ආසනික්‌, විද්‍යාව හා නීතිය

Spread the News


ආසනික්‌, විද්‍යාව හා නීතිය

source:

මේ තීරුව පමණක්‌ නොව මා අනෙක්‌ ලිපි ද ලියන්නේ කාගේවත් වුවමනාවට නොව මගේ වුවමනාවට ය. එය ජනතාවගේ වුමනාව යෑයි ප්‍රකාශ කරමින් දේශපාලනඥයන් මෙන් බොරු කීමට ද මම අකමැත්තෙමි. එහෙත් ජනතාවගෙන් බහුතරයක්‌, විශේෂයෙන්ම නූගත් යෑයි කියන අය මා සමග එකඟවන්නේ යෑයි සිතීමට මම කැමැත්තෙමි. එමෙන්ම එයින් මා සිතන අයුරෙන් රටට වැඩක්‌ වන්නේ යෑයි ද මම කල්පනා කරමි. ඇතැමුන් සිතන්නේ අප ආණ්‌ඩුවට කඩේ යන බව ය. එහෙත් ආණ්‌ඩුවේ බලගතු ඇමැතිවරුන් සිතන්නේ එසේ නොවේ. පසුගියදා එක්‌ ඇමැතිවරයකු කියා ඇත්තේ අප කෘෂිරසායන ද්‍රව්‍යවල ආසනික්‌ ඇති බව කීවේ ප්‍රීමා සමාගමෙන් මුදල් ලබාගැනීමෙන් පසුව බවය. අප ප්‍රීමා සමාගම සමග එකතු වී සම්මන්ත්‍රණ පැවැත්වූ බව ද ඔහු කියා ඇත. ප්‍රීමා සමාගමේ අවශ්‍යතාව පරිදි ජනතාවට පාන් කැවීම සඳහා ඒ සමාගමෙන් මුදල් ගෙන අප ආසනික්‌ කතාව කී බව ඔහු දරන මතය බව පැහැදිලිය. එහෙත් අප ප්‍රීමා සමාගමෙන් තබා ආණ්‌ඩුවෙන්වත් පෞද්ගලිකව සත පහක්‌ ලබාගෙන නැත. අදාළ පරීක්‍ෂණ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ප්‍රතිපාදන ලැබී ඇත. එහෙත් ඒ අතරට අපේ කණ්‌ඩායමේ සාමාජික සාමාජිකාවන්ගේ පෞද්ගලික මුදල් ද ඒ සඳහා සුළුවෙන් නමුත් වියදම් වී ඇත. අප ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රීමා සමාගමෙන් මුදල් ලබාගත් අය නම් කරන ලෙසත් රටට විරුද්ධව අප කණ්‌ඩායමේ කිසිවකු ක්‍රියාකර ඇත්නම් ඒ තැනැත්තන්ට විරුද්ධව මේ රටේ බලපාන නීතිය යටතේ නඩු පවරන ලෙසත් ය. යමකු රටට විරුද්ධව විදේශ හෝ විජාතික හෝ බහුජාතික හෝ ආයතනයකින් හෝ වෙනත් ආයතනයකින් හෝ මුදල් ලබාගෙන ඇත්නම් රටේ නීතිය අනුව දිය හැකි උපරිම දඬුවම ලබාදිය යුතු ය. වැරදි කර ඇත්නම් අප එහි විපාක මේ භවයේදී හෝ වෙනත් භවයක දී විඳිය යුතු ය. මගේ නම් කැමැත්ත හැකි නම් මේ භවයේදීම එය විඳීම ය. නැතිවන්නට කිසිවක්‌ නැති මට ජීවිතය ද නොවටියි. කල්ප ලක්‍ෂ ගණනාවක්‌ සසර සැරිසරන බව දන්නා අයට මේ භවයේ අවුරුදු හැත්තෑව හෝ අසූව හෝ සසරෙහි නොගිනිය හැකි තරමේ කාල පරිච්ඡේදයකි. දැනට අවුරුදු විස්‌සකට විසිපහකට පමණ පෙර චින්තන සංකල්පය වර්ධනය කිරීමේත් දරුවන් හදාවඩාගැනීමේත් අභියෝගය තිබුණු බැවින් එකල ජීවත්වීමේ යම් අවශ්‍යතාවක්‌ තිබුණ ද දැන් ඒ සියල්ල බොහෝ දුරට සම්පූර්ණ වී ඇති බැවින් දඬුවමක්‌ ලෙස වෙනත් භවයකට මාරුවීම මට ප්‍රශ්නයක්‌ නොවේ.

අපේ චින්තනය, එනම් සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක්‌ තිස්‌සේ බටහිර දැනුමෙන් ස්‌වායත්ත ව අප ගොඩනගාගත් සංකල්ප හා ප්‍රවාද රාශියක්‌ අප සතුවෙයි. ඒ ප්‍රවාද අතර ආසනික්‌ ප්‍රවාදය ද වෙයි. රජරට වකුගඩු රෝගයට හේතු වනුයේ කෘෂිරසායනික ද්‍රව්‍යවල ඇති ආසනික්‌, කුඹුරු පස හා කිවුල් ජලය බව අපි ප්‍රකාශ කරමු. සහල්වල ද ආසනික්‌ ඇත. එහෙත් බත් කෑ පමණින් අපි නොමැරෙමු. ඒ බව මා කලකට පෙර zඅපි බත් කමුZ යනුවෙන් ලියූ ලිපියක ද සඳහන් කළෙමි. අපට අවශ්‍ය වන්නේ බත් කෑම ප්‍රචලිත කිරීම මිස පාන් කෑමට ජනතාව යොමු කිරීම නොවේ. අපට අවශ්‍ය වන්නේ වස විස නැති ආහාර අනුභවයට සැලැස්‌වීම මිස කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය එක්‌ රැයකින් නතර කිරීම නොවේ. අපේ උත්සාහය ක්‍රමයෙන් ගොවි ජනතාව කෘෂිරසායන ද්‍රව්‍යවලින් ඉවත් කර දේශීය පාරම්පරික ගොවිතැනට ඔවුන් යොමු කිරීම ය. දේශීය පාරම්පරික ගොවිතැන යනු බටහිර කාබනික පොහොර භාවිතය ද නොවන බව අවධාරණය කළ යුතුය. ආණ්‌ඩුව 2013 අයවැයෙන් කාබනික ගොවිතැනට අතහිත දීමට පියවර ගෙන ඇති නමුත් දේශීය පාරම්පරික ගොවිතැන නඟාසිටුවීමට එතරම් දෙයක්‌ කර නොමැති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. දේශීය පාරම්පරික ගොවිකම හා දේශීය පාරම්පරික වෙදකම ඉතා දියුණු බව ආණ්‌ඩුවට පැහැදිලි කර දෙන උගතුන් හෝ නිලධාරීන් හෝ අතේ ඇඟිලි සංඛ්‍යාවට පමණවත් ඇතැයි නො සිතමි. ආණ්‌ඩුව අපේ උපදෙස්‌ ගණන් නොගන්නා බව ද ඇතැම් ඇමැතිවරුන්ට අනුව අප අන්තවාදී කලබලකාරී පිරිසක්‌ බව ද අපි දනිමු. එහෙත් දේශීය ගොවිතැන හා දේශීය වෙදකම නඟාසිටුවා අපට කිසි දිනෙක නිදහස්‌ විය නොහැකි බව මේ අවස්‌ථාවේදීත් අවධාරණය කළ යුතුය.

අපේ අධ්‍යාපනයේ හෙළ ගොවිකමට හෝ හෙළ වෙදකමට හෝ තැනක්‌ නැත. එයට හේතුව අධ්‍යාපනය භාර ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට ඒ පිළිබඳ විශ්වාසයක්‌ නොමැති වීමය. අප දන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර කෘෂිකර්මය ගැන ය. අපේ අධ්‍යාපන බලධාරීහු අපේ දැනුම මිථ්‍යා යෑයි සිතති. අප දෙවියන්ගෙන් දැනුම ලබාගත්තේ යෑයි කතා කළ ඔවුහු අපට සිනහසෙති. අප බටහිර විද්‍යාව යනු පට්‌ටපල් බොරුවක්‌ යෑයි ලියන විට ඒ ලිපි පුවත්පත්වල පළවීම නැවැත්වීමට ඇතැම් බටහිර වෛද්‍යවරු පුවත්පත් සංස්‌කාරකවරුන්ට බලපෑම් කරති. එයින් නොනැවතී ඔවුහු තර්ජනය කරති. මේ වෛද්‍යවරුන්ට අපි අභියෝගයක්‌ කරමු. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ය යන යෝජනාව සම්බන්ධයෙන් පානදුරාවාදය මෙන් දින ගණනාවක්‌ මුළුල්ලේ පැවැත්වෙන විවාදයකට අපි ඒ මහතුන්ට ආරාධනා කරමු. හිටපු ප්‍රසිද්ධ වෛද්‍ය මහාචාර්යවරයකු එවැනි විවාදයකට කැමැත්ත පළකර ඇත. එහෙත් අවාසනාවකට ඒ මහතා පොපරගෙන් පසුව ඊනියා විද්‍යාවේ දර්ශනය පිළිබඳ ලියෑවී ඇති පොතපත කියවා නොමැති බව පැහැදිලි ය. අදාළ පොතපත කියවීමට යම් කාලයක්‌ ලබාදීමට අප සූදානම් ය. මෙහිදී සිතට එන තවත් නම් අතර අප ආසනික්‌ ගැන දේව දැනුම ගැන කියන විට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ හා වෙනත් තැන්වල අපට විරුද්ධව නොයෙකුත් ප්‍රචාර ගෙන ගිය අයගේ නම් වේ. අප ඊනියා විද්‍යාත්මක ක්‍රමයට විරුද්ධව යන්නේ යෑයි කියමින් විද්‍යාභිවර්ධන සංගමය මට අපහාස කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ ද කළේ ය. අපේ කණ්‌ඩායමේ මහාචාර්ය ප්‍රියානි පරණගම හා මහාචාර්ය මාලා අමරසිංහ මහත්මීන් මා සමග වැඩකිරීම නොනැවැත්වුවහොත් ඔවුන් විද්‍යාඥවරියන් ලෙස සැලකීමට නොහැකි බව ද ඒ සංගමය ප්‍රකාශ කළේ ය. එහෙත් ඒ සංගමය තවමත් ඒ ගැන තීරණයක්‌ ගෙන නොමැති බව පැහැදිලි ය. එපමණක්‌ නොව මම තවමත් ඒ සංගමයේ යාවජීව සාමාජිකයෙක්‌මි. ඔවුන් ලවා ඊනියා විද්‍යාඥයකු ලෙස කියාගැනීමට තරම් ආශාවක්‌ මට නැත. බටහිර අර්ථයෙන් උගතකුවත් නොවන මට විද්‍යාඥයා යන්න වටිනාකමක්‌ ඇති පදයක්‌ නොවේ. කෙසේ වෙතත් ඉතා ඉක්‌මනින් බටහිර විද්‍යාව පිළිබඳ විවාදය පැවැත්වීමට අපට හැකිවේවා යන්න අපේ පැතුමයි. අවශ්‍යතාවක්‌ වේ නම් අප ප්‍රීමා සමාගමෙන් මුදල් ලබාගෙන ඇතැයි කියන ඇමැතිවරුන්ට හා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව කෘෂිකර්මය, දන්ත වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ආදිය හදාරා ඇති විද්වත් ඇමැතිවරුන්ට ද ඊනියා කීර්තිමත් විද්‍යා ලේඛකයන්ට ද විවාදයට සහභාගි විය හැකිය. අපට විරුද්ධව කණ්‌ඩායමක්‌ ලෙස විවාදයට එළඹියත් බටහිර විද්‍යාව යනු පට්‌ටපල් බොරුවකි යන මැයෙන් කෙරෙන විවාදයක යෝජක පක්‍ෂ කණ්‌ඩායමට අයත්වන්නේ මා පමණ ය.

අද මෙරට අධ්‍යාපනයේ දැනුමේ ආධිපත්‍යය දරන්නෝ බටහිර උගත්තු ය. මේ උගත්තු ප්‍රාමාණිකයෝ වෙති. අඩු තරමෙන් ඔවුහු එසේ යෑයි සැලකෙනු ලැබෙති. ඔවුන් විනිශ්චය කෙරෙන්නේ කවුරුන් විසින් ද? බටහිරයන් අපට දී ඇති විවිධ ධුරාවලින්හි ඉහළින් ම සිටින කොටස්‌ ගැන විනිශ්චයක්‌ දීමේදී ප්‍රශ්න පැන නගියි. මේ අය ඇතැම්විට අධිකරණය ඉදිරියට ගෙනගිය හැකි නමුත් අධිකරණයේ ඉහළින් ම සිටින අය ගැන විනිශ්චයක්‌ දෙන්නේ කවුද? බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදයේදී මෙවැනි ප්‍රශ්න පැන නගියි. මා දැන් ආණ්‌ඩුව වෙනුවෙන් කතාකරන්නේ ඇමැතිවරුන්ට හෝ ආණ්‌ඩුවට ඇති ආදරයක්‌ නිසා නොව අද මෙරටට වඩාත්ම යෝග්‍ය මේ ආණ්‌ඩුව නිසා ය. බටහිරයන් මේ ආණ්‌ඩුව වැට්‌ටවීමට කටයුතු කරන බව අපි දනිමු. ඒ සඳහා ඔවුහු නොයෙකුත් වසන්ත යොදා ගනිති. අරාබි වසන්තය, කටුනායක වසන්තය, අධ්‍යයන වසන්තය ඉන් සමහරකි. අද විජාතික බලවේග පාකිස්‌ථාන වසන්තයක්‌ නිර්මාණය කිරීමට උත්සාහ දරයි. අධිකරණය හා විධායකය අතර විරසකයක්‌ ඇතිකිරීමට ගත් උත්සාහය අද අධිකරණය හා ව්‍යවස්‌ථාදායකය අතර ගැටුමක්‌ බවට පත්වෙමින් ඇත. ප්‍රශ්නය වනුයේ පාර්ලිමේන්තුවට අගවිනිසුරුවරියට එරෙහිව දොaෂාභියෝග යෝජනාවක්‌ ගෙන ඒමට හැකි ද යන්න ය. එසේ නොහැකි බව පවසන නීතිඥයෝ එමට වෙති. එහෙත් මට ප්‍රශ්න කිහිපයක්‌ වෙයි. මම නීතිඥයෙක්‌ නොවෙමි. එහෙත් පුරවැසියකු ලෙස මේ ප්‍රශ්න නැඟීමේ අයිතියක්‌ මට ඇතැයි සිතමි. ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන් හා විනිශ්චයකාරවරියන් ඔවුන් ඒ තනතුරුවලට නුසුදුසු වන අයුරෙන් ක්‍රියාකර ඇත්නම් ඔවුන් ඉවත් කරන්නේ කෙසේ ද යන්න ය. වෙනත් ආයතනවල නිලතල දරන්නන් ඒ තනතුරුවලට නුසුදුසු වූ විට ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාකරන පිළිවෙත් වෙයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව නම් ඉහළ උසාවි දෙකෙහි විනිසුරුවරුන් ඒ තනතුරු දැරීමට යම් හේතුවක්‌ නිසා නුසුදුසු යෑයි සැලකෙන විට පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් දොaෂාභියෝග යෝජනාවක්‌ ගෙන ඒමට 107 වැනි ව්‍යවස්‌ථාවෙන් ඉඩ සලසා ඇත.

අද ඇතැම් නීතිඥයන් අභියෝග කරන්නේ මේ ව්‍යවස්‌ථාව ය. පාර්ලිමේන්තුවට එවැනි ඉඩක්‌ නොමැති නම් අදාළ විනිසුරුවන්ගේ ක්‍රියාකලාප පාලනය කිරීමේ හැකියාවක්‌ නොමැතිවනු ඇත. 107 වැනි ව්‍යවස්‌ථාව ඉතා පැහැදිලි ය. ඒ දොaෂාභියෝග යෝජනාව ගෙන ඒමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ද ඒ ව්‍යවස්‌ථාවෙහිම විස්‌තර කර ඇත. 107 (3) ව්‍යවස්‌ථාව මෙරට උත්තරීතර නීතිය නොවේ යෑයි කිසිවකුට තර්ක කළ හැකි නොවේ. ඒ ව්‍යවස්‌ථාවට අනුව එවැනි දොaෂාභියෝගයකදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙත පාර්ලිමේන්තුවට නීතිය මගින් හෝ ස්‌ථාවර නියෝග මගින් හෝ සම්පාදනය කළ හැකිය. එහිදී ස්‌ථාවර නියෝග මගින් පහසුකම් සැපයීම ද නීතියට එකඟ වේ යෑයි සිතිය හැකිය. එහෙත් මේ සියල්ල මට සාපේක්‍ෂව මගේ නිගමනය. බටහිර භෞතික විද්‍යාව ද වාස්‌තවික හා නිරපේක්‍ෂ නොවන විට බටහිර නීතිය ගැන කියනුම කවරේද? එබැවින් උගත් නීතිඥවරුන් ඔවුන්ට සාපේක්‍ෂව වෙනත් නිගමනවලට එළඹෙනු ඇත. මගේ ප්‍රශ්නය මේ සාපේක්‍ෂතාව පිළිබඳව ම ය. නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දොaෂාභියෝග යෝජනාව ගෙන ආවේ අදාළ ස්‌ථාවර නියෝග ද නැතිව ය. ඒ නියෝග සකස්‌ කරනු ලැබුයේ දොaෂාභියෝග යෝජනාව ගෙන ඒමෙන් පසුව ය. එදා ඒ ගැන නීතිඥ මහතුන් කතා නොකළේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. නීතිඥ මහතුන් එදා නිශ්ශබ්ද වූයේ එකල තිබූ ආණ්‌ඩුවට සාපේක්‍ෂවද? නීතිඥයන්ගෙන් ඉතා වැඩි දෙනා බටහිර ගැති නම් ඒ ගැන පුදුම නොවෙමි. එදා තිබුණු ආණ්‌ඩුව බටහිරයන්ගේ උකුලේ නැටවුණු විජාතික ආණ්‌ඩුවකි. අද තිබෙන්නේ බටහිරයන්ට විරුද්ධව ගොස්‌ ප්‍රභාකරන් පැරදවූ ආණ්‌ඩුවකි. 107 එදා නීතිය වීමටත් අද නීතිය නොවීමටත් වෙනත් හේතුවක්‌ වේද? අනෙක්‌ අතට උසාවිවලට වඩා පාර්ලිමේන්තුව බලවත් වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට ය. එහෙත් ජනතාව තම පරමාධිපත්‍යය වෙනත් ආයතන මගින් ක්‍රියාත්මක කරයි. ව්‍යවස්‌ථාදායක පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව මගිනි. අධිකරණ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ ද පාර්ලිමේන්තුව මගිනි. එහිදී පාර්ලිමේන්තුව උසාවි ඔස්‌සේ ඒ ක්‍රියාත්මක කරනමුත් බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය.