හොඳම දේ දරුවන්ට…
ඒත් ඒක ඇත්තද…?
වර්තමානයේ අපි පුරුදු වී සිටින්නේ ලස්සන ලස්සන වචන වලින් ලෝකය රවටන්නට යෑයි මට සිතෙයි. එසේ සිතෙන්නේ පසුගිය කාලයේ අපි අපිවම රවටා ගන්නට මේ රටේ භාවිත කළ ඇතැම් “සංකල්ප” ගැන කල්පනා කර බලන විටය.
එම බොහෝ සංකල්ප වචනයටම සීමා වී තිබූ ඒවා මිස යථාර්ථයක් ලෙස මේ පොළෝ තලයෙහි ක්‍රියාත්මක කරන්නට හැකි ඒවා ලෙස මම නොසිතමි.
“ලොව හොඳම දේ දරුවන්ට” කියා කියන ලද සංකල්පයද එබඳු එක් සංකල්පයක් බව මට දැනෙයි. මට එසේ සිතෙන්නේ, මට එසේ දැනෙන්නේ මෙතෙක් කලක් අපි අපේ දරුවන්ට දී ඇති හොඳම දේ මොනවාදැයි කියා කල්පනා කර බලන විටය.
පුංචි දරුවෙක් මව් කුසින් බිහිවූ දා සිට ලබන්නේ හොඳම දේ ද? නැත. එදා සිට දරුවා ලබන්නේ හොඳම දේ නොව, මව්පියන් විසින් ලබාදිය හැකි දේය. දෙමාපියන් ආදරේ පටන් අන් සෑම සියලුදේම අඩු වැඩි වශයෙන් එසේ බව කියන්නට මා මෙතැන් සිට උත්සාහ කරමි.
කිරි බිළිඳු දරුවා උපන් මොහොතේ පටන් සමාජානුයෝජනයට හුරු වන්නේ මවගෙනි. මවගේ උණුසුම ලබමින් මව් කිරි බොමින් බලන්නට, සිනාසෙන්නට බහ තෝරන්නට උගෙන ගන්නේ මවගෙනි. එහෙත් මේ රටේ බහුතර දරුවෝ මව් උණුසුමේ ඇති දැඩි වෙන්නේ කොපමණ කාලයක්ද යන්න ලොකු ප්රශ්නයකි.
අම්මලා කරන රැකියාවන්හි ප්‍රසූත නිවාඩුව ඉවර වූ දා පටන් දරුවන්ට සමාජානුයෝජනය වන්නට සිදුවන්නේ අම්මලාගෙන් නොව ආයම්මලාගෙනි. අකමැත්තෙන් හෝ දරුවා ආයම්මලාට දමා රැකියාවට යන්නට මේ නූතන ලෝකයේ ආර්ථික සමාජ රටාවට හුරුපුරුදු වූ අම්මලාට සිදුවීම අභාග්‍යයකි. එතැන් පටන් ඒ දරුවන්ට බොන්නට සිදුවන්නේ හොඳම දේ ලෙස සලකන මව්කිරි නොව පිටිකිරිය.
එසේ ආයම්මලා සෙවණේ සිය ළදරු කාලය ගෙවමින් හීනවූ පෞරුෂ ඇතිව සමාජයට හුරු පුරුදු වන කුඩා දරුවාට ඊළඟ අභියෝගය වන්නේ සුදුසු පාසලක් තෝරා ගැනීමයි.
තම කුඩා දරුවාට සුදුසු පාසලක් සොයාදීම වූ කලී අද අපේ රටේ දෙමව්පියෝ සියයකගෙන් අනූපහකටම ඇති බරපතළම ප්රශ්නයයි. මේ ප්රශ්නය නිසා දෙමව්පියෝ විඳින කරදර පීඩා ආදියෙහි කෙළවරක් නැත.. අද මෙය මුළු රටටම උත්තරයක් නැති ප්‍රශ්නයක් වී ඇති අතර ඇතැම් අම්මලා අද සිය මාතෘත්වය හා ගෞරවය පවා අභියෝගයට තබමින් මේ ප්‍රශ්නයට උත්තර සොයන්නට යන බව සමාජය විනිවිද දකින අපට උදාහරණ එමටය.
නිදහස් අධ්‍යාපනය කියා තවත් වටිනා සංකල්පයක්ද මේ පොළොවේ පවතී. එය අද වන විට මෙය නාමමාත්රික වටිනාකමක් ඇති සංකල්පයක්ව ඇති බව කියන්නේ කනගාටුවෙනි. නිදහස් අධ්‍යාපනය කියා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්රය හැඳින්වූවාට මේ රටේ පාසල් දරුවන්ට හා ඔවුන්ගේ අම්මලාට නැත්තේම නිදහසය.
කොටින්ම කිවහොත් මේ රටේ කිසිදු දෙමාපියෙකුට තම දරුවා තමන් කැමැති උසස් පාසලකට ඇතුළත් කර ගැනීමට නිදහසක් නැත. නිදහස ඇත්තේ තමන් පදිංචි තැනකට ආසන්නයේම ඇති කුමක් හෝ පාසලකට තම දරුවා ඇතුළත් කරවීමටය. ඒ පාසලේ උගන්වනවාද නැද්ද, පහසුකම් තිබේද, ගුරුවරු සිටිත්ද හොඳ නරක යන කාරණා කුමක් වුවත් ඔවුන්ට හිමිකම ඇත්තේ එතැනය.
එතැනට තම දරුවා දැමීමට අකමැති නම් දෙමාපියන් කළ යුත්තේ දරුවා උපත ලද දා සිටම වංචාවට බොරුවට හුරුපුරුදු වීමටය. පළමුව තමන් කොහේ පදිංචිව සිටියත් දරුවා උපත ලද දා සිට ඔහු හෝ ඇය අනාගතයේදී ඇතුළත් කරවීමට බලාපොරොත්තු වන පාසල අසල නිවසකට උප්පැන්නය සාදා ගැනීමය. ඊළඟට ඒ ලිපිනයට දෙමාපියන්ගේ ඡන්ද කාඩ් ඇතුළු වැදගත් ලියකියවිලි හැරවීමය. ඊටත් පසුව කාට හෝ කීයක් හෝ දී එම නිවාසවල ඔප්පු තිරප්පු මෙන් පිළිගත හැකි ලියවිලි සකස් කර ගැනීමය.
මුදල් යහමින් දුන් විට පාසලට අල්ලපු වැටේම ලිපිනය සහිත සියලු ලියකියවිලි සාදා දෙන, සමාජයට වංචාව විකුණන කූට ව්‍යාපාරිකයෝද අද සමාජයේ හිඟයක් නැත්තේ මේ ක්‍රමයට පින්සිද්ධ වෙන්නටය. එදා පටන්ම දරුවාටද හුරුපුරුදු කරවිය යුත්තේ බොරුව වීම මොනතරම් අභාග්‍යයක්ද….
තම දරුවාට, සමාජයට, පාසලට, රටට මෙන්ම තම හෘද සාක්ෂියට බොරුකරවමින් මේ අයථා ක්‍රම මගින් ළමුන් පාසලට ඇතුළත් කර ගන්නේ කීයෙන් කී දෙනෙක්ද. ඉතිරි සැවොම පළමු තරගයෙන් පරාජයට පත්වී ඊළඟට එකතු වන්නේ ඊළඟ ඉලක්කය ඉදිරියේ පෝලිම් ගැසෙන්නටය.
සමහරු පහ වසර ශිෂ්‍යත්වය ඉලක්ක කර ගනිමින් තම දරුවන්ට කප්පරක් දුක් විඳින්නට ඉඩ හරිමින් තමන්ද අපමණ දුක් අනුභව කරන්නේ දරුවන්ටත් තමන්ටත් දවසේ පැය විසිහතරෙන් වැඩි හරියක් තුළ හුස්මක් කටත් ගන්නට ඇති ඉඩකඩද අහිමි කරවමිනි. දරුවන්ව පන්තියෙන් පන්තියට පන්තියෙන් ඊළඟ පන්තියට රැගෙන යවමින් ටියුෂන් ප්රවාහයකට දරුවා හුරුකරවමින් තමනුත් සිතින් කයින් දුක් විඳින්නේ එතනින් පසුව හෝ සහනයක් බලාපොරොත්තු වෙමිනි. ඇතැම් දෙමාපියෝ බැරි බැරි ගාතේ තම දරුවන් ට හොඳම දේ දෙන්නට ඊළඟට තිබෙන්නේ කුමක් හෝ අන්තර්ජාතික ලේබලය සහිත පාසලකට ළමයා ඇතුළත් කර දුක් කරදර විඳීමටය. එවන් පාසල්වලට ළමයින් ඇතුළත් කර මුදල් හදල් යහමින් ඇති අය සමග බැරි බැරි ගාතේ තරග කරමින් ජීවිතයම අසංතෘප්තව ගෙවන දෙමාපියන් අද කොතෙක්ද.
හොඳම දේ දරුවන්ට දෙන්නට සිතන මේ දෙමව්පියන් තම ළමයින්ට ළමා කාලයක් දෙන්නේ නැත. සෙල්ලම් කරන්නට ඉඩක් දෙන්නේ නැත. හොඳ නරක වටහා ගන්නට දරුවා දහම් පාසලකට යවන්නේ නැත. කුඩා කල සමාජයේ සම වයසේ ළමයින් අතර සමාජානුයෝජනය වන්නට එළියට පහළියට යවන්නේ නැත. පාසලෙන් ටියුෂනයටත් ටියුෂනයෙන් ගෙදරටත් ගෙදරින් පාසලටත් පමණක් යවන මේ දරුවා ටික ටික උස් මහත් වන්නේ යන්ත්‍රයක් ලෙස මිස මස් ලේ ඇට නහර ඇති මනුෂ්‍යයෙක් ලෙස නොවේ.
අද සමාජයේ පාසල් දරුවන් අතර වැඩිපුරම ඇත්තේ එබඳු දරුවන් යෑයි මා කියන්නේ හරි කනගාටුවෙනි. දරුවන් අතර අද අපේ බව නැත්තේ, පොදු හැඟීම් නැත්තේ ඒ නිසාය. අනාගත රටකට ආත්මාර්ථකාමී දරු පරපුරක් නිර්මාණය වන්නේ එලෙසිනි.
අද වන විට වර්තමාන දරු පරපුරට බලන්නට හොඳ ළමා පොත් නැත. රස විඳින්නට එදා මෙන් හරවත් ගීත නැත. හඳයා, සුද්දා වැනි අපූරු චිත්‍රපට නැත. ළමා රූපවාහිනි වැඩසටහන් නැත. අද ළමයින් මේ වෙනුවට හුරු පුරුදු වී සිටින්නේ අම්මලා තාත්තලාගේ සෙලියුලර් දුරකථන හරහා කෙරෙන ඉන්ටනෙට් ගේම් වලටය. එසේ නැතහොත් ෙµaස් බුක් ගේම් හා ගනුදෙනුවලටය. එස්එම්එස් පණිවුඩ හා රූප ගනුදෙනු වලටය. අද හැදෙන දරුවන්ගෙන් සියයට හැටක් හැත්තෑවක් දෙනා නොමඟට යන්නට පාර කපා දෙන්නේ එතැනින් යෑයි මා කියන්නේ මේ සිද්ධි සිද්ධාන්ත ගැන හො¹කාරවම දන්නා නිසා බව කියන්නේ කනගාටුවෙනි.
මේ සියල්ල අතර තුර අපොස සාමාන්‍ය පෙළ කඩ ඉම පසුකරන බොහෝ දරුවෝ තමන්ට සුදුසුකම් ඇති ආකාරයට උසස් පෙළ හදාරන්නට පටන් ගනිති. ජාතික හා නවෝද්‍යා පාසල් පද්ධතියේ ඇති කැත හෙළුව එළියට එන්නේ දරුවෝ උසස් පෙළ කරන්නට යද්දීය.
අද කොළඹත් මහනුවරත් යාපනේ ඇතුළු තවත් තැන් කිහිපයකත් සීමිතම පාසල් කිහිපයක් හැරුණුකොට උසස් පෙළට පාසලේ උගන්වන්නේ නැත. දරුවෝ කරන්නේ පුරුද්දට පාසල් යැමය. ඉගෙන ගන්නට පාසලේම උගන්වන ගුරුවරුන්ගේ හෝ රටේ ප්‍රකට ටියුෂන් මුදලාලිලාගේ ටියුෂන් පන්තිවලට නොගිය හොත් විභාගයට හුලංය. මේ නිසා හුලං කකා වතුර බිබී හෝ ටියුෂන් පන්ති නොවරදවාම යන්නට මේ දරුවෝ බොහෝ දෙනෙක් හුරු පුරුදුව සිටිති.
කොළඹත් එකක් දෙකක් හැර උසස් පාසල් ගණනාවක උසස් පෙළට උගන්වන්නේද යන ප්රශ්නය පවතී. උසස් පෙළ පාස්වීමට අවශ්‍ය නම් දරුවා මහන්සි විය යුතුය. පන්ති යැම හරියාකාරව කළ යුතුය. නැතිනම් එතනින් එහාට ඇති තරගයට වැදීම භයානකය.
දහසකුත් එකක් දුක් විඳ උසස් පෙළ විභාගයට ලියුවද හොඳ ප්‍රතිඵල අත්පත් කර ගැනීම බොහෝ දෙනකුට සිහිනයකි. සමහර විෂයන්වලට විභාගයෙන් ඒ සාමාර්ථ තුනක් ලබා තිබුණද විශ්වවිද්‍යාල කඩඉම තරණය කරගත නොහැකිව දුක් විඳින දරුවෝ අද සිටිති.
උසස් පෙළ ඉතා හොඳින් සමත් වන දරුවෝ අද විශ්වවිද්‍යාලවලට නොයන්නේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලබන නිසා නොවේ. අද තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඔවුන්ට ඇතුළුවීම සඳහා ඉඩ කඩ නොමැති නිසාය.
ජාතික විශ්වවිද්‍යාල කිහිපයත් ප්රාදේශීයව බිහිව ඇති විශ්වවිද්‍යාල කිහිපයත් යන සියල්ලම එකතු කර බැලුවත් ඒවා තුළ ඉගෙන ගැනීමට ඉඩකඩ ඇත්තේ උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසුන්ගෙන් 40% ක් පමණ වූ පිරිසකටය. ලැබූ ඉහළම ලකුණු බලපාන්නේ ඒ අවස්ථාවේදීය. ඉහළම ලකුණු ඇති දරුවෝ විශ්වවිද්‍යාලවලට ගනී. සෙසු දරු දැරියෝ සිය ශාස්ත්‍රාලිය අධ්‍යාපනය එතෙකින් හමාර කර වෙන වෙන මාවත් කරා ඇදෙති.
අපි උසස් පෙළ කරන කාලයේ විශ්වවිද්‍යාලය කරා යැමට නම් මේ මේ මට්ටම්වලට සාමාර්ථ ගතහොත් හැකිවන බව අපි හොදාකාරවම දැන සිටියෙමු. තමන්ට ඇත්තේ බී සාමාර්ථ දෙකක් හා සී සාමාර්ථ දෙකක් වුවද ඊට අදාළ අවම මට්ටමේ ලකුණු මත ගණන් සාදා තමන්ට විශ්වවිද්‍යාලයට යා හැකිද බැරිද කියා කීමට එදා තිබුණු අධ්‍යාපන ක්‍රමවේද විවෘතය. විනිවිද පෙනෙන සුළුය. එහෙත් අද ඒ සාමාර්ථ තුනක් ලබන දරුවාට ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවිනිශ්චිතයි. ඇමැතිවත් නොදන්නා ඉෂෙඩ් ස්කොර් ක්‍රමය නම් බහුබූතයක් නිසා සියල්ල චකබ්ලාස් වී ගොස්ය. එසේ වී ඇත්තේ 1994 වසරෙන් පසුව මේ රටේ බලයට පත්වූ ආණ්ඩුවේ අධ්‍යාපනය විනාශ මුඛය කරාම දැක්ක වූ ඇතැම් අධ්‍යාපන බලධාරීන්ගේ අමනෝඥ ක්‍රියා කලාපයන් නිසා බව අකැමැත්තේ වුවද කිව යුතුව තිබේ. අද අධ්‍යාපන, උසස් අධ්‍යාපන ඇමැතිවරු ශක්‍රයා හා ඔහුගේ පුත් වයිමා ආවත් ආපස්සට හැරවූ අධ්‍යාපන ක්‍රමවේද යළි නිසි මාවතට ගැනීම කළ නොහැක්කකි. එය කිරීමට ඔවුන් තුළ වැඩ පිළිවෙළක් නොමැති බවද පැහැදිලිය.
හොඳම දේ දරුවන්ට දෙන්නට අපේ රටේ 1994 න් පසු බිහිවූ ආණ්ඩුවල නායකයෝ ගත් උත්සාහයන්හි ප්‍රමාණය හා ඒවායේ ප්‍රතිඵල ගැන අපි මෙතෙක් වේලා සාකච්ඡා කළේ බිංදු මාත්‍රයකි. තවත් බොහෝ දේ කියන්නට ඉතිරිය. ඒවා කියන්නට පෙර අවසාන වශයෙන් මා එක් දෙයක් නම් කිව යුතුව තිබේ.
ඒ වූ කලී සමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් මේ රටේ “මහජනයාට” නම් හොඳම දේ තම දරුවන්ට දෙන්නට ඉඩ ප්රශ්ථා සැලසී තිබීමය. මේ රටේ මැති ඇමැතිවරුන්ට නිලධාරීන්ට හා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ට මේ ප්රශ්නය සාමාන්‍ය ජනතාවට පරිදි නොදැනෙන්නේ ඇයි. කොළඹ උසස් පාසල්වල පවා ළමුන්ට උසස් පෙළ පන්තිවල ඉගැන්නුවේ නැතුවාට ඔවුන්ට ප්‍රශ්නයක් නැත්තේ ඇයි? ඔවුන්ගේ දරුවෝ සියලුම දෙනා ලංකාවේ ඉහළම පෙළේ ජාත්‍යන්තර පාසල්වල හෝ පිටරට වල මහා බ්‍රිතාන්‍යයේ පාඨමාලාවන්ට අනුව එහි පවතින විභාගවලට නිසි ලෙස ඉගෙන ගන්නා නිසා නොවේද?
බුලිත ප්‍රදීප් කුමාර