“The Last Phase”, හිටපු එල් ටී ටි ඊ සටන්කාමියකගේ සත්‍ය කතාව බ්‍රසල්ස්හි යුරෝපීය පාර්ලිමෙන්තුවේදී තිරගතවේ

Spread the News

“The Last Phase”, හිටපු එල් ටී ටි ඊ සටන්කාමියකගේ සත්‍ය කතාව බ්‍රසල්ස්හි යුරෝපීය පාර්ලිමෙන්තුවේදී තිරගතවේ

ශ්‍රී ලංකාවේ ස්වාධින චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරන ලද මෙම වාර්ථාමය චිත්‍රපටය මගින් එල් ටී ටී ඊ ත්‍රස්තවාදී කණ්ඩායමට එක්ව සිටි සටන්කාමියකගේ හා ඇගේ පවුලේ සාමාජිකයින් යුද්ධය පැවති අවසන් මාස කීපය තුලදී එල් ටී ටී ඊ ත්‍රස්තවාදින්‍ විසින් මිනිස් පළිහක් ලෙස භාවිතා කරන ලද අතර එහිදි ඔවුන් විසින් මුහුණ දුන් දුක්‍යදායි ජීවිතය පිලිඹද සත්‍ය කතාව මනාව පිළිබිඹු කරන අතර එය ඊයේ (නොවැම්බර් 28) දින බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට තිරගත කරන ලදී. යුරෝපීය පාර්ලිමේන්තුවේ මෙම වාර්ථාමය වැඩසටහන තිරගත කිරිම සඳහා බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නියෝජිතයෙකු, යුරෝපිය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු හා යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර කන්ඩායමේ සභාපතිවරයා වන ජෙෆ්රි වෑන් ඕර්ඩන් මහතා විසින් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී.

මෙම චිත්‍රපටය මගින් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් පවත්වාගෙන යනු ලැබූ සෙන්චෝලෙයි අනාථ නිවාසයේ වැඩුන හා පසුව ඔවුන් විසින් ත්‍රස්තවාදි සංවිධානයට බදවා ගන්නා ලද ජයවඩනී නැමති තරුණියගේ හා ඇගේ පවුලේ සාමාජිකයින්ගේ සත්‍ය ජීවිත කතාව දිගහැරෙන අතර මරණයේ අදුරු සෙවනැලිවලට මුවාවී එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් යුද්ධයේ අවසන් අධියරේදි ඔවුන් සිරකර තබා ගන්නා ලද කුඩා බිම්තිරුවේ මර උගුල් හා ‍අනේකවිධ බාධක මධ්‍යයේ සිය ජීවිතය බේරාගෙන අද වන විට සිය කඩා වැටී තිබූ ජීවිත නැවත සාර්ථකව ගොඩනගා ගන්නා ආකාරය ඇය විසින් මනාව පැහැදිලි කර ඇත. එසේම තමන්ගේම කන්ඩායමෙන් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයකින් දරුණු ලෙස තුවාල ලබා යාන්තමින් සිය ජිවිතය බේරා ගැනිමට තරම් වාසනාවන්තියක වන ජයවඩනි නැමති මෙම තරුණිය නැවත සිය ජිවිතය ලබා ගැනිමෙන් අනතුරුව යුද්ධයේ අවසන් අධියරේදි සැගවි තිබු රහස් හා එල් ටී ටී ඊ ම්ලේච්චත්වය පිලිඹදව පැහැදිලි විග්‍රහයක් මෙමගින් සිදු කරනු ලැබ ඇත. එසේම මෙය ඇයගේම කතාව පමණක් නොව එල් ටී ටී ඊ සංවිධානයට බදවා ගන්නා ලද හා අද වන විට නිදහසේ හා සාමයේ අරුනළුවල සුවය විදිමින් වඩා හොද ජීවිත ගත කරනු ලබන 12,000 ක් පමණ වන එල් ටී ටී ඊ අනෙකුත් සාමාජිකයින්ගේද කතාව වනබව ලොවට පසක් කරයි.

මෙම වාර්ථාමය වැඩසටහන තිරගතවිමෙන් අනතුරුව ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ සභාපතිතුමාගේ ආරාධනය ට අනුව ඒ පිළිඹදව සිය අදහස් දැක්වූ බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති පී එම් අම්සා මහතා මෙම වැඩසටහන මුලින්ම දැකිමෙන් අනතුරුව යුද්ධය පැවති අවසන් කාලය තුලදි එල් ටී ටී ඊ ග්‍රහණයේ සිටි දස දහස් ගණනක් වූ ද්‍රවිඩ වැසියන් හා තරුණ තරුණියන් මෙතෙක් කල් ලොවට නොපවසන ලද හා ඔවුන් එකී කාල පරිච්චේදය තුලදි විදින ලද අනේකවිධවූ දුක් කම්කටොළු පිළිඹදව තමාට ඉතා පැහැදිලි අවබෝධයක් ලැබුණ බව පැවසූ අතර ඔවුන් මෙන්ම ජාති කුල ආගම් භේදවලින් තොරව මෙකි කාලය තුලදි මෙම යුද්දයට සම්බන්ධවී සිටි හමුදා සාමාජිකයින්, වෛද්‍ය කාර්ය මණ්ඩල හා අනෙකුත් සියළුම පාර්ශ්වයන් විසින් මෙය නිමා කිරිම සඳහා දරණ ලද උත්සාහයේදී ඔවුන් විසින් සිදු කරන ලද කැපකිරිම් හා විපතට පත් පිරිස බේරා ගැනීම සඳහා කරන ලද සියළු උදව් උපකාරයන් දකින විට ඕනෑම අයෙකුගේ සිතෙහි ඔවුන් පිළිඹදව දැඩි අනුකම්පාවක් මෙන්ම දැඩි ආදරයක් ද ජනිත වන බවත් පවසා සිටියේය.

එසේම වරක් එල් ටී ටී ඊ සංවිධානයේ නායකයින් විශ්වාස කර ඔවුන් වෙනුවෙන් සිය ජිවිතයේ හොදම කාලය කැප කර සටන් කරන ලද එල් ටී ටී ඊ සාමාජිකයින් පවා අවසානයේදී සිය සංවිධානයෙන් වෙන්වි තම ජිවිත බේරාගෙන රජය විසින් ප්‍රකාෂ කරන ලද ප්‍රදේශවලට පැමිණීමෙන් ඔවුන් තුල එකි නායකයින් පිළිඹදව එතරම් විශ්වාෂයක් ගොඩනැගී නොතිබූ බව දෘශ්‍යමාන වන බව පැවසූ අම්සා මහතා තමන් විසින් මෙම වර්ෂය මුලදී මෙම වාර්ථාමය වැඩසටහන නැරඹීමෙන් අනතුරුව ඒ පිළිඹදව යුරෝපීය පාර්ලිමේන්තුවේ කරන ලද පැහැදිලි කිරීමට අනුව ඊයේ දිනයේදී එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමට බ්‍රසල්හි යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණ මෙම වාර්ථාමය චිත්‍රපටය ප්‍රදර්ශණය කිරිමට අවස්ථාව සැලසුන බවද මෙහිදි පවසා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අපගේ අවංක අදහස් පැවසීමට කිසිවිටෙකත් පැකිලිය යුතු නැති බව පැවසූ යුරෝපිය පාර්ලිමේන්තු සාමාජික වෑන් ඕර්ඩන් මහතා එසේ වුවද නිවැරදි දැක්මකින් තොරව සමහරුන් විසින් අසමතුලිත හා අසාධාරන නිරික්ෂණයන් කරනු ලබන බව පැවසූ අතර මෙම යුද්ධයේදී ශී ලංකා රජයේ හමුදාවලට වඩා වැඩි ද්‍රවිඩ වැසියන් ප්‍රමාණයකට එල් ටී ටී ඊ සංවිධානයෙන්ම විශාල විනාශයක් හා අසාධාරණයක් සිදුවි ඇති බව ප්‍රත්‍යක්ෂ වන බවද පවසා සිටියේය. ලොව පවත්නා ඕනෑම යුද්ධයක් බිහිසුනු බව පවසා සිටි ඒ මහතා එකි කාලයේදී එල් ටී ටී ඊ ය විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග තුලින් මෙම බිහිසුණු බව තවදුරටත් වැඩිවුන බවද මෙහිදි වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම චිත්‍රපටය වාර්ථා කරන ලද බ්‍රිතාන්‍ය ජාතික රිචඩ් මුන්ඩි මහතාද මෙම අවස්ථාවේදි සිය අදහස් දක්වමින් අවුරුදු 11 ක් තිස්සේ තමා ශ්‍රි ලංකාවේ ජිවත්වුන බවත් එකි කාලය තුලදී තමා මෙහිදී ලැබූ අත්දැකීම් තමාට මෙම චිත්‍රපටය සඳහා දායකවිමට හේතු සාධක වු බව පවසා සිටියේය. රටේ සිටින කාලය අතරතුරදි තමා රටේ සෑම ස්ථානයකම සංචාරයේ යෙදුන බවත් එහිදී සෑම ආකාරයකම පුද්ගලයින් මුණ ගැසුන බව පැවසූ ඒ මහතා ජයවඩනි නැමති තරුණියගේ ජීවන කතාවේදී ඇයට මුහුණදීමට සිදුවූ දේවල් හා අනතුරුව ඒ සෑම දෙයක්ම විද දරාගනිමින් නැවත සිය ජිවිතය ගොඩනගා ගැනීම සඳහා ඉමහත් ධෛර්ය්‍යකින් කටයුතු කරතිබූ බව අවධාරණය කල අතර ජාති කුල ආගම් භේද නොතකා රටේ ජිවත්වන අනෙකුත් අය සමග එකට එක්ව සිය ජීවිතය ඉදිරියටම ගෙන යාම සඳහා අද ඇය විසින් දරුනු ලබන අවංක උත්සාහය විසින් තමා මෙම කටයුත්ත සඳහා පොළඹවනු ලැබූ බවද ඔහු මෙහිදී ප්‍රකාෂ කර සිටියේය. එසේම බිතාන්‍ය ජාතිකයකු වශයෙන් බ්‍රිතාන්‍ය අගමැතිතුමා ශ්‍රී ලංකාවට ඇගිල්ල දිගුකරන ලද අවස්ථාවේදී ඒ කරුණු පිළිඹදව නිවැරදි තතු දත් තමා මහත් අපහසුතාවයකට පත්වූ බව නොපැකිලුව පැවසූ බිතාන්‍ය ජාතික රිචඩ් මහතා යමකුට ශ්‍රී ලංකාව පිලිඹදව විවේචනයක් කිරීමට අවශ්‍යනම් පලමුව මෙරටට පැමිණ මෙහි නිවැරදි හා සත්‍ය තොරතුරු දැනගෙන එය කල යුතු බවද වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම වාර්ථාමය චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ජීවන් චන්දිමාල් මහතා මෙහිදී ප්‍රකාෂ කර සිටියේ මෙය හුදෙක්ම ජයවඩනිගේ ජිවිත කතාව අලළා නිෂ්පාදනය වුවක් වුවද එය ඇය මෙන් එම අවස්ථාවට මුහුණ දුන් ද්‍රවිඩ තරුණ තරුණියන් විශාල ගණනකගේ ජීවිත කතාව වන බවත් මේ අවස්ථාවේදී නැවත සිය ජීවිත ගොඩනගා ගැනීමට වෙර දරණ ඔවුන් සියළුදෙනා වෙනුවෙන්ම නිෂ්පාදනය කිරීම සඳහා තමා පෙළඹුන බවත්ය.

චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව එය නැරඹූ පිරිස සමග මෙම චිත්‍රපටය නිෂ්පාදනය කල පිරිස විසින් සාකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සඳහා මෙය නැරඹූ පිරිසෙන් යුරෝපීය පාර්ලිමේන්තු සාමාජිකයින් ඇතුළු විශේෂ නියෝජිතයින් කණ්ඩායමක් සහභාගී වූහ. මෙහිදී එම නියෝජිත පිරිස විසින් දැනට ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ පාර්ශ්වයන් විසින් කරනු ලබන විවිධ චෝදනාවලට හොද පිළිතුරක් සැපයීම සඳහා මෙම වාර්ථාමය වැඩසටහන හැකිතාක් දුරට අනෙකුත් රටවලද ප්‍රදර්ශණය කල යුතු බව ඔවුන් විසින් අවධාරනය කරන ලදී.

[youtube=http://www.youtube.com/watch?v=ngNeF5WY64s&w=420&h=315]