියෙන් පරමාධිපත්‍යයත් කුඩා රටවල්වලට අඩුවෙන් පරමාධිපත්‍යයක්‌ තිබිය නොහැකි බවයි.

එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වැදගත්ම වගන්තියක්‌ වන්නේ එහි පළමු පරිච්ඡේදයේ 2 (7) වගන්තියයි. එයට අනුව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇති කුමන හෝ වගන්තියක්‌ එම සංවිධානයේ සාමාජික රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට භාවිතා කළ නොහැකි බවයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට යම් රටක අභ්‍යන්තර කටයුතුවලට වුවද මැදිහත් වීමට බලය පවරා ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 7 වන පරිච්ඡේදය අනුව පමණි. එකී පරිච්ඡේදයෙන් කියෑවෙන්නේ ජාත්‍යන්තර සාමයට හා සුරක්‌ෂිතතාවයට තර්ජනයක්‌ ඇති බවට ආරක්‌ෂක කවුන්සිලයට හැඟී යන්නේ නම් පමණක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට එම රට ගැන පියවරක්‌ ගැනීමට බලය ඇති බව පමණි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය යනු එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 4 වන පරිච්ඡේදයේ 22 වන වගන්තිය අනුව පිහිටුවන ලද ආයතනයකි. එකී වගන්තියෙන් කියෑවෙන්නේ එක්‌සත් ජාතීන්ගේ මහ සභාවට තමන්ගේ කටයුතු කරගෙන යැමට උපකාර වන පරිදි අවශේෂ ආයතන පිහිටුවිය හැකි බවයි. එක්‌සත් ජාතීන්ගේ මහ සභාවේ යෝජනාවකින් පිහිටුවන ලද මානව හිමිකම් කවුන්සිලයට එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සාමාජික රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීමේ මූලධර්මය කියාපාන 2(7) වගන්තිය උල්ලංඝනය කළ නොහැක. ඉන්දියාවද මුල් අවස්‌ථාවේදී යම් රටක්‌ ඉලක්‌ක කරගෙන කෙරෙන යෝජනාවලට තමුන් එරෙහි බව පවසා සිටියේත් මේ නිසාය. මේ අනුව මගේ මතය වන්නේ අදාළ යෝජනාව ගෙන ආ රටත්, එයට ඡන්දය දුන් රටවලුත් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝනය කර ඇති බවත්, මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසා ඇති බවත්ය. එපමණක්‌ද නොව ඔවුන් අමු අමුවේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කර ඇති බවත්ය.”

සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකාව විසින් ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාව ගැන එබඳු අදහසක්‌ ප්‍රකාශ කර සිටි බැවින් එයට අදාළව මා විසින් පහත දැක්‌වෙන ප්‍රශ්න කිහිපයක්‌ ඔහුගෙන් අසන ලදී.

ප්‍රශ්නය(- ඔබද එ. ජා. ප. යටත් රටටත් නායකත්වය දීමට බලා සිටින දේශපාලනඥයෙකි. මේ මොහොතේ බලයේ සිටියේ ඔබ නම් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීම කෙරෙහි ඔබ නැඹුරු වෙනවාද? මේ යෝජනාව නීති විරෝධී යෝජනාවක්‌ බව අන් කවරකුටත් වඩා පැහැදිලිව ඔබම පවසා සිටිනවා.

පිළිතුර( මම වර්තමාන පාලකයන්ගෙන් වෙනස්‌ වන්නේ ඔන්න ඔතනදී. මගේ රට තුළ සිදුවිය යුත්තේ කුමක්‌දැයි ජාත්‍යන්තරයෙන් කියනතුරු මා බලා සිටින්නේ නෑ. 2009 මැයි මාසයෙන් පසු පැන නැගි ප්‍රශ්න විසඳීමට මම කඩිනම් වැඩපිළිවෙළක්‌ යොදවනවා. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට මම පියවර ගන්නවා. අඩුම වශයෙන් එය ක්‍රියාත්මක කිරීමට කාලසටහනක්‌ වත් ප්‍රකාශයට පත්කරනවා. රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩ නොතැබීම යන අදහසේ මම තදින්ම එල්බගෙන සිටිනවා.

ප්‍රශ්නය(- එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මෙවැනි යෝජනා සම්මත කර ගැනීමට “ඉඩ ඉතුරු කරන්නේ නැතැයි” කියමින් අදහස්‌ වන්නේ එම යෝජනාවේ අන්තර්ගතය සාධාරණ බවයි. එනම් ලංකාවේම උන්නතියට හේතුවන යම් යම් ක්‍රියාමාර්ගයන් ගත්තේ නම් එවැනි යෝජනාවක්‌ කිසි දිනෙක සම්මත නොවන බවට ඔබේ ප්‍රකාශයේ යම් අදහසක්‌ ගැබ්වෙනවා.

පිළිතුර( රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන මොනම යෝජනාවක්‌වත් සාධාරණීකරණය කිරීමට මං උත්සාහ ගන්නේ නෑ. නමුත් ප්‍රශ්නය වන්නේ මේක සිදුවුණේ ඇයි කියන එකයි. ලංකාවේ ආණ්‌ඩුව විසින් තමන්ගේම ක්‍රියාවන් තුළින් ලංකාවේ පරමාධිපත්‍යයෙන් කොටසක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට හා ජාත්‍යන්තර බලවේගවලට පවරා දී තිබෙනවා. එක උදාහරණයක්‌ වන්නේ 2009 මැයි මාසයේදී එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා හා අපේ ජනාධිපතිතුමා අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශයයි. එයින් මහලේකම්වරයා විසින් ජාත්‍යන්තර මානව අයිතීන් පිළිබඳ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකීමේ ක්‍රියාවලියක්‌ තිබිය යුතු බව අවාධරණය කර තිබෙන අතර ඊළඟ වාක්‍යයෙන් කියෑවෙන්නේ මෙවැනි දුක්‌ ගැනවිලි ගැන කටයුතු කිරීම ලංකාවේ ආණ්‌ඩුව විසින් කරනු ඇති බවයි. ඒ අනුව මේ ඒකාබද්ධ ප්‍රකාශයේ වගකීම පිළිබඳ ප්‍රශ්න ඇති බවත්, මානව අයිතීන් උල්ලංඝනය වීම් ඇති බවත් පිළිගෙන ඇත. තවත් උදාහරණයක්‌ වන්නේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා බෑන්කී මූන්ගේ විද්වත් කමිටුව ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක්‌ සකස්‌කරමින් සිටි සමයේ ඔහුට ලිපියක්‌ ලියමින් මහලේකම්වරයාගේ ක්‍රියාදාමයත් ලංකාවේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම අතරත් “මටසිලිටි සම්බන්ධයක්‌” තිබිය යුතු බවට යෝජනා කර සිටීමයි. එයින්ද අපේ පරමාධිපත්‍යය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පාවා දී ඇත. තවත් උදාහරණයක්‌ වන්නේ ඉන්දීය විදේශ ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා ලංකාවට පැමිණි විට ඔහුට 13 වන සංශෝධනයෙන් ඔබ්බට යන විසඳුමක්‌ ඇතිකරන බවට ප්‍රතිඥ දීමයි. නමුත් ඔහු ආපසු ඉන්දියාවට ගිය පසු එවැනි කිසිදු කතාබහක්‌ නොකෙරුණු බවට වාර්තා කොළඹින් ඇසෙන්නට පටන් ගත්තේය. මේ අනුව ජාත්‍යන්තරය සංතෝස කිරීමට ඔවුන් 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට යන විසඳුමක්‌ ඇතිකරන බව කියයි. ඉන්පසුව රටේ ජනතාව සංතෝස කිරීමට අඩුම වශයෙන් දැනට පවතින 13 වැනි සංශෝධනයවත් ක්‍රියාත්මක නොකරන බව කියයි. මේ වගේ විදේශ ප්‍රතිපත්තියක්‌ රටකට තිබිය නොහැකියි. තමන්ගේ සිතේ තිබෙන දේ නිර්භයව ප්‍රකාශ කළ යුතුයි. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇත්තේ මේ නිසාය.

ප්‍රශ්නය – මගේ පළමු ප්‍රශ්නයට නැවතත් අවධානය යොමු කළහොත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේම උල්ලංඝනය කර ඇති නිසා ඔබ බලයේ සිටියේ නම් එකී යෝජනාව ක්‍රියාත්මක කරනවාද?

පිළිතුර – උගත් පාඩම් හා සංහිඳියා කොමිසමත් පත් කළේ මම නම් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ජාත්‍යන්තර යෝජනා සම්මත වුණාද නැත්ද යන්න එයට අදාළ වන්නේ නෑ.

ප්‍රශ්නය – නමුත් උගත් පාඩම් හා සංහිඳියා කොමිසම කිසිකෙනෙක්‌ නියෝජනය කරන්නේ නැහැ. එය විද්වත් කමිටුවක්‌ පමණයි. රටේ තීරණ ගැනීමේ බලය ජනතා ඡන්දයෙන් පත් නොවුණ පිරිසකගේ අතට යැම ඉතාමත්ම භයානක දෙයක්‌. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සඳහන් ඇතැම් කාරණා විශේෂයෙන්ම ලංකාවට අදාළ වන යුධ නීතිය පිළිබඳ පරිච්ඡේදය ප්‍රයෝජනවත් බව මම පිළිගන්නවා. නමුත් බලය බෙදාහැරීම වැනි කාරණා ගැන කතා කරන විට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම වැරදි තොරතුරු මත තමන්ගේ නිගමනයන් පදනම් කරගෙන ඇති බව මට වුණත් පෙනෙනවා. බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කර ඇත්තේ දැනට පවතින “සාම්ප්‍රදායික ඥනය” ඔස්‌සේයි. ඒ ගැන ගැඹුරු හැදැරීමක්‌ ඔවුන් කර ඇති බවක්‌ පෙනෙන්නට නෑ. බුද්ධිමතුන් හා විද්වතුන් බුද්ධිමය “බලු රැලවල්” වල යැමට බොහෝ විට පෙළඹෙනවා. අවුරුද්දේ එක කාලයකදී එක බැල්ලියක්‌ පසුපස බල්ලන් 10 දෙනෙක්‌ පමණ දිවයනු අපට දැකිය හැකිය. විද්වතුන් අදහස්‌ පසුපස යන්නේ ද ඒ ආකාරයටම බව දන්නෝ දනිති. මොනම විද්වතුන් පිරිසක්‌ විසින් වත් සකසන ලද වාර්තාවක්‌ ඒ ගැන පුළුල් විවාදයකින් තොරව කිසිදාක ක්‍රියාත්මක නොකළ යුතු බව මගේ අදහසයි.

පිළිතුර – උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යම් යම් දුර්වලතාවයන් ඇති. නමුත් යහ පාලනය, ස්‌වාධීන කොමිසම් නැවත ස්‌ථාපනය කිරීම, මානව අයිතීන් ආරක්‍ෂා කිරීම, සන්නද්ධ කණ්‌ඩායම් තුරන් කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම වැනි කාරණාවලදී මම උගත් පාඩම් හා සංහිඳියා කොමිසම සමග එකඟ වනවා.

ප්‍රශ්නය – දැන් මෙතනදී කියවුණු කරුණු අනුව ඔබට බලයක්‌ තිබුණා නම් ඔබ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ක්‍රියාත්මක කිරීම එක පයින් ප්‍රතික්‍ෂේප කරනවා. එමෙන්ම 2009 මැයි මාසයේදී බෑන්කී මූන් ලංකාවට පැමිණි විට ඔහු සමග කිසිදු ඒකාබද්ධ ප්‍රකාශයක්‌ කිරීම ප්‍රතික්‍ෂේප කරනවා. එමෙන්ම බෑන් කී මූන් විසින්ම විද්වත් කමිටුවක්‌ ස්‌ථාපනය කළ පසු ඒ ගැන බෑන් කී මූන් සමග එක වචනයක්‌වත් කතා නොකර සිටිනවා. ඔබේ නැඹුරුව ඇත්තේ එවැනි ස්‌ථාවරයකට වුවත් ආණ්‌ඩුවට වාසියක්‌ වේය යන බය නිසා ඔබ එවැන්නක්‌ ප්‍රසිද්ධියේ කියා සිටීමෙන් වැළකී සිටිනවා යෑයි මට හැඟෙනවා.

පිළිතුර – (සිනාසෙමින්) නෑ. මම දේශීය ප්‍රශ්න විසඳීමට බොහොම පැහැදිලි උපක්‍රමයක්‌ යොදවනවා. සාමය හා සංහිඳියා ක්‍රියාදාමය සම්බන්ධයෙන් කිසිවකුටත් ප්‍රශ්න නැගීමට මා ඉඩ තියන්නේ නෑ.

ප්‍රශ්නය – “ප්‍රශ්න මතු කිරීමට කිසිවකුටත් ඉඩ තබන්නේ නැතැයි” කීමෙන් ලංකාවට එරෙහිව යෝජනාව ගෙන ආ බටහිර රටවල් සැබවින්ම ලංකාවේ යහපාලනය අපේක්‍ෂා කරනවා යෑයි හැඟීමක්‌ දැනවෙයි. මෙය යහපාලනය ඇතිකිරීමට ගත් උත්සාහයකට වඩා යුද්ධයෙන් පසු මේ රටෙන් ගිලිහී ගිය බටහිර බලපෑම නැවත ස්‌ථාපිත කර ගැනීමට ගත් පියවරක්‌ නොවේද?

පිළිතුර – ඔය දෙකේම සංකලනයක්‌ විය හැකියි. 2009 දී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන එනු ලැබුවත් එය අනෙක්‌ පැත්ත හරවා ගැනීමට අපට හැකි වූවා. මෙවර එය කිරීමට නොහැකි වූයේ ඇයි?

ප්‍රශ්නය – 2007 දී යෝජනාව ගෙන ආවේ ඇමරිකාව විසින් නොවෙයි. එපමණක්‌ නොව ඒ අවස්‌ථාවේදී මානව හිමිකම් කවුන්සිලයේ සෙසු සාමාජිකයන්ට බලහත්කාරය යෙදවූයේද නැත. නමුත් මේ වතාවේදී ඇමරිකාව තම සියලු බලය යොදවා ආධාර කපාහැරීමේ තර්ජනය මත බොහෝ දුප්පත් රටවල් තමන්ගේ පැත්තට නම්මවා ගත්තා. යෝජනාවේ අන්තර්ගතය අනුව නොව නිරුවත් බලහත්කාරය මත මෙවැනි ප්‍රශ්නවලදී යෙදවෙන කොට මේ රටට ඇති විසඳුම කුමක්‌ද?

පිළිතුර – මහ බලවතුන් කටයුතු කරන ආකාරය අපි කවුරුත් දන්නවා. අප ඒ යථාර්ථය වටහාගෙන අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට විවිධ බලවතුන්ට ඉඩ ලබා නොදිය යුතු බව මගේ අදහසයි. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය රැස්‌ව සිටි අවස්‌ථාවේදීම යම් පිරිසක්‌ කොලොන්නාව නගර සභා සභාපතිව පැහැරගනු ලැබුවා. මෙවැනි දේවල්වලින් පෙනෙන්නේ ජාත්‍යන්තර මැදිහත්වීම් ලංකාවට ගෙන්වා ගැනීමට යම් පිරිසක්‌ කටයුතු කරන බවයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

Protected by Security by CleanTalk