Spread the News

නීතිය උඩින් හිඳගත් දේශපාලන පාදඩයෝ!

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින සදාචාරාත්මක හා සංස්‌කෘතික සෝදාපාළුවට වගකිව යුත්තෝ දේශපාලනඥයෝම බව මේ වන විට ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඉතා මැනවින් පැහැදිලි වීම අපගේ සතුටට හේතුවකි. තවත් සති කීපයක ඇවෑමෙන් පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දවලදී මැරක්‍රියා හෝ දූෂණ අපචාර වැනි කෙබඳු චෝදනාවක්‌ හෝ එල්ල වී තිබෙන කිසිවකුට තම පක්‍ෂ වලින් නාමයෝජනා ලබා නොදීමට ඔවුන් විසින් ගන්නා ලද තීරණය ඒ පිළිබඳ නියත සාක්‌ෂියකි.

මෙබඳු නිගමනයකට ඒ ඒ දේශපාලන පක්‍ෂ යොමු වූයේ සමාජය තුළින්ම ඔවුන්ට එරෙහිව නැගෙන ජනතා විරෝධය බව නිසැකය. අද මේ රටේ මුල් බැස ගත් ගර්හිත දේශපාලනය, හා වචීපරම ප්‍රජාතන්ත්‍රවාදයද ඡේ. ආර්. ජයවර්ධනගේ ජනාධිපති ක්‍රමයත් මනාප ඡන්ද ක්‍රමයත් යන දෙකෙහිම දුෂ්ට සංයෝගයකි. ජනතාවට වගකියන ජනතා නියෝජිත ක්‍රමයේ විකෘතියකින් සමන්විත පාලන බලයක්‌ පාර්ලිමේන්තුවේ මෙන්ම හැම පළාත්පාලන ආයතනයකම තිබෙන බව මෙම ව්‍යවස්‌ථාවට නිර්දය විවේචන එල්ල කළ බොහෝ අය විසින් පෙන්වා දෙන ලද කරුණක්‌ද විය.

කෙසේ හෝ මේ ක්‍රමයේ වාසිය හිමිවූයේ කිසිදු උගත්කමක්‌ තබා සාමාන්‍ය ශීලාචාර බවක්‌ හෝ නොමැති අයට ය. අද උද්ගතවී තිබෙන ප්‍රාදේශීය දේශපාලන අර්බුදය මෙයට හොඳම සාක්‌ෂි සපයයි. අකරැස්‌සේ ප්‍රාදේශීය සභාපති යෑයි කියන පුද්ගලයාට 14 හැවිරිදි දැරියක්‌ දූෂණය කිරීමේ චෝදනාවක්‌ද තංගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු යෑයි කියන අයට 13 හැවිරිදි දැරියක්‌ දූෂණය කිරීමේ චෝදනාවක්‌ද එල්ල වී තිබේ. මේ දෙදෙනාම බලයේ සිටින සන්ධාන රජයට අයත් වූවෝ ය.

මේ චෝදනාවලට මුලින් මුලින් ආණ්‌ඩුවේම හැකර කටවල් උත්තර දුන්නේ ඊට කලිනුත් රට පාලනය කළ එජාපයටද මේ වර්ගයේ නරුම පාදඩයන් සිටි අයුරු මතක්‌ කරමිනි. එහෙත් මෙවර ඒ පිළිතුරෙන් දේශපාලන ජාම බේරා ගැනීමට නොහැකි විය. එජාපයේ දේශපාලන කැරැට්‌ටුව නරකම එකක්‌ බව ඇත්තය. ජූලම්පිටියේ අමරේ ගැන කියද්දී ගෝනවල සුනිල් හෝ සොත්ති උපාලි ගැන කීමට පුළුවන් බවද ඇත්තය.

එහෙත් එයින් රටට ලැබෙන යහපත කුමක්‌ද? ඇත්තවශයෙන්ම මව් කුසකින් බිහි වූ මිනිසකුට දරුවන් සිටින පියෙකුට තබා අසමඡ්ජාති සල්ලාලයකුටවත් මේ වර්ගයේ හිරිමල් දැරියන් දූෂණය කළ හැකිද? එයින් ප්‍රකාශවන සමාජ යථාර්ථය කුමක්‌ද?

මේ වර්ගයේ අපරාධ එදත් සිදු වූ බවත් අද ජනමාධ්‍ය වඩාත් පුළුල්වීම හා යුද්ධය අවසන් වීම නිසා මාධ්‍යවලට ලේසියෙන් වෙළෙ¹ම් කිරීමට මේ අපරාධ හොඳ ඉල්ලමක්‌ වී තිබෙන බවත් කියනු ද ඇසෙයි. යුද්ධය අවසන් වීම හා මාධ්‍ය ව්‍යාප්තවීම යන කරුණු දෙකම ඇත්ත ය. එහෙත් වගකිව යුතු ජනමාධ්‍යයක්‌ ඒ වර්ගයේ බාල වෙළෙ¹ම් සඳහා ඉදිරිපත් වෙයිද? අපරාධයක්‌ සිදු වූ විට එය වාර්තා කිරීම නරක ක්‍රියාවක්‌ද?

ජනතාවට වග කියන්නා වූද සමාජ යහපත උදෙසා පෙනී සිටින්නා වූද ජනමාධ්‍යයකට රටක සිදුවන අපරාධවලට උඩින් පැන යැමට හෝ ඒවා දැක දැකත් අහක බලා ගෙන හෝ සිටීමට හැකිද? පෞද්ගලිකත්වය හෝ තරාතිරම දෙස නොබලා ඇත්ත ඇතිසැටියෙන් වාර්තා කිරීම ජනමාධ්‍යයක වගකීම නොවන්නේද? තමන්ගේ පිලේ, තම පක්‍ෂයේ කිසිවකු වරදක්‌ කළ විට එහි වරද ඒ පිළිබඳ විවේචන ඒ ඒ පක්‍ෂවලට ලැබීම වැළැක්‌විය නොහැක. ඒවා වැළැක්‌විය හැක්‌කේද ඒ ඒ පක්‍ෂවල නායකයන්ටම පමණි. අද මේ රට ගමන් කරන්නේ කොයිබටද යන්න දැන මැන බැලීමට මේ රජයට නොහැකි යෑයි කිසිවිටෙක අපට නම් සිතිය නොහැක. හැම රජයකටම අයත් ඇතැම් දේශපාලනඥයන් තම අභිමතය පරිදි ක්‍රියා කිරීම නිසා ක්‍රමයෙන් බිඳ වැටුණු සමාජය දැන් දැඩි ප්‍රපාතයක්‌ කරා තල්ලු වෙමින් තිබෙන බව රජයද දැන සිටිය යුතුය. එහි බිහිසුණුම විලාශය තහවුරු කරමින් පාතාලයට දිරි දෙන ඇතැම් භික්‍ෂූන් වහන්සේලා පිළිබඳවද ඇසෙයි.

ආණ්‌ඩුවේම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම වමේ නායකයකුද වන ඩිව් ගුණසේකර පසුගිය දා පැවැති කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ 69 වැනි සංවත්සරයේදී ප්‍රකාශ කළේ කුමක්‌ද? රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක ලෙස පාතාලය බලවත් වී තිබෙන බවත් කළු සල්ලිකාරයන් ඇමැතිකම්, මන්ත්‍රීකම් ඉල්ලා සිටින බවත්ය. අද දේශපාලනයේ ස්‌වරූපය එයයි. ඇත්තටම ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩු ඇරැඹූ අලුත් යුගයේ එක්‌ කැපී පෙනෙන දෙයක්‌ වූයේ ගෞරවනීය දේශපාලනය රැකියාවක්‌ බවට පත්වීමත් ඒ රැකියාව සමඟ පවුල් හා ඥති සංග්‍රහයකට දොර හැරීමත්ය. උගත්, වැදගත් සමාජ ප්‍රභූවරුන් විසින් කීර්තිය උදෙසාත් රටට සේවය කිරීම සඳහාත් තෝරා ගත් දේශපාලනය අද හැම වරප්‍රසාදයක්‌ම සමග විශ්‍රාම වැටුපක්‌ද ලැබිය හැකි රැකියාවක්‌ වී තිබේ. එපමණක්‌ නොව කිසිදු ජනපදනමක්‌ නැති එහෙත් පක්‍ෂයක නායකත්වයට අභිමත ඕනෑම කෙනකුට මැති ඇමැතිකම් පිරිනැමීමේ ක්‍රමයක්‌ද අද තිබේ.

විධායක ජනාධිපති ක්‍රමයට මෙන්ම මනාප ඡන්ද ක්‍රමයට නිර්දය ලෙස බැණවදින කිසිවෙක්‌ මේ ගර්හිත ක්‍රමය වෙනස්‌ කිරීමට ඉදිරිපත්ව නොසිටිති. මේ ආණ්‌ඩුවටද ඒ බාලගිරිදොaෂය එහෙමම තිබෙන බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ජනතාවට මොන හෙණයක්‌ වැදුණත් ජනතාවගේ මුදලින් සැප විඳිමින් මුදල් හම්බ කරගනිමින් ජීවත් වීමට ලැබෙන මේ වර්ගයේ දේශපාලන ක්‍රමයක්‌ ලොව කොතැනක හෝ තිබේද? මාතර එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් කරන ලද බරපතළ ප්‍රකාශයක්‌ මෙහිදී සිහිපත් වේ. ඔහුගේ අනාවරණය සත්‍යයක්‌ නම් කාන්තාවන් 400 ක්‌ සමඟ කම්භෝග සුව විඳි දේශපාලනඥයෙක්‌ උත්සවයකින් එය සැමරීමටද ක්‍රියා කර ඇත. මේ කාන්තාවෝ සිය කැමැත්තෙන්ම ඔහු සමඟ යහන්ගත වූවෝද, නො එසේ නම් දේශපාලන බලය උපයෝගී කර ගනිමින් ඒ අධම ක්‍රියාව කරන ලද්දේද? මේ වර්ගයේ වාර්තාවලට සමාජය තුළ පිළිගැනීමක්‌ තිබේද? මෙබඳු ගර්හිත වටිනාකම් ඔසවා තබන දේශපාලන සමාජයක්‌ කුමටද? ආචාර්ය ගුණදාස අමරසේකරයන් මේ දේශපාලන යථාර්ථය පිළිබඳව කදිම අනාවරණයක්‌ කර තිබේ. එය එසේ නොවේයෑයි කිසිවකුට කිව හැකි ද?

අප මත පටවන ලද පාර්ලිමේන්තුව අද වනවිට දූෂිතයන්ට, හොරුන්ට, මැරයන්ට, අඥන නළු නිළියන්ට ක්‌ෂේම භූමියක්‌ වී තිබේ. දැන උගත් ආත්ම ගෞරවයක්‌ ඇති පුද්ගලයකුට එතැනට යැම රිසි නොවේ. කසළ ශෝධකයකු වීමටත් සාමාන්‍ය පෙළවත් සමත්ව තිබීම අවශ්‍ය නමුදු මේ පාර්ලිමේන්තුවට යැමට සාමාන්‍ය පෙළවත් අවශ්‍ය නොවේ. කොළඹ අවට පෙදෙසකින් වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට ගිය නිළියක 17 වැනි සංශෝධනය හෝ 18 වැනි සංශෝධනය ගැන හෝ තමා කිසිවක්‌ නොදන්නා බව කීවේ සාඩම්බරයෙනි. ඡේ. ආර්. ජයවර්ධන විසින් එකතු කරන ලද මේ මනාප ක්‍රමය හොරුන්ට, අඥනයන්ට එතැනට ඒමට මග කපන අතර බල ලෝභී නායකයාට තමාට රිසි පරිදි හැසිරවිය හැකි බැටළු රැළක්‌ද බිහි කර ගැනීමේ මගක්‌ විය.”

(- අමතක වූ උරුමය කවන්ධයට හිසක්‌ පිටුව 98)

මේ ගර්හිත දේශපාලනය අබියස විද්වත්හු නිහඬ වූහ. හාමුදුරුවරු නිහඬ වූහ. හොඳ නරක හා යහපත අයහපත පිළිබඳව කතා කිරීමේදී පවා ප්‍රවේශම් වූහ. ඒ හැම තැනකදීම ප්‍රධාන සාධකය වූයේ දේශපාලනයයි. ඇත්ත දැක දැකත් මුනිවත රැකීමේ පුරුද්ද සමාජය තුළ මුල්බැස ගන්නේ ඒ අනුවය. එහි බිහිසුණුම විපාකය නීතිය හා පොලිසිය පිළිබඳව උදා වූ තත්ත්වයයි.

දේශපාලනඥයාගේ අභිමතය නීතිය විය. පොලිසිය නිතරම ඔහුගේ මනාපය අනුව ක්‍රියා කළ යුතු බවට සම්මතයක්‌ ද විය. ඇමැත්තෝ පොලිසිවලට ගොස්‌ හොර තක්‌කඩියන් නිදහස්‌ කර ගත්හ. පොලිසියට සිදුවූයේ ඔවුන්ට ඉඩදී බලා සිටීම පමණි. පොලිසියේ ඇතැම් අය ක්‍රමයෙන් දේශපාලනය හා පාතාලය සමඟද එක්‌ වූහ. පොලිසියේ ඉහළම නිලයෝ මහා කුඩ්ඩන්ගේ සාදවලටද ගියහ. ඇමැත්තන්ගේ රැස්‌ වළල්ලට මුවා වූ පාතාලයන්ට සර් කීමටද සැලියුට්‌ ගැසීමටද පොලිසියට සිදු විය. පන්සල හා හාමුදුරුවෝද මේ දේශපාලන පාතාලයට හසු වූහ. දායක සභාවේ මුල් පුටුවලට මේ දූෂිතයෝද පත් වූහ. කළු සල්ලි වලින් පන්සල්වලට පරිත්‍යාග ද ලැබිණි. මේ විනාශයට ගොදුරු නොවූ පන්සල් තිබේ. හාමුදුරුවරුද සිටිති. එහෙත් ඒ කිසිතැනක බලයක්‌ නැත. කටහඬක්‌ නැත. දේශපාලන පාතාලයට ඒ සියල්ල යට වී ගොසින්ය.

මේ ගර්හිත පාතාල දේශපාලනයට අවනත නොවන අය රජයේ මෙන්ම විපක්‍ෂවලද සිටිති. මේ රටට යහපතක්‌ වනු දැකීමට රිසි රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් මෙන්ම ජනතාවක්‌ද සිටින බව නිසැකය. රාජපක්‍ෂවරුන්ට එරෙහිව මේ සියලු කුණු ගොඩවල් දැක්‌වීමට බැරි බව සැබෑය. එහෙත් දැන් යතුර තිබෙන්නේ රාජපක්‍ෂවරුන්ගේ අතේය. තිස්‌ වසරක භිෂණයක්‌ නිමා කළ ඔවුන්ට මේ රටේ අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමට ශක්‌තියක්‌ ද තිබේ. මහින්ද රාජපක්‍ෂ අදටත් ජනප්‍රිය නායකයාය. ඔහුට සටනක්‌ දෙන්නට පේන තෙක්‌ මානයක චරිතයක්‌ නිර්මාණය වී නැති බවද ඇත්තය.

රාජපක්‍ෂලාට එරෙහිව බටහිරයන් මෙන්ම දෙමළ ඩයස්‌පෝරාවද නැගී සිටින බවද ඇත්තය. එහෙත් මේ රටේ සැබෑ වෙනසක්‌ ඇති කිරීම සඳහා නව දේශපාලන ප්‍රතිසංස්‌කරණයකට යැම රටට මෙන්ම ඔවුන්ටද එක සේ වැදගත් ය. රටේ යහපාලනයක්‌ සඳහා වුවමනා නීති තිබේ. ඒ නීතිය උඩ වාඩි වී සිටින දේශපාලන මගෝඩිස්‌ලා ඉවත් කළ යුතුය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ද දැන් පොලිසියට පැහැදිලි සංඥවක්‌ දී තිබේ.

දේශපාලනය හා පාතාලය විසින් නිර්වින්දනය කරන ලද පොලිසිය දැන් ක්‍රියාත්මක විය යුතුය. ඒ සඳහා බාධකයක්‌ එල්ල නොවන බවද පෙනේ. බුලත් මඩිස්‌සලයට හෙණ ගැසූ කල හුනු කිල්ලෝටය ගැන කවර කතාද? නීතිය අයාලේ යවන දේශපාලන පාදඩයන් බහුල සමාජයක පොලිසියේ අවංක නිලධාරියකුට වුවද කළ හැකි කෙංගෙඩියක්‌ නැති බවද ඇත්තය.

දශක තුනකටත් අධිකව රටක මුල් බැසගත් සමාජ, දේශපාලන සංස්‌කෘතියක්‌ එක රැයින් වෙනස්‌ කිරීමට අපට යෝජනා කළ නොහැක. එහෙත් අද ජන මනසින් ගිලිහී යමින් තිබෙන දේශපාලනඥයන් පිළිබඳ විශ්වාසය මෙන්ම යුක්‌තිසහගත හා සාධාරණ සමාජයක්‌ පිළිබඳ අපේක්‍ෂාවද සුරැකීම සියලුම දේශපාලන නායකයන්ගේ හා පක්‍ෂවල ප්‍රමුඛ වගකීම බව අමුතුවෙන් කිව යුතු නැත. දේශපාලනය ධනෝපායන මාර්ගයක්‌ මෙන්ම එයින් හිමිවන බලය සමාජ දූෂණයට, අපචාරයට ලැබෙන බලපත්‍රයක්‌ නොවන බව, තම අනුගාමිකයන්ට වටහා දීමද අද අත්‍යවශ්‍ය දෙයකි.

සුමේධ ජයබාහු

source: