Spread the News

කොටි ක්‍රියාකාරීන්ට එරෙහි නඩු විභාගයට නව මහාධිකරණ 4 ක්‌

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන් source:

අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ ක්‍රියාකාරීන්ට එරෙහිව ඇති නඩු විභාග කිරීම සඳහා මාසයක්‌ ඇතුළත කොළඹ, අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම යන නගරවල මහාධිකරණ ස්‌ථාපිත කරන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුව ඇති නඩු ගොනු මාසයක්‌ ඇතුළතදී සකස්‌ කර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් විශේෂ කාර්ය මණ්‌ඩලයක්‌ පත් කිරීමට කටයුතු කරන බවද සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය වීමට කැමති එල්ටීටීඊ ක්‍රියාකාරීන් අතුරින් සුදුසුකම් ඇති අය ඉක්‌මනින් පුනරුත්ථාපනයට යොමු කිරීමට අධිකරණය මගින් තීන්දු ලබා ගැනීමට කටයුතු කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පෙරේදා (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීය.

දැනට රිමාන්ඩ් භාරයේ ඇති සහ රැඳවුම් භාරයේ ඇති සියලු සැකකරුවන් එල්ටීටීඊ සංවිධානය මගින් දියත් කරන ලද ත්‍රස්‌තවාදී ක්‍රියාවන්ට සම්බන්ධවී යෑයි සැකකරනු ලබන හා විමර්ශනයෙන් පසු අධිකරණය ඉදිරියේ අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කරන ලද සැකකරුවන් බව පෙන්වා දෙන අතර අධි චෝදනා පත්‍ර භාරදී රක්‍ෂිත බන්ධනාගාර ගත සැකකරුවන්ගේ ගණන 359 ක්‌ බවත්, නඩු පැවරීමට අපේක්‍ෂාවෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත සැකකරුවන් ගණන 309 ක්‌ බවත්, මේ අනුව මෙම රැඳවියන් දේශපාලන සිරකරුවන් නොව ත්‍රස්‌තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වූ හා එකී ක්‍රියාවන්ට සම්බන්ධ වී යෑයි සැකකරන පුද්ගලයන් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

එහෙයින් සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් ඔවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් නම් කොට පාර්ලිමේන්තුව හා අන්තර් ජාතික ප්‍රජාව නොමග යෑවීමට කටයුතු කිරීම පිළිබඳව රජය කනගාටුවේ.

මෙම සැකකරුවන් අතර හා මෙම රැඳවියන් අතර ආබාධිත පුද්ගලයන් සිටින බවත් ඔවුන් වහා නිදහස්‌ කිරීමට කටයුතු නොකිරීම පිළිබඳව කර ඇති ප්‍රකාශය නිවැරදි කිරීම රජයේ යුතුකමක්‌ වනු ඇත.

සමහර ආබාධිත රැඳවියන් එම ආබාධිත තත්ත්වයන්ට පවා පත්ව ඇත්තේ ඔවුන් විසින් එල්ටීටීඊ සංවිධානයේ අවශ්‍යතාව මත කරන ලද ත්‍රස්‌තවාදී ක්‍රියාවන්හි ප්‍රතිඵලයක්‌ මත බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. එහෙයින් ඔවුන් අසරණ ආබාධිතයන් නොව භයානක ත්‍රස්‌තවාදී කටයුතුවල යෙදුණු පුද්ගලයන් බවත් එහෙයින් සම්බන්ධන් මන්ත්‍රීවරයා කියන පරිදි සරලව ඔවුන් නිදහස්‌ කිරීමේ ක්‍රියාවලියට යොමුවීමට නොහැකි බවත් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

අධිකරණ ක්‍රියාවලින් කප්පාදු කොට ඔවුන් නිදහස්‌ කිරීමේ ක්‍රමවේදයක්‌ නොමැති බවත් අධිකරණය මගින් නඩු අවසන් කොට ඔවුන්ගේ නිර්දොaෂී භාවය ඔප්පු කළහොත් පමණක්‌ ඔවුන් නිදහස්‌ කළ හැකි බවත් එය මෙරට පවතින නීති සම්ප්‍රදාය බවත් මතක්‌ කර දෙනු කැමැත්තෙමි.

අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත රැඳවියන් සංඛ්‍යාව 668 කි.

දැනට අධිකරණය මගින් ඔවුන්ගේ කැමැත්ත අනුව පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ නියෑළී සිටින රැඳවියන් ගණන 672 කි.

මීට අමතරව 2011 වර්ෂය ආරම්භයේ සිට මේ දක්‌වා විවිධ අවස්‌ථාවන්හිදී විමර්ශනය සඳහා ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සංඛ්‍යාව 241 ක්‌ පමණ වේ.

නඩු පැවරීමට අපේක්‍ෂාවෙන් සිටින සැකකරුවන් පිළිබඳව රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් ඉතා ඉක්‌මනින් විමර්ශනය අවසන් කොට ඔවුන් නිදහස්‌ කිරීමට හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට රජය කඩිනමින් යෙදී සිටින බව සඳහන් කරනු කැමැත්තෙමි.

මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ අසන අවස්‌ථාව වන විට ප්‍රශ්නයේ සඳහන් ආකාරයට බන්ධනාගාර ගත එල්ටීටීඊ රැඳවියන් 668 කින් 229 ක්‌ ආහාර ගැනීමෙන් වැළකී සිටින බව වාර්තා විය. ඒ අනුව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අමාත්‍යාංශයේ ලේකම් වෙත දෙන ලද උපදෙස්‌ අනුව අමාත්‍යාංශයේ උපදේශක හා බන්ධනාගාර කොමසාරිස්‌ (ක්‍රියාකාරී) 2012 මැයි මස 20 දින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආහාර වර්ජනය කළ රැඳවියන් හමුවීමට යොමුකරන ලදි.

එහිදී ඔවුනගේ දුක්‌ගැනවිල්ල වූයේ බන්ධනාගාර සම්බන්ධව ප්‍රශ්නයක්‌ නොව ඔවුන් බන්ධනාගාරයෙන් ඉක්‌මනින් නිදහස්‌ වීමට ඔවුන්ගේ නඩු කටයුතු ඉක්‌මන් කිරීමට කටයුතු කරන ලෙසයි. 2012 මැයි මස 21 දින වන විට අධිකරණ නියෝග මත බන්ධනාගාර 10 ක සිටින එල්ටීටීඊ රැඳවියන් සංඛ්‍යාව 668 කි. ඔවුන්ගෙන් ආහාර වර්ජනයේ යෙදී සිටින සංඛ්‍යාව 229 කි. එල්ටීටීඊ රැඳවියන් රඳවා සිටින බන්ධනාගාර 10 කින් ආහාර වර්ජනයේ යෙදී සිටියේ බන්ධනාගාර 3 ක පමණි. (කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, කළුතර බන්ධනාගාරය, වව්නියාව බන්ධනාගාරය), ඔවුන් අතරින් කිසිවකු අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගතකර නොතිබිණි. අමාත්‍යාංශ නියෝජිත කරුණු පැහැදිලි කරදුන් පසු කිහිප දෙනෙක්‌ ආහාර වර්ජනය අත්හැරියහ. දැනට පුනරුත්ථාපනය වන අභ්‍යාසලාභීන් අතරින් 75 ක්‌ 2012 ජුනි මස 02 දින ඥතීනට භාරදීමට කටයුතු කරන බව හා 672 ක්‌ වන ඔවුන් සියලු දෙනාම දකුණේ සංචාරයකට රැගෙන ගිය බව මන්ත්‍රීතුමාගේ දැන ගැනීමට දන්වා සිටිමි.

ඉතිරි 597 දෙනා පුනරුත්ථාපනයෙන් පසු නිදහස්‌ කිරීමට නියමිතය. පරමලිංගම් ධර්ම ශාන්තන් නමැත්තෙකුට පහරදීම පිළිබඳව යාපනය පොලිසියට කර ඇති පැමිණිල්ල පිළිබඳව දැනට විමර්ශනයේදී ප්‍රතිඵල ලැබුණු පසු ඒ පිළිබඳව මෙම සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.

පරමලිංගම් ධර්මශාන්ත ශිෂ්‍යයාට පහරදීමේ සිද්ධිය උතුරේ හමුදා අංශ ස්‌ථාපිත ගත කිරීමට සම්බන්ධ කොට ඒ මත රජය කෙරෙහි අප්‍රසාදය පළ කිරීමට සම්බන්ධන් මන්ත්‍රීවරයා සිය ප්‍රකාශයේ අවසාන ඡේදයේ දක්‌වා ඇති කාරණය රජය දැඩි ලෙස අප්‍රසාදය පළ කරයි. එම සිද්ධිය හා හමුදා අංශ යාපනය ප්‍රදේශයේ රඳවා තැබීම අතර කිසිදු සම්බන්ධතාවක්‌ නැති අතර මෙවැනි ප්‍රකාශයන්ගෙන් නොමඟ නොයන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටි.

අතිගරු ජනාධිපතිතුමා රණවිරු සමරු දිනයේදී ජාතිය අමතන ලද අවස්‌ථාවේදී ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන ලද පරිදි දිනාගත් නිදහස හා සාමය ආරක්‍ෂා කර ගැනීම මෙරට සියලු ජාතීන්ගේ වගකීමක්‌ බවත් නැවතත් ප්‍රකාශ කර ඇති අතර තිස්‌ වසරක ත්‍රස්‌තවාදීන් ගෙන් බැට කෑ විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිත සූරා කමින් නැවත ත්‍රස්‌තවාදය හිස එසවීමට ඉඩ නොතබන අයුරින් කටයුතු කිරීමට හමුදා අංශ එම ප්‍රදේශයන්හි තවදුරටත් රැඳී සිටීමේ අවශ්‍යතාව නැවතත් අවධාරණය කරන අතර හමුදා අංශ මගින් කෙතරම් මානුෂිය ලෙස උතුරු නැගෙනහිර ජනතාවට සලකන ලද ආකාරය ත්‍රස්‌තවාදයේ අවසන් දින කිහිපය තුළදීත් ඉන් අනතුරුවත් ඉතා පැහැදිලිව විද්‍යමාන වූ බව අප සියලු දෙනා දන්නා කාරණයකි.