Sun. Nov 24th, 2024
Spread the News

වවුනියාවේ කොටි ගොරවති බුරති!
source:
හමුදාව ගොසින් මඬිති

* විල්පත්තු ඝාතකයාව බූස්‌සේ සිට ගෙනඑන්නැයි
වවුනියා සිරගෙයි කොටි ඉල්ලුවා

* ඔපරේෂන් වවුනියා මෙහෙයුමට 400 ක්‌

* වවුනියා සිරගෙයි කොටි චන්ද්‍රිකා දුරකථන භාවිතා කළා

* ආරක්‍ෂක හමුදා 9 කට හා කොටි ත්‍රස්‌තයන්ට ද තුවාල සිදුවේ

* සිරගෙට ගිනි තබා අලාභ කරති

ඔපරේෂන් වවුනියා මෙහෙයුම පසුගිය සිකුරාදා දහවල් අවසන් විය. මෙහෙයුම නම් වවුනියා සිරගෙය අල්ලාගෙන සිටි කොටි ත්‍රස්‌තයන්ගෙන් එම සිරගෙය මුදා ගැනීමයි. පසුගිය 27 වැනිදා වවුනියාවේ සිරගෙදර සිටි හිටපු කොටි හමුදා නායකයන් පස්‌දෙනකු සිරගෙය තම පාලනයට ගැනීමට ක්‍රියා කළහ. ඒ සඳහා ඔවුන් දියත් කළ ක්‍රියාදාමය වූයේ මෙක්‌සිකෝවේ සිරගෙයක නිලධාරීන්ව ප්‍රාණ ඇපයට ගැනීමේ ක්‍රමයයි.

වවුනියාව සිරගෙය සිය පාලනයට ගත් කොටි පැවසුවේ බූස්‌සට ගෙන ගිය තම සගයකුව ආපසු සිරගෙට ගෙන ආ යුතු බවයි.

මේ සගයා වෙනින් කවුරුත් නොව 2006 මැයි 7 වැනිදා විල්පත්තුවේදී බිම්බෝම්බයක්‌ අටවා හත්දෙනකුගේ දිවි අහිමි කළ ත්‍රස්‌තයායි.

විල්පත්තුවේ ගමන් කළ ඩබල් කැබ් රියකට බෝම්බයක්‌ ඇටවීමෙන් එහි ගමන් කළ ඩැරල් පෙරේරා, ගත්කරුවකු වන නිහාල් සිල්වා, නන්දන අබේසූරිය, හෙන්රිටා අබේසූරිය, චන්දි ආෂිර්වාදන්, අනුලා ආෂිර්වාදන් සහ අනුලා දිසානයක යන පිරිස මරුමුවට පත්වූහ.

එහෙත් ඝාතකයන් අසුවූයේ නැත. 2012 ජනවාරි මස දිනෙක ප්‍රධානතම ඝාතකයා වූ රාඝවන් අසුවිය. මේ අතර වවුනියා මහාධිකරණය වෙතින් නියෝගයක්‌ ගත් ත්‍රස්‌ත මර්දන නිලධාරීහු විල්පත්තු ඝාතකයාව තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා බූස්‌ස කඳවුර වෙත යෑවීමට ක්‍රියා කළහ.

මේනිසා කුපිත වූ හිටපු කොටි නායකයෝ සිරගෙයි කූඩු කඩමින් මහත් කලබැගැනීයක්‌ කළහ. පසුගිය සිකුරාදා උදේ වන විට තත්ත්වය උත්සන්න විය. කොටි ත්‍රස්‌තයන් විසින් බන්ධනාගාරයේ නිලධාරීන් තිදෙනකු ප්‍රාණ ඇපයට ගනිමින් බූස්‌සට ගෙනගිය තම සගයා ආපසු ගෙනඑනතුරු මොවුන්ව දෙන්නේ නැති බවට තර්ජනය කළහ.

වවුනියා බන්ධනාගාරයේ ඒ වන විට කොටි 321 ක්‌ද කාන්තාවන් 22 ක්‌ ද සිටි බව හෙළි විය.

එහෙත් ඉතා දුර්වල ආරක්‍ෂක තත්ත්වයක්‌ පැවතිණි. සිරගෙදර සිටි කොටින්ට චන්ද්‍රිකා දුරකථන පවා ලබාගැනීමට හැකිවිය. මෙයට පෙර පැවැති සෝදිසි කිරීමකදී එවන් චන්ද්‍රිකා දුරකථන කීපයක්‌ හමුවිය.

එහෙත් සිරගෙදර සැබෑ යථාර්ථය කොළඹට වාර්තා වූයේ නැත. වරක්‌ එක්‌ බන්ධනාගාර රැකවලෙක්‌ කොටියකු අත තිබූ ජංගම දුරකථනයක්‌ උදුරා ගත් අවස්‌ථාවේ ඔහුට පහරදීමට කොටි ක්‍රියා කළහ.

දුරකථනය උදුරාගත් බව කියමින් කොටි වර්ජනයක්‌ ද දියත් කළහ. අවසානයේදී බන්ධනාගාර බලධාරීන්ට සිදුවූයේ ජංගම දුරකථනය ආපසු දී රැකවලාව මාරු කිරීමටයි.

මේ පසුබිම යටතේ කොළඹ එක්‌ ද්‍රවිඩ දේශපාලකයෙක්‌ කොළඹ සිටින ත්‍රස්‌තවාදී සැකකරුවන් වවුනියාවේ සිරගෙදරට යෑවිය යුතු යෑයි ඉල්ලා තිබිණි.

මෙලෙස වවුනියාවේ සිරගෙදර සිටියේ ප්‍රභාකරන්ගේ ඝාතකයන්ය. ගුවන් යානාවලට මිසයිල එල්ල කිරීම්, හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම් හා වෙනත් ඝාතන රැසකට සම්බන්ධ වූවන් එහි විය.

ජුනි 29 දා දහවල් දියත් කළ ඔපරේෂන් වවුනියා මෙහෙයුමට විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා හමුදාවේ 400 ක්‌ සහභාගි වූහ.

එම මෙහෙයුමේදී ආරක්‍ෂක අංශවල නවයකට ද තුවාල සිදුවිය. හිටපු කොටි ත්‍රස්‌තයෝ සිරගෙය තුළ ගිනි අවුළුවා දේපළවලට ද හානියක්‌ කර ඇත.

කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරමින් දියත් කළ මේ මෙහෙයුම ද්වන්ධ යුද්ධයක්‌ බවට පත්විය. කොටින් ද විශාල පිරිසක්‌ තුවාල ලබා බස්‌ රථවලින් රෝහල් වෙත ගෙන යනු ලැබූ බව වාර්තා විය.

මේ සමගම කොටි හිතවාදීහු විගස විදේශ රටවලට සාවද්‍ය තොරතුරු විකාශනය කරමින් වවනියාවේ සිරගෙයි සිටි දේශපාලන සිරකරුවන්ට ආරක්‍ෂක අංශ විසින් පහරදී ඇතැයි කියා සිටියහ.

එසේම එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් ද විදේශ රටවලට වාර්තා යවමින් ආරක්‍ෂක හමුදා ද්‍රවිඩ දේශපාලන සිරකරුවන්ගේ මානව හිමිකම් කඩකර ඇතැයි පළ කර ඇත.

එහෙත් වවුනියාවේ සිරගෙයි සිටියේ කොටි මිනීමරුවන්ය. මොවුහු රටේ නීතියට ද අභියෝග කළහ. සිය කොටි ත්‍රස්‌ත බලය ද පෙන්නුම් කළහ.

වවුනියාවේ සිරගෙයි පාලනය අල්ලා ගැනීමට හිටපු කොටි කණ්‌ඩායම ක්‍රියා කළේ ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ෂිවශංකර් මෙනන් මෙරටට එන අවස්‌ථාවේයි. එසේම ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් විසින් කිලිනොච්චි තිරුමුරුකන්ද කෝවිල ඉදිරියේ විරෝධතාවක්‌ පවත්වමින් ආරක්‍ෂක හමුදාව අපේ ඉඩම් අල්ලාගෙන සිටිනවා යනුවෙන් බෙරිහන් දී ඇත.

මෙම විරෝධතාවය ඇමතූ ප්‍රභාකරන්ගේ ඥතියකු වන සිවාජිලිංගම් පැවසුවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන බවයි.

මේ අතර වවුනියා සිරගෙදර පාලනය අල්ලාගෙන සිටි හිටපු කොටි හමුදා නායකයන් කණ්‌ඩායමට ද වැරදුනි. අම්පාර විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක්‌ වවුනියාවේ සිටින බව ඔවුන්ට අමතක විය. හිටපු කොටි කණ්‌ඩායමෙන් වවුනියා සිරගෙය මුදාගැනීමට ආරක්‍ෂක අංශ විසින් මෙහෙයුමක්‌ දියත් කරනු ඇතැයි කොටි බලාපොරොත්තු නොවිණි. “අපි හැකි තරම් ඉවසුවා. නමුත් රටේ නීතිය අතට ගැනීමට කොටින්ට ඉඩදෙන්න බැහැ”යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය.

ඔපරේෂන් වවුනියා මෙහෙයුමට පෙර මෙරට කිසිම විදේශ මාධ්‍යයක්‌ විසින් කොටි වවුනියා සිරගේ අල්ලාගෙන ඇති බවට වාර්තා කළේ නැත.

“2000 ජුනි 27 වැනිදා ප්‍රභාකරන් විසින් ප්‍රකාශයක්‌ කරමින් මගේ ඉල්ලීම්වලට රජය සවන්දිය යුතුයි. නැත්නම් පියවර ගන්නවා”යෑයි පවසා තිබිණි 2012 ජුනි 27 වැනිදා වවුනියා සිරගෙයි කොටි කණ්‌ඩායම ද පැවසුවේ විල්පත්තු ඝාතකයාව ආපසු සිරගෙට එවනු· නැත්නම් බන්ධනාගාර රැකවළුන් නිදහස්‌ නොකරන බවයි. එහෙත් කොටි සැලසුම බිඳවැටිණි.

ජුනි 27 වැනිදා කොටි බිරුවේය. ජුනි 28 වැනිදා තර්ජනය කළේය. ජුනි 29 වැනිදා කොටි ඇදවැටිණි.

මෙම මෙහෙයුම දියත්වීමට පෙර වවුනියා සිරගෙයි පාලනය කොටි යටතේ පැවතියත් සැබෑ යථාර්ථය නම් පසුගිය කාලය මුළුල්ලේම කොටි එම සිරගෙය පාලනය කිරීමයි.

චන්ද්‍රිකා දුරකථන පවා වවුනියාවේ සිරගෙයට ලබාගැනීමේ හැකියාවක්‌ තිබිණි. මෙය පුදුමයක්‌ නොවේ. කොළඹ ජංගම දුරකථන වෙළෙඳසල්වල නැති චන්ද්‍රිකා ජංගම දුරකථන පවා වවුනියාවේ වෙළෙඳසල්වල අලෙවි කෙරේ. එසේම සිරගෙයි සිටි කොටි හමුදා නායකයන් හා වවුනියාවේ කොටි හිතවාදීන් අතර ජාලයක්‌ ද ක්‍රියාත්මක විය. වවුනියා සිරගෙයි පාලනයට අවශ්‍ය වන්නේ “මිඩ් නයිට්‌ එක්‌ස්‌ප්‍රස්‌” චිත්‍රපටයේ එන බන්ධනාගාර ප්‍රධානියා වැනි අයෙකි. මෙහි සිටින්නේ එසේ මෙසේ කොටි ත්‍රස්‌තයන් පිරිසක්‌ නොවේ. ඉතාමත් දරුණු ගණයේ ත්‍රස්‌තයන් යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ හෙළි කළේය.

එහෙත් බලධාරීහු අනුගමනය කළේ බයාදු පිළිවෙතකි. උපවාසය කරන බවට කොටි තර්ජනය කළ විට ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමට ද බලධාරීහු ක්‍රියා කළහ.

එසේ වුවත් පමාවී හෝ සිරගෙය කොටින්ගෙන් මුදාගැනීමට ආරක්‍ෂක හමුදා නිලධාරීහු කටයුතු කරනු ලැබීය. වවුනියාවේ සිරගෙදර සිටින කොටින්ගෙන් ඇලෙක්‌සන්ඩර් දයාබරන්, අප්පදුරෙයි ගනේෂන් සහ නඩරාසා සරවනබවන් නමැති කොටින් ද ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්‌ත මර්දන ඒකකයට අවශ්‍ය වූවන්ය.

මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්‌ත මර්දන ඒකකයට නීතියෙන් ඉඩ තිබේ. එහෙත් කොටි විරෝධතාවක්‌ පැවැත්වූයේ ඊට එරෙහිවය.

විල්පත්තු ඝාතකයාව බූස්‌සේ සිට යළි වවුනියාවට ගෙනඑන්නැයි කියමින් හිටපු කොටි කණ්‌ඩායම දියත් කළ මෙහෙයුම සාර්ථක වනු ඇතැයි ද්‍රවිඩ සන්ධානය ද අපේක්‍ෂා කළහ.

ඔපරේෂන් වවුනියා මෙහෙයුම දියත් වූයේ විශේෂ කාර්ය බළකායේ භට පිරිස්‌ සිරගෙදර තාප්පයක්‌ බිඳ ඇතුළුවීමෙනි.

එහිදී කොටි ගල්වලින් ගසමින් විශේෂ කාර්ය බළකා භටයන්ට දැඩි ලෙස පහර දුන්හ.

එහෙත් අවසානයේදී බලසම්පන්න යෑයි කියන කොටි වැඳ වැටී ඇතැයි හෙළි විය. මේ මෙහෙයුම නිසා කොන්දක්‌ ඇති හමුදාවක්‌ හා රජයක්‌ තවදුරටත් සිටින බව කොටි හිතවාදීන්ට ද අවබෝධ විය.

කොටින්ට වැරදුනේ “මචං” කියා අමතන ආරක්‍ෂක ලේකම්වරයකු නොමැතිවීමෙනි. 2002 දී කොටි සංවිධානය රජය ලවා ත්‍රස්‌ත මර්දන පනත අත්හිටුවා ගත්හ. 2012 දී වවුනියා සිරගෙදර සිටි කොටි කල්ලිය බලාපොරොත්තු වූයේ එදා රජය මෙන් වත්මන් රජය ද තමන්ට හිස නමන බවයි.

එහෙත් වවුනියා සිරගෙයි කොටි පසුගිය සිකුරාදා දහවල් ආරක්‍ෂක අංශ වෙතින් නිසි බෙහෙත් ඉල්ලා ගත්හ. නාරායන් ස්‌වාමි නමැති ඉන්දීය ලේඛකයා වරක්‌ පැවසුවේ ප්‍රභාකරන් ඇතුළු කොටි කණ්‌ඩායමට මෙවන් බෙහෙත් ලැබෙනු ඇතැයි තමා කිසිවිටෙක සිතුවේ නැති බවයි.

වවුනියා සිරගෙයි කොටි කල්ලිය පෙරේදා ඉල්ලන් කෑවේය. තමන්ව බේරා ගැනීමට එන්.ජී.ඕ. ප්‍රධානීන්, ජාත්‍යන්තර ප්‍රජාව හා මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලෙයි ඉදිරිපත් වනු ඇතැයි ඔවුහු අදහස්‌ කළහ.

එහෙත් කොටි සැලසුම අසාර්ථකවිය. ගුන්තනාමෝබේ ඇමරිකානු සිරකඳවුරේ අල්කයිදා ත්‍රස්‌තයන්ව මර්දනය කිරීමට ඇමරිකාවට හැකිනම් එම හිමිකම මෙරටටත් තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk