Spread the News

උතුරේ බලය ඇල්ලීමේ සැලසුමක්‌
source:
“ඇමරිකානු නීතියෙන් මුළු ලොව පාලනය කළ නොහැකියි.”
– ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට්‌ස්‌


වලිගාමම් ඉඩම් නිරීක්‍ෂණයට ගිය ගජේන්ද්‍රකුමාර්
ඇතුළු පිරිස හා කුරුඳුවත්තේ එන්.ජී.ඕ. කල්ලිය
හමුදා කම්බි වැට අයිනේ රැඳී සිටි අයුරු.

නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා ශ්‍රීලංකාවට එරෙහිව ක්‍රියාදාමයන් මෙහෙයවන්නේ ජිනීවාහි මෙම නිවසේ සිටයි


ඩෙන්මාර්ක්‌ පාර්ලිමේන්තු සමුළුව අමතන ගජේන්ද්‍රකුමාර්

ඇමරිකානු ශේ්‍රෂ්ඨාධිකරණය පසුගිය 20 දා ප්‍රකාශයට පත් කළ ඓතිහාසික තීන්දුවක්‌ නිසා කොටි ඩයස්‌පෝරාව හා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද දැඩි කම්පනයට පත් වූහ. මේ තීන්දුවෙන් කියා සිටියේ ඇමරිකාවෙන් පිටත සිදුවන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් විදේශිකයන්ට ඇමරිකානු අධිකරණ හමුවේ නඩු පැවරිය නොහැකි බවයි. 1989 ඇමරිකානු නීතිය තුළින් එය කළ නොහැකි බවත් ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්‌විණි.

මේ තීන්දුව තුළින් විදේශිකයන්ට ඇමරිකානු අධිකරණ හමුවේ ලොව වෙනත් රටවල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළ නඩු පැවරීමට බාධා ඇතිවේ. මෙයට හේතුවක්‌ වූයේ නයිජීරියානුවකු වූ කියෝබල් නමැති සරණාගතයා බහුජාතික ෂෙල් සමාගම නයිජීරියානු රජයට මානව හිමිකම් උල්ලංඝනය කිරීමට සහාය වන බවට දක්‌වමින් නඩු පැවරීමයි. මේ පසුබිම යටතේ කොටි ක්‍රියාකාරීන් විසින් වන්නි හමුදා නායකත්වයට එරෙහිව ඇමරිකානු අධිකරණය ලවා දඬුවම් කිරීම පිණිස දියත් කර තිබූ ව්‍යාපෘතිය බිඳවැටුණි. එහෙත් කොටින්ගේ මිත්‍ර හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ හා මෙරට ඇමරිකානු තානාපතිනි මිචෙලි සිසන් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ව යුද අපරාධකරුවන් බවට පත් කිරීමට ගත් තීරණය අබමල් රේණුවකින්වත් වෙනස්‌ කර නැත. ඒ සඳහා ඔවුන් දියත් කර ඇත්තේ වගකීම  නමැති ක්‍රියාදාමයයි. මේ සඳහා බ්ලේක්‌ටත් මිචෙලි සිසන්ටත් සහාය වන්නේ කොටි ත්‍රස්‌තයන්ව රැක ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත් මෙරට එන්.ජී.ඕ. කල්ලියයි.

මේ අතර පසුගිය සිකුරාදා ඇමරිකානු රජය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාදාමය මැයෙන් පිටු 15 ක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවී ඇතැයි කියමින් රජයට චෝදනා කළේය. එසේම එම වාර්තාවෙන් ශ්‍රී ලංකාව වරදකරු කිරීමට ද ක්‍රියා කර ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි විසින් ප්‍රකාශයට පත් කළ මේ වාර්තාවේ සියලු කටයුතු නිර්මාණය වූයේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන හා කොටි හිතවාදීන්ගෙනි. සංස්‌කරණය සිදුවූයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙනි. එය සනාථ වන්නේ රටේ අභ්‍යන්තර මිනීමැරූම් ගැන ද එකී වාර්තාවට ඇතුළත්වීමයි. එසේම වවුනියාව සිරගෙදර සිරකරුවන්ට පහර දුන් බවට චෝදනා එල්ල කර තිබුණේ රාජ්‍ය නොවන සංවිධානවලිනි. එම සිරකරුවන් ත්‍රස්‌තවාදී සැකකරුවන් යෑයි වාර්තාවෙන් හඳුන්වා නොතිබිණි. මේ හැර වෙනත් නමකින් ඕස්‌ටේ්‍රලියාවේ සිට පැමිණි ප්‍රේම්කුමාර් ගුණරත්නම් සම්බන්ධව රජය ක්‍රියා කිරීම ද මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ විය. හිටපු කැරලිකරුවකු වූ මොහු රහසේම මෙරටට පැමිණීම ගැන විමර්ශනය කිරීමට රජයට හිමිකමක්‌ නැද්ද? කොටි ත්‍රස්‌තවාදය යළි ඇති කිරීමට ක්‍රියා කරන ටැමිල් නෙට්‌ වෙබ් අඩවියට එරෙහිව ක්‍රියා කිරීම, ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතකයන් සැමරීමට යාපනය විශ්වවිද්‍යාල සිසුන්ට ඉඩ නොදීම, හිටපු කොටි ක්‍රියාකාරීන්ගෙන් ප්‍රශ්න කිරීම, රාජ්‍ය නොවන සංවිධාන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිරීක්‍ෂණයට ලක්‌ කිරීම, ත්‍රස්‌තවාදී මර්දන පනත ක්‍රියාත්මකවීම, රාජ්‍ය නොවන සංවිධානවලට විදේශිකයන්ව මෙරටට ගෙන්වා ගැනීමට වීසා බලපත් නොදීම, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක්‌ කොළඹ පිහිටුවීමට අවසර නොදීම, උතුරට යන තානාපතිවරු සමග සාකච්ඡා පවත්වන සිවිල් ජනතාව ගැන නිරීක්‍ෂණය කිරීම, මඩ වෙබ් අඩවිවලට අවසර නොදීම, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ව විවේචන කිරීමට ක්‍රියා කිරීම ඇතුළු කරුණු රැසක්‌ මේ ඇමරිකානු වාර්තාවේ දක්‌වා තිබේ. එකී සියලු දේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යෑයි එහි සඳහන් විය.

මෙම ඇමරිකානු වාර්තාවෙන් යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ කොටි මහා විරු සමරුව හෙවත් මියගිය කොටින්ව සැමරීම දක්‌වා ඇත්තේ සංස්‌කෘතික අංගයක්‌ ලෙසයි.

මේ අන්දමට ඇමරිකානු සිසුන් බිල් ලාඩන්ව සැමරුවොත් සංස්‌කෘතික අංගයක්‌ යෑයි ඇමරිකානු රජය හඳුන්වන්නේද? මේ නිසා වාර්තාව පසුබිමේ සිටින්නේ කොළඹ එන්.ජී.ඕ. ජාලය බව අවිවාදයෙන්ම සනාථ වේ. ප්‍රභාකරන්ව සැමරීම සංස්‌කෘතික අංගයක්‌ යෑයි බටහිර ප්‍රජාවට කියා සිටියේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලයයි. මෙලෙස ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල විය හැකි ක්‍රියාමාර්ග ගැන මෙරට ආරක්‍ෂක බලධාරීන් විමර්ශනය කිරීමත් වැරැද්දක්‌ යෑයි ජෝන් කෙරීගේ වාර්තාවෙන් කියා සිටිද්දී බොස්‌ටන් බෝම්බ පිපිරීමට වගකිවයුතු ත්‍රස්‌තයන් අල්ලා ගැනීමට ඇමරිකානු රජය ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ග මෙසේයි. 1. සියලුම නගරවාසීහු දොරවල් වසාගෙන සිටිය යුතුයි, 2. මාධ්‍ය සියලුම ජංගම දුරකථන අක්‍රීය කළ යුතුයි, 3. ත්‍රස්‌තවාදීන් අල්ලා ගැනීම සඳහා පොලිසිය ක්‍රියාමාර්ග පසුපස හඹාඒම නතර කළ යුතුයි, 4. බෝම්බකරුවන් ගැන තොරතුරක්‌ දන්නේ නම් වහාම දැන්විය යුතුය.

එහෙත් මෙරට යම් ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ සිදුවී ආරක්‍ෂක අංශ ඉහත කී උපදෙස්‌ ක්‍රියාත්මක කළේ නම් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ හා මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමක්‌ යෑයි ඇමරිකාව අවිවාදයෙන්ම පවසනු නියතය. වැලිකඩ සිරගෙදර කැරැල්ල අවස්‌ථාවේදී මාධ්‍ය ක්‍රියා කළ ආකාරය ඊට නිදසුනකි.

එසේම බොස්‌ටන් බෝම්බකරු වෙඩි හරඹයකදී මියගිය බව පොලිසිය පැවසූ අතර බෝම්බකරු ළඟ තිබූ තුවක්‌කු කොහේද යෑයි ඇමරිකානු මාධ්‍ය මෙතෙක්‌ ප්‍රශ්න කර නැත. මෙවන් තොරතුරු හෙළි වන අවස්‌ථාවේ පසුගිය අප්‍රේල් 12 වැනිදා දහවල් ලන්ඩනයේ ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරියේ නාඩගමක්‌ දන්නට ලැබිණි. 50 කට නොඅඩු පිරිසක්‌ නාඩගමට එක්‌වූහ. නාඩගම මෙහෙය වනු ලැබුවේ ප්‍රභාකරන් මියයැමට මාස ගණනකට පෙර ප්‍රභාකරන්ගේ වම් කකුල කැපූ බවට රජයේ බලධාරීන්ටත් රාජ්‍ය රූපවාහිනි සේවාවකටත් පුවතක්‌ ලන්ඩනයේ සිට එවූ සරණාගතයෙකි. මේ සරණාගතයා කොටි මිනීමරන සමයේ පැත්තකවත් සිටියේ නැත. ඔහු ලන්ඩන් ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරියට රැස්‌වී සිටි පිරිස අමතා “මම කෑගහන විට ඔබලා ඉන්ඩියා, ඉන්ඩියා” යෑයි බෙරිහන් දෙන ලෙස උපදෙස්‌ දුන්නේය. ඒ අනුව ඉන්දියාවට එරෙහිව කීප විටක්‌ම කෑගැසූ මේ තැනැත්තා එකවරම හූ කිල් රජිව් ගාන්ධි  යෑයි කෑගැසීය. ඊට ප්‍රතිචාරය දැක්‌වූ ලාංකික කාන්තාවන් පිරිසක්‌ ඉන්ඩියා· ඉන්ඩියා යෑයි හඬ නැගීය. මෙය හාස්‍යජනක සිද්ධියක්‌ නොවේද? මෙය ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරීන්ගේ අවධානයට ලක්‌වූ අතර ඔවුන් මවිතයට පත්වූයේ රජිව් ගාන්ධි මැරුවේ ප්‍රභාකරන් නොව ඉන්දියාව යෑයි හඬ නැගීම නිසාය.

දකුණු ඉන්දීය ඊළාම්වාදීන්ගේ ක්‍රියාවලට විරෝධය දැක්‌වීමක්‌ සඳහා යෑයි කියමින් පැවැත්වූ මේ නාඩගම බ්‍රිතාන්‍යයේ ත්‍රස්‌ත විරෝධී ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් මෙහෙය වූවක්‌ ලෙස සාවද්‍ය ලෙස ප්‍රචාරය කර තිබිණි.

එහෙත් ත්‍රස්‌ත විරෝධී සංවිධානය ආරම්භ කළේ එදා සිටම කොටින්ට එරෙහි වූ බ්‍රිතාන්‍යයේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයකු වූ ඩග්ලස්‌ වික්‍රමරත්නයි.

එහෙත් ස්‌වීඩනයේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි මේ සරණාගතයා කොටි පැරදවීම පසුපස සිටියේ තමා යෑයි වහසි බස්‌ දොඩයි. මේ අතර පසුගිය බ්‍රහස්‌පතින්දා ඩෙන්මාර්ක්‌ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යනුවෙන් සමුළුවක්‌ පැවැත්වූහ. එහිදී ශ්‍රී ලංකාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කරන බවට චෝදනා නැගුවේ මෙරටින් ජර්මනියට පැනගිය එන්.ජී.ඕ. ක්‍රියාකාරියකු වූ රෝහිත භාෂණ නමැත්තායි. ජාත්‍යන්තර ප්‍රජාව දැන්වත් ද්‍රවිඩ රාජ්‍යය සමූල ඝාතනය වන බව පිළිගත යුතුයි. තිස්‌ වසරක්‌ තිස්‌සේ ද්‍රවිඩ ජනතාව ඉලක්‌ක වුණා යෑයි මේ ෙද්‍රdaහියා කියා සිටියේය. ද්‍රවිඩ කාන්තාවක්‌ සමග විවාහ වී සිටින මොහු ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ සිංහල මාධ්‍යවේදියකු ලෙස රඟපායි. එහෙත් මෙරට කිසි පුවත්පතක සේවය කර නැති මේ පුද්ගලයා කොටි පුවත්පතක්‌ සඳහා පමණක්‌ සහාය වී ඇත.

ඩෙන්මාර්ක්‌හි පැවැති සමුළුවේදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද රජයට චෝදනා කළේය. “අපේ ද්‍රවිඩ නිජබිම සිංහලකරණය කරනවා. ඒ වගේම හමුදාකරණයට ලක්‌වෙනවා. ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව වැඩක්‌ නැහැ. ඉන් ඊළාම් ද්‍රවිඩයන්ගේ අරමුණු ඉටු වන්නේ නැහැ”යෑයි තවදුරටත් ඔහු කියා සිටියේය. මෙහිදී ඩෙන්මාර්ක්‌ කථානායක මෝරන්ස්‌ ලිංක්‌ටොප්ට්‌ ද ශ්‍රී ලංකාවට චෝදනා නගා ඇත.

මෙවන් පසුබිමක්‌ මැද මාධ්‍යවේදීන්ට තර්ජනයක්‌ ඇති බවට ඝෝෂා කරන්නන්ගේ අතීතය අපි අද හෙළි කරන්නෙමු. එහෙත් රටේ ජනතාව මේ බව නොදනී. 2002 පෙබරවාරි 22 දා ඊනියා සටන් විරාමය අත්සන් කිරීමෙන් දින හතකට පසු සාම මාධ්‍යවේදියෝ නමින් 28 කගෙන් යුත් පිරිසක්‌ පත්‍රිකාවකට අත්සන් කරමින් ප්‍රකාශයක්‌ නිකුත් කර තිබිණි. මේ ප්‍රකාශයෙන් ඔවුන් එදා රජයට මෙලෙස පවසා තිබිණි. 1. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම ලෙස පිළිගනු, 2. උතුරු නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකයක්‌ ලබාදෙනු, 3. රජය මෙම ඉල්ලීම්වලට එකඟ නොවන්නේ නම් සටන් කිරීමට ඇති අයිතිය අපි පිළිගන්නෙමු, 4. සාම සාකච්ඡා ආරම්භ කිරීමට පෙර කොටි තහනම ඉවත් කරනු.

මේ සාම මාධ්‍යවේදී කණ්‌ඩායමේ පස්‌දෙනෙක්‌ දැන් විදේශගතව සිටී. ඉතිරි කණ්‌ඩායමේ අයෙක්‌ ඕමන්තේ කොටි අවසර පත්‍ර කාර්යාලය සමග දැඩි සබඳකම් පවත්වනු ලැබුවෙකි. එසේම කොටින්ට නිජබිම දෙන්නැයි කී කණ්‌ඩායමේ තවත් කීප දෙනෙක්‌ වෙස්‌මුහුණු දමාගෙන රජයට සම්බන්ධව සිටී. ඔවුහු එදා දැක්‌වූ රඟපෑම දැන් වෙනස්‌ කර තිබේ. එහෙත් අවස්‌ථාව පැමිණි විට ඔවුහු යළි සුපුරුදු මුහුණු එළිදක්‌වති.

මේ තත්ත්වය මැද මෙරටට පැමිණෙන සංචාරකයන් පිළිබඳව නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර ඇත. මෙයට හේතුවී ඇත්තේ සංචාරකයන් වේශයෙන් විදෙස්‌ මාධ්‍ය පාර්ශ්වයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට පැමිණ උතුරට ගොස්‌ සාවද්‍ය තොරතුරු ලබාගැනීමයි.

කොටි හිතවාදී පිළිවෙතක්‌ අනුගමනය කරන ඉන්දියාවේ කෙනෙල්කා සඟරාව ද පසුගියදා සංචාරකයන් වේශයෙන් මාධ්‍යවේදිනියක්‌ මෙරටට එවා තිබිණි. ඇය මුලතිව් සහ යාපනයට ගොස්‌ හිටපු කොටි ක්‍රියාකාරීහු හමුවී සාකච්ඡා පවත්වා තිබිණි. ඇය ඉන්දියාවට යෑවූ වාර්තාවේ මෙලෙස දක්‌වා තිබේ. “ද්‍රවිඩ අර්බුදයට දේශපාලන විසඳුමක්‌ දිය යුතු යෑයි බහුතර සිංහල ජනතාව කියනවා. එහෙත් රජය තුළ සිටින නරක පාර්ශ්වයන් ප්‍රශ්න ඇති කරනවා”යෑයි මන්ත්‍රීවරයකු තමා වෙත පැවසූ බවද ඇය කියා සිටියාය. මේ මන්ත්‍රීවරයා චිට්‌ මන්ත්‍රීවරයෙකි. මේ අතර උතුරේ පළාත් සභාව සඳහා වූ මැතිවරණය සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතය. මැතිවරණය පැවැත්වීමටත් පෙර ද්‍රවිඩ සන්ධාන ක්‍රියාකාරීහු පළාත් සභාව සඳහා ගොඩනැඟිල්ලක්‌ නැතැයි කියා සිටී. මෙම පළාත් සභා මැතිවරණයෙන් ද්‍රවිඩ සන්ධානය ජය ගන්නා බව අනාවැකි පළ කරන කොටි ඩයස්‌පෝරාව ඒ සඳහා තවත් උපක්‍රමයක්‌ දියත් කර ඇත. ඒ මැයි 18 දා ද්‍රවිඩ ඊළාම් නිදහස්‌ ප්‍රඥප්තිය නමින් ඊළාම් රාජ්‍යයක්‌ සඳහා වූ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කිරීමයි. රජය මෙතෙක්‌ ඉඩම් හා පොලිස්‌ බලතල ලැබෙන 13 වැනි සංශෝධනය අහෝසි කර නැත. උතුරු පළාත් සභාවේ 2/3 ක බලය ද්‍රවිඩ සන්ධානයට හිමි වුවොත් ඉන් බරපතළ ප්‍රශ්නයක්‌ ඇතිවනු නියතය. එවිට ද්‍රවිඩ සන්ධානය තනි පළාත් සභාවක්‌ ලෙස ප්‍රකාශ කිරීමට ක්‍රියා කිරීමයි. කොටි ඩයස්‌පෝරාව ඊළාම් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන්නේ ඊට සමගාමීවය. එහෙත් රජය ඉදිරියේ ඇති මේ අනතුරුදායක පසුබිම තේරුම් ගෙන තිබේද? ඇමරිකාවත් ඉන්දියාවත් බලා සිටින්නේ උතුරු පළාත් සභාවේ මුළු බලය ද්‍රවිඩ සන්ධානය අතට පත්වන තුරුය. එය තවදුරටත් සනාථ වන්නේ අග්නිදිග ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු නිලධාරිනිය වූ ලෙසෙල්බි ටයිලර් කිලිනොච්චියට ගොස්‌ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළු පිරිසක්‌ සමග රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීමයි.

මේ තත්ත්වය මැද ස්‌විට්‌සර්ලන්තයේ පිබුග් නගරයේදී ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා සමුළුවක්‌ පවත්වා ඇත. බලය බෙදාහැරීම මැයෙන් එය පවත්වා තිබේ.

මේ අතර ද්‍රවිඩ ජනතා පෙරමුණේ නායක ගෙජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් එස්‌. කෙ-න්ද්‍රන් සහ නීතිවේදීන් හය දෙනකු ද කොළඹ කුරුඳුවත්තේ විකල්ප ප්‍රතිපත්ති කළ කණ්‌ඩායමේ ප්‍රධානි පාක්‍යසෝනි හා භවනි ෆොන්සේකා වලිගාමම් ප්‍රදේශයට ගොස්‌ ඉඩම් නිරීක්‍ෂණය කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. “නුඹලාට ඕන්නම් කම්බි වැට අයිනේ සිට නුවර ඉඩම් බැලිය හැකියි”යෑයි හමුදා බලධාරීන් පැවසීම නිසා මේ කණ්‌ඩායමට අකුලාගෙන ඒමට සිදුවිය.

මේ අතර ස්‌විට්‌සර්ලන්තයේ ප්‍රිබුග් නගරයේදී බලය බෙදාහැරීම මැයෙන් සමුළුවක්‌ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නීතිඥයකු ද ඊට පැමිණ සිටියේය. එහෙත් දේශකයන් රැසක්‌ නොපැමිණීම නිසා සමුළුව අතරමග නතර විය. මෙම සමුළුවේ ඡායාරූප ගැනීමට පැමිණ සිටි හින්දු බෞද්ධ සංවිධානයේ ප්‍රධානී ඊසන්ගේ කැමරාව ද සංවිධාකයන්ගේ භාරයට ගත් බව ද්‍රවිඩ ආරංචි මාර්ග පවසයි.

මේ තත්ත්වය යටතේ විපක්‍ෂ නායකයා ප්‍රමුඛ මාධ්‍ය කණ්‌ඩායමක්‌ කන්කසන්තුරේ අධි ආරක්‍ෂක කලාපයට යැමට දැරූ උත්සාහයකට හමුදාව ඉඩ දී නැත. ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු යෑයි හමුදා පොලිසිය දන්වා තිබේ. මේ අන්දමට ඇමරිකානු බලධාරීන් අධිආරක්‍ෂක කලාපවලට පිවිසීමට දේශපාලකයන්ට හා මාධ්‍යවලට ඉඩ දෙන්නේද? මෙකී පිරිස යාපනයට යැමට පෙර ඇමරිකානු නිලධාරීන් පිරිසක්‌ ද පැමිණ අධිආරක්‍ෂක කලාප ගැන ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් තොරතුරු විමසා ඇත.

කීර්ති වර්ණකුලසූරිය