සල්ලාල දේශපාලනයට මල්මාල දැමීම!
සියලු වස්‌ත්‍රාභරණයෙන් සැරසී කිසිදු චකිතයක් හෝ බියක් නොමැතිව යොවුන් ලියකට හුදෙකලාව වුවද දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්‌වා ගමන් කළ හැකි අතීතයක් තිබුණු මේ රටේ වර්තමාන කතාව කුමක්‌ද? පසළොස්‌වක පෝය දිනකදීවත් දාහතර හැවිරිදි දැරියකට මහා දවාලක පාරට බැස යා නොහැකිවී තිබේ. පල්ලියේ උත්සවයක් බැලීමට ආශාවෙන් ගෙදරින් පිටත්ව ගිය සය හැවිරිදි දැරියක් ඇගේ මාමා කෙනකු ඇතුළු තවත් අයකුගෙන් කෙලෙසී ඇළකට වීසිකර දමා තිබේ. තාත්තා නැති අඩුව පිරවීමට පැමිණි බාප්පා කාමකහඹිලියාව ගෑවී බාලවයස්‌කාර දැරියක් කෙළෙසා තිබේ. බාලවයස්‌කාර පාසල් සිසුහු අපයෝජනයට ලක්‌ව සිටිති.
මේ පසුගිය දින කීපය තුළ පමණක් වාර්තා වී තිබුණු අධම සිදුවීම් කීපයකි. 2011 වසරේදී වාර්තා වූ බාල අපරාධ සංඛ්‍යාව දහසකට වැඩි බවද කියති. එසේ වාර්තා නොවූ සිදුවීම් ද විය හැකි බව ඒ වාර්තා සපයන ආයතන බලධාරීහුම දක්‌වති. ගණන් හිලව් පිළිබඳ ප්‍රශ්නයකට වඩා මේවා රටක සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්‌කෘතිය හා බැඳුණු ඒවායේ කුඩපත් ලෙස සැලකීම වැරදි නැත.
මේ සියල්ලෙන්ම අත හෝදා ගැනීමට තවමත් විවෘත ආර්ථිකයේ මුවහමට තඩිබාන දේශපාලනඥයෝ මෙන්ම වෙනත් අය ද සිටිති. එහෙත් ඒ අයගේ තර්ක න්‍යාය අනුව අප ආපසු ඉපැරැණි අනුරාධපුරයට හෝ වෙනත් යුගයකට යායුතු නොවේද? නොඑසේ නම් මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි අර දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට නිදහසේ ගිය යුගයට යායුතු නොවේද? එහෙත් ඒ කිසිවක් ප්‍රායෝගික නැත.
අපට හැඟෙන පරිදි ශිෂ්ටාචාරයේ ගමන්මඟ ඔස්‌සේ දියුණුව කරා පැමිණි මිනිසා රකුසකු බවට පත්ව සිටියි. ඔහු බොහෝවිට තිරිසනාගෙන් වෙන් වන්නේ භෞතික දියුණුව නිසාම පමණි. ඔහුගේ මනස විකල්ය. එය සියලු ආකාරයේ අධම සිතිවිලිවල උල්පතකි. ඔහුට විලි බිය නොමැත. පරලොව බිය නැත. වෙනකක් තබා මරබිය ද නැත. ඒ වියරු මිනිසා බලගන්වන ලද ප්‍රබල ශක්‌තීන් ගණනාවක් ද ඇත. එකක් දේශපාලන බලයයි. අනෙක ධනයයි. බලය හා ධනය උපයෝගි කරගනිමින් තම අභිමතය පරිදි හැසිරෙන අයගේ සංඛ්‍යාව අද ඉහළ ගොස් තිබේ. ඒ කිසිවෙක් නීතියට, යුක්‌තියට, සදාචාරයට යටත් නැත. ඕනෑම මුග්ධ ක්‍රියාකාරකමක් කළත් ඔවුහු වීරයෝයි. පොලිසිය ඔවුන්ට බිය වේ. උසාවියේ වරෙන්තු ඔවුන්ගේ හුළඟ අසලකටවත් නොයයි.
අද රටක් වශයෙන් අප මුහුණදී සිටින මේ බරපතළ විනාශයට වග උත්තරකරුවෝ දේශපාලනඥයෝම වෙති. වරින්වර මාරුවෙන් මාරුවට රට භාරගත් කපුරුහාමිලාගේ තෝම්බු කවුරුත් දනිති. දැන් අප යෝජනා කරන්නේ මෙතනින් හෝ ආරම්භයක් ලබාගත යුතු බවය. නැත්නම් අපට හෙටක් තබා අදවත් ඉතිරි නොවන බවය. දාහතර හැවිරිදි බාලවයස්‌කාර පාසල් දැරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්‌ස ප්‍රාදේශීය සභාවේ සභාපති බව කියන එස්. එල්. සුනිල් නමැත්තෙකි. තවත් එබඳුම දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට බාරවී ඇත්තේ තංගල්ල නගර සභාවේ මන්ත්‍රීවරයකු බව කියන අංජන ලියනගේ නමැත්තෙකි. මෙබඳු අයගෙන් ගමකට, ප්‍රදේශයකට, රටකට බලාපොරොත්තු විය හැක්‌කේ කුමක්‌ද?
දේශපාලනය යනු රටක යහපාලනය භාරව සිටින සංස්‌කෘතික ආධ්‍යාත්මයක් සහිත ශිෂ්ටයන්ගේ අතට පත්විය යුතු ව්‍යාපාරයකි. එහෙත් මේ රටේ දේශපාලනය සඳහා ඉදිරිපත් වන්නේ කවරහුද? ඔවුන්ට එරෙහිව සමාජය තුළින් නැඟෙන විවේචන මොනවාද? අවහල් මැරයා, අහවල් කුඩ්ඩා, අහවල් අවලමා යනාදී හැම තැන්හිම දේශපාලන නමක් ගෑවී තිබෙන්නේ ඇයි? “චෝදනා තිබුණට මදියිනෙ, ඒවා ඔප්පු වෙන්ටත් එපායෑ”යි කියනු ද ඇසෙයි. එහෙත් අපගේ අදහස නම් ඒ වර්ගයේ අධම චෝදනා එල්ලවීම පවා දැඩි නුසුදුසුකමකි.
ජනතාවගේ පොදු අයිතිය, මහජනයා සතු දේ උදුරා ගැනීම වරදකි. එහෙත් මේ වර්ගයේ වැරදි පුද්ගලයකුගේ පාදඩකම, අවලම්කම මෙන්ම සල්ලාකම ද පෙන්වන බරපතළම වැරදිය. තම දියණියකගේ වයසේ සිටින දැරියක් දූෂණය කළ හැකි මුග්ධයා තිරිසනෙක් නොවන්නේද? එබඳු දේශපාලන සල්ලාලයන්ට නෑකම් තිබෙන කිසිවකුට හිස කෙලින් තබාගෙන සමාජයේ ජීවත් විය හැකිද? එබඳු සිදුවීමක දී ඔවුන් පත්වන තත්ත්වය කුමක්‌ද?
එම වර්ගයේ අමනයන් තමන්ගේ දේශපාලන සංවිධානය තුළ සිටීම පක්‍ෂයකට ආඩම්බරයක්‌ද? එබඳු අධමයෝ පළමුව තමන් වැදූ මවගේ ගෞරවය කෙලෙසති. දෙවනුව තමන්ගේ මාතෘ භූමිය කෙලෙසති. තෙවනුව තමන් හා සම්බන්ධ සියලු පුද්ගලයන්ගේ ගෞරවය කෙලෙසති. එබඳු පාදඩයන් සුරැකීම සඳහා නීති පොත් පෙරලන මහත්වරුන් ද තම හෘදය සාක්‍ෂියෙන් විමසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් තමන් මේ පවිත්‍ර කර, නිදොස් කර සමාජයට ප්‍රවේශ කරන්නේ එබඳු සල්ලාලකමක් නොකළ අයෙක් ද යන ප්‍රශ්නයයි. එබඳු අය මුදා ගැනීම වැරදි නැත. ඉතිරිය කිව යුතුද නැත.
මේ ගර්හිත දේශපාලනඥයන් අතර වුවද යහපත් පැහැපත් දේශපාලනඥයෝ ද විරලව හෝ සිටිති. කිසිම දිනක එබඳු අවලම් චෝදනාවක් එල්ල නොවූ අයද සිටිති. එබඳු සංස්‌කෘතික ආධ්‍යාත්මයක් සහිත දේශපාලනඥයන් අද වඩ වඩාත් රටට අවශ්‍යව තිබේ. නැත්නම් අපට මේ ගමන යැමට නොහැකිය. ඒ බව දැන් දේශපාලන පක්‍ෂවලට ද දැනෙමින් තිබෙන බවද පෙනේ.
මෙවර පළාත් පාලන මැතිවරණයට සිය පක්‍ෂයෙන් අපේක්‍ෂකයන් තෝරා ගැනීමේදී “හැබිචෝල්කාරයන්ට” ඉඩ නොමැති බව ශ්‍රී ල.නි.ප. මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබිණි. ඇමැතිතුමනි, ඒ වර්ගයේ නරක කැරට්‌ටුවක් සහිත අය මෙන්ම මේ වන විටත් නම නරක් කරගත් අය ගැන ද ක්‍රියාමාර්ගයක් ගත යුතු බව අපගේ යෝජනාවයි. බාල අපරාධකාරයන්ට නම් කිසිම දිනක පොදු සමාවක් ලබාදීම ද නොකළ යුත්තේය.
දේශපාලනයෙන් බැහැරව සිදුවන බාල අපරාධ සිදුවීම් ද ඇත. මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ සය හැවිරිදි දැරිය එයට අලුත්ම නිදසුනකි. ඇයට විපත සිදුකිරීමට මුල්වී ඇත්තේ මාමා කෙනෙක් බව කියති. මෙයට දැරියගේ මවගේ නොසැලකිල්ල ද යම් ප්‍රමාණයකින් බලපෑ බව නිසැකය. මෙම අවලම් මාමා මත්කුඩු හෝ වෙනත් නරක ඇබ්බැහියක් නිසා විකෘති මනසකින් සිටියෙක්‌ද? කුමක් වුවත් ඒ හය හතර නොදත් දැරියට ජීවිතය ද අහිමි කර තිබේ.
මේ අතර එබඳුම අධමයෙක් ගැන වාර්තා විය. ඔහු බාප්පා කෙනකු බව කියෑවිණ. බාප්පාට ඒ වරදට වසර විස්‌සක හිරදඬුවමක් ද නියම වූ බවද කියෑවිණ. එහෙත් දැරියගේ ජීවිතය කුමක් විය හැකිද? පාපතරයකු අතින් කෙලෙසී ලද මානසික පීඩනය ඇය තුළින් කෙසේ ඉවත් විය හැකිද? සමාජය, පිරිමියා යනු ඇය තුළ කෙබඳු ප්‍රතිචාර දැන්විය හැකි වචනද?
අද අප ජීවත්වන සමාජය තුළ පවට බියක් නැත. අපරාධයට තැවීමක් නැත. එහෙත් සිංහල බෞද්ධ සමාජය පවට බිය විය. පව්කාරයන්ට සිදුවූ විපත් ගැන අපමණ කතා පුවත් බෞද්ධ සාහිත්‍යයේ එයි. පරදාර කර්මයෙහි යෙදුණු අයකුට ආත්මභාව ගණනාවක් තිස්‌සේම සිය පුරුෂ නිමිත්ත අහිමිවිය. තවත් ආත්මභාව ගණනාවක්‌ම නපුංසකව උපත ලබා ඇත.
එදා සමාජය උගත්තේ, හැදුණේ වැඩුණේ ඒ යහපත් කතන්දර ද සමගය. එහෙත් අද සිදුවන්නේ කුමක්‌ද? පන්සිල් පදවලින් කීපයක් රකින බෞද්ධයෝ සිටිත්ද? රන් වැටවල් හැදෙයි. දහම් ශාලා ඉදිවෙයි. දන්සැල් මැවෙයි. එහෙත් කෝ අර යහපත් මිනිසා? කෝ එදා තිබුණු සංවරය. කෝ කාන්තාවන්ට දැක්‌වූ ගෞරවය· ඝාතනය, භීෂණය, දූෂණය දස අත රජවී තිබේ නම්, නීතිය, යුක්‌තිය වල් වැදී තිබේ නම් කුමක්‌ද මේ රට·
අපි යළිත් කියමු. තවමත් අපට නිවැරදි විය හැකිය. තවමත් අපට අභිමානයෙන් නැගී සිටිය හැකිය. නීතියට, යුක්‌තියට, සාධාරණයට ගරු කරන සමාජයක් අපට වුවමනා වී තිබේ. අධිවේගී මාර්ග, ගුවන්තොටවල්, වරාය, අහස උසට නැඟුණු මැදුරු, අලංකාර නගර ඒ හැම දෙයක්‌ම වුවමනාය. ඊට කලින් යහපත්, පැහැපත්, සමාජයක් වුවමනාය. හෘදය සාක්‍ෂියක් සහිත මිනිසකු වුවමනාය. සල්ලායන්, අධමයන්, පවිටන්, හොරුන්, මාරයන් රජ කළ යුගය අවසන් කළමනාය. පාදඩ සල්ලාලයන්ගේ වෙල්ලෑ හැළියක් බවට පත්ව තිබෙන දේශපාලනය ඉන් මුදා ගැනීම අද තිබෙන සමාජ වගකීම පමණක් නොව මහා පින්කමක් ද වනු ඇත.
සුමේධ ජයබාහු