Spread the News

කුමාරතුංග අදීන චින්තනය
source:
අධිරාජ්‍යවාදී ග්‍රහණය සිරිලක පාලන තන්ත්‍රයේ පෙරමුණේ වැජඹුණු සමයෙක ආර්ථීක හා දේශපාලනික බලය හැසිරවීමේ බලය ඔවුන් නතු වූ අවධියක කුමාරතුංග මුනිදාස නම්වූ චින්තකයාණන්ට මෙලොව දිවි ගෙවුමට සිදුවිය. (1887.07.25 – 1944.03.02) මෙම ග්‍රහණයෙන් දේශයේ ජනතාව මුදා ගැනීමේ වගකීම අනියම් වශයෙන් කුමාරතුංගයන්ට ද පැවරිණි.

“පහන” ගැන සඳහන් “මිනිස්‌ මොළය පුදුම කම්මලකි. උපකරණයක්‌ නො ගෙනැ මහබර කටයුතු කරන ඒ කම්මලෙහි සැපැයෙන දෑ මහ බර කටයුතු කරන ඒ කම්මලෙහි සැපැයෙන දෑ කියා ලියා හැඳින්විය හැකි නොවේ.” (ප්‍රබන්ධ සංග්‍රහය – 1938 – පි. 122) කායික විද්‍යාඥයකු ලෙස මානව ක්‍රියාකාරිත්වයේ සැබෑ අරුත මෙන්ම ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්‌ථාව වඩාත් සරලව එහෙත් ගැඹුරින් ඉදිරිපත් කර ඇත. ජනතා ඵලවාදි බුද්ධි සම්භාරයකින් පරිපූර්ණව ජනතාවගේ සුගතියට මිස දුගතියට විවිධ බැමි ගැහැට විදුමට නොසැලසූ ජන නායකයෙකි. එහෙයින්ම,

ලක්‌වැසියෙනි එකල දිවි පිදු දන වීර
රැක්‌මට ලක රුදුරු සතුරන් කර බෑර
දුක්‌ නොම තකා කළ යුතු කිම්දැයි නෑර
දැක්‌වූ වැන්න අපටත් ලැබුණොත් වාර

හෙළ හෙළිය (2) 145 පිට. 1962

ජනතාව එඩියෙන් මෙන්ම මානසික ග්‍රහණයෙන් මිදීමට මෙහෙයවීමේ හැකියාව තිබූ බව මැනවින් පැහැදිලි වේ.

එහෙයින්ම “කුකවි වාදය” කෘතියේ

(1955 පි. 182) ජයන්ත වීරසේකර

“මාගේ මත මඩිනු ලැබේ යෑ. මට අවමන් කරනු ලැබේය යනාදින් සිතා න්‍යායානුකූල මත නූපදවා පුරාතනයන් සිතූ දෑම සිතමින් කී දෑම කියමින් කළ දෑම කරමින් පසුවන්නා ලෝකයට බරකි…”

ලෙසට ජනතාව එඩියෙන් සවියෙන් පෝෂණය කිරීමේ හැකියාව කුමාරතුංගයන් සතුවිය.
“විරිත් වැකිය” (1938) කෘතියෙනි.
“අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොවැ නො නඟී”

මානව වර්ගයාගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ අග්‍රඵලයක්‌ ලෙසට අලුත් දේ නිර්මාණයේ දේශීය වැදගත්කම එඩිතරව පෙන්වා ඇත.

එදා සමාජයේ මෙහෙය පහළැයි “සිතති දද දන”

(හෙළ මියෑසිය 1942/පි. 117)
ලෙසට ජනතා ශ්‍රමය ජන නායකයන් විසින් ආර්ථිකය හැසිරවීමේදී ස්‌වමතානූලව විවිධ බාධකවලට ගොදුරු කිරීම පෙන්වා ඇත.

ඵලදායී ක්‍රියාකාරිත්වයට හානි වේ නම් ඵලදායී අලුත් දේ මගින් දේශයේ සුගතගාමීභාවය ආරක්‌ෂා විය යුතු බව කුමාරතුංගයන් පෙන්වීය. එහෙයින්ම, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාණන්,

“සකල විධ විප්ලවවාදීන් වෙත දෘශ්‍යමාන වන්නා වූ පොදු ලක්‌ෂණ කිහිපයක්‌ තිබේ. එනම් විමර්ශනය, විචාරය, විරෝධය ආදී තත්ත්වයේ අසම්මතය, අයුක්‌තිය නොඉවසීම පවතින තත්ත්වය පුපුරුවා හැරීමට ඇති කැමැත්ත සදා සත්‍යය ස්‌ථාපනය කිරීමට ඇති කැමැත්ත ආදියයි. කුමාරතුංගයන්ගේ කාලය තුළ පැවැති උක්‌ත ගති ලක්‌ෂණ සිංහල වියරණය, විවරණය, පද්‍යකරණය, ගද්‍යකරණය, ප්‍රවෘත්ති කරණය අද විෂයයන් හා සසඳා බලන කල්හි එතුමා මෙරට සාහිත්‍ය කලා ක්‌ෂේත්‍රයෙහි අද්විතීය විප්ලවවාදියකු ලෙස කැපී පෙනේ.
1987 කුමරතුඟු සමරුවේ දී (කොළඹ) පැවැත්වූ කුමාරතුංගයන්ගේ විප්ලවීය චින්තනය දේශනය සිහි ගැන්වේ.

කුමාරතුංගයන්ගේ වසර 57 ක දිවියේදී විවරණ ග්‍රන්ථ 37 ද, සංස්‌කරණ ග්‍රන්ථ 38, විවිධ ග්‍රන්ථ 40 ද දේශයට දායාද කර ඇත.
ලක්‌මිණි පහන (1934.06.26 සිට 1936.01.21) සංස්‌කාරක ලෙසට ජාතිය භාෂාව, ආගම, අභිමානය නඟාලීමටත්, බොරුකම්, කුහකකම්, දීන හා දාස බව බැරි බව මකාලීමට පුවත්පත ඉදිරිපත් කරන ලදී.

ඉළපත (1936.11.21 – 1937.01.09) පුවත්පත කුණු පිස දැමීම, ස්‌ථාන පිරිසිදුකිරීම හා පහරදිය යුතු තැනට පහරදීම සඳහා නොබියව පළකර ඇත. බස පිරිසිදු භාවයෙන් පෝෂණය සඳහා “සුබස”(1939.07.10 – දෙසැ. 25) පිරිසිදු බසට කැපවීම සඳහා ද සිංහල දැනුම රහිත ජනතාව සඳහා “ද හේලියෝ” (1941.08.09 – 1941.12.22) සඟරාවද, කුමාරතුංගයන් දේශයට දායාද කර ඇත.

නූතන සන්නිවේදන ක්‌ෂේත්‍රයේදී ද “ලක්‌මිණි පහන” පුවත්පත ගුණාත්මකව මෙ සිරිලක ඉදිරියෙන්ම පවතින බව අවිවාදාත්මකය. වඩාත් සංයමයකින් පුවත්පතේ පරමාර්ථ සාධනයෙහිලා කුමාරතුංගයන් ගත් පිළිවෙත අනභිබවනීය බව සඳහන් කිරීම වඩාත් හිතකරය. විශේෂයෙන්ම කුමාරතුංගයන්ගේ ජන සන්නිවේදන දායකත්වය සිරිලක වර්තමානයේ දී ද වඩාත් විමර්ශනයෙන් විමසන විට වැදගත්ය.

මෙහිදී ලක්‌මිණි පහන පුවත්පතේ පරමාර්ථ ඉටුකිරීම සඳහා විවිධ රටාව අනුගමය කර ඇති බව පෙනේ.

ස්‌වාධීන චින්තනයෙන් පුවත්පත දේශයට දායාද කළ එතුමන් භාෂාව මෙන්ම ජනතාවගේ සාමුහික ක්‍රියාවලියේ වැදගත්කම, ආර්ථිකය, ගුරු පරපුර ක්‍රියාකාරිත්වය මෙන්ම විශේෂාංග ලිපි සිරස්‌තල, නිර්මාණාත්මක ලිපි, තරුණ පෙළ වෙනුවෙන් විශේෂ අවධානය, රටේ සංවර්ධන ක්‍රියාවලියට ඉටුවිය යුතු කාර්ය භාරය මැනවින් ඉදිරිපත් කිරීමේ ගෞරවය කුමාරතුංගයන්ට හිමිවිය යුත්තේය. විශේෂයෙන්ම “කතුවැකි” තීරු ලිපි මගින් ඉතාමත් පෝෂිත වූ චින්තනයෙන් ගැඹුරු දර්ශනයක්‌ද ඉදිරිපත් කිරීමේ ගෞරවය කුමාරතුංගයන්ට හිමිවේ. වර්තමානයේ දී ද හිමිවිය යුතුය.

මෙහිදී ශීර්ෂ පාඨ “මහරජ තුමෝ සුර පුර වඩිති.

පුත්‍ර කුමාරයෝ රජ වෙති (1936.01.28)

කලා භවනයේ චිත්‍ර ප්‍රදර්ශනය රජතුමෝ ඊයේ විවෘත කළහ.

(1934.08.07) සඳහන් කිරීම වැදගත්ය.

විශේෂාංග ලිපි අතර පැලෑනේ වජිරඥන නාහිමියෝ ආගම භක්‌තිය (1934.06.26) නාරද නාහිමියන්ගේ නිවාන ගුණය (1934.06.02) ලිපි උදාහරණ වේ.

නිර්මාණාත්මක ප්‍රබන්ධ ලෙසට මඟුල් කෑම (1934.06.26-34.08.14), හීන්සැරය (1934.08.21 – 34.10.30), හත්පණ (1935.02.26 – 35.03.26) සඳහන් කිරීම වැදගත්ය. පසුකාලීනව වෙන ළමා කෘති නිකුත් වී ඇත.

කියවන නුවණ බිලිඳු පොතේ, “උගත් කමයි ඉතා – උසස්‌ සැප ගෙන දෙන්නේ යෑද – යෑද යන්ට සිදුවෙයි. උගත්කම නැතිවී නම් කියවන නුවණ (මුල් බිලිඳු පොත) 1937 සඳහන් සදාතනික සිහිවටනයකි.

කලාභූෂණ විමල් සපුකොටන