Spread the News
නිදහස්‌ කෞතුකාගාරයක
ස්‌ථාන ගත කළයුතු වීර කැප්පෙටිපොළ හිස්‌කබල

source:

අප මාතෘ භූමිය වසර 443 ක්‌ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතීන්ගේ යටත් විජිතයක්‌ව පැවැති වකවානුව තුළ නිදහස උදාකර ලීමට වෙරදුන් දේශප්‍රේමීන් රැසක්‌ සිටිති. ඒ අතුරින් මොනරවිල කැප්පෙටිපොළ නිළමේ ජනතාව ඉදිරියේ ජාතික වීරයකු බවට පත්විය. එපමණක්‌ම නොව හෘද සාක්‍ෂියට අනුව මරණය ඉදිරියේ නොසැලී සැදැහැවත් බෞද්ධයකු ලෙසට උපේක්‍ෂාවෙන් යුතුව ශාන්තව හේ මරණය පිළි ගත්තේය. එලෙස මොනරවිල කැප්පෙටිපොළ ජාතික වීරයකු ලෙසට පත් වූයේ අදින් වසර 196 කට පෙරාතුවය. එනම් 1818 නොවැම්බර් 26 වන දින කන්ද උඩරට බෝගම්බර වදකාගාරයේදී වදකයා ඉදිරියේ තම බෙල්ල දංගෙඩිය මත තබා මාරයාට අභියෝග කළ දාය. මේ විරුවා එක්‌ වරක්‌ මරු පරදවා, දෙවනුව අභීත ලෙස මරණයට පත්විය. එක පහරින් බෙල්ල ගසා දැමීමට නොහැකි වු කල්හි උණු ලේ ධාරාවක්‌ පපු පෙදෙසින් ගලා යද්දී මෙම වීරයා වදකයා දෙසට තම දෙනෙත් හෙළා ” බල බෙල්ලේ මෙතැනට ගසවයි” කියා තම දඹරැඟිල්ල දිගු කොට කඩු පහර එල්ල කළ යුතු නියම ස්‌ථානය පෙන්වීය. එසේ මරණයට පත් වූයේද මෙවැනි ප්‍රකාශයක්‌ කරමිනි.

“අන්‍ය ජාතියකට යටත්ව, නිවටව නියාලුව ජීවත්වීමට වඩා ජාතික නිදහස උදෙසා ඔවුන් සමග යුද වැද අන්තිමේදී නොවහල් මිනිසෙකු කඩුවට ගෙලදී ජාතිය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන්නට ලැබීම මට මහත් සතුටකි.” යන්නය.

එසේ මරණයට පත් වීමට හේතු සාධක වූයේ 1815 මාර්තු 02 වන දින උඩරට ගිවිසුම (ඉංගී්‍රසි – සිංහල) අත්සන් කිරීම නිසා ඇති වූ තත්ත්වයන්හි බලපෑ කරුණුය. සිංහල රදළවරු එම ගිවිසුමට අත්සන් කළේ ඉංග්‍රීසින්ට රට පාවා දෙන්නට නොව සිංහල ජාතියත්, බුද්ධ ශාසනයත් ද්‍රවිඩ ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීමටය. මෙහිදී කැප්පෙටිපොළ නිළමේතුමා උඩරට ගිවිසුමට අත්සන් තබා ඇත්තේ සිංහල භාෂාවෙනි. ඉංග්‍රීසින් විසින් ගිවිසුමට පටහැනිව ක්‍රියා කිරීම නිසා වෙල්ලස්‌සේ වැසියෝ රජයට විරුද්ධව නැගී සිටියහ. භික්‌ෂූන් වහන්සේලාගේ අනුශාසනා මත දොරේසාමි නම් ව්‍යාජ නමකින් පෙනී සිටි අයෙකු රජතුමා වශයෙන් ඔවුහු සම්මත කර ගත්හ.

මෙම පුවතින් තැතිගත් ඌව උප දිසාපති ලෙස සේවය කළ විල්සන් 1817 සැප්තැම්බර් 10 වන දින හ-ජි මුහන්දිරම් ඇතුළු භට කණ්‌ඩායමක්‌ වෙල්ලස්‌ස බලා පිටත් කර යෑවීය. කැරළි කරුවන් විසින් ඔවුන් මරා දැමීම නිසා විල්සන් සේනාවක්‌ රැගෙන වෙල්ලස්‌ස බලා පිටත්ව ගියේය. කැරැළිකරුවන්ගේ ඊ පහරකින් ඔහු මරු මුවට පත් විය. මෙයින් ප්‍රකෝපයට පත් කන්ද උඩරට භාරව සිටි මැක්‌ඩොනල්ඩ් ඌව වැසියන්ගේ ගොවිතැන් විනාශ කරන්නටත් ගම්මාන ගිනි තබන්නටත් නියෝග කළේය. එහෙත් මැක්‌ඩොනල්ඩ්ගේ නියෝගවලින් වැඩක්‌ නොවූ අතර කැප්පෙටිපොළ ඌවේ දිසාපති ලෙස පත්කොට ආයුධ සන්නද්ධව වෙල්ලස්‌ස බලා පිටත් කර යෑවීය.

නොසිතූ දෙයක්‌ම සිදුවේය යන්න සනාථ කිරීමට මෙන් ඉංගී්‍රසි ජාතින්ගේ ම්ලේච්ඡ ක්‍රියා ගැන කළකිරුණු කැප්පෙටිපොළ දිසාව සිංහලයින්ගේ පැත්ත ගත්තේය. එසේම දළදා වහන්සේ රහසිගත ලෙස මහනුවරින් පිටකර එය කැරැළිකරුවන්ට හිමි වීමෙන් පසු හඟුරන්කෙත රජ මාළිගා භූමියේදී පැවැත්වූ දළදා ප්‍රදර්ශනයේදී රැස්‌ව සිටි දහස්‌ සංඛ්‍යාත ජනතාව අමතා ජාතිවාත්සල්‍යය දනවන වේගවත් කතාවක්‌ කැප්පෙටිපොළ නිළමේ පැවැත් වු අතර විශාල ජනකායකගේ සහය ලැබී ඇත. මෙයින් සිංහලයින්ගේ නිදහස්‌ සටනට එතුමා ලබාදුන් අසහාය නායකත්වය මනාව පිළිබිඹු වේ. එතුමා සටනට එක්‌ වූ වහාම මුළු ඌව පෙදෙසම ඉංග්‍රීසින්ට විරුද්ධව එක හඬින් නැගී සිටියහ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1818 පෙබරවාරි 21 වන විට මුළු කන්ද උඩරට පුරාම “මාර්ෂල් ලෝ” MANSHAL LAW) නම් වූ යුද්ධ නීතිය පනවනු ලැබීය.

ජාතික අනුරාගයෙනුත් කිතිකැවුණ හදවතක්‌ ඇතිව සිටි කැප්පෙටිපොළ දිසාව රාජ ද්‍රෝහියකු බවට පත් වුයේ මේ ආකාරයෙනි.

ඉංග්‍රීසි රජයට විරුද්ධව කැරැළි ගැසීමත්, කැරැළිගැසීමට පෙළඹ වීමත් නිසා කැප්පෙටිපොළ සිර භාරයට ගැනීමට රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා විසින් 1818 මාර්තු 13 වන දින රාජාඥාවක්‌ නිකුත් කරන ලදී.

ඒ අනුව 1818 ඔක්‌තෝම්බර 25 වෙනිදා අළුයම 4.00 ට පමණ ලෙප්ටිනන්ට්‌ ඕනිල් විසින් මෙහෙයවන ලද 30 දෙනෙකුගෙන් යුත් ඉංග්‍රිසි භට කණ්‌ඩායමක්‌ පුලියම්කුලම් සිට නුවර කලාවියේ පරවනගම බලා පිටත්ව ගොස්‌ සිටි කැප්පෙටිපොළ නිළමේ අත්අඩංගුවට ගත්තේය. ඒ මුස්‌ලිම් ජාතිකයකුගේ ඔත්තුවක්‌ මතය. තෙදිනක්‌ ගත වෙද්දී අනිත් නායකයා වූ මඩුගල්ලේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලදී.

එයින් පසු ආරක්‍ෂක රැකවරණය මත 1818 නොවැම්බර් 04 වන දින මහනුවරට පිරිස ගෙන එනු ලැබීය. නිත්‍යානුකූලව පිහිටුවනු ලැබූ මහා රජාණන්ගේ ආණ්‌ඩුව පෙරළීමේ අදහසින් යුද්ධ ඇති කිරීමේ චෝදනාව උඩ කැප්පෙටිපොළ නිළමේ තුමන්ට එරෙහිව නොවැම්බර් 13 වෙනිදා යුද්ධාධිකරණයේ සභාපති ලෙස කටයුතු කළ ලෙෂටිනන්ට්‌ ආර්. කෙලී විසින් මරණීය දණ්‌ඩයට නියම කරනු ලැබීය. 1818 නොවැම්බර් 26 වන දින බෝගම්බර වැව සමීපයේ වදකාගාරයේදී හිස ගසා දැමීමටත් වැඩි දුරටත් එහිදී නියම කෙරිණි. කැප්පෙටිපොළ නිළමේ කඩුවට ගෙල පෑවේ ලෝක ඉතිහාසයේ සඳහන් වීර පුරුෂයන් කිහිප දෙනෙකු සිය අවසාන මොහොතේ දී පෑ විශ්මය ජනක ආත්ම ශක්‌තියක්‌ විදහා පාමිනි. ඒ නිසාම අසාමාන්‍ය ගුණ සමුදායකින් යුත් මේ ජනනායකයාගේ හිස්‌ කබල ජොන් මාර්ෂල් වෛද්‍යවරයා විසින් එංගලන්තයට ගෙන ගොස්‌ එඩින්බරෝහි කාපාලවස්‌තු පර්යේෂණාගාරයේ තැන්පත් කරන ලදී. එහිදී මේ හිස්‌කබල විද්‍යාඥයන්ගේ විශේෂ පර්යේෂණයකට භාජනය කරන ලදී. එහි පර්යේෂණ වාර්තාවේ මෙසේ සඳහන්ව ඇත.

“මේ හිස්‌ කබල වනාහි උස්‌ව නැගී ගිය හීන් මුදුන සහිත දික්‌ හිසක්‌ ඇති පුද්ගලයෙකු සතු වූවකි. පැත්තක සිට බලන කල ප්‍රකටව නෙරා ගිය කාපාල පාර්ශව සහිත මෙහි හැඩහුරු පඤ්ව කෝණාකාරවේ. මේ නෙරා ගිය පාර්ශයන්හි සිට හිස්‌ කබලේ පැති තද බෑවුම් සහිත බවක්‌ගනී. හිස්‌කබලින් පෙනෙන ගණ්‌ඩයේ වර්ධනය ගැන සලකන කල්හි බැසගත හැකි නිගමනය නම් සැලකිය යුතු තරම් දැඩි ශ්‍රීවයක්‌ තිබුණ බවයි.

පරිමාණුකූලව සලකන කල්හි උස්‌ව ඇස්‌ කෙවෙණි සහිත මුහුණ දිගටිය. හකු හඹ ඉදිරියට නෙරා ආ ලෙසක්‌ දක්‌වයි. නාසා ඇටවල් ආකාරය අනුව ජීවත්වන්නහුගේ නාසය කෙටිවද පැතැලිවද තිබුණ බව අනුමාන කළ හැකිය.

ලන්ඩන් නුවර සත්ත්ව විද්‍යා සංගමයේ හිල්තුමාගේ වාර්තාවක්‌ අනුව කාපාලයෙහි මුල මනුෂ්‍යාන්ත යයි සාමාන්‍යයෙන් සැලකිය හැකි ලක්‍ෂණ ඇත්තේය. බොහෝ වැඩි අවස්‌ථාවලදී මිනිස්‌ හිස්‌ කබලවලින් දැක්‌වෙන මුල මනුෂ්‍යන්ත ලක්‍ෂණ ස්‌ථීර නිගමනයක්‌ බැසගත නොහැකි වන හෙයින් “මුල මනුෂ්‍යාන්ත ලක්‍ෂණ ලොකු ප්‍රමාණයක්‌” උඩරට සිංහලයන් යෑයි මෙහිදී අවධාරණය කළ හැක්‌කේය. උඩරට සිංහලයන් අතර අසමාන්‍ය නොවන අංශයක්‌ වන වැදි ලේ සෑහෙන ප්‍රමාණයක්‌ හිස්‌කබල හිමියා සතුව පැවැතියේය. යන දොස්‌තර හිල්ගේ ප්‍රකාශය සඳහා හේතු සාධක කරගත් මේ කරුණ සමහරවිට යුක්‌ති සහගත විය හැකිය” යන්නය.

මේ ඓතිහාසික හිස්‌ කබල හිමි තැනැත්තා ලෝකයේ අතිශයින් විරල ” රණ ශූරයකු” බව හිල් වෛද්‍යවරයා මෙසේ අනාවරණය කරන ලද්දේය. මේ ඓතිහාසික හිස්‌ කබල ග්ලෝස්‌ටර් ආදිපාදවරයා විසින් 1948 දී ලංකාවට ආපසු බාර දෙන ලදුව 1954 නොවැම්බර් 26 වන දින මහනුවර මහා මළුවේ විශේෂ ස්‌මාරකයක තැන්පත් කරන ලද්දේය. කෑගල්ල 66 වැනි නිදහස්‌ උළෙල සැමරීමේදී අදිටන් කළ යුතු දෙයක්‌ ඇත. ඒ අදින් වසර 60 කට පෙරාතුව මහනුවර මහා මළුවේ ස්‌මාරකයක තැන්පත් කර ඇති ජාතික වීරවරයකුගේ එකම ජීවමාන වස්‌තුව මොනරවිල කැප්පෙටිපොළ හිස්‌ කබල වේ.

ශ්‍රී ලාංකික සියලු ජනතාව ජාතික දර්ශනයක්‌ පිළිබඳව යොමුව ඇති මොහොතක තම රට, ජාතිය ආගම හා නිදහස වෙනුවෙන් අභීතව සටන් කර දිවිපිදූ වීර කැප්පෙටිපොළ රණවිරුවාගේ හිස්‌ කබල විරාභිවාදනය දන්නා සිංහලයන් විසින් සිංහල වීර නාමාවලියේ අග්‍රගණ්‍ය ස්‌ථානයක තබා ප්‍රතාස්‌මරණය කළ යුතුව ඇත. ඒ සඳහා කළ යුතු වන්නේ මහනුවර මහ මළුවේ ස්‌මාරකයෙන් හිස්‌ කබල ඉවතට ගෙන සංරක්‍ෂණය කර කොළඹ නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරයේ තැන්පත් කර මහජනතාවට ප්‍රදර්ශනය සඳහා ඉඩ සැලසීමයි. එවිට එය ජාතික වීරවරයන්ගේ නියම නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරය බවට පත් වනු නියතය. එය කළ හැක්‌කේ රාජ්‍යත්වයේ විශේෂ නියෝගයක්‌ මත පමණි.