Spread the News

ලංකාවට ගල් පෙරළන ඊළාම් කරුණානිධි

source:

1987 එල්. ටී. ටී. ඊ. ය හා එක්‌වූ නිරෝමි දැන් වෙසෙන්නේ ඕස්‌ටේ්‍රලියාවේය. ඇය 1987 දී එල්. ටී. ටී. ඊ. ය හා එක්‌වන විට වයස 17 ක්‌ය. කෙසේ නමුත් ඇය වසරක්‌ ඇතුළත මේ ත්‍රස්‌ත සංවිධානයෙන් ඉවත් වූවාය. ඒ කාලය තුළදී ඇය දුටු බිහිසුණු ක්‍රියා එනම් කොටි සංවිධානයේ කුරිරු බව සාමාජිකයන් නිරපරාදේ ඝාතනය කිරීම හා අනෙකුත් මිලේච්ඡ ක්‍රියා පිළිබඳව හෙළිදරව් කරමින් පොතක්‌ ලියා ඇත. ඕපසක ඔසටරුss නම් මේ ග්‍රන්ථය ඉන්දියාවේ මේතා ප්‍රකාශන සමාගම විසින් මුද්‍රණය කර ඇත. නිරෝමි ද සොයිසා නම් මේ හිටපු කොටි කත සටහන් කර ඇත්තේ කොටි සාමාජිකයන්ට මිණියක්‌ මැරීම කැරපොත්තෙක්‌ මැරීම හා සමාන ඉතා සුළු ක්‍රියාවක්‌ වූ බවයි.

දෙමළ ඊළම නැවත පණගැන්වීම සඳහා නොයෙක්‌ බලවේග ක්‍රියාත්මක වන මේ කාලයේ නිරෝමිගේ ග්‍රන්ථය එළි දැක්‌වීම ඉතා වැදගත්ය. එක්‌ සන්ධ්‍යාවක නිරෝමි තවත් කාන්තා කොටි සෙබළියන් පිරිසක්‌ සමඟ සිටින විට ඈත සිටි කොටි සාමාජික පිරිසක්‌ “වෙල්ලෙයි” නමැති තවත් සාමාජිකයකුට පහර දෙන අයුරු නිරීක්‍ෂණය වෙයි. මේ සිද්ධිය සිදුවන්නේ යාපනයේ සුදුවලෙයි ප්‍රදේශයේදීය. වෙල්ලෙයි නමැති කොටි සාමාජිකයා ඉන්දියන් හමුදාවට ඔත්තු දුන්නා යෑයි සැක කරමින් ඔහුට පහරදීමෙන් අනතුරුව ඔහුගේ බෙල්ල දක්‌වා වළලා සයනයිඩ් බලෙන් කැවූ බව නිරෝමි සිය ග්‍රන්ථයේ සටහන් කර ඇත. එක්‌ අවස්‌ථාවක එල්. ටී. ටී. ඊයේ දෙවැන්නා එනම් මහත්තයා” ශාන්තන් නමැති තරුණ කොටි සාමාජිකයාව අමු අමුවේ වෙඩිතබා මරන්නේ සංවිධානයේම සාමාජිකාවක්‌වූ “නොරාට” පෙම් කිරීම නිසා එවක නිරොමිගේ ප්‍රධාන සගයා වූයේ අකිලාය. ඇය රජිව් ගාන්ධි ඝාතන නඩුවේද ප්‍රධාන විත්තිකාරියකි.

ඉන්දියාවේ ප්‍රකාශයට පත්වූ ඕපසක ඔසටරුss ග්‍රන්ථය තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති වර්තමාන විපක්‍ෂ නායක 87 හැවිරිදි මුතුවේල් කරුණානිධි අතට පත්වූවා දැයි අප දන්නේ නැත. කෙසේ නමුත් මේ වයස්‌ගත නළුවා කෙසේ හෝ ඊළාම් චිත්‍රපටයක්‌ යළි නිෂ්පාදනයට සැරසෙන බව නම් පැහැදිලිය. අගෝස්‌තු 12 වැනිදා ඊළාම් සමුළුවක්‌ද පැවැත්වීමටද මොහු සැරසේ. මේ ප්‍රශ්නය ගැන ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව නම් වික්‌ෂිප්තව සිටී කාශ්මීරයේ වෙනම මුස්‌ලිම් රාජ්‍යයක්‌ ඇති කළ යුතු යෑයි කියමින් කාන්තන්කුඩියේදී මුස්‌ලිම් පිරිසක්‌ සමුළුවක්‌ පැවැත්වීමට සූදානම් වුවහොත් කොළඹ රජයට ඉඩ දිය හැකිද? මේ නිසා ශ්‍රී ලංකා ඉන්දියා සබඳතාවලට දරුණු පහරක්‌ නොවදින්නේද? එසේනම් කරුණානිධිගේ මනෝවිකාර ඊළම් සමුළුවට සිදුවන්නේ කුමක්‌ද?

ඉකුත් අප්‍රේල් මස අගභාගයේ චෙන්නායි නුවර පැවැති රැස්‌වීමකට සහභාගිවෙමින් කරුණානිධි ප්‍රකාශකර සිටියේ තම ජීවිතය ඉදිරියට ඇති එකම අරමුණ ශ්‍රීලංකාවේ උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යයය පිහිටුවීම බවයි. ඔහු මේ අදහස්‌ ප්‍රකාශ කළේ 1985 දී මුලින්ම පිහිටවූ දෙළ ඊළාම් සහයෝගිතා සංවිධානය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති රැස්‌වීමකදීය. පස්‌වතාවක්‌ම තමිල්නාඩුවේ මහ ඇමැතිවූ කරුණානිධි ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යය ඇති කිරීම සඳහා තමන් අනුගමනය කරන්නේ ගාන්ධි දර්ශනය බවද හෙළි කළේය. දෙමළ ඊළාම් සහයෝගිතා සංගමය නැවත පණ ගන්වා කරුණානිධි ඊළාම් වීරයාට ඇඳ ඇති බව ඉකුත් අප්‍රේල් 29 වැනිදා “දිවයින” පුවත්පතින් අපි හෙළි කළෙමු. එදා කරුණානිධිගේ ඊළාම් වහසිබස්‌වලට නිසි පිළිතුරුදුන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ඊළමක්‌ පිහිටුවීමට උත්සාහ කරන කවර පුද්ගලයකු වුවත් ඔහු අනෙකෙකු නොව ත්‍රස්‌තයකු වන බවයි.

ඇත්තෙන්ම කරුණානිධි ඊළාම් වීරයාට අඳින්නේ ලංකාවේ දෙමළ ජනයා කෙරෙහි ඇති ආදරයකින්ද? නැත. ඔහුට අවශ්‍ය තමිල්නාඩුවේ දෙමළ ජනයා අතර වීරයකු විමටයි. ජයලලිතා අතින් දරුණු පරාජයකට ලක්‌ව සිටින කරුණානිධි තමන්ගේ දේශපාලන ජනප්‍රියතාවය ඉහළ නංවා ගැනීමට මියගිය ප්‍රභාකරන්ට දුම් පිඹියි. එසේ දුම් පිඹිමින්ම තවත් වසර දෙකකට ඉන්දියාව එල්. ටී. ටී. ඊ. තහනම දීර්ඝ කිරීම ගැන දොසක්‌ නොකියයි. ජයලලිතාද අනෙක්‌ පසින් කරන්නේ වෙවැනිම ක්‍රියාවකි. චෙන්නායි පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුරේ පුහුණුව ලැබීමට ගිය ලංකා ගුවන් සෙබළු වහා නැවත සිය රට යවන ලෙස ඇය මුර ගෑවාය. නමුත් සිදුවූයේ ඔවුන් අසල්වැසි කර්නාටක ප්‍රාන්තයයට මාරු කිරීම පමණි. ලංකා සෙබළුන්ට ඉන්දියාවේ හමුදා කඳවුරුවල පුහුණුවදීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව ජයලලිතා කිව්වද එය දිල්ලි මහ ආණ්‌aඩුව පිළිගත්තේ නැත. අපේ සෙබළුන් ඉන්දියාව අතහැර චීනයට හෝ පකිස්‌තානයට යැම ගැන දිල්ලි ආණ්‌aඩුව කැමැති නැත.

ඇත්තෙන්ම කරුණානිධි තමා මහ ඇමැතිව සිටින කාලයේ එනම් 2009 මැයි මාසයේදී චෙන්නායි මැරීනා වෙරළේදී උපවාසයක්‌ පැවැත්වීය. මේ උපවාසය පැය කිහිපයකට සීමා විය. ශ්‍රී ලංකා හමුදා උතුරේ ගෙනයන මෙහෙයුම නතර කරන ලෙස කරුණානිධි කළ උපවාසය දිල්ලියේ සිට චෙන්නායි වෙත පැමිණි ස්‌වදේශකටයුතු ඇමැති පලනි අප්පන් විදම්බරම්ගේ පණිවුඩය නිසා නැවතිණි. එහෙත් කරුනානිධිගේ උපවාසය නිසා ලංකා හමුදාවේ මෙහෙයුම් නැවතුනේ නම් නැත. මෙහෙයුම් නැවතුනේ මැයි 19 වැනිදා ප්‍රභාකරන්ද මරා දැමුවාට පසුවය. එදා 2009 දීත් කරුණානිධි තමිල්නාඩුවේ දෙමළ ජනයා රැවටීම වෙනුවෙන් වංචාවක්‌ සිදු කළේය. මන්ද ඔහුට ඡන්දය දීමට උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට නොහැකිය.

2009 මැයි මාසයේදී කරුණානිධිගේ උපවාසය නැවැත්වීම සඳහා දිල්ලියේ සිට පැමිණි ආකාරයටම ස්‌වදේශ කටයුතු ඇමැති පලනිඅප්පන් විදම්බරම් ඉකුත් 15 වැනිදා විශේෂ ලිපියක්‌ රැගෙන තමිල්නාඩු විපක්‍ෂ නායකවරයා හමුවීමට පැමිණියේය. මේ ලිපිය අගමැති මන්මෝහන් සින් විසින් කරුණානිධි වෙත එවා තිබිණි. අගෝස්‌තු 12 වැනි දින පැවැත්වෙන දෙමළ ඊළාම් සහයෝගිතා රැස්‌වීමේදී ශ්‍රී ලංකා උතුරු නැගෙනහිර වෙනම ඊළාම් රාජ්‍යයක්‌ පිහිටවිය යුතුය යන යෝජනාව සම්මත කිරීමෙන් වැලකිය යුතු බව ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්‍ෂයේ නායකයාට ඉන්දීය අගමැතිවරයා ලබාදුන් උපදෙස විය. ලොව පුරාම සිටින දෙමළ ජාතිකයන්ගේ නායකයා තමා යෑයි කියා ගන්නා කරුණානිධි මේ ලිපිය ලැබුණු පසු සිය මතය ආපසු හරවාගෙන ඇත. දෙමළ ඊළාම් සහයෝගිතා සමුළුවේදී ඊළාම් පිළිබඳ වචනයක්‌ කථානොකිරීමට හිටපු මහ ඇමැතිවරයා එකඟවී ඇතැයි එස්‌. වෙන්කට්‌ නාරායනන් නවදිල්ලි නුවර සිට වාර්තාකර තිබිණි. ඇත්තෙන්ම පැය කිහිපයක්‌ තුළ සිය අරමුණු වෙනස්‌කර ගැනීම තුළින්ම පැහැදිලිවන්නේ කරුණානිධි තමන්ගේ ඡන්ද වැඩිකර ගැනීම පිණිස උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බව නොවේද?

කරුණානිධිගේ ඊළාම් දවල් හීනය ගැන අප විමසිල්ලෙන් සිටිය යුතුව ඇත. අගෝස්‌තු 12 පැවැත්වෙන සමුළුව සඳහා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර ඇත. මේ ඊළාම් සමුළුව හරහා කරුණානිධි උත්සහ කරන්නේද නැවත වරක්‌ ලංකාවට එරෙහිව ගල්පෙරළීමටය. මේ ගල් පෙරළීම නිසා දිල්ලි ආණ්‌ඩුවත් බලවත් අපහසුතාවයට පත්වන බව අප අමතක කළ යුතු නැත.

චතුර පමුණුව