Spread the News

අපේ කාලයේ වීරයෙක්
බලගතු ඇමරිකාවේ නිරුවත හෙළි කළ බෞද්ධ කැරලිකරුවා

source:

කාලයක් ඇමරිකාවට ලොකුම හිසරදයක් වූයේ බින්ලාදින්ය. එසේත් නැත්නම් සදාම්හුසේන්ය. ලිබියාවේ ගඩාෆිය. ඇමරිකාව නිල ත්‍රස්තවාදය භාවිත කරමින් ඒ සියලු දෙනා පරලොව යැව්වේය.
බොහෝ විට ඇමරිකාවට අභියා්ග ඇති වූයේ  එයින් පිටත තුන්වැනි ලෝකය යැයි ඔවුන්ම සම්මුති ගත කළ රටවලිනි. දැන් එය කණපිට පෙරලී තිබේ. මේ මොහොත වන විට ඇමරිකාවට ලොකුම හිසරදය  වී තිබෙන්නේ ඇමරිකානුවෙකි. ඔහු නිකම්ම නිකං ඇමරිකානුවෙක් නොවේ. ඇමරිකානු එක්සත් ජනපදයේ සැබෑ පාලනාධිකාරිය වන  සී.අයි.ඒ. සංවිධානයට අනුබද්ධ එන්.එස්.ඒ. හි බුද්ධි තොරතුරු විශ්‍ලේෂකයෙකි.  පරිගණක පද්ධති පරිපාලකයෙකි. මෙයට වර්ෂ 30ක පෙර එනම් 1983 ජුනි 21 දා උතුරු ඇමරිකාවේ කැරොලිනාහි වෙලිම්ටන්වල උපන් එඩ්වඩ් ජෝශප් ස්නෝඩන් නමැති තරුණ ඇමරිකානුවා ඇමරිකාවේ ලොකුම ගැටලුව වී තිබේ.
සීල් භටයන් විසින් බින්ලාදින් ඝාතනය කරන මෙහෙයුම දෙස ඇසිපිය නොහෙළා බලා සිටි ජනාධිපති බැරැක් ඔබාමාගේ නෙතු පතන අලුත්ම ගොදුර එඩ්වඩ් ස්නෝඩන්ය. ස්නෝඩන් කෙසේ හෝ ග්‍රහණයට ගන්නා බව ඔබාමා පාරම්බායි. හිටපු ඇමරිකානු උප ජනාධිපතිවරයකු වන ඩික් චෙනී  ස්නෝඩන් ගැන කතා කළේ දණ්ඩෙන් පහර කෑ වැලි ‍පොළඟකු සේය.
තම රටට වින කරන සතුරන්ට එරෙහිව කවර හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ඩික් ච්ෙනී සඳහන් කර තිබුණි. මෙයින්ම ඇමරිකාවේ විසංවාදය පැහැදිලි නොවේද? ශ්‍රී ලංකාව වැනිර ටවල් සියරටවල සියත් බවට ආරක්ෂාවට වින කරන බලවේගවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා විට ඇමරිකාව මානව හිමිකම් ගැන පුරසාරම් දොඩවයි. විශේෂයෙන් ඇමරිකාව පසුගිය කාලයේ උත්සාහ කළේ ශ්‍රී ලංකාව දඬු කඳේ ගැසීමටය.  නිදහසේ ප්‍රතිමාව තිබෙන ඇමරිකාව ප්‍රකට වී තිබෙන්නේ පෞද්ගලික නිදහසට ගරු කරන ‍ප්‍රොතෙස්තන්ත ආගමික අන්තර් ගතයක් සහිත ලිබරල් ආචාර ධර්ම හිස් මුදුණින් පිළිගත් සද්ගුණවත් රටක්  හැටියටය. එහෙත් ස්නෝඩන් ගේ හෙළි දරව්වෙන් පැහැදිලි වන්නේ ඇමරිකාව පෞද්ගලික ජීවිතය තුට්ටුවකට හෝ මායිම් නොකරන බවය. තේරෙන සිංහලෙන් ලිව්වොත් ඇමරිකාව කර තිබෙන්නේ දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ යට ඇඳුම ගලවා බැලීම වැනි වැඩකි. පෞද්ගලික ජීවිත ගැන මතු නොව අන්තර්ජාතික දේශපාලන ගනුදෙනුවලදී එරට සමග එකට සිටගන්නා යුරෝපා සංගමය එක්සත්ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනවල ලිපි ගොනුවලට ඇමරිකාව රිංගා තිබේ.
රට රටවල ආණ්ඩු, දේශපාලන පක්ෂ හා සංවිධාන ආදිය ගැන ඇමරිකාව සොයන බව අද ඊයේ එළියට පැමිණි රහසක් නොවේ. එසේ වුවද පෞද්ගලික ජීවිතවලට එසේත් නැතිනම් පෞද්ගලික දුරකථනවලට හොරෙන් සවන්දීම මිනිසුන්ගේ පෞද්ගලික තොරතුරුවලට ඇඟිල් ගැසීම තුට්ටුවක් නොවටින වැඩකි. අපේ ගමේ ගොඩේ වුවත් අනුන්ගේ ලියුම් කැඩීම, බැලීම, පෞද්ගලික දුරකථන සංවාදවලට සවන්දීම ආදිය තවම සැලකෙන්නේ තුට්ටු දෙකේ වැඩක් හැටියටය. ස්නෝඩන්ගේ හෙළි දරව්වෙන් පැහැදිලි වන්නේ ගමේ අබරන් අයියාගේ තැනටත් වඩා පහළට ඔබාමා වැටී තිබෙන බවය.
සී.අයි.ඒසංවිධානයේ පාලනය සෘජුවම අයත් වන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාටය. එහෙයින් ඔබාමා ස්නෝඩන් විසින් කරනු ලබන පැමිණිල්‍ලේ ප්‍රධාන විත්ති කරුය. එහෙයින් අන්තර්ජාල පද්ධතිවලට රිංගා පෞද්ගලික වංහුං ඇවිස්සීමේ ප්‍රිස්බි විශේෂ බුද්ධි යාන්ත්‍රණය ගැනත් ඒ පිළිබද ජනතාව මතුකරන ප්‍රශ්න පත්තරවලටත් වග උත්තර බැඳිය යුත්තේ ඔබාමාය. එසේ වග උත්තර බඳිනවා වෙනුවට ඔබාමා ස්නෝඩන්ට දේශපාලන  රැකවරණ දීමට එරෙහිව ප්‍රබල මෙහෙයුමක් අරඹා තිබේ. ස්නෝඩන් ඉන්දියාවේ දේශපාලන රැකවරණ ඉල්ලුම් කල විට එරට බලධාහු එය එසැණින් බැහැර කළහ. මෙයින් පැහැදිලි වන්නේ ඉන්දියාව මොන කයිවාරු ගැහුව්වත් ඇමරිකාව අමනාප කරගෙන අත පුච්චා ගැනීමට සූදානම් නැති හැටිය.
වොෂින්ටන් වාසී ප්‍රකට බුද්ධි අංශ ඉතිහාසඥයකුවන Matthew.M.Aid සඳහන් කරන්නේ ජාතික ආරක්ෂක ආයතන (NSA) ඉතිහාසයෙහි ප්‍රබලම බුද්ධි තොරතුරු එළියට දැමිල්ල කර තිබෙන්නේ ස්නෝඩන් විසින් බවයි. සී. අයි.ඒ. ඉතිහාසය දෙස අවධානය යොමු කරන විට එයට තිබෙන්නේ සාපරාධි හා මත භේදාත්මක ඉතිහාසයකි.
14-1ස්නෝඩන් එම සාපරාධී ඉතිහාසයට අභියෝග කර තිබේ. 1947 දී ආරම්භ කළ සී.අයි.ඒ. ආයතනය වොෂිංටනයේ අඩි 15ක් පමණ උස කම්බි වැටකින් වට කළ හෙක්ටයාර 125ක භූමි භාගයක එයටම ආවේණික සියුම් තාක්ෂණික පහසුකම්වලින් යුක්ත සුවිශාල ගොඩ නැගිල්ලක පිහිටා තිබේ. සී.අයි.ඒ ආයතනය කෙතරම් කාර්ය බහුලද යත් හැම විනාඩි 5කට වරක් මෙකී මූලස්ථානයට මෝටර් රථයකින් පුද්ගලයකු පැමිණෙන අතර ඒ සමග තවත් පුද්ගලයෙක් පිටට යයි. සහතික කළ වාර්තා නොමැති වුවද ප්‍රධාන වශයෙන් 5000 -10,000 අතර පිරිසක් මෙහි සේවය කරති.
ලොව සුවිශාල හා සියුම් පරිගණක පද්ධතිය පිහිටා තිබෙන එහි ලොව විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ තොරතුරු අන්තර්ගතය. ලොව කවර දිග් භාගයෙහි සිටියද තම ඔත්තුකරුවකු වහා සම්බන්ධ කර ගැනීමට සී.අයි.ඒ. සංවිධානයට හැකිය. ලොව පුරා සිටින ඔවුන්ගේ නියෝජිතයන්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවයි. මේ නියෝජිතයන් අතරට පත්‍රකලාවේදීන්, නීතිඥයන්,මන්ත්‍රී අමාත්‍යයන්, රාජ්‍ය නායකයන් පූජකයන් ආදී කී, නොකී අයද අයත් වෙති.
මෙම හෙක්ටයාර 125ක භූමිභාගයට අත දැමීමට ඇමරිකානු කොංග්‍රස් සභාවට නොහැකිය. සී.අයි.ඒ ආයතනය ඇමරිකාවේ ජනාධිපතිවරයා සහ පෙන්ටගනය සමග සමීපව කටයුතු කරයි. එහි පාලනය සෘජු ලෙසම අයත් වන්නේ ජනාධිපතිවරයාටය. එහි අධ්‍යක්ෂවරයා පත් කරනුයේ  ජනාධිපතිවරයා විසිනි. සී.අයි.ඒ. සංවිධානය ප්‍රබල තැනකට ගෙන ඒම සඳහා ඩ්වයිඩ්.ඩී. අයිසන්හවර්, ජෝන් කෙනඩි යන ඇමරිකා ජනාධිපතිවරු සේම හිටපු සී.අයි.ඒ. ලොක්කන් වන රිචර්ඩ් හෙල්ම්, ස්ටැන්පීල්ඩ්ටර්නර් ආදී හූ කැප වූහ.
මනෝවිද්‍යාත්මක යුද මෙහෙයුම් සහ යුදමය ක්‍රියාන්විත යන දෙඅංශයෙන් සී.අයි.ඒ. සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. ලොව විවිධ සංවිධනා හා සමිතිවලට රිංගා ඒවා මෙහෙයීමත් ලොව තහනම් කලාපවලට රිංගා  කඩා කප්පල් වැඩ කිරීම, ගැටුම් කලබල මැවීම, ආණ්ඩු විරෝධි කණ්ඩායම්වලට අවි පුහුණුව හා මුදල් ලබාදීම, ඇමරිකානු විරෝධින්, රාජ්‍ය නායකයන් ඉවත් කිරීම ආදී අරමුණු සඳහා සී.අයි.ඒ. කැප වෙයි.
එසැණින් ක්‍රියාත්මක කර ආණ්ඩු පෙරලීමට සී.අයි.ඒ.දස්කම් දක්වයි. ඊට හොඳම නිදර්ශනය 1953 ඉරානයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයයි. එය වූයේ ජනපති අයිෆ් හවර් පාලන සමයේදීය. තෙල් ජනසතු කොට පැය 24ක් යාමට පෙර මොහොමඩ් මුසාඩෙක් ආණ්ඩුව පෙරලා දැමීමට සී.අයි.ඒ. සංවිධානය වැඩ කළේය.
ඊට සමීප උදාහරණ වශයෙන් ඉරාකයේ සදාන් හුසේන්ගේ හා ලිබියාවේ ගඩාෆිගේ ආණ්ඩු විනාශ කිරීම ආදීය දැක්විය හැකිය.
* 1954 ගෝතමාලා කුමන්ත්‍රණය
* 1958 ඊජිප්තු ජනාධිපති නසාර් ඝාතන ප්‍රයත්නය
* 1960 කස්තේ‍රා් විරෝධී ප්ලූටෝ ප්‍රහාරය
* 1961 ඉන්දියාවේ අගමැති නේරු විරෝධී කුමන්ත්‍රණය
* මොන් ඩේල් ඝාතනය
* 1977 කොංගෝ ජනපති ඝාතනය
* 1978 බංගල්දේශ ජනපති රහ්මාන් ඝාතනය
* ස්වීඩන් අගමැති ඩිලොප් පාරම් ඝාතනය ආදි කුමන්ත්‍රණ රැසක් පිටුපස සී.අයි.ඒ. සිටී.
තමන්ට කඩේ ගිය වූවකු වුව පසුව පලක් නැතැයි තීරණය කළහොත් මරා දැමීමට සී.අයි.ඒ. නොපැකිලෙයි.
වියට්නාමයේ ඤෝඩින්සියම් 1955දී බලයට පැමිණියේ සී.අයි.ඒ. උදව්වෙනි. එහෙත් 1963 දී සී.අයි.ඒ. ඔහු මරාදැම්මේය. සී.අයි.ඒ. හි ප්‍රධාන නිලධාරියකු වූ එඩ්වර්ඩ් ජේ. ග්‍රිපිත් බලපැමට ලක් වූ ඉන්දියාව නමින් ‍පොතක් පළ කර අතර එය නිකුත් වී දින 8 කදී ෂික් ජාතික ශරීරාරක්ෂකයන්ගේ වෙඩි ප්‍රහාරවලින් හිමිදිරි උදෑසන භාරත අගමැතිනි ඉන්දිරාගාන්ධි ඝාතනය විය.
*ජාතික ආරක්ෂක කමිටුව
* ෆෙඩරල් තොරතුරු  සේවාව
* ජාතික ආරක්ෂක සේවා ආයතනය
* රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ තොරතුරු සේවාව
* යුද තොරතුරු සේවාව
* භාණ්ඩාගාරය
* බලශක්ති ආයතනය
*ඖෂධ පාලන ආයතනය ආදී ආයතන සමග සබඳතා ඇති කරගෙන කටයුතු කරන මෙවැනි අති බල සම්පන්න ආයතනයකට එරෙහිව ස්නෝඩන් කැරලි ගැසුවේ සදාචාරාත්මක පදනමක සිටය. 2013 ජුනි 10 දා  The Guardian පුවත්පතකට ඔහු මෙසේ පවසා තිබුණි.
‘ I can’t allow the US government to destroy privacy and basic liberties’   ස්නෝඩන් අවධරණය කරන්නේ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය හා මූලික නිදහස විනාශ කිරීමට ඇමරිකානු ආණ්ඩුවට ඉඩ දිය නොහැකි බවයි. දළ වශයෙන් ඇමරිකන් ඩොලර් 200,000ක පමණක් වැටුපක් උපයමින් ස්නෝඩන් ගත කළේ ඉතාම සැපවත් ජීවිතයකි. ඒ සියල්ල උදෑසන කෙළ පිඬක් තරම්වත් නොසලකා වාසය කිරීමට රටක් හෝ නැතිව ස්නෝඩන් භෞතිකව අසරණ වී සිටින්නේ ඔහුගේ ප්‍රබල අධ්‍යාත්මික දියුණුව  නිසා නොවේද? සදාචාරාත්මක ච්ෙතනාවේ  බලසම්පන්න බව නිසා නොවේද? එහෙයින් ඔහු සැබෑම වීරයෙකි. පරිත්‍යාගශීලී විමුක්ති කාමියෙකි.
* ස්නෝඩන්ගේ දාර්ශනික පසුබිම
පෙන්සිල්වේනියාවේ වාසය කරන  Lonnie Snowden නමැති අපේ කාලයේ වීරයාගේ පියා සඳහන් කරන හැටියට ‘තම පුතා එනම් ස්නෝඩන් සංවේදී ඉදිරිගාමී තරුණයෙකි. ගැඹුරු චින්තකයෙකි.
ජපන් බස හා සංස්තෘතිය චීන බස, හා පෙරදිග සටන් කලාව පිළිබඳ  පුළුල් හැදෑරීමක් සහිත ස්නෝඩන් සම්බන්ධයෙන් ඔහුගේ පියා හෙළි කරන වැදගත්ම කරුණ වන්නේ ඔහු තමන්ගේ ජීවිත දැක්ම හැටියට බුදුදහම තෝරාගත් බවයි. ඒ අනුව එඩ්වඩ් ස්නෝඩන් නමැති මේ තරුණ ඇමරිකානුවා සිතුම් පැතුම්වලින් බෞද්ධයෙකි. ඔහුට විශාල වැටුපක් සහිත සුඛෝපභෝගී ජීවිතයක් අතහැරීමට හා බහුජනතාවගේ යහපත පිණිස කැපවීමට බලපෑ ආධ්‍යාත්මික පන්නරය ලැබුණේ බුදු දහමෙනි. එනම් ඔහුගේ දාර්ශනික විඥානයට පදනම වැටුණේ  බුදුන් වදාළ ධර්මයෙනි. එසේනම් ස්නෝඩන් බහුජන හිතවාදී තරුණ බෞද්ධ කැරලිකරුවෙකි. මෙය නව ලෝකයෙහි අලුත්ම ප්‍රවණතාවයි. එනම් ඇමරිකාව ප්‍රධාන ලෝකයේ බහුජනතාවට  හානිකරන අධර්මාධිපත්‍යයට එරෙහිව ආධ්‍යාත්මික ප්‍රවේශයකින් කැරලිගසා නව ලෝකය ගොඩ නගන්නේ බෞද්ධ කැරලිකරුවන් විසිනි. ස්නෝඩන් එවැනි පරපුරක පුරෝගාමියෙක් විය හැකිය.
ස්නෝඩන් මුලදී ඔබාමා ගැන අපේක්ෂා සහගත විය. එහෙත්  He was later disappointed that obama යනුවෙන් සඳහන් වන පරිදි ඔබාමා ගැන ස්නෝඩන්ගේ බලා‍පොරොත්තු සුන් විය. මෙමගින් හෙළිවන්නේ සී.අයි.ඒ. මගින් පාලනය වන අධාර්මික ඇමරිකානු පාලනාධිකාරියට අලුත් තරුණ පරපුර අකමැති බවය. ඔවුන්ගේ අපේක්ෂාව ලෝකයට සැබවින්ම යහපතක් කරන,  හානි නොකරන ධාර්මික ඇමරිකාවකි. ස්නෝඩන්ගේ පරපුර ඒ ඇමරිකාව ඉදිරියේදි ගොඩ නගනු ඇත. එවිට ඒ අලුත් ඇමරිකාව නැගිටින  ආසියාව සමග අත්වැල් බැඳගෙන අලුත් ගමනක් යනු ඇත.
ස්නෝඩන් වැනි දාර්ශනික තරුණයන් මගින් ඉස්මතුවන සිතුවිළි හා ජීවන භාවිතයන් කෙරෙහි අවධානය යොමුකිරීම එවැනි නව ගමනක් සඳහා ඇමරිකාවට මංසලකුණු සපයනු ඇත. එකී මංසලකුණු මිලිටරි ආධිපත්‍ය මගින් යටපත් කළහොත් ඇමරිකාවට සිදුවන්නේ නටඹුන් ගොඩක් වීමටය. ඇමරිකාව තුළ මතුනොව මුළු ලෝකය පුරාම ඇමරකාවේ අසාධාරණ අතදැමිල්ලට හා ලෝක පාලනයට එරෙහිව ඇති වී තිබෙන විරෝධය තේරුම්ගැනීම එබඳු ගමනකදී වැදගත් සාධකයක් වනවනාට සැක නැත.
නොබෝදා දකුණු අප්‍රිකාවට ගිය ඔබාමාට එල්ල වූ ප්‍රබල තරුණ විරෝධය එහිලා කදිම නිදසුනකි. එකී විරෝධය කෙතරම් ප්‍රබලවීද යත් ජනාධිපති ඔබාමාට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට සිතා සිටි ජොහැන්නස්බර්ග් විශ්වවිද්‍යාල බලධාරීහු අවසානයේ එකී
වැඩපිළිවෙල කල් දැමූහ. ඇරිකාවේ ගමන් මගෙහි ගුණාත්මක ඉදිරිපිම්මක්  ඇතිවීම උපායමාර්ගික වශයෙන් සේම දෘෂ්ටිවාදාත්මක ගමන් මග වෙනස් කිරීමද ලෝකයටම බලපානවා ඇත. එහෙත් එබඳු වෙනසකට උදව්වෙන අලුත් හඬට සවන්දීමට තරම් සී.අයි.ඒ.වාදී විදග්ධ ඔබාමා සූදානම්ද ?

වරුණ අබේසේකර