පාලි බස වනසන ‘මහාමායා පිරිත’

Spread the News

පාලි බස වනසන ‘මහාමායා පිරිත’

මෙම ලිපිය මෑතකදී භික්ෂුවක විසින් සකස් කොට සමාජගත කිරීමට උත්සාහ දරමින් තිබෙන ‘මහාමායා පිරිත’ නමින් හඳුන්වා ඇති ප්‍රබන්ධය පිළිබඳ ධර්මානුකූල, භාෂාත්මක විග්‍රහයකි.

ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය source:

ලෝකයේ විවිධ වූ සංස්කෘතීන් දක්නට ලැබෙන අතර සංස්කෘතියක් යනු චාරිත්‍රයන්ගේ සංකීර්ණයකි. එබඳු චාරිත්‍ර අතර සුවිශේෂ ආගමික අරමුණු කේන්ද්‍ර කරගනිමින් සකස් ව ඇති චාරිත්‍ර පූජා චාරිත්‍ර ලෙස හැඳින්විය හැකි ය. යම්කිසි ආගමක් අදහන හෝ විශ්වාස කරන පුද්ගලයන් විසින් එම ආගමෙන් බලාපොරොත්තු වන ආධ්‍යාත්මික හෝ ලෞකික හෝ නැත හොත් එම දෙවර්ගයේ ම ප්‍රතිඵල ලබාගැනීම සඳහා සිදු කරනු ලබන ආගමික ක්‍රියා පිළිවෙත් තුළ පූජා චාරිත්‍රවලට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ඕනෑ ම ආගමික සමාජයක් තුළ කලින් කල එබඳු නව පූජා චාරිත්‍ර ද බිහි වේ.

පූජා චාරිත්‍රවලදී ඊට ආවේණික වූ ශුද්ධවාචික ව්‍යවහාරයක් පැවැත්වීම සෑම ආගමකට ම පොදු ලක්‍ෂණයකි. බෞද්ධයෝ සිය ආගමික ජීවිතය හා සබැඳි සෑම ක්‍රියාවකදී ම පාලි භාෂාවෙන් රචිත ගද්‍ය හෝ පද්‍ය කොටස් භාවිත කරති. බොහෝ විට එබඳු ගද්‍ය පද්‍ය ප්‍රකාශනවලින් තොර බෞද්ධ ආගමික ක්‍රියාවක් නොමැති තරම් ය. ශ්‍රී ලාංකේය ආගමික පසුබිම තුළ නිර්මාණය වූ පූජාචාරිත්‍රවලට අදාළ පාලි භාෂාමය ගද්‍ය පද්‍ය ව්‍යවහාර පාලි භාෂාවේත් බෞද්ධ දර්ශනයේත් අනන්‍යතාව රැකගෙන බිහි කරන ලද ඒවා වෙයි.

මීට වසර කිහිපයකට පෙර පටන් සිදුහත් බෝසතුන්ගේ මාතාව වන මහාමායා දේවිය වෙනුවෙන් පූජා හා වන්දනා යන අංක දෙකින් යුක්ත පූජාචාරිත්‍රයක් නිර්මාණය කොට, රාජ්‍ය අනුග්‍රහය ද ලබමින් මෙරට ව්‍යාප්ත කරලීමේ උත්සාහයක් ක්‍රියාත්මක ව පවතී. මෙහිලා එම ක්‍රියාවලියේ පූජාචාරිත්‍රමය ගතිලක්ෂණ හෝ ආකෘතිය සාකච්ඡාවට භාජනය නො කැරෙන අතර, මවිසින් විමර්ශනය කරනු ලබන්නේ උක්ත මහාමායා පූජා – වන්දනා නිර්මාණය තුළ සමාජගත කිරීමට උත්සාහ දරන ‘මහාමායා පිරිත’ නම් ප්‍රබන්ධය යි.

’මහාමායා’ යනු බුදු රජාණන් වහන්සේගේ මාතාව යි. මේ බව මුල් වරට සඳහන් වන්නේ කාළුදායි ථේරගාථාවේ අටවැනි ගාථාවේ ය (බුද්ධස්ස මාතා පනමායනාමා). ඇය බෝසතුන් මෙලොවට බිහි කොට අභාවයට පත් ව, දෙව්ලොව උපන් බව ද එහි ම දැක්වේ. එම දෙව්ලොව ‘තව්තිසාව’ බව ථේරගාථා අටුවාවේ සඳහන් වේ. මනුෂ්‍ය ලෝකය අත්හළ මායා දේවිය දෙව්ලොව ඉපිද දෙව්සැප ලැබුවා ය. ඒ දෙව්සැප යනු දිව්‍යමය කාම සම්පත්තිය යි. කාළුදායි ථේර ගාථාවේ දැක්වෙන්නේ ඇය දෙව්ලොව දී පඤ්චකාම සම්පත්වලින් සතුටු වන බව යි (සා මෝදති කාම ගුණේහි පඤ්චහි). ඒ අනුව පැහැදිලි වන්නේ මහාමායා දේවිය දෙව්ලොව ඉපිද දිව්‍යමය පස්කම් සැප විඳින රාග, ද්වේෂ, මෝහ සහිත පෘථග්ජන චරිතයක් බව යි.

මෙහිදී විචාරයට ලක් වන ‘මහාමායා පිරිත’ නම් ප්‍රබන්ධය ගොතා ඇත්තේ එම පුහුදුන් චරිතය වටා ය. බුදුරදුන් තව්තිසාවෙහි තෙමසක් අභිධර්මය දේශනා කිරීමේදී දෙව්ලොව සිටි මහාමායා නිවන් දුටු බව ජනපි‍්‍රය විශ්වාසයක් වුවත් ඒ පිළිබඳ ව පෙළ අටුවා මූලාශ්‍රයන්හි සඳහන් ව නැත. එහෙයින් මේ මහාමායා පිරිත වූකලි පිහිටක් නොපැතිය හැකි චරිතයක් වටා ගොතන ලද නිෂ්ඵල වාග්මාලාවක් බව කිව යුතු ය.

අනෙක් අතට මහාමායා දේවියගේ චරිතය හා ඇය මනුෂ්‍ය ලෝකයෙන් චුත වී උපන් දෙව්ලොව දිව්‍ය චරිතය අතර ඇති බෞද්ධ සම්ප්‍රදායාගත වෙනස වටහාගන්නට ද ප්‍රබන්ධක භික්ෂුව අසමත් ව ඇති බව පැහැදිලි ය. මෙම ප්‍රබන්ධයේ අවස්ථා සතරකදී ‘දිව්‍ය රාජිනං’ යන වචනයෙන් මහාමායා දෙව් රැජින යන අර්ථය ගෙනහැර පෑමේ උත්සාහයක නියැලී තිබේ. එහෙත් එම උත්සාහය අසාර්ථක වී ඇත්තේ එකී ‘රාජිනං’ යන පදයෙන් එම අර්ථය ඉදිරිපත් නොවන හෙයිනි. රැජින යන අර්ථය සඳහා ‘රාජිනි’ යන පද්‍ය යෙදිය හැකි ය. එහෙත් මේ පදය එය නො වේ. අනෙක් අතට මෙම පදයෙන් ‘දෙව් රජ’ යන අර්ථය ද නොලැබේ.

එම අර්ථය ලැබෙන පාලි පදය ‘රාජ’ යනු යි. එහෙයින් මහාමායාවන්ගේ දිව්‍ය භාවය ස්ත්‍රී ලෙසින් හෝ පුරුෂ ලෙසින් දක්වන්නට ප්‍රබන්ධක භික්ෂුව මෙම පදය යෙදීමෙන් අසමත් ව ඇති බව ම ප්‍රකට වෙයි. ‘රාජිනං’ යන පදය ව්‍යාකරණානුකූල ව ස්ත්‍රී ලිංග ද පුරුෂලිංග ද නොවන හෙයිනි. ඒ අනුව මෙම යෙදුම මහාමායා දේව චරිතය ‘කලීබලිංග’ හෙවත් නපුංසක චරිතයක් බවට පත් කිරීමේ උත්සාහයක් වේ දැ යි සිතීම සාධාරණ ය.

ඊ ළඟ ගැටලුව වන්නේ මෙම ප්‍රබන්ධයේ අවසාන ප්‍රකාශනය තුළ මහාමායා මාතෘදිව්‍යරාජ තත්ත්වයෙන් නිරූපණය කර තිබීම යි. එහි කියැවෙන පරිදි මහාමායා දේවිය හා මාතෘදිව්‍යරාජ සමාන තලයක පෙනී සිටින පුද්ගලයෝ ය. එහෙත් බෝසතුන්ගේ මව වූ මහාමායා යනු ස්ත්‍රී චරිතයකි. ‘මායා දේවපුත්ත’ නමින් දෙව්ලොව උපන් පසු එම චරිතය පුරුෂ භාවයෙන් යුක්ත වූ බව ථේරගාථා අටුවාව පැහැදිලි ව සඳහන් කර තිබේ (දේවූපපත්ති පන පුරිසභාවේනේව ජාතා).

මෙයින් පැහැදිලි වන්නේ දෙව්ලොව උපන් මහාමායා චරිතය පුරුෂ චරිතයක් මිස, ස්ත්‍රී චරිතයක් නොවන බව යි. මෙම සාම්ප්‍රදායික බෞද්ධ මතය පිළිබඳ අනවබෝධය හා නොදන්නාකම නිසා ම මේ පද මාලාව ප්‍රචාරය කැරෙන විහාරස්ථානයේ ඊට අදාළ ප්‍රතිමාව ද ස්ත්‍රී වස්ත්‍රාභරණ පැලඳූ, හාවභාවලීලා ඇත්තක් වී තිබේ. එය දෙව්ලොව උපන් මහාමායාවන්ගේ දිව්‍ය චරිතයට කරන ලද අවමානයකි; එමෙන් ම නින්දාවකි.

බෝසතුන් මෙලොවට බිහි කළ මහාමායා දේවිය උත්තම ගණයේ වනිතාවකි. ඒ බව සැබැවි. සිදුහත් බෝසතුන් මෙලොවට ජනිත කරලීම වෙනුවෙන් ඇයට අපගේ අපරිමිත කෘතවේදීත්වය පළ කළ යුතු ය. එය උත්කෘෂ්ට මනුෂ්‍ය ධර්මයකි. එහෙත් මුළාවෙන් ඇය සරණ යෑම හෝ ඇයගෙන් පිහිට පැතීම අඥාන ක්‍රියාවකි.

මෙම පද්‍ය ගොතා ඇත්තේ පැරණි බ්‍රාහ්මණික හින්දු දේව සංකල්පය පිළිබඳ මානසිකත්වයෙන් බව පැහැදිලි ය. පළමු පද්‍යයෙන් ම මහාමායා දේවිය පූජාසනයට වඩමවන්නේ එහෙයිනි. එම පද්‍යයේ අවසන් පේළිය එනම් ‘වඩ්ඪති පූජාසනං’ යන්නෙන් අදහස් කරවන්නට උත්සාහගෙන ඇත්තේ එම අර්ථය යි. එහෙත් එවැනි අර්ථයක් එම පද දෙකින් ජනිත නොවන බව පසු ව කැරෙන භාෂා විග්‍රහයෙන් පැහැදිලි වනු ඇත.

ඊ ළඟට මෙම පැදි පෙළෙහි ඇති පදවැල් දෙකක් ඇසුරෙන් මෙහි ඇති අවිචාරශීලිත්වය ප්‍රකට කරනු කැමැත්තෙමි. මෙම පද්‍ය මාලාවේ දෙතැනක ඇති පදවැල්වලින් බෝසත් මාතෘ මහාමායා දේවිය මරණින් මතු දෙව්ලොව ඉපිද නිවන් පසක් කළ බව ප්‍රකාශ වේ. ඒ බව ප්‍රබන්ධක භික්ෂුව දනී දැ යි නොදනිමි. එයින් පළමුවැන්න ‘ආරූල්හ නිරෝධමග්ගං’ යන සවැනි පද්‍යයේ තෙවැනි පාදය යි. එහි අර්ථය ‘නිවන් මගට නැගුණු’ යනු යි; එනම් නිර්වාණය අවබෝධ කිරීමේ ප්‍රතිපදාවට පිළිපන් බව යි.

එමග යෑමෙන් නිර්වාණාවබෝධය සිදු වේ. දෙවැන්න අටවැනි පද්‍යයේ දෙවන පාදයේ ඇති ‘තණ්හාය ච අච්චගා’ යන්න යි. එයින් ප්‍රකාශ වන්නේ ‘තණ්හාව ද ඉක්මවා ලී ය’ යන අර්ථය යි. තණ්හාව ඉක්මවා ලීම යන නිවන් පසක් කිරීම යි. ප්‍රබන්ධක භික්ෂුවගේ මෙම පදවැල් අනුව මහාමායා මාතෘදිව්‍යරාජ නිවන් දුටු අයෙකි. මෙසේ මහාමායා මාතෘදිව්‍යරාජයා නිර්වාණාවබෝධය කළ අයකු සේ දක්වමින්, ඔහුගේ පිහිට පැතීමට ප්‍රබන්ධක භික්ෂුව යොමු වී ඇත්තේ නිවන් දුටු අය නැවත ජීවත් නොවන බව වත් නොදැන වීම අතිශය ඛේදනීය ය.

‘මහාමායා පිරිත’ නමින් හඳුන්වමින් ප්‍රබන්ධක භික්ෂුව විසින් මුද්‍රණ කරනු ලැබ හා අන්තර්ජාලයට එකතු කරනු ලැබ ඇති පරිදි, ඔහුගේ අක්ෂරවින්‍යාසය නොසිඳි පදවැල මෙසේ ය:

දීතාය මහානාමස්ස – භරියාය ච සුද්ධෝදනො
කිඹුල්වත් පුරං පටිපච්ඡි -වඩ්ඪති පූජාසනං

 

පංචසීලං රක්‍ඛන්තු – ආරෝග්‍යා පරිපුන්නති
මාතෘ දිව්‍යනාමස්ස – වඩ්ඪති පටිහාරියෙ

 

මෙත්තා කරුණා මුදුතා ච-උපෙක්ඛා චිත්ත සෙවති
උත්තමො පතිසෙවං ච – දිට්ඨස්ස පුණ්‍ය උත්තමී

 

චත්තාරෝ මහාරාජා – නහවාපෙත්වා පතිට්ඨහි
සොප්නම් දිට්ඨ මායාය – තස්ස සතො වඩ්ඪති

 

හත්ථි ස්වෙත වර්ණං ච – උදරං දක්ඛිනං දිසං
ගබ්භාය පතිට්ඨ දෙවී – සොප්නම් සතො වඩ්ඪති

 

සුනාති ආභිධම්මං ච – තථාගතස්ස දෙසිතො
ආරූල්හ නිරෝධ මග්ගං – වඩ්ඪති දිව්‍ය රාජිනං

 

වන්දෙ බෝධිසත්තො ච – වන්දේ බ්‍රහ්ම දේව ච
කුසලං පරිපුණ්නෝ ච – වඩ්ඪති දිව්‍ය රාජිනං

 

අසරණං සරනං ච ලොකෙ – තණ්හාය ච අච්චගා
පුත්තො පෙසෙස්සන්ති – වඩ්ඪති දිව්‍ය රාජිනං

 

ගබ්භවුට්ඨාන ආරුහිත්වා – දිව්‍ය බ්‍රහ්ම පරිවාරයං
පුණ්‍යවන්ත පුත්තස්ස – ආශිර්වාද නමාමහං

 

නත්ථි ගබ්භවෙදනාය – පියුම් මාලාය ආගතා
සිරං කුමාර පෙසෙසි – වඩ්ඪති දිව්‍ය රාජිනං

 

මාතාය මහාමායාය – දිව්‍යලොකෙන තව්තිසා
ත්‍රිවිධ භයං දූරිං ච – සබ්බ සම්පත්ති සිද්ධියං

 

සිරි මහාමායා මාතෘදිව්‍යරාජානුභාවෙන සබ්බදුක්ඛං සබ්බභයං සබ්බරොගං විනස්සන්තු සබ්බසිද්ධි භවං තුතෙ.

 

(මෙහිදී අප මෙම පද්‍ය සිංහලයට පෙරැළීමෙන් වළකින්නේ එහි කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා මෙන් ම ඒවා වෙනත් බසකට නැගීමට තරම් සුදුසු නොවන බැවිනි).

මෙම ප්‍රබන්ධයට අර්ථශූන්‍ය වචන සහිත පද්‍ය දොළසක් (අවසනට ඇත්තේ වැකියකැයි ගත හොත් එකොළොසක්) ඇත. ඒවා ‘ගාථා’ යන උතුම් වචනයෙන් හැඳින්වීමට නුසුදුසු ය. සරල පද්‍ය ක්‍රමයක් වන අනුෂ්ටුභ් ඡන්දසට සමීප වන්නට මෙම පද්‍ය ගෙතා ඇත්තේ පාලි සංස්කෘත හා සිංහල යන භාෂා තුනෙහි ම සම්මිශ්‍රණයෙනි! එසේ බහුභාෂා සම්මිශ්‍රණයකින් ප්‍රකට වන්නේ නිර්මාණකරුගේ අව්‍යක්ත භාවය ම ය. ප්‍රබන්ධක භික්ෂුවට පාලියෙන් මෙම පද්‍ය පෙළ ඉදිරිපත් කරන්නට අවශ්‍ය වුණත් අව්‍යක්ත භාවය නිසා ම මෙවැනි භාෂා සම්මිශ්‍රණයක් ඒ තුළ දක්නට ලැබෙන බව සිතිය හැකි ය. මෙම ප්‍රබන්ධයෙහි පැනෙන මිශ්‍ර භාෂා ලක්‍ෂණ මෙසේ වර්ග කළ හැකි ය:

1. සිංහල වචන හා පාලි වචන මිශ්‍ර කිරීම

කිඹුල්වත් පුරං

පියුම්මාලාය ආගතා

2. සංස්කෘත වචන හා පාලි වචන මිශ්‍ර කිරීම

මාතෘ දිව්‍ය නාමස්ස

පුණ්‍යවන්ත පුත්තස්ස

මෙම වර්ග කිරීම් දෙකින් පළමුවැන්නෙහි ‘කිඹුල්වත්’ යනු සිංහල වදනකි. ‘පුරං’ යනු පාලි වචනයකි. එසේ ම ‘පියුම්’ යනු සිංහල වදනකි. එය එකතු කර ඇත්තේ ‘මාලාය’ යන පාලි වචනයට යි. දෙවැන්නෙහි ‘මාතෘ දිව්‍ය’ හා ‘පුණ්‍යවන්ත’ යනු සංස්කෘත වචන ය. ඒවා මෙහි පාලි පද හා එක්කොට තිබේ.

මෙබඳු නිදසුන් රැසක් මෙහි දී ඉදිරිපත් කළ හැකි වුවත් මෙම ප්‍රබන්ධයේ දෝෂ සහිත භාවය පෙන්වාලීමට මෙපමණක් ම සෑහේ.

මේ අතර පාලි, සංස්කෘත, සිංහල යන භාෂා තුනෙන් එකකට වත් අයත් නො වන අක්‍රමවත් වචන ද මෙම පද්‍ය මාලාවෙහි ඇතුළත් ය. වඩ්ඪති, නහවාපෙත්වා, සොප්නම්, ආභිධම්මං ආදිය ඊට නිදසුන් ය. මෙයින් ‘වඩ්ඪති’ යන පදය සිංහල භාෂාවේ ‘වඩියි’ යන අර්ථය ගෙන දෙතැයි සිතා (වඩ්ඪති පූජාසනං) නිර්මාණය කළ මූඪ යෙදුමකි. එමෙන් ම ‘නහවාපෙත්වා’ යනු ස්නානය කරවා (නාවා) යන අර්ථය සඳහා තනන ලද එබඳු ම මූඪ ව්‍යවහාරයකි. පාලියෙහි මෙබඳු අක්‍රමවත් පද ඇති බවක් අපි නම් නොදනිමු.

පාලි, සංස්කෘත යන භාෂා හෝ සිංහල භාෂාව වත් මැනවින් නොදන්නා සාමාන්‍ය මිනිසුන්ට මෙබඳු නිර්මාණ මහා ආශ්චර්යයකි. එහෙත් එකී භාෂා හදාරා ඇත්තන්ට නම් ඒවා පල් හෑලි ය. අහිංසක ශ්‍රද්ධාවන්තයන්ගේ අව්‍යක්ත ශ්‍රද්ධාව වැරදි ආකාරයකින් භාවිත කරන ප්‍රබන්ධක භික්ෂුවට නම් මේවා තමන් වෙත දේව හාස්කමින් හෝ සමාධියෙන් ලැබුණු දායාද ය! පාලි භාෂාව අතිශයින් පි‍්‍රය කළ පොල්වත්තේ බුද්ධදත්ත වැනි මහ තෙරවරුන් අද සිටියේ නම්, මේ අව්‍යක්ත පද යෝජනයන් නිර්දය ලෙස විවේචනය කරනවා නිසැක ය.

තව ද මෙම පද්‍ය මාලාවෙහි පැනෙන අර්ථ රහිත වාක්‍ය කොටස් සහිත, පාලි ව්‍යාකරණ නීතීන් බිඳ ලූ තවත් තැන් කිහිපයක් මෙබඳු ය:

* පුත්තො පෙසෙස්සන්ති වඩ්ඪති දිව්‍ය රාජිනං

* ගබ්භවුට්ඨාන ආරුහිත්වා දිව්‍ය බ්‍රහ්ම පරිවාරයං

* සොප්නම් සතො වඩ්ඪති

මේවා හුදු වචන වැලක් ලෙස මිස අර්ථවත් යෙදුම් සේ ගත නොහැකි ය.

පාලි භාෂාව නිවැරදි ව්‍යාකරණ නීති මත රැඳී පවත්නා භාෂාවකි. කවර භාෂාවක වුව ද භාවිතය සම්මත ව්‍යාකරණ නීති මත පදනම් ව පවතී. ප්‍රබන්ධක භික්ෂුව ඒ බව නොසලකා ප්‍රබන්ධය කළ තවත් හුදු පදවැල් කිහිපයක් පහතින් විග්‍රහ වේ.

1. සුනාති ආභිධම්මංච – තථාගතස්ස දෙසිතො

මෙහි ‘තථාගතස්ස දෙසිතො’ යනු පාලි ව්‍යාකරණ නීති කඩ කිරීමකි. එහි නිවැරැදි යෙදුම ‘තථාගතෙන දෙසිතො’ යනු යි.

2. වන්දේ බෝධිසත්තො ච වන්දේ බ්‍රහ්ම දේව ච

මෙහි කර්ම පදයේ විභක්ති භාවිතය වැරදි ය. ‘වන්දේ’ යන ක්‍රියාවේ උක්තය මෙම පදවැලෙහි නැතත් එය බැහැරින් ඇදගත් විට ‘අහං’ සේ දැක්විය හැකි ය. ඒ ක්‍රියාවට ගැළපෙන ආකාරයෙනි. ක්‍රියාව උත්තමපුරුෂ ඒකවචන නිසා ඊට ගැළපෙන පරිදි ඇදගත් උක්තය ප්‍රථමා විභක්ති ඒකවචන වෙයි. එවිට අහං වන්දේ (මම වඳිමි) යන උක්තාඛ්‍යාත සම්බන්ධය ගොඩනැගෙයි. එම වාක්‍යයේ කර්ම පදය සේ මෙම පදවැලෙහි යෙදී ඇත්තේ ‘බෝධිසත්තෝ’ යන්න යි. එහි විභක්තිය ප්‍රථමා විභක්තිය යි. එහෙත් වාක්‍යයේ කර්ම පදය ද්විතීයා විභක්තියෙන් තැබිය යුතු බව මූලික පාලි ව්‍යාකරණ රීතියකි. ඒ පිළිබඳ අල්ප මාත්‍ර හෝ දැනුමක් තිබුණේ නම් ප්‍රබන්ධක භික්ෂුව අතින් මෙවැනි වාක්‍ය කොටස් නිර්මාණය නොවීමට ඉඩ තිබිණි.

එහෙයින් ‘මහාමායා පිරිත’ නමින් සමාජගත කිරීමට උත්සාහ දරන මෙම අර්ථශූන්‍ය පාලි ප්‍රබන්ධය සම්පූර්ණ සාවද්‍ය පදවැලක් පමණක් බව මම ඍජු ව ප්‍රකාශ කරමි. එය බෞද්ධ සම්ප්‍රදාය බිඳ ලූ අව්‍යක්ත නිර්මාණයකි.

මේ පිළිබඳ ව බුද්ධශාසන අමාත්‍ය ධුරය දරන රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ලාංකේය භික්ෂු සංඝයා සම්බන්ධ භික්ෂු මූලස්ථානවල මහානායක මාහිමිවරුන් ද ඊට අදාළ ලේඛකාධිකාරී තනතුරු දරන නාහිමිවරුන් ද ඍජු ව සලකා බැලිය යුතු ව තිබුණත් මෙතෙක් එය කිසිදු අයුරකින් ඉටු වී නැති බව ද මෙහි සටහන් කර තබන්නට සිදු ව තිබේ. ද

(මෙම විමර්ශනය පසුගිය වසරේදී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ සත්වැනි ජාතික සමුළුවට ඉදිරිපත් කරන ලද පර්යේෂණාත්මක ලේඛනයෙහි සංස්කරණයක් බැව් සැලකුව මනා ය).