මේ අපේ සංස්‌කෘතියේ මංගල්‍යයයි
source:
ඔන්න ආයෙම ගමේ වැට මායිම් දිගට හරි අපූරුවට රතු එරබදු මල් පිපිලා. කජුමල් සුවඳ මුහුවෙලා කොලු කෙල්ලන්ගේ මුහුණ අලුත් කිරිහිනාවෙන් පාට වැටිලා. උතුරු කෙළවරින් දකුණෙ මායිමට පෙළ ගැහුණු හෙළ සංස්‌කෘතියේ අපේ උරුමයන් අරගෙන අවුරුදු කුමාරයා ගමින් ගමට වඩින්න සුභ නැකැත් හෝරාවන් ගලපනවා.
කොවුල් කෙවිලියෝ කොහෝ, කොහෝ ගී සැණකෙළිය පටන් අරගෙන ගම පුරා රැව්පිළිරැව් නැගෙනවා. ගමේ පන්සලේ අපේ පොඩි හාමුදුරුවො ජාතක කතාපොතයි, ධම්මපදයයි පරෙස්‌සමට අරන් තියලා පංච බෙල්ලො ගණන් ගන්න, දාං ලෑලි ඔපරන්න අවසර අරගෙන වගේ ලොකු හාමුදුරුවො ගෝරනඩුව නතර කරලා.
අලුතින් වැටුණු ගොම මැටිවලට ඉහළ අගයක් ඇවිත් අපේ අම්මල හරි හරියට ගෙබිම පිරියම් කරනවා, නැකතට ගිනිදල්වන්න අලුතින් ලිප පිරියම් කරනවා. අගේට දැඟිලි රටා වාටියට එක්‌කරමින් හැඩතල තියෙනවා හරියට අවුරුදු කුමරාට වඩින්න මං සලකුණු ලකුණු කරනවා වාගෙයි.
අපටම කියලා කට පුරා කියන්න, මුළු ලෝකෙකට පෙන්නන්න, කාටවත් නොදෙවැනි හෙළ සංස්‌කෘතියක්, සභ්‍යත්වයක් තියනවා අපට, බත බුලතින් සාරවුණ, ගැමි ජන දිවියෙන්, කවියෙන් සාරගර්භ වුණ, ගැමි කෙළි සෙල්ලමින් ඔපවැටුණු චග්ගුඩු, පොරපොල්, රබන් සුරල්, ඔලිඳ කෙළි, ඔංචිලි වාරම් යනාදී වූ හෙළ සංස්‌කෘතික කෙළි කලාවේ ඡායාවන් තවමත් ඉතිරි වෙලා තියෙනවා අපට . මුළු ලොවක් නෙත් අයාගෙන සිටින මේ පුංචි දිවයිනේ එකම දිනයක, එකම පාටකින් සැරසිලා, එකම නැකතකට ලිප්ගිනිමොළවලා රටේ සතර දිගින් කිරි ඉතිරෙන්නැයි සුභ පාර්ථනා පිළිගන්වන්නේ මේ උදාවන සුභ අලුත් අවුරුද්දටයි.
කෙසේ වෙතත් තව අඩසිය වසකටත් මෙහායින් මේ අපේ සංස්‌කෘතියේ ඉරණම විසඳන්න, ගැමි සංස්‌කෘතිය වළ පල්ලට යවන්නට සමහරක් අපේම රටේ කලු සුද්දන් දතකට මැදගෙන බලාන ඉන්නවා. අලුත් අවුරුද්ද යනු හුදෙක් කාබී ඇතිපදම් සාඡ්ජදමන ගැමි තරුණ තරුණියන් කරලියට කැඳවා ඔවුන්ගේ ලැඡ්ජා භය නොයෙක් මාධ්‍ය හරහා දිගහරින්න විගඩම් සෙල්ලම් අවුරුදු උළෙලවලට ඈඳමින් හෙළ ජනක්‍රීඩාපිටියෙන් ඉවතට විසිකරන්න අනර්ථයන්ගෙන් පිරි නිකම්ම නිකන් හරසුන් උත්සවයක් ගණනටම පත්කරනවා.
වැලලී යන මේ අපේකම ඇදට වඩා හෙට උපදින පරපුරට සුරැකිව දායාද කිරීමේ වගකීම දිනෙන් දිනම ගිලිහී යන බවට සාක්‌ෂි උවමනාවටත් එහායින් දිගට ඇදිලා තියෙනවා. දැන් හොඳම කාලය එළඹිලා අනාගතයේ, රට භාරගන්න පුරපුරට හුස්‌ම පිඹලා මියෑදෙන්න පණ ගැහෙන සංස්‌කෘතිය සජීවීකරණය කරන්නට.
අපේ කම වළපලල්ට දාලා උන්ගෙකම ඉහළට ඔසවලා නොබෝ කලකින් ජාතියට සෙතක් නැති අපේකමට තිතක් ඇති කරන්නට සැරසෙන බව නොරහසකි.
ගමයි, පන්සලයි වැවයි, දාගැබයි ආයෙම එක්‌තැන් කරලා නොබිඳෙන බැමි පවුරු ඉදිකරලා අපට අගේ ඇති රටට වැඩ ඇති ඒ දේශීය ඉතිහාසය මුලසිට අගටත් අගසිට මුලටත් යළි කියවිමට එය ප්‍රායෝගික කිරිමට කාලයයි මේ. සැබැවින්ම එය එසේම වුවහොත් කටපුරා සිනාසී බතබුලතින් පිරි, කිරි ඉතිරෙන සුභ නව වසරේ අසිරිය හෙළ කලාවේ, සංස්‌කෘතියේ දායාදය කොට සැමරීමටත් සැබෑම සොම්නසින් ගතකරන්නටත් හැකිවේවි.
සියලුම ලක් වාසීන්ට සුබම සුභ නව වසරකට ආසිරි වේවා· තිසරණ සරණින් සිත් සදා සැනසේවා…. ඉදිරි පරපුරට මෙවූ සංස්‌කෘතියේ දායාදය ලැබේවා·
එල්. ජී. ඩී. ගංගාදරී,
හේනේපොල,
ගල්මුරුව.