සියලු පක්‍ෂ සමඟ ඇති කර ගන්නා එකඟතාව ’13’ ගැන රජයේ ස්‌ථාවරයයි

Spread the News

සියලු පක්‍ෂ සමඟ ඇති කර ගන්නා එකඟතාව ’13’ ගැන රජයේ ස්‌ථාවරයයි

කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන් source:

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ සමඟ පුළුල් සංවාදයක්‌ මත ඇතිකර ගන්නා එකඟතාව රජයේ ස්‌ථාවරය වන්නේ යෑයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ හැර දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ආණ්‌ඩුව ඒකපාර්ශ්වීය තීන්දුවක්‌ ගන්නේ නැතැයි ද, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්‌ථාවර නියෝග යටතේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය. සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීය.

විපක්‍ෂ නායකතුමා විසින් නඟන ලද ප්‍රශ්නයේ ප්‍රධාන හරය වනුයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතු යෑයි රටේ විවිධ දේශපාලන පක්‍ෂ හා පුද්ගලයන් විසින් කර ඇතැයි කියනු ලබන ප්‍රකාශයන් පිළිබඳව රජයේ ස්‌ථාවරය කුමක්‌ ද යන්නත්, ශ්‍රී ලංකාවට තිරසාර සාමයක්‌ හා සංවර්ධනයක්‌ ලබා දීමේ ක්‍රියාවලිය සහතික කිරීම උදෙසා මීට පෙර කරන ලද්දේ යෑයි කියන ප්‍රකාශයක්‌ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්‌ථාවරය ඉදිරිපත් කරන ලෙසත් ය. අප ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 18 වතාවක්‌ සංශෝධනයට භාජන කර ඇත. එක්‌සත් ජාතික පක්‍ෂ රජය විසින් 16 වතාවක්‌ ද, අප රජය මගින් දෙවතාවක්‌ ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කර ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යනු සෑම විටම සංශෝධනයන්ගෙන් තොරව තිබිය යුතු ලේඛනයක්‌ නොවන අතර, සමාජයේ කාලීන අවශ්‍යතාවන් අනුවත්, ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමේදී ලබා ගනු ලබන අත්දැකීම් පදනම් කර ගනිමින් පුළුල් ජනතා මතයන් අනුවත් කාලීනව වෙනස්‌ විය යුතු ලේඛනයක්‌ බව රජය තරයේ විශ්වාස කරයි. මෙම කාලීන අවශ්‍යතාව සපුරාලීම සඳහා පුළුල් ජාතික සංවාදයක්‌ මෙන්ම මෙම පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරනු ලබන දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු කාරක සභාවක්‌ තුළින් මේ සඳහා දේශීය විසඳුමක්‌ ලබා ගැනීමට උචිත බව අප රජයේ නොවෙනස්‌ ස්‌ථාවරය බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ඒ නිසාම රජය මගින් අනිකුත් දේශපාලන පක්‍ෂයන් සමඟ ද සාකච්ඡා කොට ඔවුනට ද එකඟ විය හැකි කොන්දේසි මාලාවක්‌ ඔස්‌සේ දේශපාලන හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථානුකූල පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්‌ පත් කිරීමට පියවර ගන්නා ලදී.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පමණක්‌ නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පළාත් සභා බලතලයන්ට අදාළ සියලු කරුණු පුළුල් ලෙස මෙම විශේෂ කාරක සභාව තුළ සාකච්ඡා කොට පුළුල් එකඟතාවකට පැමිණීම මෙම කාරක සභාව ස්‌ථාපිත කිරීමේ අභිප්‍රාය විය. මේ සඳහා රජය සිය නියෝජිතයන් පත් කර වසරකට ආසන්න කාලයක්‌ ගත වුවද, විපක්‍ෂය විසින් නියෝජිතයන් නම් නොකිරීම නිසා මෙම කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වීම ගැන රජය කනගාටු වෙයි. ද්‍රවිඩ පක්‍ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තුළ වූ දැඩි අභිලාෂය මුදුන්පත් කරවා ගැනීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා මෙම ක්‍රියාවලිය සඳහා යහපත් ප්‍රතිචාරයක්‌ විපක්‍ෂයෙන් නොලැබීම නිසා බව අවධාරණය කරනු කැමැත්තෙමි.

විපක්‍ෂ නායකතුමා නියෝජනය කරනු ලබන එක්‌සත් ජාතික පක්‍ෂයද, ජාතික නිදහස්‌ පෙරමුණ සමඟ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පිළිබඳව සාකච්ඡා කළ බව මෑතකදී පුවත්පත්වල පළ වූ ප්‍රවෘත්ති තුළිsන් ගම්‍ය වේ. එසේම අද දින The Island  පුවත්පතෙහි පළමුවැනි පිටුවෙහි පළ කර ඇති 13A: UNP agreeable to ‘practical’ amendments  යන සිරස්‌තලය යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා විසින් කර ඇති ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

As the 13th Amendments was rushed through parliament, following the 1987 lndo- Lanka Accord, certain shortcomings had crept in and they needed to be rectified. මෙම ප්‍රකාශයෙන් ද පැහැදිලිව පෙනී යන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ස්‌ථාවරය වන්නේ ද ඉතා ඉක්‌මන් ක්‍රියාවලියක්‌ තුළින් කරන ලද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ අඩුපාඩුකම් ඇති බවත්, එහෙයින් එය සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය බවත් ය. මා පළමුව කී පරිදි 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කිරීම, පුළුල් කිරීම, නිවැරැදි කිරීම යන කරුණු පිළිබඳව දැන් අප රටේ දේශපාලන පක්‍ෂ විවිධ සංවිධාන හා පුද්ගලයන් අතර යම් ආකාරයක සංවාදයක්‌ පැන නැගී තිබේ. එකී සංවාදයේදී විවිධ දේශපාලන පක්‍ෂ හා පුද්ගලයන් ප්‍රකාශ කරන කරුණු රජයේ ස්‌ථාවරය ලෙස හුවා දැක්‌වීම සාධාරණ නොවේ. රජයේ ස්‌ථාවරය පදනම් වනුයේ මහින්ද චින්තන ඉදිරි දැක්‌මෙහි දක්‌වා ඇති ක්‍රියාවලිය තුළින් මතු කරගනු ලබන පුළුල් එකඟතාවයි.

මෙම මූලධර්මය උපයෝගි කර ගනිමින් මේ පිළිබඳව රජයේ ස්‌ථාවරය වන්නේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තුළ මේ පිළිබඳව පවත්වනු ලබන පුළුල් සාකච්ඡා තුළින් එළැඹෙන එකඟතාව අනුව කටයුතු කිරීමට රජය සූදානම් බවයි. ජාත්‍යන්තර වශයෙන් අප රට අපකීර්තියට හා අපහසුතාවට පත් විය හැකි බවට විපක්‍ෂනායකතුමා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව රජයේ ස්‌ථාවරය වනුයේ රජය සෑම විටම සිය ජාත්‍යන්තරයට පෙන්වා දී ඇත්තේ මෙම ප්‍රශ්නය සඳහා දේශීය විසඳුමක්‌ ලබා දීම රජයේ ස්‌ථාවරය බවත්, මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කිරීමට අප රජය සම්පූර්ණයෙන් ම විරුද්ධ වන බවත් ය.

එහෙයින් මේ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සියලු පාර්ශ්වයන් නොපමාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා නියෝජිතයන් නම් කොට එකී ක්‍රියාවලිය ආරම්භ කිරීමට සහයෝගය ලබා දී මෙම ප්‍රශ්නය විසඳීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.