SF ගේ පරිනතවීම හා මාධ්‍යවේදීන්ගේ රැකියාව
වම්ඉවුර source:
සරත් ෆොන්සේකා මහතා නිදහස ලැබීමෙන් පසු මුල්වරට පුවත්පත් සාකච්ඡාවක් කැඳවන ලද්දේ ඉකුත් සතියේ බ්‍රහස්‌පතින්දාය. ඔහු නිදහස ලැබූ පසු බී. බී. සී. ආයතනයටත් සුදරෝලි නමැති දෙමළ සතිපතා පුවත්පතටත් සිලෝන් ටුඩේ පුවත්පතටත් සම්මුඛ සාකච්ඡා දී තිබුණ ද තමන්ගේ අනාගත ගමන් මාර්ගය කුමක්‌ද යන්න පැහැදිලි කිරීමට කැඳවන ලද ප්‍රථම මාධ්‍ය හමුව මෙය විය. එමනිසා මේ ගැන ජනමාධ්‍ය තුළ සෑහෙන කුතුහලයක් පැවතුණි. ටා- සමුද්‍රd හෝටලයේ උදේ 10 ට පැවැත්වීමට නියමිතව තිබුණු මේ සාකච්ඡාව ආරම්භ වන විට උදේ 11 පමණ වී තිබිණි. මේ ඔහුගේ නිදහස් වීමෙන් පසු පළමු පුවත්පත් සාකච්ඡාව වන නිසා ජනමාධ්‍යවේදීන්ට අමතරව ඔහුගේ පක්‍ෂයේ ක්‍රියාකාරීන්ද විශාල ගණනක් පැමිණ සිටීවි යෑයි අප සිතුවද එම ස්‌ථානයේ මාධ්‍යවේදීන්ට හා හෝටල් සේවකයන්ට අමතරව පිටස්‌තර පුද්ගලයන් සිටියේ එක්‌කෙනෙක් දෙන්නෙක් පමණි. ෆොන්සේකා මහතා එතනට පැමිණියේ ජයන්ත කැටගොඩ, අනෝමා ෆොන්සේකා මහත්මිය හා එ.ජා.ප. මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුළු කුඩා කණ්‌ඩායමක් පිරිවරාගෙනය. ෆොන්සේකා මහතාව නිදහස් කර ගැනීමට පුරෝගාමී කාර්යයක් කළ ටිරාන් අලස් මහතාවත් සරත් ෆොන්සේකා මහතාගේ පක්‍ෂයේ අනෙක් මන්ත්‍රීවරයා වන අර්ජුන රණතුංග මහතාවත් එතැන පෙනෙන්නට සිටියේ නැත. ඔවුන් දෙදෙනා එතන නැත්තේ මන්ද යන්න ගැන කිසිදු විස්‌තරයක් කෙරුණේ නැති අතර ප්‍රශ්න අසන අවස්‌ථාවේදී කිසිදු ජනමාධ්‍යවේදියෙක් ඒ ප්‍රශ්නය අසා සිටියේ ද නැත.
කතාව කෙලින්ම ආරම්භ කළ සරත් ෆොන්සේකා මහතා මේ පුවත්පත් සාකච්ඡාව පවත්වන ගොඩනැගිල්ලේ තම විවාහ මංගල උත්සවය පවත්වන ලද බවත් අදත් ඔහු අවතීර්ණ වී සිටින්නේ ඔහුගේ ජීවිතයේ වැදගත් කර්තව්‍යයකට බවත් පැහැදිලි කළේය. වෛරී දේශපාලනය නිසා ඔහුට සිරගත වීමටත් උදේට පොල්සම්බෝල සහ බතුත් දවල්ට බත්, කරවල, බෝංචි හා වම්බටුත් කමින් කාලය ගත කිරීමට සිදුවූ හැටි විස්‌තර කළ ඔහු එවැනි තත්ත්වයකට ඔහු පත් කළ අයට ඔහු වෛර කරන්නේ හෝ ශාප කරන්නේ නැති බවත් පවසා සිටියේය. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන්ද වදහිංසාවලට භාජනය වූ බව ඔහු පවසා සිටියේය. ඔහුගේ වැඩිමහල් දියණිය ඔහුට දැක ගැනීමට හැකි වූයේ අවුරුදු 3 කට පසුව බවද ඔහුගේ බාල දියණිය ඔහුට අවස්‌ථා 2-3 කදී පමණක් දැක ගැනීමට හැකි වූ බවත් බිරිඳ මසකට වරක් හමුවීමට හැකිවූ බවත් පවසා සිටියේය. නමුත් මේ සියලුම දුෂ්කරතා තිබුණත් ඔහු ආරම්භ කළ දේශපාලන ගමන අතහැරීමට සූදානම් නැති බවත් එය පටන්ගත්තාටත් වඩා අධිෂ්ඨානයකින් හා ජවයකින් කරගෙන යන බවත් පැවැසීය.
එපමණක්‌ද නොව තමාව මර්දනය කිරීමට උත්සාහ කළ උදවියට තමා ස්‌තුතිවන්ත වන බවද ෆොන්සේකා මහතා පවසා සිටියේය. ඒ එම ක්‍රියාදාමයෙන් ඔහුට යුද හමුදාපති හෝ ආරක්‍ෂක සේවා මාණ්‌ඩලික ප්‍රධානී හැටියට හෝ ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු හැටියට හෝ ලබාගැනීමට නොහැකි වූ පරිනත බවක් ලබාගැනීමට හැකිවූ නිසාය. අනාගතයේදී ඔහුව නැවතත් හිර කූඩුවට යෑවීමට ඉඩ ඇති බවත් නැවත “ජම්පරය” ඇඳීමට සිදුවීමට ඉඩ තිබෙන බවත් නමුත් තමාගේ ජීවිතය පරිත්‍යාග කිරීමට සිදු වුවත් වර්තමාන දේශපාලන සංස්‌කෘතිය වෙනස් කිරීමට ඔහු කටයුතු කරන බවත් පවසා සිටියේය. තමන්ව නිදහස් කරගැනීමට කටයුතු කළ ටිරාන් අලස් මහතාට ද ඔහු විශේෂයෙන්ම ස්‌තූති කිරීමට අමතක කළේ නැත.
එතැන් සිට ෆොන්සේකා මහතා තම දේශපාලන ප්‍රතිපත්තිය විස්‌තර කළේය. තමාගේ දේශපාලනය මතවාදී ප්‍රවේශයකට වඩා ජනතාවට සෙත සැලසෙන්නේ කුමකින්ද යන පදනම මත කරගෙන යන බවත් ඔහුගේ මූලිකම අභිමතාර්ථය වන්නේ මේ රටෙන් දූෂණය හා පවුල්වාදය තුරන් කිරීම බවත් දෙවන අරමුණ වන්නේ රටට කොඩිවිනයක් බවට පත්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බවත් ඔහු පවසා සිටියේය. මේ කර්තව්‍යය රටේ සෙසු දේශපාලන බලවේග වලින් කෙරෙන්නේ නැතිය යන කාරණය ගැනත් ඉඟි කරමින් ඔහු පවසා සිටියේ ඔහු පාර්ලිමේන්තුව තුළ සිටි කෙටි කාලය තුළ එක්‌තරා විපක්‍ෂ දේශපාලනඥයකුගෙන් ඔවුන් එක්‌තරා ප්‍රශ්නයක් ගැන කිසිවක් කතාකරන්නේ නැත්තේ මන්දැයි විමසූ විට එම මන්ත්‍රීවරයාගේ පිළිතුර වූයේ “ජෙනරාල් අපට මේ මිනිසුන්ව තරහා කරගන්න බෑ. අපි ඔවුන්ගෙන් උදවුවක් ඉල්ලුවම හැමදාම ඒක ඒගොල්ල කරල දෙනව” යනුවෙනි. එය ඇසූ විට තමා පාර්ලිමේන්තුවේ සිටීම ගැනත් මහත් ලැ-ජාවක් ඇතිවූ බව ෆො
න්සේකා මහතා කීවේය. නූතන ශ්‍රී ලංකාවත් නාසි ජර්මනියත් අතර ඇති සමානකම් ගැන කථා කරමින් ෆොන්සේකා මහතා කියා සිටියේ නාසිවාදීන් ද දේශප්‍රේමය පාවිච්චි කොට ජනතාව පාලනය කළ හැටි හා දේශප්‍රේමය ආගමටත් ඉහලින් ඔසවා තැබූ හැටිත් විස්‌තර කළේය. එමෙන්ම ඔවුන් ඉතිහාසයද විකෘති කර නව ඉතිහාසයක් ලියන ලද බවත් මේ රට ඒ මාර්ගයේ යැමට ඉඩදිය නොහැකි බවත් පවසා සිටියේය. 17 වැනි සංශෝධනය නැවත හඳුන්වා දීමේ උවමනාවද ඔහු අවධාරණය කර සිටියේය. ඔහුගේ කථාව අවසන් කරමින් තමා ආණ්‌ඩුවට බැඳීමට යනවා යෑයි කට කථා පතුරවන්නේ තමන්ගේ කීර්ති නාමය කෙලෙසීමට බවත් එවැනි කිසිදු අදහසක් ඔහු තුළ නැති අතර ඔහු පොදු විපක්‍ෂය තුළ සිටිමින් දිගටම කටයුතු කරන බවත් කීවේය. ඔහුව එළියට ගැනීමට ටිරාන් අලස් මහතා කටයුතු කළ ආකාරය ගැන තිබෙන සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කළ ෆොන්සේකා මහතා ඒ කාර්ය අලස් මහතා විසින් ඉතාම කැපවීමෙන් කරන ලද බව පවසා සිටියේය.
පොදුවේ ගත් කල ෆොන්සේකා මහතාගේ ඒ කථාව 2010 ජනාධිපතිවරණයේදී ඔහු කළ කථා හා සසඳන විට තැන්පත් හා සංවරයකින් යුත් කථාවක් බව කිව හැකිය. ඒ කථාව මුලදී ඔහුම කියා සිටි පරිදි ඔහු ඒ කාලයට වඩා පරිනත වී ඇති බවත් මේ කථාවෙන් පෙනෙන්නට තිබිණි. නමුත් ජනමාධ්‍යවේදීන් වූ අප එක් අයකුවත් එතනට පැමිණ සිටියේ පරිණත කථා ඇසීමට නම් නොවන බව පැහැදිලිය. ඇතැම් මාධ්‍යවේදීන් “මුකුත් අලුත් දෙයක් නෑනෙ?” “වරුවක් නාස්‌ති වුණා” වැනි වදන් හුස්‌ම යටින් මිමිනුවේය. මෙහි වරදකරු ෆොන්සේකා මහතාම බව කිව හැකිය. දේශපාලනයට පැමිණීමෙන් පසු ඔහු ජනමාධ්‍යයට කළේ ද්වේශයෙන්, ත්‍රාසයෙන් පිරුණු කථාමය. ඔහු සිරගතව සිටියදී රෝහලට හෝ උසාවියට යැමට එළියට ආ සෑම අවස්‌ථාවකදීම රූපවාහිනි කැමරාවලට කී වචන කීපය වුවත් ආණ්‌ඩුවේ හදවත පසාරු කරගෙන යැමට සමත් ඒවා විය. නමුත් ෆොන්සේකා මහතාගෙන් වෙඩි වගේ කියුම් අසා පුරුදු මාධ්‍යවේදීන්ට ඉකුත් බ්‍රහස්‌පතින්දා අසන්නට ලැබුණේ සාමාන්‍ය යූ. එන්. පී. පුවත්පත් සාකච්ඡාවක අසන්නට ලැබෙන ආකාරයේ කථා පමණි. ඇතැම් විට යූ. එන්. පී. මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර වැන්නවුන්ගෙන් ඊට වඩා ප්‍රහාරාත්මක කථා අසන්නට ලැබෙනු ඇත.
තත්ත්වය කෙබඳු වීද කියතොත් ෆොන්සේකා මහතා ප්‍රහාරාත්මක කථාවක් කරන ඉරියව්වක් වත් ඡායාරූප ශිල්පීන්ට අල්ලා ගැනීමට අසීරු විය. කථිකයා දෙසට දිගටම කැමරාව මානගෙන සිටි කැමරා ශිල්පීන් ඔහු ඇඟිල්ලක් ඔසවන විට වියරුවෙන් මෙන් පින්තූර ගත්තේය. නමුත් ඒ සෑම අවස්‌ථාවකදීම ඔහු ආණ්‌ඩුවට ප්‍රහාරයක් එල්ල කළා නොව සාමාන්‍ය එදිනෙදා කාරණයක් විස්‌තර කර සිටි අවස්‌ථාවක් විය. පින්තූරයත් කථාවත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. එක අවස්‌ථාවකදී ඔහු යම් නොවැදගත් කාරණයක් විස්‌තර කරමින් සිටියදී මහපොට ඇඟිල්ල එසවූයේය. එවිටද කැමරා ශිල්පීන් නොකඩවා පින්තූර ගත්තේය. ඔවුන්ට අවශ්‍ය වූ පින්තූර වූයේ සැර, ජයග්‍රාහී බව හා එඩිතර බව දනවන ඒවා මිස පරිනත බවේ පින්තූර නම් නොවන බව පැහැදිලි විය. ෆොන්සේකා මහතා පරිනත වුවහොත් අපි කන්නේ අඳින්නේ කොහොමදැයි එතැන සිටි බොහෝ අයකුට ප්‍රශ්නයක් වූවා විය හැක. තමන් එතනට ආපු කාරණය ඉටුකර ගැනීමට ඇතැම් පුවත්පත් කලාවේදීන් වගබලා ගත්තේය.
තමාගේ කථාවේදී ෆොන්සේකා මහතා පවසා සිටියේ තමාගේ මූලික අභිමතාර්ථය වන්නේ දූෂණය පිටුදැකීම බවයි. නමුත් එවැනි වදනකින් පුවත්පතක් විකිණිය නොහැක. පත්තර විකිණිය හැකි ආකාරයේ කථාවක් ඔහුගෙන් ලබාගත හැකි වූයේ ප්‍රශ්න අසන අවස්‌ථාවේදී පමණි. එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ ඔහු ජනාධිපතිතුමා සමග වසර කීපයක් ළඟින් වැඩකර තිබෙන බවත් ස්‌වභාවයෙන්ම ඔහුගේ ඇඟේ තිබෙන දේශපාලනය කුමක්‌දැයි ඔහු ඉතා හොඳින් හඳුනන බවත්ය. දූෂණය වත්මන් පාලකයන්ගේ “ජානවල” ඇති බවත් ඔවුන් දූෂිත වූයේ අද ඊයේ නොව ශතවර්ශ ගණන් දේශපාලනය කිරීමෙන් බවත්ය. එයින් මාධ්‍යවේදීන්ට අවශ්‍ය දේ ලැබිණි. එපමණක්‌ද නොව මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන තැන හතරමායිමකවත් ටිරාන් අලස් මහතා නොසිටියේ මන්ද යන්නත් එයින් පැහැදිලි විය. ඒ මෙහි වාඩි වී සිටියානම් නැවතත් අරලියගහ මන්දිරයට යැමට ඔහුට නොහැකි වන නිසා විය හැක.
නමුත් මෙහිදී මට තිබුණු ප්‍රශ්නය වූයේ මේ වදන ෆොන්සේකා මහතා විසින් කියන ලද්දේද නැතිනම් අසන ලද ප්‍රශ්නයකට දිව පාලනය කරගත නොහැකි නිසා කියවුණු දෙයක්‌ද යන්නයි. එනම් ඔහු මාධ්‍යයේ ගොදුරක් වූවාද යන කාරණයයි. ෆොන්සේකා මහතා දේශපාලනයේ නවකයෙක් නිසා ඔහුගෙන් පහසුවෙන්ම ඔහු කීමට ඉටාගෙන නොසිටි දේවල් ලබා ගත හැක. මෙවැනි වදනක් ඔහුගේ ප්‍රධාන කතාවේදී කෙරුණේ නම් එය ඔහු ඉටාගෙන සිටි දෙයක් ලෙස සැලකිය හැකිය. උදාහරණයක් වශයෙන් ඔහු සිරගතවී සිටින අවස්‌ථාවේදී රූපවාහිනි කැමරා වලට කී වදන් ඔහුම සිතාගෙන එය කෙටියෙන් කීමට පෙරහුරුවක්‌ද කර පවසන ලද ඒවා බව පැහැදිලි විය. නමුත් මෙම පුවත්පත් සාකච්ඡාවේදී ඔහු කළ මුල් කතාවත් ප්‍රශ්න වලට පිළිතුරු දුන් ආකාරයත් අතර නොගැලපීම් තිබුණේය.
තවත් උදාහරණයක් ගතහොත් ඔහු තම කතාවේදී රණවිරුවන්ගේ වර්තමාන තත්ත්වය ගැන කළ එකම සඳහන වූයේ යුද්ධය අවසන් වූ පසු ආණ්‌ඩුව හමුදාවට සොල්දාදුවන් බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ බව කීමයි. නමුත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු නැවතත් පත්තර විකිණිය හැකි ආකාරයේ පැරැණි ෆොන්සේකා ඉස්‌මතු කරන වදන් කීපයක් පවසා සිටියේය. සොල්දාදුවන් කිලිටි ඇඳුම් ඇඳගෙන මඩ නාගෙන කොළඹ නගර සභා කම්කරුවන්ගේ රාජකාරිය කරනු දැකීම තමාගේ සිතට වේදනාවක් ගෙනදෙන්නක් බවත් සෙබළුන්ගේ ආත්ම ගරුත්වය ආරක්‍ෂා කළයුතු බවත් අද කාණු සුද්ධ කරන සොල්දාදුවාට හෙට නිල ඇඳුමක් ඇඳගෙන ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජනතාවට නියෝග දීමට නොහැකි බවත් ඔහු කියා සිටියේය. එපමණක්‌ද නොව අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ භූමියේ හමුදාවට කිරි පට්‌ටියක් දැමීමට නියෝග කර ඇති බවත් එයින් එක් වී ගබඩාවක්‌ද ඔවුන්ට බාරදී ඇති බවත් තමාට ගෙදර යැමට සිදුවේය යන බයෙන් හමුදාපති ඒ ගබඩාව කෙසේ හෝ පුරවනු ඇති බවත් අද කොතනක හෝ කාණුවක් ගඳ ගැසුවොත් හැමෝටම මතක් වෙන්නේ යුද හමුදාව බවත් ඔහු පවසා සිටියේය.
මේ ආකාරයට ඔහුගේ මුල් කතාවත් ප්‍රශ්න වලට පිළිතුරු දීමත් අතර විශාල වෙනසක් තිබිණි. මෙහිදී මාධ්‍යවේදීන්ට පත්තර විකුණාගැනීම සඳහා අවශ්‍ය වදන් ටිකක් කෙසේ හෝ ලබා ගත්තා යෑයි කියා චෝදනා කිරීමටද අසීරුය. දේශපාලනඥයකුගේ පරිනත බව පිටින් ආලේප කරන ලද සායමක් පමණක් නොවිය යුතුය. පළමු ප්‍රශ්න කිරීමේදී සායම සොදාගෙන යන තත්ත්වයක් නොතිබිය යුතුය. පරිනත බව අභ්‍යන්තරයෙන්ම ආයුතු දෙයකි. එවිට මුල් කතාවේත්, ප්‍රශ්න කිරීමේදීත් කියූ වදන් අතර නොගැලපීමක් නැතිවනු ඇත. එක් පැත්තකින් බලන විට එතන සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමෙන් කර තිබෙන්නේ හිත ඇතුළේ ඇති දෙය එළියට ගැනීමකි. යම් දේශපාලනඥයකු පවසන දෙයට වඩා ඇත්තටම සිතාගෙන සිටින්නේ මන්ද යන්න දැන ගැනීමත් ජනතාවගේ අයිතියක් බව කිව යුතුය.
කතාවේදී පරිනත වීමත් ප්‍රශ්න කිරීමේදී පරිනත නොවීමටත් තවත් උදාහරණයක් වන්නේ යුද අපරාධ පිළිබඳ ප්‍රශ්නයයි. ප්‍රධාන කතාවේදී යුද අපරාධ ගැන ෆො
න්සේකා මහතා කිසිවක් සඳහන් නොකළද ප්‍රශ්න කිරීමේදී ඔහු නැවතත් පවසා සිටියේ ශ්‍රී ලංකාවට විරුද්ධව චෝදනා තිබේනම් ඔහු එවැනි විමර්ශනයකට මුහුණ දීමට සූදානම් බවයි. එසේ කීම යුද අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීමට අතවැනීමක් බව විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ෆො
න්සේකා මහතා කියා සිටියේ ඔහුට ඒ සම්බන්ධයෙන් කිරීමට කිසිවක් ඉතිරි වී නැති බවයි. ඒ මන්ද යත් ආණ්‌ඩුව බැන් කී මූන් ලංකාවට ගෙන්වා ගෙන එවැනි සිද්ධීන් සිදුව තිබේනම් විමර්ශනයක් කිරීමට එකඟත්වය පළකරමින් දැනටමත් ගිවිසුම අත්සන් කර තිබෙන නිසාත් උගත් පාඩම් හා සංහිඳියා කොමිසමද “අකවුන්ටබිලිටි” යන වචනය පාවිච්චි කරමින්ම තිබෙන චෝදනා විමර්ශනය කළ යුතු බව සඳහන් කර තිබෙන නිසාත්ය. දැන් බටහිර රටවල් ඔවුන්ට අවශ්‍ය යෝජනා (එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ) සම්මත කර ගෙන ඇති බවත් මෙවැනි විමර්ශනයක් අනිවාර්යයෙන්ම කෙරෙන බවත්ය.
ෆොන්සේකා මහතා ඒ කියූ වදන් වලින් පැහැදිලි වූ කාරණය වූයේ යුද අපරාධ විමර්ශනයක් නොකළ යුතු යෑයි ඔහු කියන්නේ නැති බවයි. ඔහු පවසන හැම වදනකින්ම අසා සිටින්නාට යන හැඟීම වන්නේ යුද අපරාධ අධිකරණයක් තිබිය යුතුය යන්න ෆොන්සේකා මහතාගේ ස්‌ථාවරය වන බවයි. ඔහු සිරගෙදරින් නිදහස් වී පැය 24 ක් යැමට කලින් බී. බී. සී. ආයතනයට දෙන ලද සම්මුඛ සාකච්ඡාවේද මූලික වශයෙන් කියවුණේ ද ඒ ටිකමය. එම වදන් බී. බී. සී. යට මහත්සේ ප්‍රයෝජනවත් වුවද ෆො
න්සේකා මහතාගේ දේශපාලන ගමනට මරු පහරක් වූවායෑයි කිවහැක. ඔහු සමග පෙළගැසීමට සිටි උදවිය පවා ඔහුගේ මේ කතා නිසා බියවී පැත්තකට වී සිsටින බවත් අපට පෙනේ. ඒ තමන්ට පාලනය කළ නොහැකි අනවශ්‍ය මතභේද වලට තම තමන්ගේ දේශපාලන පක්‍ෂ පටලවා ගැනීමට ඔවුන් තුළ ඇති අකැමැත්ත නිසාය. මේ සියල්ලෙන්ම අපට ඉගැන්වෙන පාඩම වන්නේ පරිනත බව පිටින් ආලේප කර ගන්නා සායමක් හැටියට නොව අභ්‍යන්තරයෙන්ම ආයුතු බවයි. යුද අපරාධ විමර්ශනයක් ගැන අසන විට තමන් එවැනි විමර්ශනයක් කිරීමට එකහෙලාම විරුද්ධ බවත් එවැන්නක් පිහිටුවනු ලැබුවත් තමුන් එය ඉදිරියේ කිසිවක් කීමට සූදානම් නැති බවත් කීවේ නම් ෆොන්සේකා මහතා සමග දේශපාලන ගමනක් ආරම්භ කිරීමට බොහෝ අය තුළ තිබෙන බිය තුනී වී යනු ඇත. එවැන්නක් ඔහු නොකරන්නේ ඔහු තවම දේශපාලන පරිනතභාවයක් ලබා නොමැති නිසා බව මගේ හැඟ§මයි.
ඔහු සමග පෙළගැසීමට සිටි උදවිය පවා ඔහුගේ මේ කතා නිසා බියවී පැත්තකට වී සිsටින බවත් අපට පෙනේ. ඒ තමන්ට පාලනය කළ නොහැකි අනවශ්‍ය මතභේද වලට තම තමන්ගේ දේශපාලන පක්‍ෂ පටලවා ගැනීමට ඔවුන් තුළ ඇති අකැමැත්ත නිසාය. මේ සියල්ලෙන්ම අපට ඉගැන්වෙන පාඩම වන්නේ පරිනත බව පිටින් ආලේප කර ගන්නා සායමක් හැටියට නොව අභ්‍යන්තරයෙන්ම ආයුතු බවයි. යුද අපරාධ විමර්ශනයක් ගැන අසන විට තමන් එවැනි විමර්ශනයක් කිරීමට එකහෙලාම විරුද්ධ බවත් එවැන්නක් පිහිටුවනු ලැබුවත් තමුන් එය ඉදිරියේ කිසිවක් කීමට සූදානම් නැති බවත් කීවේ නම් ෆොන්සේකා මහතා සමග දේශපාලන ගමනක් ආරම්භ කිරීමට බොහෝ අය තුළ තිබෙන බිය තුනී වී යනු ඇත. එවැන්නක් ඔහු නොකරන්නේ ඔහු තවම දේශපාලන පරිනතභාවයක් ලබා නොමැති නිසා බව මගේ හැඟ§මයි.