Spread the News

ප්‍රේමය නම් මල් මෙහෙම ගියොත් පල්

source:

ආදරයට සීමා පැනවිය නොහැකිය. තහංචි බැමි බැඳීමට ද නොහැකිය. ඔබගේ කෙස්‌ සුදුවට හැරී ඇත්තේ අකලට නොව වයසටය. එසේ නම් අනියම් ආදරය තුළ කුලප්පු වූ කුළුමීමෙක්‌ වන සිත කෙසේ හෝ හිලෑ කරගැනීම “මහලු” පෙම්වතුන්ගේ වගකීමකි

මරදාන දුම්රිය ස්‌ථානය එකම හිස්‌ ගොඩකි. දිනයේ වැඩ මුරය අවසන් කර නිවෙස්‌ බලා යන මිනිසුන්ගෙන් දුම්රිය ස්‌ථානය පිරී ගොස්‌ය. සවස පහට ආසන්න වෙමින් තිබිණි. “මාතර බලා ධාවනය වන “සාගරිකා” සීග්‍රගාමී දුම්රිය තව ස්‌වල්ප වේලාවකින් හය වන වේදිකාවට පැමිණෙනවා ඇත.” දුම්රිය ස්‌ථානයේ යකඩ කට එසේ මොරදුන්නේය.

“සාගරිකා” පැමිණෙනවා ඈතින් පෙනේ. හය වන වේදිකාවේ සිටි සියලුම මගීහු තරගයට සූදානම් වූහ. කාන්තාවෝ සාරි පොට ඉන වටා ඔතා ගනිමින් කරේ එල්ලී තිබෙන බෑග් මලු තදින් අල්ලා ගත්හ. පුරුෂ පක්‍ෂය ද තම අත රැඳි බෑග් මලු තද කර ගත්තේය. අවදානමත් තුරුලු කරගෙනම මගීන් මේ සූදානම් වන්නේ දුම්රියේ අසුනක්‌ අල්ලාගැනීමට තරග කිරීමටය. පාපුවරුවෙන් ගොඩ වුවහොත් අසුන් ගැනීමට සීට්‌ එකකි. පය ලිස්‌සා බිම වැටුණොත් මරු තුරුලටය. තරගය දෙලොවක්‌ අතරය. දුම්රිය සෙමෙන් වේදිකාව දිගේ ඇදී යයි. “දඩොස්‌, දඩොස්‌, දඩොස්‌” දැන් තරගය ක්‍රියාත්මකය. සෙමෙන් ඇදෙන දුම්රියට එකෙක්‌ පරයා එකෙක්‌ පාපුවරුට පනිමින් තරගය දැන් උත්කෘෂ්ටයට පැමිණ තිබේ. අපි තරගය නරඹන්නන් වීමු. මන්ද හිත් පිත් නැති යකඩ යකා සමග ඔට්‌ටු වෙනවාට වඩා ගමනාන්තය දක්‌වා හිටගෙන යැම ඇඟට ගුණ යෑයි සිතූ හෙයිනි. “සාගරිකා” වේදිකාවේ නතර විය. අපිදු සෙමෙන් එයට ගොඩ වීමු. එහෙත් අසුන් ගැනීමට සීට්‌ නොමැත. තරගයෙන් පරාජිත මගීහුද මළානික මුහුණු ඔරවාගෙන නොවැටී යැමට ඇති ආධාරක හැඬලයේ වවුලන් සේ එල්ලීගෙන සිටියෝය. දුම්රිය තුළ මෙලසින් මගීන් අසරණ වන්නේ ඇයි?

“පරණ කෝච්චි තිබුණ නම් මෙහෙම වෙන්නෙ නැහැ. මේ හුණ්‌ඩු දාපු දවසෙ ඉඳලා මිනිස්‌සු ඔµsස්‌වලට යන්නෙ බාගෙට මැරිලා. හවසට ගෙදරට යන්නේ පාන් කියා ගන්න බැරි ගානට. දැන් ටේ්‍රන්වල යනවා කියන්නෙ මැරෙනවා වගෙ වැඩක්‌” දුම්රියේ යන එන විට මගීහු එසේ කියනවා අපගේ දෙසවනේ රැඳුණු වාර ගණන අනන්තය. දුම්රිය සේවාව දියුණු කිරීමට හා මගීන්ට කඩිනම් සේවාවක්‌ ලබාදෙනු වස්‌ ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය කට්‌ටල ධාවනයට යෙදවුවද, දුම්රිය මගීන්ට එයින් කිසිදු සෙතක්‌ වී නැති බවත්, මගීහු කබලෙන් ලිපට නොව, රේල් පාරටම වැටී ඇති බවත් දන්නෝ දනිති. මේ ලිපියෙන් අපි කතා කරන්නට යන්නේ රටේ අවිධිමත් දුම්රිය සේවය ගැන නම් නොව, දුම්රියේ ගමන් ගන්නා වියපත් පෙම්වතුන්ගේ අසෝබන ප්‍රේම ජවනිකා නිසා අසරණ වන මගීන් ගැනය.

අවසරයිá මමත් දුම්රිය මගියෙක්‌ වෙමි. අලුත් දුම්රිය කට්‌ටල යෙදීමෙන් දුම්රිය මගීන්ට වී ඇති අසාධාරණය ගැන කෙටියෙන් හෝ එසේ සටහන් නොකර සිටියා නම් මගේ හෘද සාක්‍ෂිය මට දඬුවම් කිරීමට ඉඩ තිබිණි. එහෙයින් මම ඉහත කරුණු ටික එසේ සටහන් කළෙමි.

මරදානෙන් පිරී ගිය දුම්රිය මැදිරි කොටුව දුම්රිය ස්‌ථානයෙන් පොල් පැටවූවා සේ අතුරු සිදුරු නොමැතිවම පිරී ගියේය. සේවා ස්‌ථානයේ දවසම “කඹුරපු” මිනිසුන් දැන් තෙරපි තෙරපී ඉහින් කනින් දාඩිය පෙරාගෙන පහළට එල්ලෙන හැඬලයේ එල්ලීගෙන යයි. එහෙත් දුම්රිය මැදිරිය තම බූදලය සේ සිතා සිටින ඇතැමුන් නම් උසුළු විසුළු කරමින් කැකිරි පලමින්, කා බී විනෝද වෙමින් ගමන් කළේ ඔවුන්ටම ලියාගෙන ඇති සීට්‌වලය. ඇතැම් පෙම්වතුන් ප්‍රේම සාගරේ ක්‍ෂිතිජයෙනුත් එහාට ගමන් කර සිටියේ ඔවුන්ටත් හොරාය. අප සිටගෙන සිටි තැනට සෙමෙන් කතා කළත් ඇසෙන මානයේ අසුන්ගෙන සිටියේ ද මහලු වියේ දොරකඩ සිටින පෙම් යුවළකි. ඔවුහු කති, බොති, දොඩති, දැත් පටලා ගනිති, එකිනෙකා මුහුණු පිරිමදිති. වට පිටාව ගැන වගේවගක්‌ නැත. ඒ මහලු ප්‍රේමවන්තයෝ ද විලිලැඡ්ජාවක්‌ නැතුවා සේ හැසිරුණේ ඒ දුම්රිය මැදිරියේ ගමන් කරන්නේ ඔවුන් දෙදෙනා පමණකැයි සිතාගෙනය. මෙවැනි ජවනිකා කාර්යාල දුම්රියවල දිනපතා යන මගීන්ට නම් අරුමයක්‌ නොවේ. මන්ද කාර්යාල දුම්රිය මැදිරි තුළ දැන් දැන් මේ ප්‍රේම ජවනිකා සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව ඇති බැවිනි. එහෙත් ඉඳහිට දරුමල්ලොත් සමග දුම්රියේ ගමන් කරන මගීන්ගේ ඇස්‌ රතු වන්නේ පුංචි දරුවන් නොදැනුවත්කමට අසන කියන දේවල් නිසාය. සැබැවින්ම වයසෙන් මුහුකුරා ගිය මේ පෙම්වතුන් ළඳබොළඳ සේ හැසිරෙන ආකාරය දකින තවත් කෙනකුට නම් සැබැවින්ම එය අපුලදනවන සුළු දසුනකි.

දුම්රිය වේගයෙන් ගමන් කරයි. අතක්‌ පයක්‌ එහාට මෙහාට කරන්නට නොහැකි දුම්රිය මැදිරියේ අපිදු සුරුට්‌ටු වී වවුලන් සේ පහළට වැටුණු හැඬලයේ එල්ලී සිටිමු.

“අම්මේ රහසක්‌ කියන්න චුට්‌ටක්‌ පාත් වෙන්න…” අප අසලම සිටගෙන සිටි පුංචි දරුවා තම මවට කටකාර ලෙස එසේ තෙපලනවා අප දෙසවනේ ද රැඳුණු හෙයින් අපිදු ඔහු දෙස බැලුවෙමු.

“කොහොමද පුතේ මෙතැන පාත් වෙන්නෙ… පාත් වුණොත් අම්ම පෑගෙයි. බැස්‌සට පස්‌සෙ පුතා රහස කියන්න කෝ..” අම්මා එසේ කීවාය. පුංචි මොළ ගෙඩියට තම මව කියූ දේ වැටහිණි. එහෙත් පුංචි පුතා රහස නම් ගෙදරට ගෙන යැමට සූදානම් නැති සේය. පුංචි දරුවා අප අසල අසුන් ගෙන සිටි මහලු පෙම් යුවළ දෙස ද තම මව දෙස ද මාරුවෙන් මාරුවට බැලුවේය.

“අම්මේ අර අන්කල් ඇන්ටිට කජු කවනවා.. කට පිහි දානවා.. ගොඩක්‌ ආදරෙයි. අපේ තාත්තා නම් අම්මට එහෙම කරන්නෙ නැහැනේ” තම දරුවාගේ මුවින්, නොසිතූ වචන ගිලිහුණු සැණින් ඇය ලැඡ්ජාවෙන් වට පිට බැලුවාය. විඩාපත් ඇයගේ මුහුණ රතු වී යනවා අපට ද පෙනිණි. “කෑනුගහ ඉන්න පුතේ” තරමක්‌ සැරෙන් ඒ මව එසේ කියමින් තම දරුවා තව තවත් ඇයට තුරුළු කර ගත්තාය. නොදරුවාගේ පුංචි මුවින් පිට වූ ඒ කටකාර වදන් ඇසුණු අසල සිටි මගීහු ද ඔහු දෙස බැලූහ. නැවත මහලු පෙම්වතුන් දෙසට දැස්‌ යොමු කළ මගීහු “තුක්‌ නොදෝකින් මෙහෙමත් නැහැදිච්ච උන්” යෑයි මුමුණමින් හිස්‌ හරවා ගත්හ. එහෙත් ප්‍රේම සාගරයේ පතුල පිරිමදිමින් සිටි ඒ වියපත් පෙම්වතුන්ට පුංචි දරුවා කියූ දේ ඇසුණේද? ඇසුණත් නොඇසුනා සේ සිටියාද කියා අපි නොදනිමු. මන්ද ඔවුහු උමතු ප්‍රේම ලෝකයෙන් පියවි ලොවට පැමිණියේ නැත. ඒ පුංචි දරුවා තරමක්‌ ශබ්දයට කියූ වචන ටික ඔවුන්ගේ කණට නොවැටෙන්නට ඔවුන් මොනතරම් අන්ධ පෙම්වතුන්ද? සැබවින්ම මෙය නම් උමතුවක්‌මය.

ආදරය කිරීමට වයස බාධාවක්‌ නැති බව සැබෑය. එහෙත් මෙලෙසින් මගීන්ගෙන් පිරී ගිය දුම්රිය මැදිරියක්‌ තුළ විලිලැඡ්ජාවක්‌ නැති අඳබාලයන් සේ හැසිරෙමින් කරන ආදරයේ අරුත කිම? “මෙහෙමත් සමාජයක්‌, දරුවෙක්‌ එක්‌ක අම්මා තාත්තාට පාරක බැහැලා යන්නවත් නැතුව ගියා නේ” අප අසල සිටි මගියෙක්‌ එසේ මුමුණමින් දුම්රිය මැදිරියේ වා කවුළුවෙන් එපිටට දෑස්‌ යොමු කළේය. “නාකි විසේ ගෙටත් උසේ” පැරැන්නෝ එසේ කියා ඇත්තේ කට කහනවාට නොවේ යෑයි මනසට නැඟෙන විට මගේ දෙනෙත් ද වා කවුළුවෙන් එහා ඈත දියඹේ පාවෙමින් තිබිණි. නිවී යැමට ආසන්න පහන් සිලක්‌ අන්තිම මොහොතේ විශාල දීප්තියකින් දැල්වෙන්නාක්‌ සේ දවසේ අවසන අව් රැල්ල වැටුණු වෙරළ තීරය කාන්තියෙන් බැබළෙණි. අපේ දැස්‌ ඒ සොඳුරු දසුන තුළ මොහොතකට නතර වී තිබිණි. මඟතොට මිනිස්‌සු කඩිසර ගමනින් ඔබ මොබ යති. දුම්රිය රත්මලානත් පසු කර පැල්පත් අතරින් ගමන් කරයි. අඩ නිරුවත් දරුවෝ රේල් පාර අද්දර බෝල ගසති. ඇතැම්හු ජල කරාම අසල පෝළිම් ගැසෙමින් සිටියහ. ඇතැම් කාන්තාවෝ රේල් පාර අසල ගල් මත වාඩි වී වටමේස සාකච්ඡා පවත්වමින් සිටිති. දැස්‌ මානයේ විවිධ දසුන් මැවේ. මොහොතකට වටේ ගිය මගේ මනස නැවත දුම්රිය මැදිරිය තුළට එබිකම් කළේය.

මෙල්ල කළ නොහැකි කුළු මීමෙකු බවට පත්ව ඇති මේ මහලු පෙම්වතුන්ගේ සිත්, ඔවුන්ට පාලනය කර ගැනීමට නොහැකි බව අපට වැටහී ගියේ ඔවුන්ගේ මුවින් ගිලිහෙන වචන ඇසෙන විටය. ඔවුන් දොඩවන ඇතැම් වචනවලින් අපට හැඟී ගියේ කාලය විසින් ඔවුන්ගේ හදවත් ඈත් කිරීමට නොහැකි ලෙසට විලංගු දමා ඇති බවයි. එමෙන්ම ඔවුන්ගේ මුවින් පිට වූ ඇතැම් වචන අපගේ දෙසවනේ රැඳෙද්දී අපට මෙවැන්නක්‌ ද පසක්‌ විය. මොවුන් දෙදෙනා අනියම් පෙම්වතුන්ය. දෙදෙනාටම දරුවන් ද සිටිති. මන්ද දෙදෙනාගේම දරුවන් ද ඔවුන්ගේ කතාවට ඉඳහිට මාතෘකාවන් කර ගන්නවා අපට ඇසුණු හෙයිනි. මේ “මහලු” පෙම ආදරයද? අනුරාගයද? දැන් මගේ සිත එසේ ප්‍රශ්න කරයි. වයසින් මුහුකුරා ගියවුන් මේ සමාජයට දෙන ආදර්ශයද?

මේ “මහලු” පෙම්වතුන් මෙලෝ හසරක්‌ නැතිව කරන කියන විගඩම් මැද අද මේ තරුණ මව අසරණ වූවා සේ හෙට ඔබට ද එවැනි දේකට මුහුණ දීමට ඉඩ ඇත. මන්ද ඔබත් ඔබගේ දරුවන් සමග මේ දුම්රිය මැදිරි තුළ ගමන් කරන අතරතුර මෙවැනි අසෝබන ප්‍රේම ජවනිකා ඇස ගැටීමට ඉඩ ඇති බැවිනි. මේ පෙම් යුවළ ද දරුවන් ඇති මව්පියන් බැවින් ඔවුන්ට ද එසේ විය හැක. එවිට ඔබට ද දැස්‌ සඟවාගෙන මුවට විලංගු දමාගෙන ගමනාන්තය දක්‌වා යැමට සිදු වේ. මොහොතක්‌ සිතන්නá ආදරය කිරීම වරදක්‌ නැත. මගී බස්‌ රථයක්‌ තුළ දුම්රියක්‌ තුළ ආදර බස්‌ දෙඩීම ද වරදක්‌ නොවේ. එහෙත් මේ මහලු පෙම්වතුන් මන්දබුද්ධිකයන් ලෙස හැසිරීම නම් තවත් මගියෙකුට පමණක්‌ නොව මුළු මහත් සමාජයටම සිදු කරන අසාධාරණයකි. සමාජයම අසරණ කිරීමකි.

වයසෙන් මුහුකුරා ගිය ඔබ අමනාප නොවන්නá මේ ටිකත් සටහන් කළ යුතුමය. කාර්යාල දුම්රියන් තුළ මෙන්ම බස්‌ රථ තුළ ගමන් කරන ඇතැම් තරුණ පෙම්වතුන් විනීත ලෙස ගරුසරුවක්‌ ඇතිව ඔවුන්ගේ ආදරය තවකෙකුට බාධාවක්‌ නොවන සේ බෙදා හදා ගන්නා අයුරු අපිදු දැක ඇත්තෙමු. තවත් මගියෙකු අසරණ කර අසෝබන ලෙස තම අසුන ලැගුම්හලක්‌ බවට පත්කරගෙන පෙම් සුව විඳින්නේ බොහෝ විට තහනම් ගහේ ගෙඩි කන වියපත් නොසණ්‌ඩාල පෙම්වතුන්ය. මොවුන්ට පෙම්වතුන් කියා ඇමතීම ද වරදකි. ආදරයට සීමා පැනවිය නොහැකිය. තහංචි බැමි බැඳීමට ද නොහැකිය. ඔබගේ කෙස්‌ සුදුවට හැරී ඇත්තේ අකලට නොව වයසටය. එසේ නම් අනියම් ආදරය තුළ කුලප්පු වූ කුළුමීමෙක්‌ වන සිත කෙසේ හෝ හිලෑ කරගැනීම “මහලු” පෙම්වතුන්ගේ වගකීමකි. මන්ද දුසිරිතෙන් වැනසී අයාලේ යන අපේ සමාජය යහමඟට ගැනීමට නම් පළමුවෙන් ඔබ ආදර්ශවත් මවක්‌ පියෙක්‌ විය යුතුය. එසේ නොවුණහොත් ඔබ නොව තව තවත් අගාධයට වැටෙන්නේ ඔබගේ දරුවාම බව අපි යළිදු මතක්‌ කර සිටිමු.

තරංග රත්නවීර