ඉන්දීය නියෝජිත පිරිස ඉදිරියේ
සම්බන්ධන් හා අස්‌වර් ඇදගෙනම නාගනිති! source:
සිංහල අලුත් අවුරුද්ද හා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සමඟ ආරම්භ වූ පසුගිය සතිය මේ රටේ ජීවත් වූ දේශපාලන නායකයන් බොහෝ දෙනකුට කාර්ය බහුල සතියක් යෑයි කීම අතිශයෝක්‌තියක් නොවේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද ඒ කාර්ය බහුලත්වය සමඟ ඉතා සතුටින් සිය ගම් පළාතට වී සතියේ වැඩ කටයුතු ආරම්භ කළේය.
එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සුපුරුදු පරිදි මෙවරත් සිංහල අවුරුදු දින කිහිපය ගත කළේ පිට රටවලය. ඔහු සිය බිරිඳ මෛත්‍රි සමඟ නවදිල්ලියට ගොස් සිටි බව ආරංචි වී තිබිණි.
මේ අතර එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක, දොස්‌තර ජයලත් ජයවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, චන්දිම වීරක්‌කොඩි ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් උගන්ඩාවට ගියේ මීට සති දෙකකට කලිනි. උගන්ඩාවේ සමුළුව ඉවර වී සමහර අය ලංකාවට පැමිණියත් කීපදෙනෙක්‌ම යුරෝපයට ගියේ සිය පුද්ගලික වුවමනාවන් ඉටුකර ගැනීමටය. තිස්‌ස සිය දියණිය බලන්නට ලන්ඩන් හරහා නිව් කාසල් බලා ගමන් ඇරඹූ අතර ඔහුගෙන් වෙන් වූ ජයලත් රෝමය බලා යන්නට සූදානම් වූයේය. ජයලත් අසනීප තත්ත්වයකට පත් වී සරේ ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ ඒ අතරය. දොස්‌තර ජයලත් අවුරුදු දින කිහිපය ගතකළේ රෝහලේය.
මේ අතර අවුරුද්දට හිටපු එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය ද ලන්ඩනයට ගියේය. සාමාන්‍යයෙන් කරු අවුරුද්ද ගතකරන්නේ ලංකාවේ ඔහුගේ ගම් පියස වන මීරිගම නිවසේය. එහෙත් මෙවර කරුට හා ජයසූරිය මැතිනියට නොසිතූ පරිදි ලන්ඩන් යන්නට සිදුවූයේ ඔවුන්ගේ කනිටු දියණියගේ බලවත් පෙරැත්තය පරිදිය. ඕ ලන්ඩනයේ පදිංචිව සිටින නිසා කරු සිය භාර්යාව ද සමඟ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදු කළේ ද ලන්ඩනයේය.
මේ අතර 14 වැනිදා ලන්ඩනයේ සිටි කරුට හදිසි දුරකථන ඇමතුමක් ලැබිණි. දුරකථනයේ එහා කෙළවරින් කතා කළේ ලියම් ෙµdක්‌ස්‌ය.
මට ආරංචි වුණා ඔබතුමා ලන්ඩනයට ඇවිත් කියලා. එතකොට මම හිටියේ මැදපෙරදිග. බැරිද අපි දෙන්නට අද එක මොහොතකට හමුවෙලා කතාබහ කරන්න. ලියම් ෙµdක්‌ස් ආචාරශීලීව ආරාධනය කළේය.
ඒ අනුව කරු ෙµdක්‌ස් හමුව එදා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. දෙදෙනා කතා කළේ ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය ගැනය.
මම ලංකාවට ආදරෙයි. ලංකාව ගැන මගේ ලොකු සැලකිල්ලක් තියෙනවා. යුද්දේ ඉවර වුණාට පස්‌සෙත් මම ලංකාවට උදව් කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ලංකාවේ සංවර්ධන කටයුතුවලට ආධාර අරගෙන දෙන්න. නමුත් යම් යම් හේතු නිසා ඒවා මඟහැරිලා ගියා. ඒ වුණත් ඔබේ රටට මම තවමත් ගරු කරනවා. ෙµdක්‌ස් කරු හමුවේ කීවේය.
අවුරුදු සිරිත්
2012 සිංහල අලුත් අවුරුද්ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගත කළේ මැදමුලන නිවසේ හා කාල්ටන් නිවසේය. පවුලේ සහෝදර සහෝදරියෝ වැඩි දෙනෙක් එම අවස්‌ථාවට සහභාගිව සිටියේ සිය සියලු පවුල් සමඟ බැවින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අකුරටම සිදු කෙරිණි. ඒ අතරතුර විවිධ උත්සව හා අවුරුදු උත්සව ද රට පුරා තැන් තැන්වල ප්‍රධාන ජනමාධ්‍ය ආයතනවල අනුග්‍රහයෙන් පැවැති බැවින් රාජපක්‍ෂ පවුලේ සමහරු සිටියේ ඒවාට ද විටින් විට සහභාගි වෙමිනි. ඒ අතර මොනරාගල අවුරුදු උළෙල හා ඊට නායකත්වය දුන් ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ කැපී පෙනිණි.
14 වැනිදා උදේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සුබ පතන්නට නිවසට පැමිණෙන පිරිස් සමඟ කතාබහ කරමින් සිට නිල රාජකාරි කිහිපයකට ද සහභාගි වන්නට ගියේය. තංගල්ල මහජන බැංකු ශාඛාව විවෘත කිරීම හා පීපල්ස් ලීසින් ආයතනය විවෘත කිරීම ද කැපී පෙනිණි. දවසේ ඉතිරි ටික ගෙවී ගියේ යන එන හිතවතුන් හමුවෙමින් හා ප්‍රදේශයේ ආගමික ස්‌ථානවලට යමින් ආගමික නායකයන් හමුවෙමින් කරන ලද සාමාන්‍ය ආගමික වැඩ කටයුතුවලටය.
පසුදා එනම් 15 වැනිදා ඉරිදා හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසේදී මහ ජයට සැමරිණි. එහි ආගමික කටයුතු ඉටු කළේ දක්‍ෂිණ ලංකාවේ අධිකරණ සංඝනායක පල්ලත්තර සුමනජෝති මාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්‌ථාවට ගමේ හා ප්‍රදේශයේ මහ සෙනඟක් ඇවිත් සිටියත් දේශපාලනඥයෝ වැඩිපුර සිටියේ නැති තරම්ය. සිටියා නම් සිටියේ ධනසිරි අමරතුංග හා නැගෙනහිර පළාත් සභාවේ විමලවීර දිසානායක ඇමැතිවරයා පමණි.
සුමනජෝති හිමියන්ගේ ආගමික වත්පිළිවෙත් අතර හිසතෙල් ගෑමේ මංගල්‍යය ද සිදුකෙරිණි. ඉන්පසුව ධනසිරි හා විමලවීර බුලත් හුරුළු දී ජනාධිපතිවරයාට ආචාර කළහ. අනතුරුව තේ මේසයට ගොස් සියල්ලෝම තේ පානය කිරීමෙන් පසු විසිර ගියහ.
ඉන්පසුව ජනාධිපතිවරයා ප්‍රදේශයේ පන්සල් කිහිපයකටම පිටත්ව ගියේය. නාකුළුගමුව වැව්දත්ත ෙච්තියක පුරාණ රජමහා විහාරයට ගිය ඔහු ඊළඟට ගියේ සිතුල්පව්ව රජමහා විහාරයටය.
දුත පිරිස්
පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් බැලූ බැල්මට පෙනෙන තවත් සිදුවීම් කිහිපයකි. ලංකාවට විදේශීය දූත කණ්‌ඩායම් කිහිපයක් පැමිණීම මෙහි ලා කැපී පෙනිණි. එකක් වූයේ පලස්‌තීන ජනාධිපති මහමුද් අබ්බාස් ඇතුළු නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීමය. දෙවැන්න ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරාඡ් ඇතුළු සර්ව පාක්‍ෂික නියෝජිත කණ්‌ඩායමක් ලංකාවට පැමිණීමයි. හුඟ දෙනකුගේ අවධානය මෙම නියෝජිත කණ්‌ඩායම් දෙක වෙත යොමුවී තිබිණි. මෙයින් වඩාත් අවධානය දිනාගත්තේ ඉන්දීය දූත පිරිසගේ ලංකාගමනයයි.
ජනාධිපති මහින්ද අවුරුද්දට ගමේ ගොස් යළි කොළඹ පැමිණි වහාම කළ රාජ්‍ය තාන්ත්‍රික රාජකාරිය වූයේ පලස්‌තීන ජනාධිපතිවරයා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවීමයි. එම හමුව 16 වැනිදා උදේ සිදුවූ අතර රටවල් දෙකටම බලපාන විශේෂ ගිවිසුම් දෙකක් අත්සන් කිරීම ද විශේෂ සිද්ධියකි. එකක් දෙරටේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ගිවිසුමකි. දෙවැන්න දෙරටේ වෙළෙ¹ම් අතර බදු ක්‍රම විධිමත් කිරීම සඳහා වූ ගිවිසුමකි. මේ ගිවිසුම් අත්සන් කිරීමේදීත් හමුවේදීත් කැපී පෙනුණු ලක්‍ෂණය වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා පලස්‌තීනය අතර තිබෙන වසර විසි තිස් ගණනක පැරණි හිතවත්කම හා විශ්වාසයයි.
පසුගිය සතිය වන විට ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන අවුල් වියවුල් ද හොඳටම සක්‍රිය වී තිබිණි. ජවිපය පැහැදිලිව කොටස් තුනකට කැඩී බිඳී වෙන්වී ඇති වාතාවරණයක එකක් අනෙකෙහි දොස් ප්‍රසිද්ධියේ කියාපෑම හොඳටම වැඩි වී තිබිණි. පසුගිය සතිය තුළත් සමාජයට දැකගන්නට ලැබුණේ විවිධ ජනමාධ්‍ය තුළින් ජවිපයේ කණ්‌ඩායම් තුන එකිනෙකාට ඇඟිලි දිගු කරගන්නා ආකාරයයි.
මේ සියල්ල නිසා විපක්‍ෂයේ සටන්කාමීත්වය ටිකෙන් ටික විපක්‍ෂයෙන් ඈත්ව යන බව ජනතාවට දැනෙන්නට පටන්ගෙන තිබිණි. රජය පැත්තෙන් මොනවා සිදුවුණත් එයට එරෙහිව හොඳට හෝ නරකට විපක්‍ෂයෙන් විවේචන හා ප්‍රතිරෝධ එල්ල නොවීම තුළ දුර්වල වී තිබුණේ ජනතාවගේ අනාගත අභිමතාර්ථයි.
සුෂ්මා උතුරේ
මේ අතර පසුගිය සතියේ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට ද වැඩ රාජකාරි ගොන්නක් තිබිණි. ඊට හේතුව ලංකාවට පැමිණ සිටි ඉන්දීය නියෝජිත පිරිස උතුරට රැගෙන යැමේ වගකීම පැවරී තිබුණේ ඔහුට නිසාය. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල රජය විසින් ඉටුකරමින් තිබෙන සංවර්ධන වැඩ කටයුතු පිළිවෙළින් ඉන්දීය නියෝජිත පිරිස වෙත අවබෝධ කරවීම තරමක අමාරු කාර්යයක් වී තිබිණි.
මේ අතරතුර බැසිල් ඇමැතිවරයා ඉන්දීය නියෝජිත පිරිස මුලතිව් ප්‍රදේශයේ ඉන්දියානු ආධාර මත ඉදිවන නිවාස යෝජනා ක්‍රමයක් පරීක්‍ෂා කරන්නට කැටුව ගියේය. නිවාස යෝජනා ක්‍රමය පිළිබඳ නියෝජිත පිරිස එහි කොන්ත්‍රාත්කරු සමඟ කතා කරමින් සිටියහ. බැසිල් සිටියේ ඊට යාබද තැනක නිලධාරීන් හා කතාබහ කරමිනි.
මේ නිවාස ඉදිවීම මේ තරම් ප්‍රමාද වී ඇත්තේ කුමක් නිසාදැයි නියෝජිත පිරිස කොන්ත්‍රාත්කරුගෙන් විමසූහ. කොන්ත්‍රාත්කරු ගත් කටටම කීවේ රජයෙන් ඉඩමක් නිසි කලට නොලැබීම නිසා නිවාස හැදීම ප්‍රමාද වූ බවකි.
මේ ප්‍රකාශය ඒ මොහොතේ බැසිල්ගේ ද කණට වැටිනි. බැසිල් වහාම කොන්තාත්කරු ළඟට පැමිණ බොරු නොකියා ඇත්ත කියන්නැයි අවවාද කළේය. ඒ මොහොතේම මුලතිව් දිසාපතිවරයා එතනට කැඳවූ බැසිල් මේ ඉඩම කොන්ත්‍රාත්කරුට ලබාදුන්නේ කවදා දැයි පෙන්වන ලෙස නියම කළේය. දිසාපතිවරයා සාක්‌ෂි සාධක සහිතව ඉඩම ලබාදුන් වකවානු පෙන්වද්දී බොරුකාර කොන්ත්‍රාත්කරු බිම බලා ගත්තේය.
අන්තිමේ ඔහු බැසිල් පසුපස යමින් සමාව ඉල්ලන්නට පටන්ගත්තේය. හොඳ වෙලාවට මම මෙතන හිටියේ. මම නොහිටියා නම් රජයට එරෙහිව තව බරපතළ චෝදනාවක් එකතු වෙනවා මේ මිනිස්‌සුන්ට ගෙවල් හදන්න රජය ඉඩම්වත් දීල නැහැ කියලා…. බැසිල් හිනාවෙමින් කීවේය.
පසුගිය සතිය මැද ජනාධිපතිවරයා පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළව වෙනස්‌කම් කිහිපයක් ද කරනු ලැබුවේය. ලොහාන් රත්වත්තේ පාතදුම්බර ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස පත් කළේය. ඡේ. ආර්. පී. සූරියප්පෙරුමව දැදිගම ආසනයේ සංවිධායක ලෙස පත් කළේය.
ඒ අතර මෙරටට රථවාහන ගෙන්වන ව්‍යාපාරිකයන් තුළ තිබූ ප්‍රශ්න පත්‍රයකට උත්තර සොයන්නට ද ජනාධිපතිවරයා උනන්දු වූයේය. ඔහු ඔවුන් සමඟ සාකච්ඡාවකට වාඩි වුණේ පසුගිය 17 වැනිදා හවස අරලියගහ මන්දිරයේදීය. ඒ අතරතුර තවත් මළ ගෙදරකට ද ගියේය. ගුවන් හමුදාපතිවරයාගේ පියා මියයැම නිසා ඔහු අවසන් ගෞරව පුදන්නට ගියේය. මේ අයුරින් වැඩ රාජකාරි නිසා ජනාධිපති මහින්ද අවුරුදු සතිය තුළත් වෙහෙසට පත්වී සිටියා යෑයි කිවහොත් නිවැරැදිය.
ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායිකා හා ශ්‍රී ලංකාවට පැමිණි සර්ව පාක්‍ෂික ඉන්දීය මන්ත්‍රී කණ්‌ඩායමේ නායිකා සුෂ්මා ස්‌වරාඡ් සිය කණ්‌ඩායම සමඟ පසුගිය 17 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුවට ආවේ අපේ පාර්ලිමේන්තුවේ සර්ව පාක්‍ෂික කමිටුවක් හා සාකච්ඡා කිරීමටය. පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මේ සඳහා කදිම කණ්‌ඩායමක් සාදා තිබිණි. මේ සඳහා විපක්‍ෂය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස, ජෝන් අමරතුංග හා ආර්. සම්බන්ධන් පැමිණ සිටියහ. ආණ්‌ඩු පක්‍ෂයෙන් දිනේෂ් ගුණවර්ධන, චන්දිම වීරක්‌කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, එම්. එච්. එම්. අස්‌වර් ඇතුළු පිරිසක් සහභාගිව සිටියහ.
ඉන්දීය නියෝජිත පිරිසට ලංකාවේ පාර්ලිමේන්තුවේ කණ්‌ඩායම හඳුන්වා දුන්නේ සභානායක නිමල් සිරිපාල ද සිල්වාය. ඔහු එක් එක්‌කෙනා හඳුන්වා දෙන අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හඳුන්වා දුන්නේ විශේෂත්වයක් පෙන්නුම් කරමිනි.
මේ ඉන්නේ වෛද්‍යවරියක්. අපේ ප්‍රබල මන්ත්‍රීවරියක්. ඒ වගේම කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදී කටයුතු නිසා අසාධාරණයට පත්වෙච්ච කාන්තාවක්. මානව හිමිකම් නැතිවුණු නායිකාවක්.
ඒ කොහොමද සුෂ්මා ස්‌වරාජ් ඇසුවාය.
මගේ මහත්තයා මේ රටේ සුළු ජාතියක් නියෝජනය කරපු රජයේ ප්‍රබල ඇමැතිවරයෙක්. එතුමා ක්‍රීඩා තරගයක් ආරම්භ කරන්න සහභාගිවෙලා ඉන්න වෙලාවක එල්. ටී. ටී. ඊ. සංවිධානය බෝම්බයක් පුපුරවල ඝාතනය කළා.
ඒ කොයි කාලෙද?
මීට අවුරුදු 4 කට කලින්. ඒ සිද්ධිය නිසා රටට හොඳ ඇමැතිවරයෙක් නැතිවුණා. ජනතාවට හොඳ නායකයෙක් නැති වුණා. මට මගේ සැමියා අහිමි වුණා. මගේ දරුවන්ට තාත්තා නැතිවුණා. එහෙම නැතිවුණ අපේ මානව හිමිකම් ගැන අද කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. නමුත් ඔක්‌කොම අද එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මානව හිමිකම් ගැන කතා කරනවා.
සුෂ්මා ස්‌වරාජ් සිටියේ සුදර්ශනීගේ ඒ ප්‍රකාශය ඇසුණු නෑසුණු ගානටය.
අපට විතරක් නෙවෙයි කොටි ක්‍රියාකාරකම් නිසා මේ රටේ දෙමළ ජනතාවටත් මානව හිමිකම් නැතිවුණා. ඒ ගැන නෙවෙයි කවුරුත් කතා කරන්නේ සුදර්ශනී තවදුරටත් කීවාය.
ඉන් අනතුරුව සාකච්ඡාව අරඹමින් නිමල් සිරිපාල ද සිල්වා කතා කළේ ප්‍රශ්නයේ වත්මන් මුහුණුවර හෙළිදරව් කරමිනි. ඔහු උතුරු නැගෙනහිරට අවශ්‍ය දේශපාලන විසඳුම නිසි වේලාවට ලබාදෙන බව කියමින් කරුණු පැහැදිලි කළේය.
නමුත් මේ ප්‍රශ්නයට ඉක්‌මන් දේශපාලන විසඳුමක් අවශ්‍ය බව පේනවා. නමුත් අපිට පේන්නේ නැහැ ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම ඉක්‌මනින් ලැබෙනවා කියලා. උතුරේ ජනතාවට වුවමනා ඉක්‌මන් දේශපාලන විසඳුමක් ලබාගැනීමයි. ස්‌වරාඡ් කීවාය.
අපි ඔය ගැන රජයට කිව්වා. රජය සමඟ අපි සාකච්ඡා කළා. නමුත් ඒ සාකච්ඡා අසාර්ථක වුණා. සම්බන්ධන් කීවේය.
අපි කැමැති නැහැ මේ රට බෙදනවට. අපි ඉල්ලන්නේ අපේ පළාත්වල අපට අපේ ප්‍රශ්න ගැන තීරණයක් ගන්න අයිතිය විතරයි. අපි කැමැති මේක අපේ රට ඇතුළේම අපේ එකඟතාවකින් විසඳෙනවාටයි. සම්බන්ධන් තවදුරටත් කීවේ අපි මේ රටේ පුරවැසියෝ බව ඒත්තුගන්වමිනි.
මේ අවස්‌ථාවේ අස්‌වර් ද කතා කරන්නට නැගී සිටියේය. ඇයි… අපි අපි මුස්‌ලිම් ජනතාව. අපිත් මේ රටේ පුරවැසියෝ. අපේ රටේ සමස්‌ත මුස්‌ලිම් ජනගහනයෙන් උතුරු නැගෙනහිර ඉන්නේ 49% යි. අනිත් 51% ම අපේ ජනතාව ඉන්නේ. දකුණේ සිංහල ජනතාව සමඟ හැම තැනම අත්වැල් බැඳගෙන. අද අපට සිංහල ජනතාව සමඟ සමගියෙන් අත්වැල් අල්ලගෙන ඉන්න පුළුවන් නිදහසක් හා පරිසරයක් ජනාධිපතිතුමා හදල දීල තියෙනවා. අපට පුළුවන් නම් මේ නිදහස භූක්‌ති විඳින්න ඇයි ඔයගොල්ලන්ට බැරි… අස්‌වර් තර්ක කළේය.
අපේ ජනතාව දුක්‌විඳිනවා. අපේ ජනතාවගේ ප්‍රශ්න විසඳලා දෙන්න අපට අයිතියක් තියෙනවා. අපියි දෙමළ ජනතාවගේ නායකයෝ… සම්බන්ධන් කීවේය.
දෙමළ ජනතාවගේ නායකයෝ ඔයාලා කියල කියා ගත්තට දෙමළ ජනතාවට තව තව නායකයෝ ඉන්නවා. කරුණා අම්මාන්ලා ඉන්නවා. පිල්ලෙයාන්ලා ඉන්නවා. දේවානන්දලා ඉන්නවා. එයාලත් දෙමළ ජනතාවගේ නායකයෝ. අස්‌වර් කීවේය.
එයාලා කොච්චර හිටියත් මේ රටේ පොදු දෙමළ ජනතාව ඉන්නේ අපිත් එක්‌ක. මැතිවරණවලින් ඒක පැහැදිලියි.
දෙමළ ජනතාව ඔයගොල්ලත් එක්‌ක හිටියට ඔයගොල්ල හදවතින් දෙමළ ජනතාවත් එක්‌ක නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නය. අස්‌වර් තර්ක කළේය.
ප්‍රශ්නය තව තවත් දුරදිග ගියේය. සම්බන්ධන්ට කේන්ති ගියේය. අස්‌වර් ද කුකුල් කේන්තිකාරයෙකි. දෙදෙනාගේ සටන ඉන්දීය නියෝජිතයන්ට තරමක හාස්‍ය රසයක් ද ගෙන දුන්නේය.
ඔයා මේ දැන් ජනාධිපතිතුමාට හේත්තුවෙලා එතුමා වෙනුවෙන් බුරනවා. අපි කතා කරන්නේ අපේ ජනතාව වෙනුවෙන්.
නැහැ… වැරදියි ඔයාලා කොටි නියෝජිතයෝ…. ඔයාලා කතා කරන්නේ කොටි වෙනුවෙන්. ඔයාලා දෙමළ ජනතාවගේ නායකයෝ කිව්වට ඒ කාලේ ඔයාල ජනතාව එක්‌ක හිටියේ නැහැ. හිටියේ කොටි එක්‌ක. කොටි එක්‌ක ලැගල ඉඳලා කොටි විනාශ වුණාට පස්‌සේ බොරුවට ඇවිත් ජනතාවගේ නායකයෝ වෙන්න හදනවා. ඔයාලා කවුද කියලා ජනතාව දන්නවා. අස්‌වර් දිගින් දිගටම සිය සුපුරුදු කලබලකාරී වාග් විලාශය විදහාපාමින් සම්බන්ධන්ට ප්‍රහාර එල්ල කළේය. අවසානයේ මේ කලහය නතර කරන්නට මැදිහත් වන්නට වූයේ නිමල් සිරිපාල ද සිල්වාටය. ඉන්පසුව සුෂ්මා ස්‌වරාජ් රටේ ප්‍රධාන විපක්‍ෂයේ නියෝජ්‍ය නායකයා දෙසට හැරී ඔහුගෙන් ප්‍රශ්න කළේය. ඔයා මොනවද මේ ගැන හිතන්නේ….
ඉන්දියාව මේ ප්‍රශ්නය ගැන මේ තරම් උනන්දු වන එක ගැන අපි ස්‌තුතිවන්ත විය යුතුයි. ඒ වගේම අපි කැමතියි අපේ ප්‍රශ්නයටත් සාවධානව ඇහුම්කන් දෙනවා නම්. මගේ තාත්තා මේ රටේ ජනාධිපතිවරයෙක්. රටට එතුමා නැතිවුණෙත් මේ කුරිරු යුද්ධය නිසා. මේ රටේ ඒකීයභාවය ස්‌වෛරීත්වය භෞමික අඛණ්‌ඩතාව හා ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් රැකදෙන දේශපාලන විසඳුමකට අපි අකමැති වෙන්නේ නැහැ. අපට අවශ්‍ය අන්න ඒ විසඳුමයි. සජිත් ටිකක් දිගට ගොස් අදහස පැහැදිලි කළේය.
ඔයගොල්ල කණ්‌ඩායම උතුරු නැගෙනහිරට ගිහිල්ලා ඇවිදලා බලන්න මොන තරම් විශාල සංවර්ධනයක් අපි ඒ පළාත්වල ඇතිකරල තියෙනවද මේ ටික කාලෙට කියලා හොයල බලන්න. චන්දිම වීරක්‌කොඩි කීවේය.
සංවර්ධනය කෙරුණට වැඩක් නැහැ. ගොඩනැඟිලි පාරවල් හැදුනට ජනතාවගේ දේශපාලන සමාජ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැත්නම් වැඩක් නැහැ. මේ දැති රෝද දෙකම එක සමානව තියෙන්න ඕන. එකක් ලොකුවට එකක් පුංචියට තියෙනකොට දැති රෝද හරියට කැරකෙන්නේ නැහැ. එජාපය වෙනුවෙන් කතා කළ මන්ත්‍රීවරයෙක් පෙන්වා දුන්නේය.
ඔයගොල්ලන්ගේ දැති රෝද කොහොමද කියල නම් මම දන්නේ නැහැ. අපේ දැති රෝද නම් හොඳට කැරකැවෙනවා. ඒ වගේම සමානව කැරකෙනවා. අපි රටට අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය විසඳුම් ලබාදෙන්නම්. නිමල් සිරිපාල ද සිල්වා කීවේය.
මේ අයුරින් ඇදීගිය සාකච්ඡාව අවසානයේ ඉන්දීය දුත පිරිස පිටව ගියහ. පිටව යන මොහොතේ නිමල් සිරිපාල ද සිල්වා ළඟ සිටි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙසේ කීවාය.
මෙයාලා ඇවිල්ලා ඉන්නේ සාධාරණයක් ඉටුකරන්න නොවෙයි. අපිව විත්තිකූඩුවට දාලා නඩු අහන්න.
ගණන් ගන්න එපා සුදර්ශනී. මේ රටේ ඕන තරම් විත්තිය ජයගන්න නඩු අපට හමුවෙලා තියෙනවා. නිමල් සිරිපාල සිනහ වෙමින් කීවේය.
ශ්‍රී ලංකා විදේශ රැකියා ක්‍ෂේත්‍රයේ කොරියානු රැකියාවලට ඇත්තේ ප්‍රමුඛස්‌ථානයකි. ඊට හේතු ගණනාවකි. ඉන් ප්‍රධානම හේතුව වන්නේ කොරියානු රැකියාවල් මගින් ලැබෙන ඉහළ වේතනයි.
මේ නිසාම කොරියාවේ යන්නට රටේ තරුණ පිරිස අතර ඇත්තේ ලොකු උනන්දුවකි. උනන්දුව වැඩි වූ තරමට කොරියාවේ රැකියාව සඳහා යවන තරුණ තරුණියන්ගේ ප්‍රමිතිය ද මේ වන විට ඉහළ ගොස් අවසන්ය. මනා ශරීර සෞඛ්‍යය, හොඳ පහුණුව, හැකියාවන්, භාෂා ඥනය, විනිවිදභාවය, මනා කළමනාකරණය වැනි අංශවලින් කිරා මැන බලා අද කොරියාවට යවන්නේ ඉහළම සුදුසුකම් ඇති තරුණ තරුණියන්ය.
සාමාන්‍යයෙන් කොරියාවට ශ්‍රමිකයන් යවන රටවල් 17 ක් තිබේ. කොරියානු මානව සම්පත් කළමනාකරණ අධිකාරිය මේ රටවල් 17 අතරින් ඉහළම ප්‍රමිතියකින් යුතු තරුණ පිරිස එවන රටට වාර්ෂිකව සම්මානයක් ලබාදීම සිරිතකි. පසුගිය වසරේ එනම් 2011 වසරේ මෙම සම්මානය ලැබුණේ ශ්‍රී ලංකාවටය.
පසුගිය සතියේ එම සම්මානය පිරිනමන්නට කොරියානු තානාපතිවරයා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා හමුවන්නට ආවේය.
මේ සම්මානය ලබන්න සුදුස්‌සා මම නොවෙයි ජනාධිපතිතුමා. එතුමා තමයි, එතුමා කම්කරු ඇමැති වෙලා ඉන්න කාලේ කොරියාවට තරුණයෝ යවන්න පටන් ගත්තේ. අපි මේක එතුමාටම ලබාදෙමු.
මේ අනුව ඩිලාන් ජනාධිපතිවරයාට කතා කොට කොරියානු තානාපති සමඟ හමුවන්නට වෙලාවක් ලබාගත්තේය. වෙලාව ලැබුණේ ඉකුත් 18 වැනි බදාදා හවසය.
ඇමැති ඩිලාන්, විදේශ රැකියා ආයතනයේ සභාපති අමල් සේනාධිලංකාර, කොරියානු තානාපති ඇතුළු පිරිස ඒ අනුව හවස ජනාධිපතිවරයා හමුවන්නට ගියහ. කොරියානු තානාපති මේ මොහොතේ ඩිලාන් අමාත්‍යවරයාගේ කැපවීම හා ක්‍රියාකාරිත්වය පසසමින් ජනාධිපතිවරයා හමුවේ කීවේ… “මේ තරුණ ඇමැතිවරයාගේ කැපවීම හා ක්‍රියාකාරිත්වය මෙම සම්මානය ශ්‍රී ලංකාවට රැගෙන දීමට ඉවහල් වූ බවයි.
ඔව්… ඔව්… මේ තරුණ ඇමැතිවරයා හුඟක් මහන්සි වෙනවා තමයි. මෙයා කොච්චර තරුණ ද කියල කියනව නම් හෙටට මෙයාට වයස 51 යි. ඩිලාන් පුදුම වූයේ ජනාධිපතිතුමාට එය මතක් වී තිබීම සම්බන්ධයෙනි.
මගේ උපන් දිනේට මුලින්ම සුබ පතන්නේ සර් වුණාට අද නම් ඒකත් වැරදුණා. හෙට මට 51 නොවෙයි සර්…. 50 යි.
හොඳයි මේ සම්මානය රටට ලැබුණම අපි මේක කැපවෙලා වැඩ කරන මේ අවුරුදු පනහේ තරුණයාටම දෙමු…. ජනාධිපති කීවේය.
පසුදා උදෙන්ම ඩිලාන් පාන්දර 4.00 ට නැගිට බදුල්ල බලා පිටත් වූයේ ඔහුගේ උපන් දිනය දා බදුල්ල උදය ළමා නිවාසයට ආහාර වේලක් ලබාදීමේ අවස්‌ථාවට සහභාගි වීමටය. ඩිලාන් ඒ යන ගමනේදී උදේ 6.00 ට ජනාධිපති මහින්ද කතා කළේය. අවුරුදු 50 ක තරුණයාට සුබ පැතුවේ එවේලේය.
විපක්‍ෂයේ නිද්‍රාව
සිංහල අලුත් අවුරුදු සමය තුළ එක්‌සත් ජාතික පක්‍ෂයේ වැඩ කටයුතු කිසිවක් රටේ නොවුණා යෑයි කිවහොත් නිවැරැදිය. හේතු ගණනාවක්‌ම එක්‌ව තිබිණි. විපක්‍ෂ නායක රනිල් රටේ සිටියේ නැත. මහ ලේකම් තිස්‌ස සිටියේ නැත. කරු පාර්ශ්වයේ කරු ජයසූරිය සිsටියේ ද නැත. සෙසු නායකයන්ගෙන් වැඩි දෙනකු ද සිටියේ පිටරටවලය. මේ නිසා එජාපයේ වැඩ කටයුතු රටේ තිබුණේ නැතිම ගානය.
අවුරුදු ඉවර වී පසුගිය අඟහරුවාදා වන විට නවදිල්ලියේ සිටි රනිල් වික්‍රමසිංහ ලංකාවට පැමිණ සිටියේය. බ්‍රහස්‌පතින්දා පාන්දර සිය දියණිය සමඟ බ්‍රිතාන්‍යයේ නිවාඩුව ගතකරමින් සිටි තිස්‌ස ද ලංකාවට ආවේය. සෙසු නායකයෝ හා ක්‍රියාකාරී පිරිස් පිටරට සිට, ගම් පළාත්වල සිට කොළඹ ආවේද පසුගිය සතියේ අවසාන දින දෙක තුන තුළය. යාන්තමින් හෝ පක්‍ෂයේ වැඩ කටයුතු පටන් ගත්තේ ඉන්පසුවය.
එක්‌සත් ජාතික පක්‍ෂය යාපනයේදී සිය මැයි රැලිය දෙමළ ජාතික සන්ධානය සමඟ පවත්වන්නට සියලු කටයුතු සංවිධානය කරමින් සිටියත් දෙමළ ජාතික සන්ධානය ඊටත් අනුකූලතාවක් පෙන්වා තිබුණේ නැත. එහෙයින් එක්‌සත් ජාතික පක්‍ෂය මැයි දිනයට තනිවම හෝ මුහුණ දෙන්නට කල්පනා කළේය. එජාපයේ නායකයෝ සිටියේ ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමිනි.
මේ අතර ලංකාවට පැමිණ සිටින ඉන්දියානු දූත පිරිස හමුවන්නට ද විපක්‍ෂ නායකයාට අවස්‌ථාවක් ලැබුණේ ඉකුත් 19 වැනිදා රාත්‍රියේය. රනිල් සුෂ්මා ස්‌වරාඡ් ඇතුළු සර්ව පාක්‍ෂික මන්ත්‍රී දූත පිරිසට රාත්‍රි ආහාරය පිරිනැමීම බාරගත්තේය. ඒ අනුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සියල්ල සූදානම් කෙරිණි.
ඊට පෙර සවස 7.00 ට එජාප නායකයාගේ පාර්ශ්වය හා ඉන්දීය දූත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් ද තිබිණි. මෙම සාකච්ඡාවට රනිල් වෙනුවෙන් තිස්‌ස, සාගල, ලකී, කිරිඇල්ල, ජෝන්, ජෝෂප්, ජයවික්‍රම ඇතුළු පිරිසක් සහභාගිව සිටියහ. දෙපිරිස කතා කළේ ලංකාවේ දේශපාලන තත්ත්වය හා උතුරු නැගෙනහිර ප්‍රශ්නයෙහි යථාර්ථය ගැනය. රනිල් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සිටින ස්‌ථානය හා ඔහුගේ ස්‌ථාවරය ඉන්දීය නියෝජිත පිරිස මෙහිදී හො¹කාරවම දැනගත්හ.
ඉන්පසුව ඉන්දීය පිරිස සමඟ රාත්‍රි ආහාර ගන්නට සියල්ලෝම වාඩි වූහ.
පසුගිය සතිය අවසාන වන විට සියල්ලෝම සිටියේ අවුරුදු කාලයේ අතපසුව ගිය වැඩ කටයුතු පටන් ගැනීමේ මෙහෙයුමකය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු රජයේ ඇමැතිවරු කිහිපදෙනෙක් කොරියානු සංචාරයක් සඳහා සූදානම් වෙමින් සිටියහ. අමාත්‍ය ඩලස්, බැසිල්, මෛත්‍රිපාල ඇතුළු පිරිසක් සූදානම් වූයේ ළඟ ළඟ එන මැයි දිනය සාර්ථක කර ගැනීම සඳහාය. මේ නිසා සියලු තැනකම දක්‌නට තිබුණේ කාර්ය බහුල බව යෑයි කීවොත් නිවැරැදිය.
නාගසේන