ජිනීවා ප්‍රශ්නයට ඡේ.ආර්. මුහුණදුන් හැටි

Spread the News

ජිනීවා ප්‍රශ්නයට ඡේ.ආර්. මුහුණදුන් හැටි
source:
වම් ඉවුර

ලබන මස ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ගැන රටේ සාකච්ඡා වන ආකාරය බැලූ විට බටහිර බලවතුන් විසින් ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ගැනීම රාජපක්‍ෂ ආණ්‌ඩුවට පමණක්‌ මුහුණ දීමට සිදුවී තිබෙන අකරතැබ්බයක්‌ යෑයි බොහෝ අය විශ්වාස කරන බව පෙනේ. නමුත් ජිනීවා නුවර ආශ්‍රිතව වාර්ෂිකව පැවැත්වෙන මේ නාඩගම කිසිසේත්ම අලුත් දෙයක්‌ නොවේ. 1980 ගණන්වල මේ රටේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය ආරම්භ වූ මුල් අවධියේ සිටම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව අභියෝග තිබුණි.

1983 ජුලි කලබලවල සිට 1989 පෙබරවාරි මස ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විශ්‍රාම යනතෙක්‌ සෑම වසරකම එනම් 1983, 1984, 1985, 1986, 1987 හා 1988 එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලංකාවට අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. එකල මානව හිමිකම් කවුන්සිලය හඳුන්වනු ලැබුවේ “මානව හිමිකම් කොමිසම” හැටියටය. මේ ප්‍රධාන මානව හිමිකම් කොමිසමට අමතරව එකල එයටම අනුබද්ධ “සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුවක්‌” ද විය. මෙකී අනු කමිටුවද වාර්ෂිකව රැස්‌වූ අතර ඔවුන්ද නොයෙක්‌ යෝජනා සම්මත කර ගත්තේය. එම නිසා ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවට සෑම වසරකම මානව හිමිකම් කොමිසම රැස්‌වන මාර්තු මාසයේත් සුළු ජාතීන් සුරැකීමේ කමිටුව රැස්‌වන අගෝස්‌තු මාසයේත් මේ ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට සිදුවිය. මේ යුගයේ අවුරුදු 4 ක්‌ ඇතුළත ලංකාවට එරෙහිව යෝජනා 4 ක්‌ සම්මත විය. යෝජනාවක්‌ සම්මත වූවත් නැතත් සෑම සැසි වාරයකදීම මානව හිමිකම් කොමිසමේත් එහි අනු කමිටුවේත් විවිධ සාකච්ඡා මාතෘකාවන් යටතේ බටහිර ආණ්‌ඩු හා රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ ආණ්‌ඩුවට එරෙහිව දිගින් දිගටම දීර්ඝ විස්‌තර කථන ඉදිරිපත් කරන ලදී. එකල එජාපය මේ අභියෝගයට මුහුණ දුන් ආකාරය වත්මන් ආණ්‌ඩුවට යම් මගපෙන්වීමක්‌ ලබා ගැනීමට හැක.

ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ මුලින්ම යෝජනාවක්‌ ගෙන එනු ලැබුවේ 1983 ජුලි කලබලවලට පසුවය. ඒ මානව හිමිකම් කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළය. 1983/16 අංකය දරන මෙකී යෝජනාව “ලංකාවේ ජාතිවාදී ප්‍රචණ්‌ඩත්වය” යන මැයෙන් මෙම අනුකමිටුවේ 1983 අගෝස්‌තු 15 සිට සැප්තැම්බර් 9 දක්‌වා පවත්වන ලද 36 වැනි සැසි වාරයේදී සම්මත විය. මෙම යෝජනාවේ ලංකාවේ හටගත් ජාතිවාදී ප්‍රචණ්‌ඩත්වය ගැනත් මනුෂ්‍ය ඝාතන හා දේපළ විනාශය ගැනත් එම අනු කමිටුවේ කනස්‌සල්ල පළ කරන ලද අතර ලංකාවෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටින මෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට උපදෙස්‌ දෙන ලදී. එමෙන්ම මානව හිමිකම් කොමිසම විසින් මේ පිළිබඳව විමර්ශනයක්‌ කළ යුතු බවද ඔවුන් යෝජනා කර සිටියේය.

මේ යෝජනාව සම්මත වීමෙන් ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව හෙල්ලුම් කෑවේය. 1983 ජුලි කලබල වලදී සිදුවූ දුර්දාන්ත ක්‍රියාවල හැටියට ඒ ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමු වීම ගැන කිසිවකුට වරදක්‌ කිව නොහැක. නමුත් 1983 ජුලි කලබල වලදී මිනී මැරුම්, මංකොල්ල කෑම් හා දේපළ විනාශය මහ පරිමාණයෙන් සිදුවූ බව සත්‍යයක්‌ වුවත් මෙකී පළමු යෝජනාවෙන් පැහැදිළි වූ කරුණක්‌ වූයේ ජාත්‍යන්තර ප්‍රජාව මේ ප්‍රශ්නයේ එක්‌ පැත්තක්‌ දෙස පමණක්‌ බලන බවයි. මේ ජාතිවාදී කෝලාහලයට සෘජුවම හේතුවූ දෙමළ ත්‍රස්‌තවාදී ප්‍රශ්නය ගැන කිසිදු සඳහනක්‌ එහි නොවීය. එකල මෙම පළමු යෝජනාවේදී ලංකාවට එරෙහිව ඡන්දය දුන් රටවල් වූයේ නෝර්වේ, බෙල්ජියම, ග්‍රීසිය, ප්‍රංශය, මෙක්‌සිකෝව, කොස්‌ටාරිකාව, පේරු රාජ්‍යය, ඇමරිකා එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ඊජිප්තුව යන රටවල්ය. ශ්‍රී ලංකාවට පක්‍ෂව ඡන්දය දුන් රටවල් වූයේ ඉරාකය, සුඩානය, පකිස්‌තානය, සිරියාව, සෝවියට්‌ රුසියාව, යුගෝස්‌ලාවියාව, ඉතියෝපියාව හා බංග්ලාදේශයයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවල් අතර සැම්බියාව, ඝානාව, ආජන්ටිනාව හා ඉන්දියාව විය. නයිජීරියාව, මොරොක්‌කෝව, රුමේනියාව හා පැනමා යන රටවල් ඡන්දය ප්‍රකාශ කරන අවස්‌ථාවේ සභාවේ සිටියේ නැත. මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණයක්‌ වන්නේ එකල කොමියුනිස්‌ට්‌ රාජ්‍යයක්‌ වූ සෝවියට්‌ රුසියාව එදත් ධනවාදී පිලේ රටක්‌ වූ ලංකාවට පක්‍ෂව සිටි බවයි. මේ අවස්‌ථාවේදී ඉන්දියාව ද මුලින්ම ලංකාවට එරෙහිව සිටි අතර ලංකාවේ නියෝජිතයන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය තුළ සිදුවන දේවල් වැනි ප්‍රශ්න සුළු ජාතීන් සුරැකීමේ කමිටුව තුළ ඉදිරිපත් කරනවා යෑයි කී විට ඉන්දියාව අඩියක්‌ පස්‌සට ගෙන ලංකාවට එරෙහිව ඡන්දය දෙන්නේ නැතිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

මේ මුල් යෝජනාවට ලංකාව ප්‍රතිචාර දැක්‌වූයේ 1984 ජනවාරි 03 වැනිදා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට ලංකාවේ පවතින තත්ත්වය විස්‌තර කරමින් දීර්ඝ ලිsපියක්‌ ලිවීමෙනි. 1983 ජූලි කලබල අසාමාන්‍ය සිද්ධියක්‌ බවත් 1983 ජුලි කලබල ගැන පමණක්‌ කතා කොට එයට හේතු වූ දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය ගැන කිසිවක්‌ කියා නොතිබීම ගැන එම ලිපියේ කනස්‌සල්ල පළකරන ලදී. එමෙන්ම ලංකාවේ දෙමළ ප්‍රජාවට රැකියා, අධ්‍යාපන හා භාෂා ක්‌ෂේත්‍රවල අසාධාරණකම් සිදුවනවාය යන චෝදනාවට ද එම ලිපියේ සවිස්‌තරාත්මකව පිළිතුරු දී තිබුණි.

ජුලි කලබල වලදී ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් සිරභාරයට ගෙන සිටින 6700 කට අධික කලබලකාරීන් ගැනත් එම ලිපියේ දීර්ඝ විස්‌තරයක්‌ තිබුණි.

1984 පෙබරවාරි 6 ත් මාර්තු 16 ත් අතර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම 40 වැනි සැසි වාරය සඳහා රැස්‌වූ විට එකී ලිපිය ඔවුන් සැලකිල්ලට ගෙන 1984/111 අංකය දරණ යෝජනාව සම්මත කර ගැනීමෙන් කියා සිටියේ සපයා ඇති විස්‌තර ගැන එම කොමිසම ශ්‍රී ලංකා ආණ්‌ඩුවට ස්‌තුතිවන්ත වන බවයි. අදාළ සියලු පාර්ශ්වවලට සාමය සුරකින ලෙස ඉල්ලා සිටින බවත් 1984 ජනවාරියේ සිට ආරම්භ වූ සර්ව පාක්‍ෂික සමුළුවට සුබපතන බවත් මින් ඉදිරියට මේ කාරණය සාකච්ඡා කිරීම අවශ්‍ය නැති බවත් කියමින් යෝජනාවක්‌ සම්මත විය. ඒ 1984 මාර්තු මාසයේය. නමුත් එම වසරේම අගෝස්‌තු මාසයේදී එම කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව රැස්‌වූ විට ඔවුන් ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක්‌ සම්මත කර ගත්තේය.

සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුවේ 1984/32 අංකය දරන මෙම යෝජනාවේදී ලංකාවට පක්‍ෂව ලැබුණේ ඡන්ද 3 ක්‌ පමණි. මෙම යෝජනාවේදී ලංකාවේ නැවත වරක්‌ ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇවිළී යාම ගැන කනස්‌සල්ල පළකර තිබූ අතර මෙහිදී ඇතිවන ජීවිත හානිය හා දේපල විනාශය ගැනත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආරක්‍ෂා කිරීමේ අවසන් වගකීම ඇත්තේ ආණ්‌ඩුවට බවද මෙම යෝජනාවේ සඳහන් විය. මෙහිදී සියලුම පාර්ශ්වවලට සාමය සුරැකීමට ආයාචනය කරන ලද අතර සර්වපාක්‍ෂික සමුළුවෙන් බලාපොරොත්තු වන ප්‍රගතිය ලැබෙනු ඇති බවට ද අපේක්‍ෂාව ප්‍රකාශ කර සිටින ලදී. සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළ සම්මත වූ 1984/32 යන මෙම යෝජනාව ඊට කලින් ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනා දෙකටම වඩා භයානක වූ බව කිව යුතුය. මෙම යෝජනාවේ මොවුන් “ප්‍රචණ්‌ඩත්වය” යෑයි හැඳින් වූයේ 1983 ජුලි කලබල වලදී දෙමළ සිවිල් වැසියන් මැරීම හෝ කඩ ගිනි තැබීම නොව ආණ්‌ඩුව හා ත්‍රස්‌තවාදීන් අතර ඇතිවන ගැටුම් ගැනය. එම යෝජනාවෙන් වැළැක්‌වීමට උත්සාහ දැරුවේ ආණ්‌ඩුව ත්‍රස්‌තවාදීන්ට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගනිමින් සිටි ක්‍රියාමාර්ග මිස අන් කිසිවක්‌ නොවේ.

මේ සියලුම යෝජනාවලින් බලාපොරොත්තු වූයේ මේ යෝජනා ගෙන එන බටහිර රටවල් විසින් ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය තමන්ගේ අතට ගැනීමයි. 1984 අගෝස්‌තු මාසයේදී සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව විසින් ලංකාවට එරෙහිව එවැනි යෝජනාවක්‌ සම්මත කරගන්නා අතරතුර ඇමරිකා එක්‌සත් ජනපදයේ කොංග්‍රස්‌ මණ්‌ඩලයේ මානව හිමිකම් අනු කමිටුව හා විදේශ කටයුතු අනු කමිටුව ඒකාබද්ධව ලංකාවේ තත්ත්වය පිළිබඳව වෙනමම විමර්ශනයක්‌ ආරම්භ කොට තිබුණි. එපමණක්‌ ද නොව ජිනීවා නුවර සුළු ජාතීන් සුරැකීමේ කමිටුව රැස්‌වූ අවස්‌ථාවේදී එකල දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ චාවකච්ෙච්රි මන්ත්‍රීවරයා වූ වී. නවරත්නම් දෙමළ කණ්‌ඩායමක්‌ සමග ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට ජිනීවා නුවරට ගොස්‌ සිටියේය. එපමණක්‌ ද නොව එම අනු කමිටුව ජිනීවා නුවර සැසි වාරය ආරම්භ කර තිබූ අවස්‌ථාවේදී එකල මුළු ස්‌විට්‌සර්ලන්තය පුරාම එක්‌තරා රූපවාහිනි නාලිකාවක්‌ ලංකාවට එරෙහි වැඩසටහනක්‌ විකාශය කරමින් සිටියේය. මෙම වැඩසටහනේ ඉංජිනේරුවකු යෑයි කියා ගත් දෙමළ පුද්ගලයෙක්‌ ලංකාවේ දෙමළ මිනිසුන්ට මුහුණ දීමට සිදුවූ වෙනස්‌කම් පිළිබඳ විස්‌තර කතනයක්‌ කරන ලදී.

මේ අනුව බලන කල අවුරුදු 30 ක්‌ මුළුල්ලේ ජිනීවා නුවර ලංකාවට ඇති අභියෝගය අබ ඇටයකින් වත් වෙනස්‌ වී නැත. බටහිර ජාතීන් ලංකාවට එරෙහිව යෝජනා පිට යෝජනා ගෙනඑයි. උතුරේ දෙමළ දේශපාලනඥයන් ජිනීවාවලට ගොස්‌ ලංකාවට එරෙහිව කරුණු කියයි. ඒ අතරතුර බටහිර රටවල රූපවාහිනි නාලිකා මානව හිමිකම් කොමිසමේ සැසි වාරය අතරතුර ලංකාවට එරෙහිව වැඩසටහන් විකාශය කරයි. එදත් අදත් අතර ඇති සමානකම කාටත් මෙයින්ම පැහැදිලි වනු ඇත. 1984 දී දෙමළ ත්‍රස්‌තවාදීන්ට තිබුණේ පැරණි ගිනි අවි කීපයක්‌ පමණි. ඔවුන්ට මෝටාර් එකක්‌ වත් නොතිබුණි. ඒ කාලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිටියේ නැත. මුහුදු කොටි ඒකකය තිබුණේත් නැත. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් දෙමළ ත්‍රස්‌තවාදීන් බලගතු ත්‍රස්‌තවාදී හමුදාවක්‌ බවට පත් වී මල්ටි බැරල් රොකට්‌ විදින, මි. මී. 152 කාලතුවක්‌කු ද අතැතිව එක සටනකදී යුද හමුදාවේ සම්පූර්ණ බලඇණි පිටින් ඝාතනය කරන තත්ත්වයට පත් වී මහ මුහුදේ ඩෝරා වැනි විශාල යුද යාත්‍රා විනාශ කිරීමටත්, කොළඹට ගුවනින් බෝම්බ දැමිය හැකි තත්ත්වයටත් වර්ධනය විය. ඉන්පසු රාජපක්‍ෂ ආණ්‌ඩුව ඒ ත්‍රස්‌තවාදී ත්‍රිවිධ හමුදාව විනාශ කර දැමුවේය. නමුත් එදා මෙදා ලංකාව තුළ මේ සියල්ල සිදුවන අතරතුර ජිනීවා නුවර නාටකය වසරක්‌ පාසා එකම ආකාරයට එකම අංග සහිතව නොකඩවා රඟදක්‌වා ඇත.

මානව හිමිකම් කවුන්සිලයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඉස්‌පාසුවක්‌ නොලැබෙන සේම ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනටත් කිසිදු ඉස්‌පාසුවක්‌ නොලැබුණි. බටහිර බලවතුන් 1985 දී ද සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවේ 38 වැනි සැසි වාරයේද ලංකාවට එරෙහි යෝජනාවක්‌ සම්මත කර ගැනීමට උත්සාහ කළේය. කැනඩාව, ප්‍රංශය, මෙක්‌සිකෝව, ආජන්ටිනාව හා කොලොම්බියාව මූලිකත්වයෙන් මේ යෝජනාව ගෙන එනු ලැබූ අතර එයට සහයෝගය මදිවීම නිසා අතහැර දමන ලදී. මේ සියලුම යෝජනා වල මූලික පරමාර්ථය වූයේ ආණ්‌ඩුව විසින් හමුදාමය බලය යොදවා ත්‍රස්‌තවාදය මැඩීම වැළැක්‌වීමය. 1986 දී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන එනු ලැබුවේ නැතත් මානව හිමිකම් කොමිසම තුළත් සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළත් ලංකාවට එරෙහිව බටහිර රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන දීර්ඝ විස්‌තර කථන කරන ලදී.

ඡේ. ආර්. ජයවර්ධන යුගයේදී ලංකාවට එරෙහි බරපතළම යෝජනාව ගෙන එනු ලැබුවේ 1987 මාර්තු මාසයේ මානව හිමිකම් කොමිසමේ 43 වන සැසි වාරයේදීය. 1987/61 අංකය දරණ මෙම යෝජනාව ඉන්දියාවේ මූලිකත්වයෙන් ගෙන එනු ලැබූවකි. “ලංකාවේ තත්ත්වය” යන මැයෙන් වූ මේ යෝජනාවේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද යුදමය බලය යොදවා ත්‍රස්‌තවාදය පරාජය කිරීම වැළැක්‌වීමයි. නමුත් 1987 මාර්තු මාසයේ මෙම යෝජනාව සම්මත කොට සති 8 ක්‌ ගතවීමට පෙර ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව කළේ 1987 මැයි මාසයේදී යාපනය අත්පත් කර ගැනීමට වඩමාරච්චි මෙහෙයුම දියත් කිරීමයි. මෙය එතෙක්‌ ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කර තිබූ විශාලම යුද මෙහෙයුම විය. ඒ අනුව ඊට සති කීපයකට පෙර මානව හිමිකම් කොමිසම සම්මත කර තිබූ යෝජනාව ඡේ. ආර්. ජයවර්ධන මහතා සත පහකටවත් ගණන් ගත්තේ නැති බව පැහැදිලිය.

ඒ කාලයේ තීන්දු ගැනීම අතිශයින්ම සරල ක්‍රියාවක්‌ විය. එජාප ආණ්‌ඩුවත් ජනතාවත් සිටියේ කොයි මොහොතක හෝ මැරුම් කෑමට සිද්ධවනු ඇතැයි යන හැඟීමෙනි. මේ නිසා ජිනීවා නුවර කුමක්‌ කීවත් එජාප ආණ්‌ඩුවට ඒ කිසිවක්‌ ඇසුනේ නැත. අද තමන්ගේ ආණ්‌ඩුවටත් ජිනීවා නුවර වසරක්‌ පාසා යෝජනා සම්මත වූ බවට එජාපයේ කිසිවෙක්‌ තුළ මතකයක්‌ ද නැත. අද සිදුවී තිබෙන්නේ වෙඩි ශබ්දය බෝම්බ ශබ්දය හා ත්‍රස්‌තවාදීන් නොමැති නිසා ලංකාවේ මිනිසුන්ට වෙන කතා කිරීමට මාතෘකාවක්‌ ද නැති නිසා ජිනීවා වලින් ඇසෙන හඬ මුල් වරට ඇසෙන්නට පටන්ගෙන තිබීමේ කාරණයකි. මේ එන ප්‍රශ්නවලට මුහුණදිය යුතු ආකාරය ඡේ. ආර්. ඒ කාලයේදීම අපට පෙන්වා දී ඇත. ඒ ජිනීවා නුවරින් මතුවන චෝදනාවලට හැකි ආකාරයට පිළිතුරු දී ලංකාවේ සිදු කළ යුතු දේවල් ලංකාවේ ආණ්‌ඩුවට අවශ්‍ය පරිදි සිදු කරගෙන යැමේ පූර්වාදර්ශයයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම