’13’ ගැන ආණ්‌ඩුවේ මතවාද ශ්‍රී ලංකාවට අපකීර්තියක්‌

Spread the News
’13’ ගැන ආණ්‌ඩුවේ මතවාද ශ්‍රී ලංකාවට අපකීර්තියක්‌

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන් source:

දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්‌ඩුව තුළ ඇති ප්‍රතිවිරුද්ධ මතවාදයන් දේශීය වශයෙන් පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකාව අපකීර්තියට සහ අපහසුතාවයට පත් කරවන්නක්‌ බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂනායකවරයා මෙසේද කීය.

2009 වසරේ මැයි 26 වනදා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ ශ්‍රී ලංකා ආණ්‌ඩුව ඒකාබද්ධ ප්‍රකාශයක්‌ නිකුත් කළා. එම ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙනවා. “ශ්‍රී ලංකාවට තිරසාර සාමය හා සංවර්ධනය ලබාදීමේ ක්‍රියාවලිය සහතික කරලීම උදෙසා, දෙමළ පක්‍ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ සමග පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමටත් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරලීමටත් තමා තුළ ඇති දෘඪ අභිලාශය ජනාධිපති රාජපක්‍ෂ මහතා පළකර සිටියේය.”

මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ආණ්‌ඩුව අවස්‌ථා ගණනාවකදීම ලිතවත්, වාචිකවත් පවසා ඇත්තේ 13 වන සංශෝධනය යටතේ සිදුකෙරණු බලය බෙදා හැරීම තව තවත් ක්‍රමවත් හා ශක්‌තිමත් කරන බවයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමග පමණක්‌ නොව වෙනත් පාර්ශ්වයන් සමගද නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයන්හි මේ බව සඳහන්කර තිබෙනවා.

අපේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව සමග එක්‌ව 2011 මැයි 17 වැනිදා නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙහෙමයි. “දෙමළ පක්‍ෂ නියෝජිතයන් සහ ආණ්‌ඩුව අතර දැනට පවත්වන සාකච්ඡාවන් කඩිනම් හා තිරසාර වර්ධනයක්‌ ලබා ගැනීම සහතික කිරීම ආණ්‌ඩුවේ අභිලාෂය බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. 13 වන සංශෝධනය පදනම්කර ගත් බලය බෙදා හැරීමේ යෝජනාවලියක්‌ එවැනි ප්‍රතිසන්ධානයක්‌ සඳහා අවශ්‍ය කොන්දේසි සපුරාලනු ඇත.

ආණ්‌ඩුව විටින් විට එවැනි ප්‍රකාශ සිදු කළත්, දැන් දැන් අපට ඇසෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්‌ හඬක්‌. රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ප්‍රධාන භූමිකාවක්‌ නිරූපණය කරන නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කරනවා.

ආණ්‌ඩුවේ දේශපාලන සගයන් නගන්නේද ඊටම සමාන්තර හඬවල්, ජාතික හෙළ උරුමය නිවේදනයක්‌ නිකුත් කරමින් මේ අදහසම ප්‍රකාශ කරනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට ලිපියක්‌ යවමින් 13 වන සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනමත විමසුමක්‌ පවත්වන්න යෑයි ඉල්ලනවා. ආණ්‌ඩුවේ ප්‍රධාන සංවිධායක දිනේශ් ගුණවර්ධන මහතාත්, එතුමාගේ මහජන එක්‌සත් පෙරමුණත් 13 වැනි සංශෝධනය අහෝසි කරන්න යෑයි ඉල්ලා සිටිනවා. ආණ්‌ඩුවේ ජනමාධ්‍ය ඔස්‌සේත් නැඟෙන්නේ මේ හඬමයි. ඒ නිසා මේ සංවිධානාත්මක ලෙස සිදුකෙරෙන ක්‍රියාවලියක්‌ බව ඉතාම පැහැදිලියි.

මෙයින් හැඟී යන්නේ ආණ්‌ඩුව තමන් කලින් දැරූ ස්‌ථාවරය වෙනස්‌කර ඇති බවක්‌ද? එසේත් නැතිනම් ආණ්‌ඩුවේ නිලධාරීන්, සගයින් හා ජනමාධ්‍ය ආණ්‌ඩුවට එරෙහි මතයක්‌ දරනවාද? මෙවැනි ප්‍රතිවිරුද්ධ මතවාදයන් ආණ්‌ඩුවේ විවිධ පාර්ශ්වයන්ගෙන් එළිදැකීම දේශීය වශයෙන් පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන්ද අපේ රට අපකීර්තියට හා අපහසුතාවයනට පත් කෙරෙන්නක්‌. ඒ නිසා මේ පිළිබඳ ආණ්‌ඩුවේ ස්‌ථාවර පැහැදිලි කරමින් මතු දැක්‌වෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන ලෙස මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග එක්‌ව නිකුත් කළ 2009 මැයි 26 වැනි දින ඒකාබද්ධ නිවේදනය හා ඉන්දීය රජය සමග එක්‌ව නිකුත් කළ 2011 මැයි 17 දින ඒකාබද්ධ නිවේදනය දැන් ආණ්‌ඩුව ප්‍රතික්‌ෂේප කරනවාද? එසේ ප්‍රතික්‌ෂේප කරනවා නම් ආණ්‌ඩුවේ වර්තමාන ස්‌ථාවරය කුමක්‌ද?