Spread the News

යුද අපරාධ චෝදනා නගන්නේ රට දෙකඩ කිරීමටයි
– අරුන් තම්බිමුත්තු චෝදනා කරයි

source:

* කොටි කළ යුද අපරාධවලට
ද්‍රවිඩ සන්ධානයත් කෙළින්ම සම්බන්ධයි


අරුන් තම්බිමුත්තු මඩකලපුව ශ්‍රී ල.නි.ප. සංවිධායකවරයායි. ඔහුගේ පියා වූ හිටපු මඩකලපු මන්ත්‍රී සෑම් තම්බිමුත්තු හා මව ද කොළඹදී කොටි ත්‍රස්‌තවාදීහු ඝාතනය කරනු ලැබීය. අනතුරුව අරුන්ව ද පැහැරගෙන යනු ලැබීමෙන් පසුව බ්‍රිතාන්‍ය රජයේ බලපෑම් මැද ප්‍රභාකරන්ට ඔහුව නිදහස්‌ කිරීමට සිදුවිය. අරුන් අද හෙළිදරව් කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වී ඇති යුද අපරාධ චෝදනාවල සැබෑ පසුබිමයි.

ප්‍රශ්නය – ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්‌වී ද්‍රවිඩ සන්ධානය ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නගනවා. එහි සැබෑ යථාර්ථය කුමක්‌ද?

පිළිතුර – ඇත්ත තත්ත්වය නම් ද්‍රවිඩ සන්ධානය මේ උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමයි. ඔවුන්ට ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ අවශ්‍යතාවක්‌ නැහැ.

ප්‍රශ්නය – උතුරේ විශාල පිරිසක්‌ අතුරුදන් වී ඇති බව ද්‍රවිඩ සන්ධානය චෝදනා කරනවා.

පිළිතුර – ද්‍රවිඩ සන්ධානයේ උපක්‍රමය හඳුනාගත යුතුයි. උතුරේ ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වී සිටින වැඩි දෙනා විදේශ රටවල පුරවැසියෝ. මේ සැබෑ තත්ත්වය ද්‍රවිඩ සන්ධානය වසන් කරනවා.

ප්‍රශ්නය – ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇති ක්‍රමවේදය කුමක්‌ද?

පිළිතුර – ඔවුන්ට යුද අපරාධ චෝදනා ජාත්‍යන්තරකරණය කිරීමට අවශ්‍ය වී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ මෙරට ක්‍රියාත්මක කිරීමට දැඩි ලෙස බලපෑම් කරනවා. යුද අපරාධ චෝදනා ගැන නගන චෝදනා පහක්‌ පමණයි ඇත්තේ. කොටි රූපවාහිනි නිවේදිකා ඉසිප්‍රියා, කොටි හමුදා නායක රමේශ් සහ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් මරා දැමූ බවට චෝදනා එල්ල කරනවා. එහෙත් මේ අය සාමාන්‍ය පිරිසක්‌ නොවෙයි, කොටි ත්‍රස්‌තවාදීන්. ඒ වගේම ලක්‍ෂ ගණනක්‌ අතුරුදන් වූ බවට චෝදනා එල්ල කරන්නේත් ද්‍රවිඩ සන්ධානයයි. චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ 75000 ක්‌ ද්‍රවිඩයන් මියගිය බව කියනවා. හිටපු බී.බී.සී. වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන් එය 140000 කට වැඩි කළා. කොටි ඩයස්‌පෝරාව ලක්‍ෂ තුනක්‌ මියගිය බව පවසනවා. මේ සංඛ්‍යාලේඛන කෙරේ විශ්වාස කළ හැකිද?

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ද්‍රවිඩ සන්ධානය කොටි සංවිධානය සමග එක්‌ව ක්‍රියා කළා නේද?

පිළිතුර – ඔව්· ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ යුද අපරාධවලට සම්බන්ධයි. ඉන්දීය හමුදා මෙරටට පැමිණි සමයේ ළමුන්ව බලහත්කාරයෙන් ද්‍රවිඩ පුරවැසි බළකායට බඳවා ගනු ලැබුවේ මොවුන් දෙදෙනායි. ඒ නිසා මේ ද්‍රවිඩ දේශපාලකයන් දෙදෙනාට චෝදනා ගොනු කළ යුතුයි.

ප්‍රශ්නය – ද්‍රවිඩ සන්ධානය ද්‍රවිඩයන් අතුරුදන් වූ බවට නගන චෝදනාවේ අරමුණ කුමක්‌ද?

පිළිතුර – ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය වී ඇත්තේ උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි කරලීමයි. ඔවුන් සහජීවනය ගැන තැකීමක්‌ නැහැ.

ප්‍රශ්නය – උතුරේ ආණ්‌ඩුකාර චන්ද්‍රසිරිව ඉවත් කළ යුතු යෑයි ද්‍රවිඩ සන්ධානය පවසනවා. ඔවුන් එම ඉල්ලීම කරන්නේ මන්ද?

පිළිතුර – ඒ බෙදුම්වාදී පිළිවෙත සාර්ථක කර ගැනීමයි. උතුරට හිටපු හමුදා නිලධාරියකු එපා යෑයි පවසන ද්‍රවිඩ සන්ධානය පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපති සරත් ෙµdන්සේකාට සහාය දැක්‌වූවා. ඉන් ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත හෙළි වනවා.

ප්‍රශ්නය – ඔබ මෑතකදී මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ රැන්කින් සමග සාකච්ඡා කළ බවට වාර්තා වුණා.

පිළිතුර – ඔව්· ශ්‍රී ලංකාව තුළ බෞද්ධ මූලධර්මවාදය ක්‍රියාත්මක වන බව රැන්කින් කියා සිටියා. එහෙත් මා ඔහුට පෙන්නුම් කළා ඉතාමත් බරපතළ ලෙසින් ජිහාඩ් ඉස්‌ලාමීය මූලධර්මවාදය ක්‍රියාත්මක වන බව එය ශ්‍රී ලංකාවට අනතුරුදායක තත්ත්වයක්‌ යෑයි මා පෙන්නුම් කළා.

ප්‍රශ්නය – ද්‍රවිඩ සන්ධානය නටන මේ නාඩගම කුමක්‌ද?

පිළිතුර – ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය වෙන කිසිම දෙයක්‌ නොවෙයි රට බෙදා වෙනම රටක්‌ බිහි කිරීමයි. ඔවුන් මේ ගෙනියන්නේ ප්‍රොaඩාවක්‌, ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ගේ කටයුතු තුළ බෙදුම්වාදී වෙස්‌ මුහුණු තිබෙනවා.

ප්‍රශ්නය – ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරනවා. ඊට මුහුණදිය හැක්‌කේ කෙසේද?

පිළිතුර – අපි ද්‍රවිඩ සන්ධානයේ සැබෑ අරමුණු හෙළිදරව් කළ යුතුයි. ඔවුන් කොටි ත්‍රස්‌තවාදය ජාත්‍යන්තරකරණය කළා. දැන් යුද අපරාධ ජාත්‍යන්තරකරණය කිරීමෙන් රට දෙකඩ කිරීමට උත්සාහ කරනවා. යුද්ධය අවසන් වූයේ 2009 වසරේයි. එහෙත් සාක්‌කිකරුවන් මතු වන්නේ 2014 දීයි. මේ සාක්‌කිකරුවන් සිටින්නේත් විදෙස්‌ රටවලයි.

ප්‍රශ්නය – යුද අපරාධ ගැන චෝදනා එල්ල කරන ද්‍රවිඩ සන්ධානය කොටි රූකඩය නිසා ඔවුන්ටත් එවන් චෝදනා එල්ල විය යුතු නොවේද?

පිළිතුර – ඔව්· ද්‍රවිඩ සන්ධානය ක්‍රියා කළේ කොටි කියන විදිහටයි. ඒ නිසා ඔවුන් ද යුද අපරාධවලට සම්බන්ධයි.

ප්‍රශ්නය – උතුරට 13 වැනි සංශෝධනය දිය යුතු යෑයි ඉන්දියාව කියනවා. එය මෙතෙක්‌ ලබාදීමට රජය ක්‍රියා කර නැති බවට චෝදනා නැගෙනවා.

පිළිතුර – ද්‍රවිඩ සන්ධානයට ඔය කියන 13 අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ඉලක්‌කය ඊළාම් රාජ්‍යයක්‌. මොවුන් ගෙන යන ප්‍රොaඩාව අපි තේරුම් ගත යුතුයි.

ප්‍රශ්නය – උතුරු මහ ඇමැති විග්නේශ්වරන් මෙරට ඉතිහාසය වෙනස්‌ කළ යුතු යෑයි පවසනවා. ඔහුගේ අරමුණ කුමක්‌ද?

පිළිතුර – විග්නේශ්වරන් ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානයේ අරමුණ බෙදුම්වාදයට පාර කැපීමයි. මෙරට ඉතිහාසය නැවත ලිවිය යුතු යෑයි ඔහු කියන්නේ එකයි. ඉතිහාසය සංශෝධනය කළ යුතු යෑයි කියන විග්නේශ්වරන් ඊළඟට කොටි සංවිධානය අහිංසක සංවිධානයක්‌. ඔවුන් අපරාධ සිදු කළේ නැහැ යෑයි කියා කොටි ඉතිහාසය නැවත සංශෝධනය කළ යුතු යෑයි ඉල්ලා සිටියි. මගේ පියාවයි, අම්මවයි කොටි අමු අමුවේ මරණ කොට විග්නේශ්වරන්ලා කොහේද සිටියේ? ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය නම් ප්‍රශ්නවලට විසඳුම්, ඉතිහාසය වෙනස්‌ කරන්න යෑයි ඔවුන් ඉල්ලන්නේ නැත.

ද්‍රවිඩ ජනතාව මෙරට බෞද්ධ රාජ්‍යයන් ගැන කතා කරලත් නැත. මේ නැති ප්‍රශ්න ඇති කරන්නේ කුරුඳුවත්තේ ඉඳලා එකපාරටම උතුරු මහ ඇමැති වූ තැනැත්තායි.

ප්‍රශ්නය – ද්‍රවිඩ ප්‍රශ්න වෙනුවට අනවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ සන්ධානය ක්‍රියා කරන්නේ මන්ද?

පිළිතුර – ඒක තමයි ඔවුන්ගේ ඉලක්‌කය. ඒ රට දෙකඩ කර ඊළම පිහිටුවා ගැනීමයි. රටවල් රැසකට යන්නේත් ඔය කියන ඉලක්‌කය සපුරා ගැනීමටයි.

කීර්ති වර්ණකුලසූරිය