Spread the News

පැරණි ඉංජිනේරුවාගේ තාක්‌ෂණික ඥාණය
හෙලිකරන වාරි මාර්ග පද්ධතිය

source:

කෘෂිකාර්මික රටක්‌ ලෙස අදද අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති අතරේ වාරි මාර්ග යෝජනා ක්‍රම වලට හිමිවන්නේ අද්වීතීය තැනකි. නිදහසෙන් පසු රට පාලනය කළ දේශපාලකයින් හා දේශපාලන පක්‌ෂ අද, පවා තම තමන්ගේ දස්‌කම් ලෙස හුවා දක්‌වන්නේ තමන් විසින් ඉටුකරන ලද වාරි ව්‍යාපෘතීන්ය.

ඩී.එස්‌.සේනානායක අගමැතිතුමා පිළිබඳව කියද්දි මතකයට එන ඉඟිනියාගල සේනානායක සමුද්‍රය ඇතුළු ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය, බණ්‌ඩාරනායක අගමැතිතුමා ඇරඹු චන්ද්‍රිකා වැව ඇතුළු වලවේ ගං ආශ්‍රිත වාරි ව්‍යාපෘති බණ්‌ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කළ පොල්ගොල්ල හැරවුම ප්‍රමුඛ මහවැලි ව්‍යාපෘතියේ ආරම්භය ජයවර්ධන රජය හා ගාමිණි දිසානායක අමාත්‍යතුමා විසින් ක්‍රියාත්මක කල වික්‌ටෝරියා, මාදුරු ඔය, රන්දෙණිගල ආදී ඇතුළත් මහවැලි කඩිනම් ව්‍යාපාරය, කෙටි කලක්‌ අගමැති වශයෙන් සිටියදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කළ ගල් අමුණ ව්‍යාපෘතිය වත්මන් රජය විසින් ක්‍රියාවට නංවමින් පවතින මොරගහ කන්ද, කලු ගඟ, රඹකැන්ඔය, දැදුරුඔය,වෙහෙර ගල වාරිමාර්ග ව්‍යාපෘතිය පිළිබඳ සිතීමේදී මේවා අද ද රට පාලනය කළ පාලකයින්ගේ දස්‌කම් ලැයිස්‌තුවේ මුලින්ම කියවෙන වැඩ හැටියට කැපී පෙනේ. ඒවා ඒ ඒ පාලකයින්ගේ පුද්ගලික දක්‌ෂකම් හැකියාවන් ලෙස පවා හුවා දැක්‌වීමට තරම් අපේ රටේ මිනිසුන්ගේ හදවත් තුළට ආමන්ත්‍රණය කරන කටයුතු ලෙස වැදගත් කමක්‌ උසුලයි.

කෘෂිකාර්මික රටක්‌ ලෙස මේ ආකාරයේ වාරි පහසුකම් සපයාදීම අතීතයේ රජදරුවන්ගේ සිට පාලකයින්ගේ යුතුකමක්‌ව පැවතීම මෙයට හේතු සාධක වූවා නිසැකය. එහෙයින් අපේ වාරි පද්ධතිය හා තරග කරන්නට හෝ කරට කරට සිටින්නට ලොව වෙනත් රටක්‌ හෝ ජාතියක්‌ නොසිටි බව මනාව පැහැදිලි වී ඇත.

මෑත ඉතිහාසයේ ක්‍රියාත්මක වූ පෙර කී බොහෝ ව්‍යාපෘති විදේශිකයින්ගේ මූල්‍යමය හා තාක්‌ෂණික ආධාර ඇතුව ඉදිකරන මට්‌ටමට අප පත්ව සිටියද අපටම උරුම වාරි තාක්‌ෂණයක්‌ අප සතුව තිබූ බව සිතන්නට සිදුවූයේ මාදුරු ඔයදීය. මාදුරු ඔය හරස්‌කර නව ජලාශයක්‌ බඳින්නට සැලසුම් කළ ස්‌වීඩන් ජාතික ඉංජිනේරුවන්ට ඒ සඳහා කැලය පෙරළමින් යද්දී නව ජලාශයේ ප්‍රධාන සොරොව්ව සැලසුම් කළ තැනම තිබී හමුවුණේ අපේ පැරණි ඉංජිනේරුවන් විසින් ඉදිකළ පැරණි මාදුරු ජලාශයේ සොරොව්ව සහ වැව් බැම්මයි. මහ කැලයෙන් යට වී තිබු එම ප්‍රදේශය අතීතයේ මහා ජලාශයක්‌ යටතේ වගා කළ අක්‌කර දස දහස්‌ ගණනක කෘෂි ඉඩම් තිබූ සරුසාර ගොවි බිමක්‌ බව එයින් දැනගත්තා මෙන්ම නවීන තාක්‌ෂණික මෙවලම් භාවිතයෙන් ඉංජිනේරු ඥානය භාවිතාකර දහසකුත් ගණනය කිරීම් සිදුකර වත්මන් විදේශීය ඉංජිනේරුවන් සිදුකළ සැලසුම්, අතීත හෙළ ඉංජිනේරුවන් සැලසුම් කළේ කෙසේදැයි යන පැනය එයින් පැන නැගුණි. ඒ පැනයට සමාන්තරව හෙළිවුණේ වත්මන් ඉංජිනේරුවන් සතු තාක්‌ෂණික ඥානය ප්‍රායෝගිකවම අපේ පැරණි වාරි ඉංජිනේරුවා සතුව තිබූ බවයි. එය අද අප හසුරුවන නවීන තාක්‌ෂණික ශිල්ප ක්‍රම හමුවේ පිළිගැනීමට පවා අසීරු සත්‍යයකි.

කලාවැවේ සිට අනුරාධපුරයට ජලය රැගෙන යන යෝධ ඇළ මෙන්ම මිනිපේ හා ඇලහැර අමුණ හරහා කන්තලේ දක්‌වා ජලය ගෙන යන මිනිපේ ඇලහැර යෝධ ඇළද නිර්මාණය කළේ කෙතරම් තීක්‌ෂණ ඥානයක්‌ උපයෝගී කරගෙනදැයි සිතා ගැනීමට නොහැක.

අපේ ශිෂ්ටාචාරය, කලා ශිල්ප සංස්‌කෘතිය ගැන කථා කරන සැමවිටම මුලින්ම කියවෙන කාරණය ලෙස සැලකෙන්නේ ඉන්දියානු ආභාෂයයි. ඉන්දියාව වැනි කලාව හා සංස්‌කෘතිය අතින් අතිශය පොහොසත් රාජ්‍යයකට පිහිනා යා හැකි දුරකින් පිහිටි එමෙන් හැට ගුණයකටත් වඩා කුඩා දූපතක්‌ වූ අපේ රටට එම ආභාෂය නොලැබුණානම් එය විශ්මයකි. එම ආභාෂය අප ලැබූ බව පිළිගත යුතුය. විටින් විට කාලීනව ලැබුණු ආභාෂය මෙන්ම සංඝමිත්තා තෙරණිය විසින් දහඅට කුලයක ශිල්පීන් මෙරටට රැගෙන ඒම හේතුවෙන් ඇතිවූ ප්‍රබෝධයද අපට ප්‍රත්‍යක්‌ෂය. නමුත් මේ සියල්ල හමුවේ වාරි තාක්‌ෂණය ඉන්දියානු අර්ධද්වීපයෙන් ලැබුණා යෑයි අපට සිතන්නට අපහසුය. මන්ද අපට මේ දැනුම ලැබුණේ ඉන්දියාවෙන් නම් ඉන්දියාවේ මෙයට වඩා වැඩි හෝ අඩුම තරමින් මේ හා සමාන වාරි තාක්‌ෂණයක්‌ පැවතිය යුතුය. නමුත් එය එසේ නොවේ.

මහා වැව් යෝධ ඇළවල් මෙන්ම හතලිස්‌ දහසකට අධික ගම්වැව් පද්ධතියක්‌ හිමි අපේ රට ගුවනේ සිට බලන කල කොළ පැහැයෙන් පෙනෙන්නටත් ඉන්දියාව වියළි දුඹුරු පැහැයෙන් පෙනෙන්නටත් ප්‍රධානම හේතුව අපේ වාරි පද්ධතිය බව කියෑවේ. අපේ පැරණි වාරි පද්ධතිය නොතිබුණානම් අපේ රටේ බොහෝ ප්‍රදේශ ඉන්දියාවටත් වඩා දුඹුරු පාටින් වියළි ලෙස පෙනෙන්නට ඉඩ තිබුණි.

වැදගත්ම දේ නම් අපේ, මේ වාරි පද්ධතිය සෘජු තනි වැව් හෝ ඇළ මාර්ගවලින් සමන්විත නොවීමයි. එය ඒකාබද්ධ ක්‍රමයක්‌ විය. පැරණි රජ රට වාරි ක්‍රමය ප්‍රධාන පද්ධති තුනකින් සමන්විත බව කියෑවේ. අද මෙන් ගුවනින් ගොස්‌ ගුවන් ඡායාරූපයක්‌ ගැනීමට හෝ චන්ද්‍රිකා ඡායාරූපයක්‌ නිරික්‌ෂණය පිළිබඳව සිතීමටත් නොහැකි වූ එකල ඉංජිනේරුවන් සැතපුම් සිය ගණනක්‌ දිගින් යුත් ඇළ මාර්ග ගොඩනංවමින් තමන්ට අවශ්‍ය තැනට ජලය ගෙනයාමට සැලසුම් කළ අයුරු විශ්මය ජනකය. අද සමහර විට නවීන උපකරණ භාවිතයෙන් සිදුකරන බොහෝ නිර්මාණයන්ද ප්‍රායෝගික වශයෙන් අවුල්වු අවස්‌ථා දක්‌නට ඇත.

සුදු ජාතිකයින් ලංකා මැනුම සිදුකළේ අවුරුදු 200 කට පෙරය. එහිදී ලංකාවේ සිතියම් සකස්‌ කර සමෝච්ච රේඛා අනුව භූ විෂ්මතාවය ලකුණු කළ සිතියම් කට්‌ටලයක්‌ සකස්‌ කර ගන්නට ඔවුන්ටද අවුරුදු තිහ හතලිහක්‌ ගත විය. නමුත් එක්‌ පැත්තකට පමණක්‌ පස්‌ බැම්මක්‌ බඳිමින් අනෙක්‌ පැත්තේ ඇති කන්දේ සමෝච්ච රේඛාවන් දිගේ සුමටව ජලය බැස යන ලෙස ඉදීකළ යෝධ ඇළ, මිනිපේ ඇළ හා ඇළහැර ඇළ නිර්මාණය කළ අපේ පැරණි හෙළ ඉංජිනේරුවන්ද අද මිනින්දෝරුවන් භාවිතා කරන Total Statimon හෝ Dumpi level වැනි උපකරණ භාවිතා කළාදැයි සැක සිතෙන තරමට ඒවා විශ්මිතය. සුද්දන් අපට සකස්‌ කර දී ඇති අඟලේ සිතියම් හෝ සමෝච්ච රේඛා සහිත සිතියම් කට්‌ටලයක්‌ නොතිබුණද ඒහා බැඳුණු තාක්‌ෂණික ඥානය අපේ හෙළ ඉංජිනේරුවන් සතුව තිබුණු බව එයින් මනාව පැහැදිලිවේ.

මේ සියලු තාක්‌ෂණික හපන්කම් අතරේ අපේ ඉංජිනේරුවන් සතුව තිබූ පරිසර හිතකාමීත්වය හා පාරිසරික සංරක්‌ෂණ ඥානයද අති වැදගත්ය. මෑත ඉතිහාසයේ ඉදිකළ මහා ජලාශ හේතුවෙන් සිදුව ඇති පාරිසරික විපර්යාසයන් බොහෝය. ජල උල්පත් සිඳී යාම, පාංශු ඛාදනය, ජලාශ රොන් මඩවලින් පිරීයැම ආදී පාරිසරික හානි වලින් තොර පරිසරයට සංවේදී වාරි නිර්මාණ එදා බිහිවූ බව පිළිගත යුතුය. වසර සිය ගණනකට පසු වුවද අපේ ගොවියාට රටට බත සපයන්නට මුල් වී ඇත්තේ එකී පැරණි වාරි පද්ධතියය. විදේශ තාක්‌ෂණික හා මූල්‍ය ආධාර සහිතව ඇරඹු වාරි ව්‍යාපෘති වලින් ගලා එන ජලයද අන්තිමේදි අපේ කුඹුරු වලට ගලා එන්නේ පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කලා වැව, නුවර වැව, හුරුලු වැව, කන්තලේ වැව, ආදී අතීත රජදරුවන්ගේ කාලයේ ඉදිකළ වැව්වල සොරොව්ව තුළින්ය. ඒවා අදටද එතරම් ප්‍රායෝගික වී ඇති බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය.

කලාවැවේ සිට අනුරාධපුරයට ජලය ගෙන ගිය පැරණි යෝධ ඇළ වෙනුවට ඉදිකළ නව ජයගඟ හේතුවෙන් වසර 30 ක්‌ යන්නටත් පෙර බොහෝ පාරිසරික ගැටලු ඇති වී ඇත. එමෙන්ම රජරට ප්‍රදේශය පුරා පැතිර යන වකුගඩු රෝග ආදියටද මේ නව වාරි ක්‍රම ඔස්‌සේ පරිසරයට හිතකාමී නොවන ලෙස ගලා එන ජලය හේතු වී ඇති බවටද මතයක්‌ ඇත. මිනිපේ, ඇලහැර, යෝධ ඇළවල් සැතපුම් සිය ගණනක්‌ ගලා යද්දී එම ප්‍රදේශ හරහා ස්‌වාභාවිකව ගලා ගිය ගංගාද පෙර ලෙසට ගලා යන ලෙස අපේ පැරණි ඉංජිනේරුවන් ක්‍රියාකර ඇති අයුරු අපූරුය. එම තාක්‌ෂණය එතරම්ම පරිසර හිතකාමී වී ඇත. සිමෙන්ති හා කොන්ක්‍රීට්‌ නොතිබූ යුගයක අවශ්‍ය අවස්‌ථාවට යෝග්‍ය පරිදි ගල් පමණක්‌ යොදාගෙන ප්‍රධාන වශයෙන්ම පස්‌ උපයෝගී කර ගෙන මේ සියලු හපන්කම් පෙන්වීමද විචිත්‍රය.

අප ලොවට ලෝක උරුමයන් ලෙස පෙන්වන මහා දාගැබ්, රජ මාලිගා බලකොටුව වලට වඩා දියුණු ශිල්ප ඥානයන් පෙන්නුම් කරන අපේ වාරී පද්ධතිය සැබැවින්ම අපේ පැරණි හෙළ ඉංජිනේරුවන්ගේ හපන්කම් ලොවටම පෙන්විය හැකි සුවිසල්ම නිර්මාණ පද්ධතිය ලෙස සැලකිය හැක. මෙය හුදෙක්‌ එයටම සීමා වූ නිර්මාණයක්‌ ලෙස සැලකිය නොහැකිවීමද වැදගත්ය. මන්ද වාරි පද්ධතියේ මූලිකවම වගාවට අවශ්‍ය ජලය ලැබී මුළු රටේම ජනතාවගේ කුස පුරවන්නට එය මුල්වෙයි. දෙවනුව අපේ පරිසරය ඔපවත්කර වාසයට සුදුසු සුවදායි පරිසරයක්‌ ඇති කරයි. තෙවනුව පරිසරය රැක දෙන පාංශු ඛාදනය අවම කරවන ස්‌වාභාවික සම්පත් සුරකින පද්ධතියක්‌ ලෙස එය ක්‍රියා කරයි. එහෙයින් මුළු රටේම ජීවනාලිය රඳාපවතින්නේ මේ වාරි පද්ධතිය මත යෑයි පැවසුවහොත් එය වඩාත් නිවැරදිය.

එසේම මේ වාරි පද්ධතිය හරහා බැඳුනු පුළුල් සංස්‌කෘතික හර පද්ධතියක්‌වේ. වාරි මාර්ග හා වැව් ඉදිකළ පමණින් එය සාර්ථක නොවේ. මෙයින් ගලා යන ජලය නිසි ලෙස කළමනාකරණය කර සාධාරණ ලෙස ගොවිබිම් වලට ජලය නිකුත් කිරීමටත් කාලීන අවශ්‍යතාවය අනුව ජලය ඉතිරි කර ගැනීමටත් ක්‍රියාත්මක වූ ජල කළමනාකරණ ක්‍රමයක්‌ අපේ සමාජයේ විය. වෙල්විදානේවරුන් ඇතුළු විවිධ නිලතල දැරූවන් මූලීක කරගත් මේ සංස්‌කෘතිකමය සමාජ පද්ධතිය වෙනමම අධ්‍යයනය කළයුතු තරම් පුළුල් එකකි. “ජල කළමනාකරණය” නම් විෂයය විදේශයන්ගෙන් ආනයනය කර අපට එය බටහිර සංකල්පයක්‌ ලෙස පෙන්වන්නට උත්සාහ කළද එය ඊටත් වඩාත් පුළුල් ලෙස අප සමාජයය තුළ මුල් බැසගත් සංකල්පයක්‌ විය.

අහසින් වැටෙන එක්‌ ජල බිඳුවක්‌වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවමු යෑයි යන ශ්‍රේෂ්ඨ ජල කළමනාකරණ සංකල්පය ලොවට ගෙනහැර දුන් මහා පරාක්‍රමබාහු නිරිඳුන්ගේ සංකල්පය ප්‍රායෝගිකව පසක්‌ කරනු පිණිස අපේ හෙළ ඉංජිනේරුවා විසින් නිර්මිත වාරි පද්ධතිය පුළුල් ලෙස අධ්‍යයනය කර එතුළ සැඟවුණු විද්‍යාත්මක සත්‍යය නිර්මාණාත්මක ප්‍රකාශනය, පාරිසරික හිතකාමී සංවේදීතාවය, තාක්‌ෂණික සුරුවිරුකම්, කළමනාකරණ දක්‌ෂතා මෙන්ම ඒ හා බැඳුනු සමාජ සංස්‌කෘතික හර පද්ධතියන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක්‌ සිදුකර ලෝක උරුමයක්‌ ලෙස අපේ සුරුවිරුකම් ගෙනහැර දක්‌වා උපහාර කරන්නට හැකිනම් කෙතරම් උතුම්ද?

ප්‍රසන්න බී. රත්ණායක