Spread the News

පාතාලයට කිසිවකුගෙන් සමාවක් නෑ!

source:

සාමාන්‍ය පුද්ගලයකු කුමනාකාරයකින් මිය ගියත්; අනේ අපොයි! කීම අපේ සමාජයේ සිරිතය. එබඳු මිනිසකු මිය ගිය විට සමාජයෙන් මතුවන්නේ බලවත් කම්පනයක් හා තදබල ශෝකයෙකි. එහෙත් මිනීමරුවකු හෝ පාතාල නායකයකු හෝ මියගිය විට සමාජය වෙතින් පළ වන්නේ අස්වැසිල්ලෙකි.

මිනීමරුවා හා පාතාල නායකයා මුළු මහත් සමාජයක් තැතිගන්වමින් ජීවත් වෙති. ඔහුගේ නම ඇසීමට හෝ සමාජය කැමැති නැත. සමාජයේ යහපත් මිනිස්සු පාතාලයේ විනාශය අපේක්ෂා කරති. කිසිවක් කරගත නො හැකි තැන දෙවියන් යදිමින් පාතාලය විනාශ කරන්නැ’යි යාඥා කරති.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ විශේෂයෙන්ද, සමස්ත ශ්‍රී ලංකාව අවශේෂ වශයෙන් ද තැතිගැන්මට ලක් කළ තවත් පාතාල නායකයෙක් පෙරේදා මිය පරලොව ගියේ ය. ඔහුගේ ජීවිතය අවසන් වූ ආකාරය කිසිවකුට වැදගත් නැත. වැදගත් වන්නේ කොටි ත්‍රස්තවාදය තරමට ම රටට ගැටලුවක් වූ පාතාලය සෙමෙන් අවසානය කරා ගමන් කිරීම ය.

ත්‍රස්තවාදය නිමා කිරීම, සංවර්ධනය වේගවත් කිරීම, රැකීරක්‍ෂා සම්පාදනය මෙන් ම පාතාලය මර්දනය කිරීමත් රටක ඉදිරි ගමන සඳහා සපුරා ගත යුතු ඉලක්කයකි. මේ රටේ පැවැති බොහෝ ආණ්ඩුවලට පාතාලය මර්දනය කළ නොහැකි විය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ පාතාල කෙරුමන් හා ඉහළ පෙළේ දේශපාලකයන් අතර නොබිඳීය හැකි සම්බන්ධතාවක් පැවැතීම ය.

පෙරේදා පරලොව ගිය පාතාල නායකයා විශේෂ ගණයේ පාතාල නායකයෙකි. ඔහුට නම් ගණනාවක් තිබී ඇත. ජාතික හැඳුණුම්පත් තුනක් ද භාවිත කර ඇත. කාදර් මොහොමඩ් අස්මීන් ඔහුගේ සැබෑ නම ය. අස්මීන්, මාමා අස්මී හා මාමස්මී යන නම් ද මේ පාතාලයා හැඳින්වීම සඳහා යෙදී ඇත. කොළඹ “ගෝඩ්ෆාදර්” ලෙස ද ඔහු පෙනී සිට ඇත. ජාතික හැඳුණුම්පත් තුනක් භාවිත කිරීමෙන් ද, පොලිසියේ හා රහස් පොලීසියේ ඇසට වැලි ගසමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සැපදායී ජීවිතයක් ගත කිරීමෙන් ද පැහැදිලි වන්නේ බලවත් පුද්ගලයන්ගෙන් මෙන් ම ඇතැම් නිලධාරීගෙන් ද ඔහුට යම් සහයෝගයක් ලැබී ඇති බව ය.

මිනීමැරීම්, මංකොල්ලකෑම්, කප්පම්ගැනීම්, ස්ත්‍රී දූෂණ, ඇතුළු බලවත් අපරාධ රැසකට මේ පුද්ගලයා සම්බන්ධය. පොලිසිය ඔහු කොටු කර ගැනීම සඳහා පරිශ්‍රමයක යෙදී ඇත්තේ වසර ගණනාවක සිට ය. ඔහුගේ ප්‍රධාන ආරක්ෂිත උපාය මාර්ගයක් වී ඇත්තේ වෙස් මාරු කිරීම ය. කාලයක් හිස බූ ගා සිටින ඔහු ව කාලයක් කොණ්ඩය හා රැවුළ වවාගෙන සිටී.

තවත් කාලයක් මුස්ලිම් කාන්තාවක සේ හිස සිට දෙපතුළ දක්වා කළු කබායක් හැඳ පර්දාවකින් මුහුණ වසාගෙන සිටී. ඔහු පාතාලයේ කෙතරම් බලවත් පුද්ගලයකු ද යත්; පාතාලයට සම්බන්ධ නඩු ඔහු විසින් ම විභාග කරන ලදු ව වැරැදිකරුවනට දඬුවම් ලබා දී තිබේ. මාමස්මී ජීවත් වන්නට ඇත්තේ තවත් පාලකයකු ලෙස ය.

මාමස්මී වැනි පාතාල නායකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කුඩු වෙළෙඳාම ය. අහිංසක තරුණ ජීවිත මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කොට බරපතළ විනාශයක් කරන මේ පිරිස කුඩු වෙළෙඳාම ඔස්සේ කෝටි ගණන් මුදල් උපයති. එහෙත් ඔව්හු විහිළුවටවත් මත් ද්‍රව්‍ය භාවිත නො කරති. ඔව්හු දිනපතා පස්වරක් ආගම කියමින්, යාඥා කරමින්, පල්ලි යමින් පිළිවෙළක් ඇති ජීවිත ගත කරති. 1977 න් පසු ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කුඩු වෙළෙඳාම විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයෙකි. මත් ද්‍රව්‍ය සමඟ එදා බිහි වූ පාතාල කල්ලිවල අවසන් පුරුක දැන් විනාශ මුඛයට යමින් සිටී. ඒ ගැන මහජනයා තුළ ඇත්තේ බලවත් ප්‍රසාදයකි.

2012 – ජුනි 17 දා කොළඹ තාප්ප පුරා මාමස්මී පිළිබඳ දැන්වීමක් අලවා තිබුණ හැටි අපට මතක ය. එම දැන්වීමෙන් ප්‍රකාශ වූයේ මාමස්මී නම් දරුණු අපරාධකාරයා පිළිබඳ තොරතුරක් ලබා දෙන කෙනකුට රුපියල් ලක්‍ෂ දහයක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ය. එම පුවත එදින ම අප පත්‍රය මගින් ද ප්‍රකාශයට පත් කැරිණි. එහෙත් ලක්ෂ දහයකට වඩා ජීවිතය වටිනා බැවින් තොරතුරු ලබා දුන් කෙනකු නැත. පාතාලය අපේ සිවිල් සමාජය කෙතරම් භීතියට පත් කර සිටින්නේ ද යන්න ඉන් හොඳට ම පැහැදිලි වේ. සමාජය පාතාලයන් ගැන කටක් අරින්නට කැමැති නැත. ඒ පාතාලයට ඇති කැමැත්තක් නිසා නො ව; ජීවිත ආශාව නිසා ය.

ශ්‍රී ලංකාවේ පුරවැසියා පාතාල කල්ලිවල පීඩනයට ලක්වූයේ දීර්ඝ කාලයක් තිස්සේ ය. බොහෝ විට සිදුවූයේ පාතාල කල්ලිවල මැරකම් හා බලහත්කාරයන් ඉවසාගෙන සිටීම ය. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම අර්ථ විරහිත ය.

උසස් පොලිස් නිලධාරීන් හා අපරාධකාරයන් අතර සම්බන්ධතා පැවැතිණි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට පැමිණිලි කිරීම ද අර්ථ විරහිත ය. දේශපාලකයන් හා අපරාධකාරයන් අතර සම්බන්ධතා පැවැතිණි. අරඹෙවෙල උපාලි හෙවත් සොත්ති උපාලි යුගයේ ඔහුට විරුද්ධව පැමිණිලි කළ හැකි තත්ත්වයක් නො තිබිණි. ඔහු ජීවත් වූයේ පොලිස්පතිටත් ඉහළින් ය. එබඳු බලවතකු හා ගැටෙන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.

1990 ගණන් වන විට පාතාල ලෝකය රට පුරා ව්‍යාප්ත වී තිබිණි. දකුණට එක පාතාල කල්ලියකි. කොළඹට තවත් කල්ලියකි. ඒ ඒ නගර ආශ්‍රිතව ද කුඩා- කුඩා පාතාල කල්ලි බිහි වී තිබිණි. ඇතැම් පාතාල නායකයන් හැඳින්වූයේ ඔහු උපන් හෝ ඔහු පදිංචි ගමේ නමත් එකතු කර ගනිමින් ය.

‍ෙමවූහු සියලු දෙනා ම ජාවාරම් වලට සම්බන්ධ වූහ. වැඩි දෙනකුගේ ආදායම් මාර්ගය වූයේ කුඩු වෙළෙඳා ම ය. මාලිගාවත්තේ පැවැතියේ මුස්ලිම් පාතාලයකි. එය හමුදාවක් තරමට ම බලවත් විය. ඔවුන් අත නවීන අවි – ආයුධ, සුඛෝපභෝගී වාහන හා නූතන තාක්ෂණික මෙවලම් ද පැවැතිණි. කොටින් ම අපේ පාතාලය ඉතාලි මාෆියාවට දෙවෙනි නැත.

පාතාලය වර්ධනය වූයේත්; ඔවුන් විසින් සිදු කරනු ලබන අපරාධවල ප්‍රමාණය ඉහළ ගියේත් රට පාලනය කළ ඇත්තන්ගෙ වරදින් ය. ආණ්ඩුවකට පාතාලය මර්දනය කළ නො හැකි නම්; එතැන විශාල ගැටලුවක් තිබේ. කලකට පෙර පැවැති තත්ත්වයට අනුව දේශපාලකයාට පාතාලය මෙල්ල කිරීමේ වුවමනාවක් නො තිබිණි. පාතාලය ශුද්ධවන්නට පටන් ගත්තේ මෑතක සිට ය. රටේ ආරක්ෂක ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් ජාතියේ ප්‍රණාමය හිමිවනු ඇත.

පාතාල නායකයෝ කොතරම් බලවත් ද? සූක්ෂ්ම ද යත්; ඔව්හු හිර ගෙදර සිටද කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරවති. කප්පම් ගනිති. මෙබඳු පාතාල නායකයන් කිසි දිනෙක තම පාපී මාර්ගය අත් හරින්නේ නැත. ඔවුන් කා අතින් හෝ මිය යා යුතු ය.