මින්නේරිය කැලේ හැංගෙන්න
හෝටල් හදන දේශපාලනඥයා කවුද?
source:
මෙරට බොහෝ දේශපාලනඥයන් සිතා සිටින්නේ ජනතාව තමන්ට ලබාදෙන කතිරය රට සූරා කෑම සඳහා දෙන “ලයිසන්” එකක් බවය. එය එසේ නොවේ යෑයි කියන්නට කිසිවකුටත් (දේශපාලනඥයන්ට) නොහැකිය. පසුගිය කාලය පුරාම ඒ “ලයිසන්” භාවිත කරමින් බොහෝ දේශපාලනඥයන් කරන ලද බොහෝ දේ අල්ලස් හෝ දූෂණ කොමිසම තෙක් යන්නට තරම් ඒ තත්ත්වය බරපතළය. “ගුරා හිටගෙන කරන විට ගෝලයා දුව දුව කරන්නේ යෑයි කියන්නා සේ රටේ ඉහලම දේශපාලනඥයාගේ සිට බිම් මට්ටමේ සංවිධායකවරයා දක්වා මේ තත්ත්වයෙහි වෙනසක් දක්නට නැත.
පසුගිය කාලය පුරාම අනවසර වැලි ගොඩදැමීම්, අනවසර ඉදිකිරීම්, රක්ෂිත වනාන්තරයන්හි හොර දැව ජාවාරම්, ඉඩම් බලයෙන් අත්පත් කරගැනීම් ආදිය බොහෝ දේශපාලනඥයන්ගේ නමට ඉදිරියෙන් ලියෑවෙන්නේ මේ නිසාය. එවැනි අක්‍රමිකතාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඊට එරෙහිව නීතිමය කටයුතු කරද්දී හෝ මාධ්‍ය මගින් දිගින් දිගටම වාර්තා පළවද්දී හෝ ඒවා නතර කරන්නට කිසිදු දේශපාලනඥයකු පෙළඹෙන්නේද නැත. එය ජනතාව විසින් දුන් වරමට පයින් ගැසීමක්ද එසේත් නැතිනම් “එඩිතරකමක්”ද යන්න තෝරා බේරාගන්නට හැකියාවක් අපට නැත.
අපේ රටේ කැබිනට් ඇමැතිවරයකුගේ මේ ආකාරයේ “චණ්ඩිකමක්” වාර්තා වන්නේද ඊට ආසන්න සිදුවීම් රාශියක් ගැන දිගින් දිගටම තොරතුරු වාර්තා වෙද්දීය.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ එසේත් නැත්නම් මින්නෙරිය රක්ෂිතය මැද්දේ හෝටලයක් ගොඩනගන්නේ කවර අනුහසකින් ද යන්න සොයා බැලිය යුත්තකි. මේ හෝටලය ගොඩනැගීමට මූලික වී ඇති දේශපාලනඥයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරයෙකි. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමට ආසන්නව අක්කර පහකට මඳක් වැඩි (හෙක්ටයාර 2.2) ඉඩමක් වෙන්කරවාගෙන (මෙය “බලෙන්” වෙන්කරවාගෙන ලෙස හැඳින්වීම වඩාත් උචිත වන්නේ රක්ෂිත වනයක එච්චර වෙන්කරවා ගැනීමකට ඉඩක් නැති බැවිනි.) මේ හෝටලය ඉදිකරගෙන යයි.
හෝටලය පිහිටා තිබෙන්නේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ මායිම් කණු අංක 72 ත් 75 ත් අතර සීමාවට වන්නටය. මේ සම්පූර්ණ ප්‍රදේශයම ඝන වනාන්තරයකි. හෝටලය පිහිටා ඇති ප්‍රදේශයේ සිට කිලෝමීටර 6 ක් යනතුරු හමුවන ප්‍රදේශය තුළ කිසිදු ජනාවාසයක් හෝ වගා බිමක් දක්නට නැත. පරිසර සංරක්ෂණ භාරයේ තොරතුරු අනුව මේ ප්‍රදේශය පූර්ණ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයෙන් වැසී පවතී.
හබරණ පොලොන්නරුව මාර්ගයේ මොරගස්වැව හන්දියෙන් මහසෙන්ගම මාර්ගයේ යන විට හතරවැනි කිලෝමීටර් කණුව අසලින් වම්පසට වන්නට මින්නේරිය ජාතික වනෝද්‍යානයට වනාන්තරය එළිපෙහෙළි කර සකස් කරන ලද පාරක් හමු වේ. අඩි දහයක පමණ පළලින් යුත් මේ මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගිය විට වනාන්තරය මධ්‍යයට වන්නට මෙම හෝටලය (සංචාරක) ඉදිකර තිබේ.
කලකට ඉහතදී ඉදිකිරීම් ආරම්භ කළ මේ හෝටලයේ වැඩකටයුතු තාවකාලිකව නතර කරන්නට අදාළ කැබිනට් ඇමැතිවරයාට සිදුව තිබුණේ පරිසර සංරක්ෂණ භාරය මේ පිළිබඳව කළ හෙළිදරව්වකින් පසුවය.
මෙහිදී කැබිනට් ඇමැතිවරයා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට “කොලේ වසා ගසා” ඇත්තේ “කපටි ලියවිල්ලක්” ඉදිරිපත් කරමිනි. ඒ අනුව 2007 වර්ෂයේදී කැබිනට් ඇමැතිවරයා මේ වන විට හෝටලය ඉදිකර ඇති භූමියේ ඉදිකරන්නට අවසර ඉල්ලා සිටින්නේ කුඩා කුටියකි. ඒ එම වනාන්තර ප්‍රදේශයේ ඖෂධ පැළෑටි සිටුවීමට හා ඒ පැළ ගබඩා කර තැබීමට කුඩා කුටියක් ඉදිකරන්නට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලමිනි. එහෙත් ඒ මොහොතේ වන ජීවී නිලධාරීන් හෝ පොලොන්නරුව වන ජීවී සහකාර අධ්යක්ෂ කාර්යාලයේ වන ජීවී නිලධාරීන් වනෝද්‍යානයට අයත් හෙක්ටයාර 2.2 ක ව්‍යාජ ඔප්පු සහිත ඉඩමේ පැළ සිටුවීම සඳහා අවසර ලබාදී ඇත්තේ කිසිදු ක්ෂේත්‍ර පරීක්ෂණයක්ද සිදුනොකරය. වනජීවී සංරක්ෂණ භාරයේ තොරතුරුවලට අනුව එකී ක්ෂේත්‍ර පරීක්ෂණය සිදුවිණි නම් කිසි විටෙකත් මේ වනාන්තරය තුළ නැවත පැළ සිටුවීමට ස්ථාන නොමැති බව සනාථ වීමට ඉඩ තිබිණි.
ඉතා පැහැදිලිව කැබිනට් ඇමැතිවරයා සිදුකර ඇත්තේ අදාළ පාර්ශ්වයන් ගොනාට ඇන්දීමකි. ඖෂධීය පැළ සිටුවීම කෙසේ වෙතත් වනාන්තරයේ තිබූ විශාල ගස් කපා ඉවත් කිරීම හා හෝටලය ඉදිකිරීමට ක්‍රියාකර ඇති බව පැහැදිලි කරුණකි.
පරිසර සංරක්ෂණ භාරය ඒ ගැන හෙළිදරව් කිරීමත් සමගම හෝටලයේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ක්‍රියාකර ඇත. එහෙත් හීන් සීරුවේම නැවතත් ඒ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ කැබිනට් ඇමැතිවරයාගේ දීන බව ප්‍රකට කරමිනි. මෙවර කැබිනට් ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් සඳහන් කර සිටින්නේ එකී භූමියේ භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කරන බවය. එහෙත් මේ අපූරු “භාවනා මධ්‍යස්ථානයේ” නම ලෙස යොදා ඇත්තේ Jeewe’s Hide Out ජීවාගේ සැඟවෙන තැන යනුවෙනි. එය කිසිවිටෙකත් භාවනා මධ්‍යස්ථානයකට සුදුසු නොවන නාමකරණයකි. එහෙත් මෙහිදී සැලකිය යුතු මෙන්ම අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ භාවනා මධ්‍යස්ථානයක් සඳහා වුවද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් පූර්ව ලිඛිත අනුමැතිය වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙතින් ලබාගත යුතු බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇතත් ඒ තත්ත්වයද තුට්ටුවකට මායිම් නොකරමින් හෝටලයේ ඉදිකිරීම් දිගටම සිදුකිරීමය. එමෙන්ම මේ සා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඇමැතිවරයා දිගින් දිගටම මෙසේ කටයුතු කරද්දීත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු නීතිමය පියවරක් නොගැනීමද බලවත් සැකයට තුඩුදෙන කාරණයකි.
හෝටලය ඉදිකර ඇත්තේ දෙමහල් ගොඩනැගිල්ලක් ලෙසිනි. එය ඉදිරිපිටින් ගලා යන ඇළ ඊට නුදුරින් පිහිටි තෙත් බිම් ප්‍රදේශයට ජලය සපයන ජල මාර්ගයයි. ඒ ප්‍රදේශය වියළි කාලගුණයකදී වුවද සිඳී නොයන අතර එම කාලයේදී අලි ඇතුන් එක්වන ප්‍රදේශයක් ලෙස ද සැලකේ. දැන් සිදුව ඇත්තේ හෝටලයට ජලය ලබාගැනීමට ඒ ජල මාර්ගය හරස් කර කුඩා වේලි දෙකක් ඉදිකර ජලය එක්රැස් කර ගැනීමයි. මෙහිදී ඊට පහලින් පිහිටි තෙත් බිම්වලට ජලය ගලා යැම සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
එපමණකුදු නොව විදුලිය ලබාගැනීම සඳහා විදුලි උත්පාදක යන්ත්‍රයක් ද (ජෙනරේටර්) හෝටලය සඳහා භාවිතා කරනු ලබයි. හෝටලය ඉදිකිරීම් හාත්පස වනාන්තරය තුළ කැළිකසළ හිස් මත්පැන් බෝතල් කන්දක් ගොඩගැසී තිබේ. වනජීවීන් වෙනුවෙන් වෙන්කළ වනාන්තරයක් තුළ මේ ආකාරයේ මාර්ග ඉදිකිරීම්, ජල මාර්ග අවහිර කිරීම් කසළ බැහැර කිරීම, ගොඩගැසීම, ජෙනරේටර් භාවිතය. (ශබ්දය) ආදී හානිකර මානව ක්‍රියාකාරකම් සෘජුවම මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වෙන ජීවීන්ගේ පැවැත්මට අනිසි බලපෑම් එල්ල කරන්නකි. එමතු ද නොව එය සෘජුවම සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීමකි.
අලි ඇතුන් ඇතුළු වනජීවීන් විශාල ප්‍රමාණයකට වාසභූමියක් වන මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ මේ සිදුවන්නේ බරපතළ වරදක් බව අදාළ අංශ හෝ වගකිවයුත්තෝ නොදැන සිටින්නේ යෑයි කීම පිළිගත නොහැකි කාරණයකි. විශේෂයෙන් 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතට අනුව ජාතික වනෝද්‍යානයකට ඇතුළු විය හැකි වන්නේ ඒ පනතේ පස්වැනි වගන්තියට අනුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නැරඹීමේ සහ අධ්‍යයන කාර්යයන් සඳහා වන තාවකාලික බලපත්‍රය මගින් පමණි. එමෙන්ම ඒ පනතේ 3 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත හෝටලයක් ඉදිකිරීම තහනම්ය. එපමණකුදු නොව නව වැනි (9) වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සංවර්ධන කටයුත්තක් සිදුකිරීමට නම් මුලිකවම පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට අනුව ක්‍රියාකර වනජීවී අධ්යක්ෂ ජනරාල්ගේ පූර්ව ලිත අනුමැතිය ලබාගත යුතුය. ජාතික වනෝද්‍යානයන්හි ආරක්ෂාව සඳහා ගෙන ඇති මේ නීති රීති පද්ධතිය බැලු බැල්මට මේ ඉතා ශක්තිමත් ලෙස පෙනුනද, දේශපාලන බලය ඉදිරියේ ඉතා අසාමාන්‍ය ලෙස උදාසීන බවක් පෙන්නුම් කරයි.
දේශපාලන හයිය පෙන්වා රක්ෂිත වනාන්තර තුළත්, වැව් ඉස්මත්තෙහිත් හෝටල් තැනීමේ වර්ධනයක් දකින්නට ඇති අතර ඒ කිසිවකුටත් පරිසරය සම්බන්ධයෙන් වනජීවීන් සම්බන්ධව ක්‍රියාත්මක වන කිසිදු ආයතනයක් හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. එසේ තිබියදී මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හෝටල් ඉදිකිරීම “පනින රිලවුන්ට ඉනිමං බැඳීමක්” ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඒ නිසාම Jeewe’s Hide Out (ජීවාගේ සැඟවෙන තැන) ලෙසින්ම තවත් බොහෝ දේශපාලනඥයන් කැලෑ එළිපෙහෙළි කරමින් “සැඟවෙන්නට තැන්” ගොඩනගනු නොඅනුමානය. එහෙත් ඒ නීතියට හෝ ජනතාවට බියෙන් නොව රට උකසට තබා හෝ තමන්ට ගොඩ යන්නටය.
උදේශ සංජීව ගමගේ