උඩුගං බලා පිහිනූ සෝම හිමියන්

Spread the News

උඩුගං බලා පිහිනූ සෝම හිමියන්

source:“බුදු සසුන අනතුරේ. මේ කැලෑ ගතව භාවනා කරන කාලයක් නොවේ. මිළිඳු රජු සමග විවාදයට ගොස් බුදු සසුන රැක ගැනීමයි අද යුගයේ මහණකම“. බටහිරෙන් (ග්‍රීසියෙන්) පැමිණි මිලින්ද (මිණැන්ඩර්) රජුගේ තර්ක හේතුවෙන් ඇති වුණු තර්ජනයෙන් බුදු සසුන රැක ගැනීමට කැලෑ ගතව මහණ දම් පිරීම අත්හැර එන මෙන් බෞද්ධයින් භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටි පුවත වාර්තා වෙන්නේ නාගසේන වස්තුව නමින් ප්‍රකට සද්ධර්මරත්නාවලියේ එන කතා පුවතිනි.1990 දශකය උදාවෙන විට ලංකාවේ බුදු සසුන දැවැන්ත තර්ජන තුනකට මුහුණ පා තිබිණි. ඒ උතුරේ කොටි ත්‍රස්තවාදය, දකුණේ දේව වන්දනාව සහ බෞද්ධ විරෝධි දේශපාලනයයි. කොටි ත්‍රස්තයෝ ශ්‍රී මහ බෝධිය ලේ විලක් කළහ; දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පිපුරූහ; අරන්තලාවේ දී භික්ෂුන් වහන්සේලා සමූහ වශයෙන් ඝාතනය කළහ. එය සිංහල නිජබිම දෙපළු කර දෙමළ ඊළම නමින් දෙමළ ව්‍යාජ නිජබිමක් සෑදීමේ වෑයමකි.

බොහෝ නායක භික්ෂුන් වහන්සේලා මෙම අරගලය දුටුවේ සිංහල – දෙමළ ගැටුමක් ළෙසය. සිංහලයින්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදයක් ළෙසත් එය බෞද්ධ භික්ෂූන්ට අකැප ‍ළෙසත් සමහරෙක් සිතූහ. එබැවින් ජාතිවාදී ලේබලය ඇලවේ යන බියෙන් කොටින්ට එරෙහිව හඬ නැගීමට බොහෝ භික්ෂූහු මැලි වූහ. අවම වශයෙන් ත්‍රස්තවාදයෙන් විනාශ වන මිනිස් ජීවිත පිළිබඳව වත් හඬක් නොනගා උන් වහන්සේලා නිහඬ වූහ.

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ සිංහල ජාතිය සහ බුදු දහම අතර සම්බන්ධය දුටුවේ ගසක කඳ සහ පොත්ත අතර ඇති සම්බන්ධය ළෙසයි. වසර 2,300ක් අඛණ්ඩව බුදු දහම ඇදහීමෙන් ආගමක් දිගුම කළක් අඛණ්ඩව ඇදහූ ජාතිය බවට සිංහලයින් පත් වී තිබිණි. එබැවින් සිංහලයින්ගේ විනාශය බුදු දහමේ ද විනාශය විය. දුටුගැමුණු රජ සමයේ සොළී අක්‍රමණිකයාට එරෙහිව කළ සටනේ සිට ඉංග්‍රීසින්ට එරෙහිව කළ නිදහස් අරගලයන් දක්වා වූ සිංහලයින් සුරකින සෑම සටනකම භික්ෂුන් වහන්සේ පෙරමුණ ගත්තේ එබැවිනි. මෙම ඓතිහාසික කාර්යභාරය මැනවින් තේරුම් ගත් සෝම හිමියෝ සිංහල ජාතිය රැක ගැනීම වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටියහ.

කොටි ත්‍රස්තවාදය පෝෂණය කරන සටන් විරාම මෙන්ම දේශපාලන විසඳුම් ද සෝම හිමියෝ අභීතව විවෘතව ප්‍රතික්ෂේප කළහ. දෙමළ බෙදුම්වාදයට මෙන්ම මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැගී සිටීමට ද උන් වහන්සේ අමතක නොකළහ. මුස්ලිම් නායකයෙකුගේ ආශිර්වාදයෙන් දීඝවාපී පුදබිම ඩෝසර් කරන ලද අවස්ථාවේ දීඝවාපි පුදබිම රැක ගැනීමේ සටනට නායකත්වය දුන්නේ සෝම හිමියන්ය.

උන් වහන්සේගේ දෙවන සුවිශේෂී ගුණය වන්නේ දේවවාදයෙන් බුදු දහම බේරා ගැනීමට සටන් කිරීමයි. මහනුවර යුගයේ දී හින්දු දෙවිවරු පන්සලේ පදිංචිවීම හේතුවෙන් තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ දේව පිහිට පැතීම ඇරඹූහ. ක්‍රමයෙන් තෙරුවන් අමතකව සිය ගැටළු විසඳා ගැනීමට දේව සරණ පැතීම බොදු සංස්කෘතියේම කොටසක් විය. පන්සල තුල දේවාල ඇරඹීමෙන් නොනැවතුණු සමහර භික්ෂුන් වහන්සේලා දේව කන්නලව් කරමින් කපුවාගේ කාර්රයට ද අත ගැසූහ.

1990 දශකයේ දී ක්‍රිස්තියානි මූලධර්මවාදයේ ව්‍යාප්තිය ඇරඹෙන විට තිස්තුන් කෝටියක් දෙවියන් අදහමින් බහුදේවවාදයට ගොදුරු වී සිටි බෞද්ධ ජනතාව මෙම මූලධර්මවාදයට කදිම ගොදුරුක් විය. මූලධර්මවාදිහූ විවිධ ප්‍රදේශයන්ට විවිධ කාර්රයන්ට අධිපති දේව සමූහයක් වෙනුවට සර්වබලධාරී එක් දෙවියෙකු හඳුන්වා දෙති. එය දෙවියන් අදහන අයට පහසුවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදින්ට බෞද්ධයින් ගොදුරු වන්නේ තෑගි බෙදීම් ලෙඩ සුව කිරීමේ පොරොන්දු වැනි හේතුන් මත වුවත් එයට ඇවැසි ළෙස මනස සකසා ගන්නේ දේව සමූහයක් වෙනුවට එක් දෙවියෙකු ලැබීමෙනි. එබැවින් බෞද්ධයින් සදාචාර විරෝධි ක්‍රිස්තියානිකරණයට ගොදුරු වීමට මං විවර කර ගන්නේ පන්සලේ වැඩ සිටින දෙවියන් හේතුවෙනි. බෞද්ධයින් සහ හින්දුන් ක්‍රිස්තියානිකරණයට ලක් වුවත් කෙතරම් දිළිඳු වුවත් ඉස්ලාම් බැතිමතුන් එසේ ගොදුරු නොවන්නේ ඔවුන් ඒක දේවවාදයක සිටින බැවිනි.

බෞද්ධයින් ක්‍රිස්තියානිකරණය පිළිබඳ බොහෝ දෙනෙකු කතා කළත් එයට මූලික වී ඇති හේතුව හඳුනාගෙන එයට විසඳුම ඉදිරිපත් කලේ සෝම හිමියන්ය. ඒ අනුව දෙවියන් ඇදහීම අත්හැර යළි තෙරුවන් සරණ යා යුත්තේ ඇයිදැයි උන් වහන්සේ සිය බණ දේශනා මගින් පැහැදිලි කළහ. තාර්කික මනසකින් හෙබි තරුණ පරපුර උන් වහන්සේගේ පිවිතුරු බුදු බණ අසා බුදු සසුනේ ඇලුනහ. උන් වහන්සේගේ දහම් දෙසීම් අවසානයේ තමන් බණ දෙසන පන්සලේ ඇති දේව පිලිම ඉවත් කරන මෙන් බණ අසන පිරිසට උපදෙස් දීමට තරම් උන් වහන්සේ එඩිතර වූහ. මේ සමගම ක්‍රිස්තියානිකරණය අඩපණ වීමෙන් ද තරුණ පරපුර බුදු දහමට සමීප වීමෙන් ද නැවුම් පිබිදීමක් මතු විය. මෙම ක්‍රියාවලියට සමගාමීව අහිංසක ජනතාවගේ බිය දුරු කිරීමට මෙන්ම ආශාවන් ඉටුකර ගැනීමට කන්නලව් හරහා දෙවියන්ගේ සහය ලබා දෙන බව පොරොන්දු වෙමින් මුදල් ඉපැයූ ජාවාරම්කරුවන් ඇද වැටිණි. ක්‍රිස්තියානිකරණයේ ඉලක්ක වැරදිණි. කොටි ත්‍රස්තවාදයේ දකුණු බලකායන්ට බොදු සමාජයෙන් බාධා ඇති විණි. අවසානයේ දී සෝම හිමියන්ට සතුරන් ද රංචු පිටින් බිහි විණි.

මාධ්‍ය භාවිතය සෝම හිමියන්ගේ තවත් අපූර්වත්වයකි. අතීතයේ දී භික්ෂුන් වහන්සේ බණ දේශනා කලේ බණ මඩුවට රැස්වන පිරිසට පමණි. ඊට වැඩි පිරිසකට තම හඬ ගෙන යෑමට භික්ෂුන් වහන්සේලාට හැකියාවක් නොතිබුණි. නමුත් පසුගිය සියවසේ ශබ්ද විකාශන යන්ත්‍ර පැමිණීමෙන් පසු පන්සලට පැමිණෙන පිරිසට පමණක් නොව දැවැන්ත පිට්ටනි වලට දහස් ගණනින් ජනතාව රැස් කර යකඩ කටින් බණ දෙසනා ජනප්‍රිය හිමිවරු බිහි වූහ. ඉන්පසු ගුවන්විදුලි යන්ත්‍රය පැමිණීමෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට එකවර බණ දෙසීමෙන් “රේඩියෝ බණ හිමිවරු“ ළෙසින් තවත් ජනප්‍රිය භික්ෂුන් වහන්සේලා පිරිසක් බිහි වූහ. මී ළඟට බිහි වුණේ හඬ පට හෙවත් කැසට් පටිය. ආරම්භයේ දී වේග රිද්ම සිංදු ජනතාව අතරට ගෙන යන මාධ්‍යයක් ළෙස බිහි වුවත් පසුව එය “කැසට් බණ“ මාධ්‍යය ළෙස ජනප්‍රිය විය.

සෝම හිමියන් සමාජය ඇමතීමට නැවුම් මාධ්‍යයක් තෝරා ගත්තේය. ඒ එතෙක් විනෝදයට සහ ප්‍රවෘත්ති සැපයීමට පමණක් සීමා වී තිබුණු රූපවාහිනියයි. ස්වාධීන රූපවාහිනි සේවයේ “අඳුරෙන් එළියට“ නමින් විකාශනය වුණු උන්වහන්සේගේ වැඩසටහන රූපවාහිනි මාධ්‍යයේ විප්ලවයක් විය. එම වැඩසටහන විකාශනය වනවිට ඇඳිරි නීතිය පැනවූ අයුරින් මාවත් පාළු විය. ජාති ආගම් භේදයකින් තොරව කවුරුත් රූපවාහිනිය වටා රොක් වූහ. උන් වහන්සේ ජාතියේ මග පෙන්වන්නා බවට පත් වූයේ නිරායාසයෙනි.

මෙම යුගයේ භික්ෂුන් වහන්සේගේ සම්ප්‍රදායික බලය ද දිය වෙමින් පැවතිණි. සම්ප්‍රදායානුකූලව දේශපාලකයෝ මහ නායක හිමිවරු බැහැ දැකීමට ගියහ. දේශය රැක ගැනීමටත් යහ මගට ගැනීමටත් කළ යුතු දේ උන් වහන්සේලා දේශනා කළහ. දේශපාලකයෝ ද “එහෙමයි අපේ හාමුදුරුවනේ“ කියමින් අනුශාසනාවන් අනුමත කළත් ඉන් පසු එම උපදෙස් අමතක කළහ. එයට හේතුවක් ද තිබිණි. මෙරට බෞද්ධයින් 70%ක් සිටියත් ඔවුන් සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලට බෙදීය. කහ චීවරයට වඩා ඔවුන් ඇදහූවේ නිල් – රතු – කොල පක්ෂයි. මෙරට බෞද්ධ දේශපාලන බලවේගයක් නොතිබුණු බැවින් භික්ෂුන් වහන්සේගේ අනුශාසනාවන් පිලිපැදීමේ දේශපාලන වැදගත්කමක් කවුරුත් නොදැක්හ.

බෞද්ධ බලවේගයක් නොතිබුණෙන් සුළු ජනවර්ග දේශපාලන පක්ෂ වශයෙන් සංවිධානය වී රජුන් තනන්නන් වශයෙන් වැජඹුණහ. බල්ලා විසින් වලිගය වනනු වෙනුවට වලිගය විසින් බල්ලා වනන තත්වයක් ඇති වී තිබිණි. එබැවින් සිංහල ජාතියේත් බුදු සසුනේත් චිරස්තිය සඳහා බෞද්ධ දේශපාලන බලවේගයක අවශ්‍යතාව තදින්ම මතු වී තිබිණි. මේ පිළිබඳ කදිම අවබෝධයක් සෝම හිමි සතු විය. 2003 ඔක්තෝම්බර් මස බෞද්ධ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අටියෙන් සිහළ උරුමය කොළඹ නව නගර ශාලාවේ පැවැත්වූ රැස්වීමට සෝම හිමියන් ද එක් වූයේ එබැවිනි. එමෙන්ම මී ළඟ ජනපතිවරණයට බෞද්ධයින් නියෝජනය කරමින් තමන් ද ඉදිරිපත් වන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ අනපේක්ෂිත ළෙස දැයෙන් සමු ගත්තත් උන් වහන්සේගේ අවසන් හුස්ම බෞද්ධ විරෝධි බලවේගයන්ගේ විනාශයට හේතු වන සැඩ කුණාටුවක් බවට පත් කරන්නට අපට හැකි විය. ජාතික හෙළ උරුමය හරහා බෞද්ධ බලය දේශපාලන බලයක් විය. රජුන් තනන බලය බෞද්ධයින්ට හිමි විය. සෝම හිමි පැතූ අයුරින්ම දේශපාලකයින් බුදු සසුන පිළිබඳ උනන්දුවීම ඇරඹිණි.

සෝම හිමි පැතූ දේශය බිහි කිරීමට අප බොහෝ දුරක් පැමිණ ඇත. නමුත් පැමිණි දුරට වඩා යා යුතු ගමන දුරය. උන්වහන්සේ පැතූ ධර්ම රාජ්‍යය බිහිවන තුරු නොනැවති ඉදිරියට යෑම උන්වහන්සේට කළ හැකි ඉහළම උපහාරය වනු ඇත.