‘අපිට අණ්‌ඩුවට තවත් කල් දෙන්න පුළුවන්’
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
නීතිඥ එම්. ඒ. සුමන්තිරන්
source:
පසුගිය මස 25, 26, 27 යන දිනවලදී මඩකලපුවේ දෙමළ රාජ්‍ය පක්‍ෂයේ 14 වැනි සම්මේලනය පැවැත්විණි. එහිදී එම පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා කළ කතාව පිළිබඳව ඇතිවූ සංවාදය පිළිබඳව එම්. ඒ. සුමන්තිරන් මහතා දැක්‌වූ අදහස් පහත පරිදි වේ.
ප්‍රශ්නය – පසුගියදා මඩකලපුවේදී පැවැති දෙමළ රාජ්‍ය පක්‍ෂයේ 14 වැනි සම්මේලනයේදී ආර්. සම්බන්ධන් මහතා කළ කතාව බොහෝ විවේචනයන්ට ලක්‌වී තිබෙනවා.
සම්බන්ධන් මහතාගේ කතාව සහ ඊට එල්ලවී තිබෙන විවේචන ඔබ දකින්නේ කෙසේද?
පිළිතුර – එම කතාව එතුමා විසින් කළේ අපේ පක්‍ෂයේ සම්මේලනයේදී, අපේ නායකයා වශයෙනුයි. එම කතාව මුලින්ම කළේ අපේ පක්‍ෂයේ සාමාජිකයන්ට තමයි.
එතුමාගේ කතාවේදී අතීතය පිළිබඳවත්, වර්තමානයේදී සිදුවන දේ පිළිබඳවත් අපේ ස්‌ථාවරයත්, අනාගතයේ කිරීමට බලාපොරොත්තු වන දේ පිළිබඳවත් සඳහන් කළා. අතීතය පිළිබඳව කතා කිරීමේදී එතුමා සඳහන් කළේ අතීතයේදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව සඳහන් කිරීමේදී බලය යොදා එය මැඬ පැවැත්වූ බවයි. 1949 දී අපගේ පක්‍ෂය පටන් ගන්න අවස්‌ථාවේ ඉඳලා අප ඉල්ලා සිටියේ සිංහල ජනතාවට මෙන් සම අයිතිවාසිකම් මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කිරීමේ අවස්‌ථාව තිබිය යුතු බවයි. ඒ සඳහා අප දෙමළ ජනතාව බහුතරයක් සිටින ප්‍රදේශ සඳහා පෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියා. අපගේ පක්‍ෂයත් බොහෝ විට හඳුනා ගත්තේ පෙඩරල් පක්‍ෂය යන නමින් තමයි.
එම ඉතිහාසය සඳහන් කිරීමෙන් පසුව 1972 දී සිදු කරන ලද ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පසුව ඇතිවූ තත්ත්වය පැහැදිලි කළා. එම ව්‍යවස්‌ථා සංශෝධනයේදී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවටත් බුද්ධාගම රාජ්‍ය ආගම බවටත් පත් කළා. එම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් මෙරට සිංහල බෞද්ධ රටක් බවට පත් කිරීම නිසා වෙනම රාජ්‍යයක් යන ඉල්ලීම ඉදිරිපත් වූවා. අපි අකමැති වුවත් 1987 දී 13 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. අපගේ ප්‍රදේශවල කටයුතු අපම කරගත හැකි ආකාරයට එය වැඩිදියුණු කළ යුතුය යන අදහස තමයි අපි ඉදිරිපත් කළේ. නමුත් 13 වන සංශෝධනය හරි ආකාරයට ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම හරි ආකාරයට බලය ලබාදීමකුත් සිදු කර නැහැ. ඒ වගේම හරි ආකාරයට බලය දෙන්න ඕනි කියන ඉල්ලීම මේ දක්‌වා රජය හරි ආකාරයට ඉෂ්ට කරලත් නෑ. කරනවා කියලා තියනවා, නමුත් කරන්නේ නැහැ. 13 වන සංශෝධනයත් හරි ආකාරයට ඉටු කරලා නැහැ. එම සියලු දේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සම්බන්ධන් මැතිතුමා ප්‍රකාශ කළා. යුද්ධය ඉවරවීමෙන් පසුව වසර 3 ක් අප සිටිය බවත්, ඒ වගේම තව කාලයක් එසේ සිටිය හැකි වුවත් දිගටම එසේ සිටිය නොහැකි බව සඳහන් කළා. රජයටත් වගකීමක් තිබෙනවා. අවසාන වශයෙන් මීට විසඳුමක් දෙන්න. එසේ කටයුතු නොකළහොත් අපේ අයිතිවාසිකම් ලබාගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බවත්, ඒ සඳහා අවි ආයුධ නොගත යුතු බවත් එතුමා සඳහන් කළා.
ඒ වගේම මෙම ප්‍රශ්නය දැන් ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වී ඇති බවත් එතුමා සඳහන් කළා. එම ජාත්‍යන්තරය අපට එක රටක් තුළ විසඳුමක් ලබාගන්නා ලෙසට සඳහන් කරන බවත් එතුමා සඳහන් කළා. ඒ සඳහා අපි අදත් ලෑස්‌තියි, හෙටත් ලෑස්‌තියි. නමුත් ඒ වගේ විසඳුමක් රජය දෙන්නේ නැහැ කියන එක එම රටවල්වලට අවබෝධ වූ විට තමයි අපි ඊළඟ පියවරට යා යුත්තෙ. වසර 3 ක් තුළ නොකළ දෙය රජය මාස 6 න් කරන එකක් නැහැ. නමුත් අපි ඒ සඳහා කල් දෙනවා. එම කාලය තුළ එම කටයුත්ත නොකළහොත් අප නොකිව්වත් එම රටවල් දැනගත යුතුයි මෙම රජය එම ඉල්ලීම් ඉටු නොකරන බව.
ප්‍රශ්නය – සම්බන්ධන් මැතිතුමා වසර 500 කට පෙර පැවැති රාජ්‍යයක් පිළිබඳව සඳහන් කර තිබෙනවා. කුමක් ද එම රාජ්‍යය.
පිළිතුර – යාපනයේ රාජ්‍යයක් තිබුණනේ. මෙම දිවයිනට යුරෝපයේ අධිරාජ්‍යවාදීන් පැමිණීමට පෙර මෙම දිවයින තුළ රාජ්‍යයන් තුනක් පැවතියා. එම රාජ්‍යවලින් යාපනයේ රාජ්‍යය පැවතියේ උතුර, නැගෙනහිර පළාත් තුළ. පෘතුගීසීන් පැමිණීමෙන් පසුත් එම රාජ්‍යය පැවතියා. පළමුවෙන්ම අල්ලා ගත්තේ කෝට්‌ටේ රාජ්‍යය. ඉන් පසුව ඔවුන් යාපනය රාජ්‍යයත් අල්ලා ගත්තා. බ්‍රිතාන්‍යයන් එනකොටත් නුවර රාජ්‍යය පැවතියා. 1815 දී නුවර රාජ්‍යය අල්ලා ගැනීමෙන් පසුවත් එම රාජ්‍යයන් 3 වෙන වෙනම පාලනය කර තිබෙනවා. 1833 දී පාලන කටයුතුවල පහසුව සඳහා මෙම රාජ්‍යයන් 3 එකතු කර තිබෙනවා. එම ඉතිහාසය සඳහන් කළා. නමුත් එක රටක් තුළ ජීවත් වන්න අපි තවම ලෑස්‌තියි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට වෙනම භාෂාවක්, වෙනම සංස්‌කෘතියක් තිබෙන බව කාටවත් නැහැ කියන්න බැහැ. මේ රටේ වෙන් වෙන් ජාතීන් ජීවත් වෙනවා. අපිත් එක ජාතියක්. ඒක නැහැ කියල කාටවත් කියන්න බැහැ. නමුත් අපි එක රටක ජීවත් වන්න ලෑස්‌තියි.
ප්‍රශ්නය – එහෙත් මීට වසර 500 කට පෙර පෘතුගීසීන් පැමිණෙන විට යාපනයේ දෙමළ රාජ්‍යයක් පැවතියා යන අදහස සිංහල ජනතාව පිළිගන්නේ නැහැ. ඒ පිළිබඳව ඔබට කුමක්‌ද සඳහන් කිරීමට තිබෙන්නේ.
පිළිතුර – කොහොමද එහෙම කියන්නේ. යාපනයේ නගරයේ තවම තිබෙනවා එම රාජධානියේ අවසන් රජුගේ මාළිගය. ඒ වගේම අපි ඉගෙනගත්ත පොත්වලත් ඒ බව සඳහන් වී තිබෙනවා. මා ගාව තිබෙන නීති පොත්වල 1833 දී මේක එකතු කළේ කොහොමද කියල තිබෙනවා. 1790 ගණන්වල දී සම්මත වූ නීතිය මෙතන තිබෙනවා. ඒක නැහැ කියන්න බෑ. කෝල්බෲක් කොමිෂන් එකෙන් තමයි ඒක එකතු කළේ.
එම නිසා තමයි 1930 ගණන්වල ඩොනමෝර් කොමිෂම ආපු වෙලාවේ කැන්ඩියන් ලීග් යන නමින් හැඳින්වූ පක්‍ෂයක් පෙඩරල් ඒකක 3 ක් තිබිය යුතු බව යෝජනා කළා. නුවර එකක්, උතුර නැගෙනහිර තව එකක් ඇතුළුව පෙඩරල් ඒකක 3 ක් ඔවුන් යෝජනා කරල තිබෙනවා.
ප්‍රශ්නය – සිංහල ජනතාවගේ ස්‌ථාවරය වී තිබෙන්නේ යාපනයේ පැවැති ආර්ය චක්‍රවර්තී රාජ්‍යය 13වැනි සියවසයේදි ඇතිවී ප්‍රතුගී්‍රසි ඉංග්‍රීසි ආක්‍රමණය සමග විනාශ වී ඇති බවයි. එම නිසා එම පදනමේ සිට දැන් කටයුතු කළ නොහැකිය යන ස්‌ථාවරයේ සිංහල ජනතාව සිටිනවා.
පිළිතුර – එම රාජ්‍යය නැති වුණා කියන එක ඇත්ත. ඒ වගේම කෝට්‌ටේ රාජ්‍යයත් නැති වුණා. ඒ වගේම නුවර රාජ්‍යයත් නැති වුණා. බ්‍රිතාන්‍යයත් එක රාජ්‍යයකින් තමයි පාලනය ගෙන ගියේ.
යාපනයේ පැවැති රාජ්‍යය නැති වූවාට එම ප්‍රදේශයේ ජීවත්වූ ජනතාව සිටිනවා.
ප්‍රශ්නය – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමා පුවත්පතකට සඳහන් කරලා තිබුණා අවු 2500 කට පෙර විජය රජු ලංකාවට එන විට මෙරට පැවැති කෝවිල් 5 ක් පිළිබඳව. එම ප්‍රකාශයෙන් පවා පැහැදිලි වන්නේ ලන්දේසි යුගයට එහා දිවයන දීර්ඝ ඉතිහාසයක් ඇති දෙමළ රාජධානියක් පිළිබඳව විශ්වාස කරන බවයි.
එහෙත් දෙමළ ජනතාවගේ ඉතිහාසය සඳහන් “යාල්පානම් වෛපමාලේ” පොතේ පවා සඳහන් කරලා තිබෙනවා නුවර යුගයේදී මෙරටට පැමිණි “විදරාසවන්” නම් අන්ධ කවියකුට එවකට සෙංකඩගල සිටි රජු විසින් එවකට වැලි හෙවත් මාවිඩි තලේ යන නමින් හැඳින්වූ මෙරට උතුරු පස නින්ද ගමක් ලෙස ලබාදුන් බව. එහි වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා එම ප්‍රදේශයේ එවකට සිංහල ජනතාව ජීවත්වූ බවත් වැලිගොඩ නමින් හැඳින්වූ එම ප්‍රදේශය පසුව වීණා කරුගේ නින්දගම යන තේරුම ඇති යාල්පානම් නමින් හැඳින්වූ බවත්. ඒ අනුව පැහැදිලි වනවානේ යාපනේ රාජ්‍යයට එතරම් ඉතිහාසයක් නොමැති බවත්, එම ප්‍රදේශයේ පවා සිංහල ජනතාව ජීවත්වී ඇති බව.
පිළිතුර – ඒක වෙන්න පුළුවන්. මම දැන් අවුරුදු 500 ක්, 1000 ක්, 2500 ක් පිළිබඳව කතා කරන්නේ නැහැ. නමුත් මම කියන්නේ අපට දන්න ඉතිහාසයක් තිබෙනවා. ඒක මත අපි මේක ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ උතුර නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව බහුතරය ඉන්නවා. ඉතින් දැන් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය තුළ කටයුතු කළහොත් සෑම විටම සිංහල බහුතරයේ මතයම ක්‍රියාත්මක වෙනවා. එය හරි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොවෙයි. එම නිසා තමයි වෙනත් රටවල වෙනත් ජනතාව ඉන්න ප්‍රදේශවලට බලය බෙදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරල තිබෙන්නේ. එසේ කටයුතු කළ විට බහුතරය ට අයත් නොවන ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශවලදී ඔවුන්ගේ තීරණය ක්‍රියාත්මක කිරීමට හැකි වනවා.
අපි කියන්නේ නැහැ උතුර නැගෙනහිරට වෙන කාටවත් යන්න බැහැ කියලා. එනමුත් එම ප්‍රදේශවල තමයි දෙමළ ජනතාව බහුතරය ඉන්නේ. එම නිසා අපි එම ප්‍රදේශයට වෙනම ඒකකයක් ඉල්ලනවා. දැන් අපි මෙහෙ ඇවිත් ජීවත් වනවා. දැන් දෙමළ ජනතාව උතුර නැගෙනහිර ප්‍රදේශවලට වඩා ඉන් පිටත තමයි ජීවත් වන්නේ. නමුත් උතුර, නැගෙනහිර දෙමළ ජනතාව බහුතරය ඉන්නවා. එම නිසා එතන ඒකකයක් හදන්න කියන එක තමයි අපි කියන්නේ.
කැනඩාවේ, කියුබෙක් ප්‍රදේශයට වෙනම බලතල තිබෙනවා. ඉන් අදහස් වන්නේ නැහැ අනෙකුත් කැනේඩියානු ජාතිකයන් එහි ජීවත් නොවන බව. ඒ වගේම ස්‌කොට්‌ලන්තය වගේ ප්‍රදේශවලටත් දැන් බලය බෙදීමට කටයුතු කරනවා. මෙහිදී සිදුවන්නේ එක රට තුළ ජීවත්වන වෙන වෙන ජාතීන්ටත් ඔවුන්ගේ කටයුතු කර ගැනීම සඳහා බලය ටිකක් ලබාදීම. අපි කියන්නෙත් එච්චරයි.
ප්‍රශ්නය – ස්‌කොට්‌ලන්තය, අයර්ලන්තය ඇතුළු ප්‍රදේශ එංගලන්තය විසින් යටත් කරගත් ප්‍රදේශයන් වනවා. නමුත් සිංහල ජනතාවට තිබෙන ප්‍රශ්නය ඒක නොවෙයි. ඔවුන්ගේ විශ්වාසය වී තිබෙන්නේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශ දෙමළ ජනතාවගේ නිජභූමිය ලෙස පිළිගෙන එම ප්‍රදේශයට ඉඩම් සහ පොලිස් බලතල ලබාදුන් විට එම ප්‍රදේශය තවදුරටත් තම මාතෘ භූමියට අයත් ප්‍රදේශ ලෙස සැලකීමට නොහැකිවීමයි.
සිංහල ජනතාවගේ මෙම ආකල්පය ඔබ දුරු කරන්නේ කෙසේද?
පිළිතුර – මෙතන වෙන්වීමේ තත්ත්වයක් නෑ. අපි ඉන්දියාව අරගෙන බැලුවොත් වෙනත් වෙනත් භාෂා කතා කරන ප්‍රදේශ මත පදනම් නම් වෙමින් ප්‍රාන්ත වෙන් කර තිබෙනවා. එයින් ප්‍රයෝජනයක් තිබෙනවා. තාමත් එය ක්‍රියාත්මක වෙනවා. අපිත් කියන්නේ එය තමයි.
විජය එනකොට කෝවිල් 5 ක් තිබුණා කියන එක ආචාර්ය පෝල්. ඊ. පීරිස් කියන ඉතිහාසඥයා තමයි ඔහුගේ පොතක ලියල තිබෙන්නේ.
ප්‍රශ්නය – යාල්පානම් වෛපවමාලේ පොතේත් ඒ බව සඳහන් වී තිබෙනවා නේද?
පිළිතුර – මම කියන්නේ ආචාර්ය පෝල් පීරිස්‌ගේ පොතේ ඒ බව සඳහන් කර තිබෙන බව තමයි. එම නිසාම එම කාලයේ දෙමළ ජනතාව සිටියා කියල කියන්න බෑ. ඒ වගේම බෞද්ධයන් සිටියා කිව්වහම සිංහල ජනතාව සිටියා කියල කියන්නත් බෑ. දකුණු ඉන්දියාවේ බහුතරයක් බෞද්ධයන් ජීවත් වූ කාලයනුත් තිබෙනවා.
ප්‍රශ්නය – යාල්පානම් වෛපවමාලේ පොතේ සඳහන් කරලා තිබෙනවා යාපනයේ සිටිය සංහිල් නම් පාලකයා එහි සිටිය සිංහලයන් එළවා දැමූ බවත්, එහි වාසය කළ සියලු බෞද්ධයන් සිංහලයන් වූ බවත්.
පිළිතුර – ඒක හරි වෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි කියන්නේ, දැන් තිබෙන තත්ත්වය ඇති වුණේ උතුරේ රජයක් තිබුණ නිසයි කියන එක තමයි. ඒක කොහොමද ආවේ කියන එක වෙනම කතාවක්. නමුත් දැනුත් එම ප්‍රදේශවල බහුතර ජනතාව දෙමළ ජනතාව. එම ප්‍රදේශයේ ජීවත් වන්නේ වෙනත් භාෂාවක්, සංස්‌කෘතියක් සහ ආගමක් තිබෙන ජනතාව. නමුත් අපි කියන්නේ එම ජනතාව වෙන් කරල දාන එකක් පිළිබඳව නොවෙයි. අපි කියන්නේ එක රටක් තුළ එම ප්‍රදේශවල ජනතාවට බලය දුන්නහම ඔවුන්ගේ කටයුතු කරගැනීම පහසු වන එක තමයි.
ප්‍රශ්නය – ඔබ කෙසේ සඳහන් කළත්, ඔබ සඳහන් කරන ආකාරයට බලය බෙදා ඊට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම මගින් වෙනම රාජ්‍යය නිර්මාණය වනවා යන විශ්වාසය තුළ සිංහල ජනතාව සිටිනවා.
එම අභියෝගය ජය ගන්නා තුරු ආණ්‌ඩුවටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් නැහැ. ඔබ කොහොමද එම අභියෝගය ජය ගන්නේ.
පිළිතුර – දෙපාර්ශ්වයේම සැකය තිබෙනවා. අපි මේ පිළිබඳව කතා කරන කොට සිංහල ජනතාව තුළ සැකයක් ඇති වෙනවා මේ අය රට බෙදන්න යනවා කියලා. ඒ වගේම අපේ ජනතාව තුළ සැකයක් තිබෙනවා, ඒකීය රාජ්‍යයක් පිළිබඳව කතා කරන කොට අපගේ අයිතිවාසිකම් දෙන්නේ නෑ කියන එක පිළිබඳව. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා. එම සැකය අපි නැති කළ යුතුයි. අපිටත් වගකීමක් තිබෙනවා බලය බෙදීමෙන් පෙඩරල් ක්‍රමයක් මගින් රට බෙදෙන්නේ නැහැ කියන එක සිංහල ජනතාවට කියන්න. ඒක අපේ වගකීම. අවුරුදු 60 ක් පුරා කටයුතු කළ ආකාරයට කටයුතු කරන්නේ නැහැ කියල කියන්න රජයටත් වගකීමක් තිබෙනවා.
ප්‍රශ්නය – ඔබ සඳහන් කළා වසර 60 ක් පුරා දෙමළ ජනතාවගේ ඉල්ලීම් ලබා නොදීමට කටයුතු කළ බව. නමුත් චෙල්වනායගම් මහතාගේම යුගයේ සිටි ප්‍රධානතම මුස්‌ලිම් නායකයකු වූ රාසික් ෆරීඩ් මහතා සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට පක්‍ෂව කටයුතු කර තිබෙනවා. මෙයින් පැහැදිලි වනවා නේද ඓතිහාසිකව දෙමළ රාජ්‍යයක් පැවතියා යන විශ්වාසය චෙල්වනායගම් මහතාගේ සටනට මූලික වී ඇති බව.
පිළිතුර – ඒක නොවෙයි, 56 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන වෙලේ ෆරීඩ් ඊට පක්‍ෂ වුවත්, යාපනයේ හිටපු එම්. ඒ. අසීස් නමැති මුස්‌ලිම් නියෝජිතයා සෙනෙට් සභාවෙන් ඉල්ලා අස්‌වී තිබෙනවා. අපේ පක්‍ෂයේ කල්මුණේ මසූර් මවුලානා අපිව නියෝජනය කරල තිබෙනවා. අබ්දුල් මජීඩ් මුතූර් මන්ත්‍රී ලෙස දිනලා තිබෙනවා. එහෙම තත්ත්වයක් තිබිල තිබෙනවා. 67 ඡන්දයේදීත් අෂ්රොෆ් මහතා සිටියේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සමග තමයි. වෙනම රාජ්‍යයක් ඕන කියන තැන එතුමාත් සිටියා.
ප්‍රශ්නය – නමුත් අෂ්රොෆ් මහතා ප්‍රකාශ කළානේ නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාව සඳහා වෙනම කලාපයක් අවශ්‍ය වන්නේ, උතුර සහ නැගෙනහිර එක් කරනවා නම් පමණක් බව.
පිළිතුර – ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. මුස්‌ලිම් ජනතාවටත්, දෙමළ ජනතාවට තිබෙන අයිතිය තිබෙන බව අපි 1949 දීම පිළිගෙන තිබෙනවා.
සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය