උන් වෙඩි තිබ්බේ මියුරු සරින් ගී ගැයූ කෙවිලියකට!
පෂ්ටොහි ගායිකා ගාසලා ජාවඩ්
source:
දිනය පසුගිය ජුනි මාසයේ එක් උදැසනක පකිස්‌ථානයේ පෙෂාවෝර් නගරයේ ඩබ්ගාරී උද්‍යානයේ පිහිටි රූපලාවන්‍යාගාරයේ ඇරුණු දොරින් එළියට පැමිණීයේ ඉතාම රූමත් කාන්තාවක්. හරියට දෙවඟනක් වගේ රුවක් ඇයට තිබුණෙ. ඇය පසෙකින් ඇගේ සොහොයුරියත් පියාත් සිටියා.
ඔවුන් ගමන් කරමින් සිටියේ තමන්ගේ මෝටර් රිය වෙත. රුවැත්තිය ගායිකාවක් ලෙස නමක් දිනා සිටි අතිශය ජනප්‍රිය ලලනාවක්. ඇගේ මනස්‌කාන්ත රූ සපුවත් මියුරු ගී හඬත් එයට හේතු වෙන්න ඇති. ඇය නමින් ගාසලා ජාවඩ්.
ඒත් ඒ වෙලාවේ සිදුවුණේ ඉතා අවාසනාවන්ත සිදුවීමක්. ඇය ඉදිරිපිට සිටියේ වේගයෙන් පැමිණි ජවසම්පන්න මෝටර් සයිකලයක නැග ගත් මිනිසුන් දෙදෙනෙක්. ඉන් පසුපස අසුනේ සිටි මිනිසා ඉනෙන් ඇද ගත් පිස්‌තෝලයෙන් ඇයට ඉලක්‌කය ගත්තා. ඇය සිතන්නටත් ප්‍රථම වෙඩිමුරය ඇගේ ගෙල පසාකර ගෙන ගියා. ඊළඟට යළිත් යළිත් එයම සිදුවුණා.
ඊළඟ මොහොතේ ඒ අග්‍රගණ්‍ය ස්‌වාට් නිම්නයේ මියුරු කෙවිලිය පොළොව මත ඇද වැටුණා. ඇගේ රුධිරයෙන් පශ්ටෝ බිම තෙත් වන්නට පටන් ගත්තා.
ගසාලා පාවඩ් 1990 ජනවාරි 1 දා ස්‌වෑට් ගඟ අසබඩ මින්ගෝරා ගමේ දුගී පවුලක උපන්නියක්. එහෙත් මේ වන විට ඇය උපන් ග්‍රාමය තලෙයිබාන් අණසකට යටත්ව තිබූ පෙදෙසක්. ගී ගැයීම හෝ .නර්තනය වැනි කලා කටයුතු ඔවුන්ට වහකදුරු වගේ. මේ වන විට ඔවුන් 2009 වසරේ දී පෂටූන් ගායිකාවක වූ ෂබානා මරා දමා ඇගේ සිරුර එල්ලා දමා තිබුණා.
එහෙත් ඇය තම ගී ගායනය ප්‍රගුණකර ගැනීමට එය බාධාවක් කර ගත්තේ නැහැ. මුලින් මංගල සාදවල මුදලට ගී ගැයූ ගාසාලා අනතුරුව සංගීත ආශ්‍රමයකට ඇතුළුව ගී ගායනය හැදැරුවා.
ඇය පෂ්ටු කවියන්ගේ අරුත් බර කවි ඔවුන් ලවාම ගේය පද බවට හරවා ගායනා කළා. දේශානුරාගය හා ජාතික අනන්‍යතාවය මතු කරන හැඟීම් බර ඇගේ මියුරු ගී නන්නාදය ජනතාව මෝහනය කළේ නිතැතින්. ගසාලා බලා සිටිය දී ගී හා නර්තන ලොවේ ඕ ඉහළටම නැංගා.
පෂටෝ නම් බස හා එහි සුමුදු මටසිලිටි බවත්, එම බසින් ගායනා කරන ගී මෙතරම් මිහිරි බව ලොව ජනතාව දැන ගත්තේ ඇගේ හඬට සවන් දීමෙන් පසුවයි. දුගී බවේ පත්ලේ සිට හිස ඔසවන්නට එය ඇයට දෙවියන් දුන් අනර්ඝ වරමක්. තම පවුලට නිවසක් හා සැපපහසු වාහනයක් මිලදී ගැනීමටත් ඇයට හැකි වුණේ ඒ නිසයි.
ගසාලාගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් ඇති වන්නේ මේ කාලයේදීයි. ඒ ඇගේ විවාහයයි. නොයෙක් අවස්‌ථාවලදී ගසාලා ඇස ගැසුණු ධනවත් ව්‍යාපාරිකයෙකු වූ ජගත්ගිර් ඛාන්ගේ සිත ඇය වෙත ඇදුණා. තමාට වඩා තුන් ගුණයකින් වැඩිමහලු වූ ජන්ගීර්ට ගසාලා තම නොකැමැත්ත දක්‌වා සිටියා.
එහෙත් ඇගේ පියා හා සෝයුරන් සිතුවේ එය තමාගේ හිස මත කඩා වැටුණු වාසනාවක් බවයි. එතැනදී පුරුෂාධිපත්‍ය ගසාලාගේ මග හරස් කළා. ඇය බලෙන් ජනිගීර්ට පාවා දෙනු ලැබුවා.
ගසාලාට සැමියාගෙන් ලැබුණු මුල්ම තෑග්ග වූයේ ඇය පණ මෙන් සැලකූ ගී ගායනය ඇයට තහනම් කිරීමයි. ඇය ඔහුගේ ගෙදර සිරකාරියක වුණා. එහෙත් ගසාලා නිකම් සිටියේ නෑ. ජන්ගීර්ට තවත් බිරියන් දෙදෙනෙකුත් අනියම් බිරියකුත් ඇති බව ඇය සොයා ගත්තා.
ඇය කළේ ඔහුට විරුද්ධව නඩු මගට බැසීමයි. පුරුෂයාට සියලු බලය හිමි සමාජයක එයට එරෙහිව නැගී සිටීමෙන් ඇය සමාජයේ අවධානයට ලක්‌වුණා.
නඩුව ඉල්ලා අස්‌කර ගන්නැයි කීමට පැමිණි ඇගේ පියා හා සහෝදරයන් ඇය පන්නා ගත්තා.
එතැනදීත් පුදුම දෙයක් සිදු වුණා. කවදත් පිරිමින්ට විපක්‍ෂව කටයුතු නොකරන උසාවිය මෙදා ගසාල්ට සැමියාගේ දික්‌කසාද වීමට අවසරය ලබා දුන්නා. මේ වන විට ධනයෙන් ඉහළ තැනක සිටි ගසාලා ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්‌තියකින් සිටියේ. ඇය තනිවම නිවසක ජීවත් වෙමින් තම ගී ගායන කටයුතුවල යෙදුනේ වඩාත් උනන්දුවෙන්. එහෙත් වෛරයේ මාරයා ඇය යන යන තැන් හඹා එන බව ඇය දැන සිටියේ නැහැ.
දික්‌කසාද තීන්දුව ලැබුණත් ජන්ගීර් ඇය පසුපසින් ඒම නතර කළේ නැහැ. ඔහු ඇයට ආපසු එන්නැයි කන්නලව් කරමිනුයි සිටියේ. අවසානයේ ඔහු කියා සිටියේ ගී ගැයීම සඳහා තමා ඇයට ඉඩදෙන බවයි.
එහෙත් ඔහුගේ පැණි තැවැරූ ‘ආදරවන්ත’ චාටු කතාවලට ඇය රැවටුනේ නැහැ. මේ අතර ඇගේ කීර්තිය දසත පැතිරී ගියේ සුළඟක් වගේ. මේ වන විටත් ඇගේ ගීත විශාල සංඛ්‍යාවකින් ඇය ජනතා සිත්සතන් තුළ ලැගුම් ගෙනයි තිබුණේ.
ගසාලා තමාගේ ගී සඳහා තෝරා ගත්තේ ජාතික හැඟීම් වඩවන හා ජීවිතයේ යථා ස්‌වභාවය දක්‌වන තේමාවන්. ඒවා පෂ්ටෝ සමාජයට මෙතෙක් යටපත් වී තිබූ අනන්‍යතාවය නැවත ලබා දුන්නා.
දෙවියන් ඇයට සියලු දේ ලබා දී තිබූ නමුත් ඒ සඳහා හිලව්වට කිසියම් දෙයක් ඈ වෙතින් ආපසු රැගෙන තිබුණා. ඒ සැනසීම හා සතුටයි.
තම පෂ්ටෝ ජනතාවට සතුට බෙදා දුන් ගසාලාට තම ජීවිතය සැතපන්නට සිදුවූයේ ලේ කඳුළු ගොඩකයි. එදා පොළොව මත ඇද වැටුණේ මියුරු ගී ගැයූ කොකිලාවයි. ගසාලාගේ අත්බාහුවටද, ගෙල මුලටද, යටිබඩටද වැදුණු වෙඩි උණ්‌ඩ නිසා ගැලූ රුධිරයෙන් පස්‌ටෝ බිම රත්පැහැ ගැනුණා. ඇගේ පියාද වෙඩි වැද පසුව මිය ගියා.
පොලිසිය මුලින් සිතුවේ එය තලේයිබාන්වරුන්ගෙ තවත් වැඩක් කියායි. එහෙත් ගසාලාගේ සොහොයුරිය අපරාධකරුවන් හඳුනාගෙන. ඒ ඇගේ සැමියාව සිටි ජන්ගීර් ඛාන් බව වාර්තා වෙනවා. වසර 22 ක තරම් ළාබාල වියේදී මරා දමන ලද මේ විශිෂ්ට ගායිකාව ලොවට ප්‍රකාශ කරන්නේ එම සමාජක්‍රමය තුළ ඇටුවන් බැස ඇති කෲර පුරාෂාධිපත්‍යයේ බිහිසුණු බවයි.
මෙම මූලධර්මවාදී සමාජ ක්‍රමය මිනිස් සබඳතා අමු අමුවේ පොඩිපට්‌ටම් කරන අයුරුත් ගායනය, නර්තනය. රංගනය, සාහිත්‍ය වැනි කලා අංග වැනි දේ වාරණය කරමින් කාන්තා අයිතීන් නොසලකමින් වහල් සමාජ ක්‍රමයකට ගාල්කිරීමට දරන තැත එයින් ප්‍රකට වෙනවා. ගාසලා ජාවඩ් පසුගිය 19 දා දහස්‌සංඛයාත ජනතා උපහාර මැද ස්‌විට්‌හි දී මෙලොවින් සමුගත්තා. එහෙත් ඇගේ හඬ මරා දැමීමට නම් උන් සමත් වූයේ නෑ. අන්තර්ජාලයේ ඈ නමින් ඇති Gazsalajaved.com වෙබ් අඩවියට පිවිසුණොත් ඔබට ඇගේ මියුරු හඬ අදත් ඇසිය හැකියි.
ඇයට උපහාර පිණිස ඇ ගැයූ දුක්‌බර ගීයක කොටසක් පහත දැක්‌වෙනවා
I call out your name like a prayer
Would you leave me alone with my
tears
Knowing I need you still turn and go
This time be diferent
Please stay don’t go please
If I called out your name like a song
That was written for you alone
Would you still hurt my pride how I cried
ලීලානන්ද වික්‍රමසිංහ