Spread the News

පවිටන් විසින් කෙළෙසා
ඇළට දැමූ සමන්පිච්ච මල

source:


ක්‍රිෂ්ණ කුමාරි දුෂන්තනී හය හැවිරිදිය. ඇගේ මුවින් වෑහෙන්නේ කිරි සුවඳය. රාමක්‍රිෂ්ණ විද්‍යාලයේ පළමු ශේ්‍රණියට මේ දියණිය ඇතුළත් කළේ හරියටම පසුගිය ජනවාරි මාසයේය.

මේ පුංචි දියණිය උපතින්ම සුන්දරත්වය සමග උපන් දැරියකි. විවාහ උත්සවවලදී මල්කුමරිය සේ ඇයව එක්‌කර ගැනීමට මේ පවුලට සමීප අය නිතරම ක්‍රියා කළේ එනිසාය.

ක්‍රිෂ්ණ කුමාරි දුෂන්තනීලාගේ පවුලේ ඔක්‌කොම සිව් දෙනෙකි. මේ දැරිවිට වැඩිමල් දරුවා පිරිමි දරුවෙකි. ඒ දරුවා රාමක්‍රිෂ්ණ විද්‍යාලයේ අට වසරේ ඉගෙනුම ලබන දක්‍ෂ දරුවෙකි. මව කුවින් මේරිය. පියා වේලු ක්‍රිෂ්ණ කුමාරය (38).

මොවුන් පදිංචිව සිටියේ කිරුළපන, කූඹිකැලේ ප්‍රදේශයේය. කූඹිකැලේ යනු විවිධ ජාතීන්, විවිධ ආගම් අදහන පිරිසක්‌ ඉතා සමගියෙන් සාමයෙන් ජීවත්වන පෙදෙසකි.

ක්‍රිෂ්ණ කුමාරි දුෂන්තනීලා ද්‍රවිඩ ජාතිකයන් වුවද ජාතිවාද කලකෝලාහල තිබූ කාලයේ හෝ ත්‍රස්‌තවාදී කලබල තිබූ කාලයේදීවත් මොවුනට කිසිවකු හිරිහැර කරන්නට නොපැමිණියේ කූඹිකැලේ කොයි කවුරුත් දැඩි විශ්වාසයෙන් හා අවබෝධයෙන් එකට ජීවත්වූ නිසාය.

“අම්මේ අද පල්ලියේ උත්සවය බලන්න යමුද?” දුෂන්තනී අම්මාට කීවේ ඇඟේ දැවටෙමිනි.

“පොඩි දරුවොනෙ” මවට සිතිණි.

“යමු. අයියාටත් කියන්න” මව කීවේ දුෂන්තනීගේ මුවගට නැඟුන සිනහව බලා සතුටක්‌ සිතට කාන්දු කර ගනිමිනි.

ඒ අනුව පල්ලියේ උත්සවයට යන්නට අයියාත්, නංගිත්, මවත් පාරට බැස්‌සේ හොඳට හැඳ පැළඳගෙනය.

“නැන්දලගෙ ගෙදර කෑම දෙනවා. අපිත් යමුද අම්මේ” දරුවන්ගේ ඉවරයක්‌ නැති ඉල්ලීම් අතර මේ ඉල්ලීමත් තිබිණි.

තිදෙනාම නැන්දලාගේ නිවසට ගියේ ඒ අනුවය.

දුෂන්තනීට හරි සතුටුය. කලකට පස්‌සේ ඇයට පල්ලියේ උත්සවය දැක ගන්නටත්, පාර දෙපස සුන්දරත්වය විඳින්නටත්, දකින දකින දේ අම්මාගෙන් ඉල්ලන්නටත් අවස්‌ථාව පෑදී තිබිණි.

කොයි දරුවත් වගේ දුෂන්තනී දුවත් සිනහවෙමින් සතුටු සිතින් පල්ලියට ගියේ ඒ විනෝදය ද සිතින් විඳිමිනි.

රාත්‍රියේ බත් කටවල් කිහිපයක්‌ ද කෑ දුෂන්තනී දුව නැන්දලාගේ නිවසේ දුව පැන ඇවිදිමින් සතුටු වූයේ නැන්දලාගේ දාහත් හැවිරිදි අයියා සමගම කෙළි සෙල්ලම් කරමිනි.

මේ පුංචි දියණිය හරි ලස්‌සනය. කතා කරන විට කතුර වගේය. චතුර කථිකත්වයත් සුරතලයත් කෙළිලොල්කමත් උපතින්ම උරුම කරගත් මේ දැරිවි පාසල් ගුරුවරුන්ගේ ද ඥතීන්ගේ ද පැසසුමට ලක්‌වූයේ එනිසාය.

“නංගි යමුද පල්ලියේ උත්සවය බලන්න” දාහත් හැවිරිදි නැන්දාගේ පුතා දුෂන්තනී නංගීට කීවේ අතින් අදින ගමන්ය.

“අම්මේ, මම අයියත් එක්‌ක යන්නද?”

“දුවේ පරිස්‌සමින්” අම්මා දෙවරක්‌ නොසිතා ඥති පුතු සමග දියණිය යෑව්වේ විශ්වාසයෙනි.

ඔරලෝසුවේ කටු කැරකැවෙමින් තිබිණි. විනාඩි, පැය බවට පෙරළිණි. පාරට ගිය දරු දෙදෙනා නැත.

දුෂන්තනී දියණියගේ මවගේ හදවත ගැහෙන රාවය පිටතට ඇසෙන තරමට වැඩිවෙමින් තිබිණි.

“අනේ.. කෝ මේ ළමයි” අවසානයේ මවගේ මුවින් ඒ වචනය පිටවෙද්දී අන් අයද කලබල වූයේ පල්ලියේ කටයුතුත් නිමාවෙන තරමටම රෑ බෝ වූ නිසාය.

මේ කියන දවස පසුගිය 30 වැනිදාය. සෙනසුරාදා දිනයක්‌ වූ එදින කිරුළපන පල්ලියේ උත්සවය නිසා ඒ ප්‍රදේශයේ මාර්ග තදබදය ද, මිනිසුන්ගේ ප්‍රමාණය ද වැඩිවී තිබිණි.

සිද්ධ වූයේ කුමක්‌ද? දුෂන්තනීගේ මවත්, ඥතීහුත්, නිවසට ගොස්‌ බැලුව ද, නිවසට ද දුෂන්තනී පැමිණ නැත.

මේ අය කෙලින්ම ගියේ පොලිසියටය.

“දුව පල්ලියේ උත්සවය බලන්න එක්‌ක ආවා. එයා නෑ. අතුරුදන් වෙලා” පොලිසිය පැමිණිල්ල ලියා ගන්නා විට මවත්, පියත් හඬන්නට වූයේ සිද්ධ වී ඇත්තේ කුමක්‌ද කියා සිතා ගැනීමටත් නොහැකිවය.

“පොලිසිය ද?” පොලිසියට දුරකථන ඇමතුමක්‌ ආවේ එදින රාත්‍රි 11.30 ත් 12.00 ත් අතර කාලයේය.

“ඔව්”

“කවුද කෙනෙක්‌ මහ ඇළට වීසි කළා. පොඩි දරුවෙක්‌ගේ හඬක්‌ ආවා. පොඩ්ඩක්‌ බලන්න” දුරකථන ඇමතුම විසන්ධි වී යද්දී පොලිසිය වහා ක්‍රියාත්මක වූයේ අදාළ පැමිණිල්ලත් මෙම සිද්ධියත් එකවර සිහි වූ නිසාය.

මහඇළ යනු මේ ප්‍රදේශයේ ඉවතලන කැත කුණු සියල්ල ගලා යන ඇළකි. මහඇළට වඩා මෙය කුණු ඇළ ලෙස හැඳින්වීම වරදක්‌ නොවන තරමට මෙය දුගඳින් පිරී ඇත.

පොලිසිය නාවික හමුදාවේ ද සහාය ගෙන මහඇළ දිගේ මෙහෙයුමක්‌ දියත් කළේ කිසියම් අනතුරක සේයාවක්‌ තිබුණු නිසාය.

මහඇළේ තුම්මෝදර ප්‍රදේශයේදී සමන්පිච්ච මලක්‌ වැනි දුෂන්තනී දියණියගේ සිරුර සොයා ගත්තේ ඒ අනුවය.

දුෂන්තනී ඒ වන විටත් සිටියේ මරු වැළඳගෙනය.

හය හැවිරිදි මේ දැරිවි මරා දමනු ලැබුවේ කවුද? මොකටද? ඒ මවත්, පියත් පොළොවේ පස්‌ කකා හඬද්දී, පරීක්‍ෂණ සිදු කළ පොලිසියට ද මෙය මහා ප්‍රහේළිකාවක්‌ විය.

පොලිසිය මේ සිද්ධියේ සුලමුල ඇසුවේ එවිටය.

දුව පල්ලියේ උත්සවය බලන්න ගියේ අහවල් ඥති පුතු සමග.

පොලිසිය මේ කියන පුතුගෙන් ප්‍රශ්න කළේය.

මේ ඥති පුතකු නොව අමන පුතෙකි. දාහත් හැවිරිදි මේ පුද්ගලයා පුතෙක්‌ කියන්නට බැරි තරමට නරුම, අසික්‌කිත, මහපොළොව නූහුලන මහ අපරාධයක්‌ කර තිබිණි.

පොලිස්‌ පරීක්‍ෂණවලට අනුව එදා සිද්ධ වී ඇත්තේ මේකය.

අයියේ අයියේ දුෂන්තනී මේ ඥති සොයුරාගේ අතේ එල්ලී ගියේ පල්ලියේ උත්සවය බැලීමටය. මේ නරුමයා දාහත් හැවිරිදි වුවත් කොල්ලෙක්‌ නොව කොලු තාත්තෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ නරුමයෙකි. විකෘති කාම ආශාවන්ගෙන් සිත කිලිටි කරගත් උන්මත්තකයෙකි.

අනේ අයියේ මේ කොහේද? හය හැවිරිදි පුංචි දියණිය එසේ කියද්දී මේ නරුමයා දුෂන්තනීගේ කට තදින් වසාගෙන තලකොටුව පාරේ පාසලක අඳුරු මුල්ලකට ගෙන ගොස්‌ තිබේ.

ඉන් පසුව මේ නරුමයා, උන්මත්තකයා මේ දැරිවි කෙලෙසා ඇත. කිරිසප්පයා හඬද්දී ඒ නරුමයා මේ සමන්පිච්ච මල තළා පොඩිකර දැමීය.

එතැනින් නොනැවතුණ මේ නරුමයා ඔහු සමග සිටි කාලකණ්‌ණි දෙදෙනකුට ද මේ දැරිය බිළිදුන්නේය. ඒ කාලකන්නි දෙදෙනා ද ඒ මල තැළුවේ ඒ දියණියගේ කිරි සුවඳ වහනය වන කට වසාගෙනය. ඒ නරුමයින් ද සිය විකෘති කාමාශාවන් පිනවා ගත්තේ මුළු රටේම පිරිහීමේ තරම පෙන්වමිනි.

මේ තිරිසනුන් එක්‌වී තලා පොඩිකර දැමූ මල් කැකුළ පණපිටින්ම කුණු ඇළට විසි කළේ ඉන් පසුවය.

මුන් මිනිසුන්ද? තිරිසනුන් ද? මුන්ට දෙන දඬුවම මොනවාද?

දරුවන් සිටින, දියණියන් සිටින මවකට, පියකුට මෙවැන්නක්‌ කෙළෙස දරා ගන්නද?

හය හතර නොතේරෙන, කිරිසුවඳ පමණක්‌ හඳුනන, පුංචි දියණියට මෙවන් අපරාධ යක්‌ සිදුවන තැනටම මේ රටේ සදාචාරය, සංස්‌කෘතිය, විනය පිරිහී තිබේද?

මහා සංස්‌කෘතියක්‌ පිළිබඳ සදා චාරයක්‌ පිළිබඳ උදම් අනන අපේ රටේ මේ සිද්ධ වන්නේ මොනවාද?

පොලිසිය නිදිදැයි ඇතැ මුන් අසන්නේ එනිසාය. නීතිය හරිහැටි ක්‍රියාත්මක නො වීම මේ ම්ලේච්ඡ අප රාධවලට හේතුවී ඇද්ද? නොඑසේ නම් තංගල්ලේ ඔලමොට්‌ටල දේශ පාලනඥයින් පුංචි දැරියන්ව දූෂණය කරන තැනට රට පත්වන්නේ කෙළෙසද?

පසුගිය මාස හයට පමණක්‌ ස්‌ත්‍රී දූෂණ නවසිය හැත්තෑ පහක්‌ වාර්තා වී තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අතර ළමා අපයෝජන ප්‍රමාණය හත්සියයක්‌ බවද සඳහන්ව තිබිණි.

මෙරට ඇතැම් රූපවාහිනී හා එµa.එම්. නාලිකා මරණ හැටි, කොටන හැටි, ස්‌ත්‍රී දූෂණ හා ළමා අපචාර කරන හැටි නාට්‍යානුසාරයෙන් පෙන්වති. දෙබස්‌ විකාශනය කරති. ඒවා පිළිබඳව ද ප්‍රශ්න තිබේ. කෙසේ හෝ දුෂන්තනී දියණිය කෙළෙසා පණ පිටින් ඇළකට වීසි කළ සිද්ධිය මෑත කාලයේ ඇසූ ම්ලේච්ඡම සිද්ධිවලින් එකකි. දුවේ නුඹ සමන්පිච්ච මල් ගසාගෙන හිනැහි හිනැහී සතුටු වුණ හැටි ඒ මවටත් පියාටත් මැවි මැවී පෙනේ. මේ නරුම සමාජය නුඹේ ඒ සිනහවත් නුඹේ වටිනා ජීවයත් රැගෙන ගොසිනි. නුඹේ නාමයෙන්වත් යළි කිසිවකුටත් මෙවැන්නක්‌ නොවන තැනට රට පත් කරන්නට මේ රටේ ප්‍රධානීන්ට සිතේවා·

ශිරාන් රණසිංහ

බලවේගය ප්‍රකාශය:  මෙවැනි පාදඩ බල්ලන් සමාජයෙන් ඉවත් කිරීමට හා පාදඩ බල්ලන් තනන විසංශ්කෘතීන් මෙරටින් තුරන් කිරීමට කාලය පැමිණ ඇත……