ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි හා ජනරාල් චන්ද්‍රසිරි
උතුරේ හැම දෙයක්‌ම අර්බුදකාරීය. ආණ්‌ඩුකාරවරයා පත් කිරීමද දැන් අර්බුදයක් වී තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර සිටම උතුරු ප්‍රදේශයේ ආණ්‌ඩුකාරවරයා වූයේ මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාය. පළාත් සභාව පිහිටුවීමෙන් පසුවද ආණ්‌ඩුකාරවරයා වූයේ ඔහුමය. ආණ්‌ඩුකාර ධුර කාල දෙකක් අවසන් වීමෙන් පසුවද ජනාධිපතිවරයා උතුරේ ආණ්‌ඩුකාරවරයා ලෙස පත්කළේ ජී. ඒ. චන්ද්‍රසිsරි මහතාවය.
උතුරු පළාතේ ආණ්‌ඩුකාරවරයා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇත්තේ ඔහු හමුදා නිලධාරියෙකු වීම නිසාය. දෙමළ ජාතික සන්ධානය මේ ආණ්‌ඩුකාරවරයාට කැමති නැහැ. ඊට හේතුව වශයෙන් ඔවුන් හුවා දැක්‌වන්නේ යුද්ධයේදී දෙමළ වැසියන් මරාදැමීමට දායක වූ හමුදාවක ඉහළ පෙළේ නිලධාරියකු බහුතරයක් දෙමළ වැසියන් වෙසෙන උතුරේ ආණ්‌ඩුකාරවරයා වීම සදාචාර සම්පන්න තත්ත්වයක් නොවන බවය. දෙමළ ජාතික සන්ධානයට අමතරව තවත් බොහෝ පිරිසක්‌ද උතුරේ ආණ්‌ඩුකාරවරයාට කැමති නැත. ඊට බලපෑ ප්‍රධානතම සාධකය දෙමළ ජාතික සන්ධානයම ඉදිරිපත් කරනු තර්කයයි. ඒ ඔහුගේ හමුදා නිලයයි. මේ හමුදා නිලය මත ආඥදායක ස්‌වරූපයකින් සිටින උතුරේ ආණ්‌ඩුකාරවරයාගේ බොහෝ තීන්දු තීරණද සෘජු හා දැඩිවීම නිසා උතුරේ රාජ්‍ය සේවකයන්ගෙන් විශාල ප්‍රමාණයක්‌ද ඔහුට කැමති නැත.
ආඥදායක ස්‌වරූපයෙන් වැඩ කටයුතු සිදුවන තැන නම්‍යශීලිත්වයක් නොමැත. ආණ්‌ඩුකාරවරයා බොහෝ කරුණු කාරණාවලදී නම්‍යශීලී නොවී හමුදාමය ඉරියව්වම සිවිල් ජනසමාජය තුළට එබ්බවීමට උත්සාහ දැරීම නිසා ආණ්‌ඩුකාරවරයා සම්බන්ධයෙන් බොහෝ විවේචන තිබේ. උතුරේ සිංහල ප්‍රජාවද බොහෝවිට ඉදිරිපත් කරන තර්කයක් වන්නේ උතුරේ ආණ්‌ඩුකාරවරයාව හමුවීමට තමන්ට අවස්‌ථාවක් නොලැබෙන බවයි. ඉතා අමාරුවෙන් අවස්‌ථාවක් ලබාගත්තද එම අවස්‌ථාව ආණ්‌ඩුකාරවරයාගෙන් ලැබෙන තීන්දු තීරණවල දැඩිකම නිසා කිසිදු වැදගම්මකට නොමැති අවස්‌ථාවක් වූ බවටද මැසිවිලි අනන්තය.
මෙවරද උතුරු ආණ්‌ඩුකාර ධූරයට මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පත්වූයේ දෙමළ ජාතික සන්ධානයේ දැඩි විරෝධතාවය මධ්‍යයේය. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ජනාධිපතිවරයාව හමුවී සෑම අවස්‌ථාවකදීම ඉල්ලා සිටියේ මේ ආණ්‌ඩුකාරවරයාව මාරු කොට දෙන ලෙසය. ඒ ඔහු සිංහල ජාතිකයකු වීම නිසා නොව යුද හමුදා නිලධාරියකු වීම නිසාය.
උතුරු ආණ්‌ඩුකාර ධූරයට මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා යළි පත්වීමත් සමග දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජනමාධ්‍යයට ප්‍රකාශ කළේ මේ රටේ ජනාධිපතිවරයා විශ්වාසවන්ත පුද්ගලයකු නොවන බව තමන්ට යළි කියන්නට සිදු වූ බවයි.
අපි ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදී මේ ආණ්‌ඩුකාරවරයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කළා. ඒ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා අපට පොරොන්දු වුණා, හමුදා නිලධාරියෙක් වන මේ ආණ්‌ඩුකාරවරයා වෙනුවට සිවිල් පුද්ගලයකු ලබාදෙනවා කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. ජනාධිපතිවරයා විශ්වාසය කඩ කළා. ඒ වගේම උතුරේ ආණ්‌ඩුකාර ධූරයට පත්කරන්න ජනාධිපතිවරයාට ඉන්නේ මේ හමුදා නිලධාරියාම පමණක්‌ද කියන එකත් විශාල ප්‍රශ්නයක්. ජනාධිපතිවරයා සෑම උතුරේ කටයුත්තකටම හමුදා බලය යොදවලා ඉටුකිරීමට යනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ ගැන අපි ජනාධිපතිවරයාට දැනුම් දෙනවා. හැබැයි එහෙම දැනුම් දුන්නා කියලා සිද්ධ වෙන යහපතක් නෑ. අපි එහෙම නොකළොත් ජනාධිපතිවරයා හිතයි ආණ්‌ඩුකාරවරයා විදිහට එයාව යළිත් පත්කළ එක අපි අනුමත කරනවා කියලා. අපිත් අපේ දෙමළ ජනතාවත් හමුදා නිලධාරියෙක් වන මේ ආණ්‌ඩුකාරවරයාට කැමති නෑ කියන එක තමයි අපි යළි යළිත් දැනුම් දෙන්නෙ.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය සිදුකොට පැය කීපයක් ගතවීමටත් පෙර උතුරේ හමුදා සේනාංක පිළිබඳව දැඩි උරණභාවයකින් සිටින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ද නව ආණ්‌ඩුකාරවරයා වශයෙන් කළින් සිටි හමුදා නිලධාරියාම පත්කිරීම ගැන කතා කළේය.
උතුරේ මිනිස්‌සු ඉල්ලන කිසිම දෙයක් මේ ආණ්‌ඩුව උතුරේ මිනිස්‌සුන්ට දෙන්නෙ නෑ කියන එක ඉතා හොඳින්ම දැන් පේනවා. ජනාධිපතිවරයා කළින් හිටිය පුද්ගලයාම ආණ්‌ඩුකාර ධූරයට පත්කිරීම තුළින් ප්‍රධාන කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි හමුදා නිලධාරියාව දාලා දෙමළ ජාතික සන්ධානයත්, දෙමළ ජනතාවත් අතරෙ තියන මේ තරහ තව වැඩි කරන්න. එතකොට ජනාධිපතිවරයාට ලේසියි දෙමළ මිනිස්‌සු හරිම ජාතිවාදියි කියල ලෝකෙට පෙන්නන්න. අපේ අය ජාතිවාදීන් නිසා නෙමෙයි ආණ්‌ඩුකාරවරයා විදිහට මේ හමුදා නිලධාරියාව එපා කියන්නෙ, ඔහු හමුදාවෙ නිසයි. මේ හැම දෙනාම අකමැති.
දෙවැනි කාරණය තමයි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට ජයග්‍රහණය කරන්න විශාල හයියක් ලබාගන්න මේ ආණ්‌ඩුකාරවරයාව යොදාගන්න පුළුවන්වීම. පහුගිය හැම මැතිවරණයකදීම මේ ආණ්‌ඩුකාරවරයා මැතිවරණ කටයුතුවල නිරත වුණා. ජනාධිපතිවරයාට ජයග්‍රහණය ලබාදෙන්න. රජය බලයට පත්කරන්න හමුදා බලය යෙදෙව්වා. ළඟදී එන ජනාධිපතිවරණයේදීත් ඒ ටික ඉතා පහසුවෙන් කරගන්න මේ හමුදා නිලධාරියාගෙන් පුළුවන්කම ලැබෙන නිසා තමයි ආයෙත් ආණ්‌ඩුකාර ධූරයට ඒ පුද්ගලයාව පත්කළේ.
නමුත් මේක නොවිය යුතු දෙයක්. විශාල පිsරිසක් කියන දේ ජනාධිපතිවරයා ඇහුම්කන් දෙන්න ඕනේ. විධායක බලතල අනුව ඔහුට ඕනෑ දෙයක් කරන්න පුළුවන් බව ඇත්ත. ඒත් අවුරුදු හතළිහක් විතර හමුදාකරණයට ලක්‌වී සිටිය උතුරේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා කියලා පළාත් සභාව දුන්නත් එක්‌ක ඒ තුළිනුත් ආයෙත් හමුදාකරණයක් පෙන්නුම් කිරිම නොවිය යුතු තත්ත්වයක්. දිගින් දිගටම මෙහෙම වෙනකොට තමයි ආණ්‌ඩු ගැන පාලකයො ගැන මිනිස්‌සුන්ට විශ්වාසය නැති වෙන්නෙ.
දෙමළ ජාතික සන්ධානයත් උතුරේ ආණ්‌ඩුකාරවරයාත් අතර පවතින්නේ දේශපාලන ගැටුමකි. නමුත් උතුරේ සාමාන්‍ය වැසියන් හා ආණ්‌ඩුකාරවරයා අතරද අර්බුද නැතිවාම නොවේ. විශේෂයෙන්ම උතුරේ රජයේ සේවකයන් ප්‍රකාශ කරනුයේ තමන්ගේ ගැටලුවලට ලැබෙන පිළිතුරු බොහෝ විට සාධාරණ ඒවා නොවන බවය. කිසිදු හේතුවක් ප්‍රත්‍යයක් නොමැතිව ආණ්‌ඩුකාරවරයා රජයේ සේවකයන්ට බැණවැදීමද තවත් ප්‍රශ්නයකි. මේ සියල්ලක්‌ම සිදුවන්නේ ආණ්‌ඩුකාරවරයා යුද හමුදාමය ප්‍රතිරූපයෙන් මිදී සාමාන්‍යකරණයට ලක්‌නොවීමයි. උතුර පළාත් සභාව තුළ ආණ්‌ඩුකාර ධූරය දීර්ඝ කාලයක්‌ම එතුමා විසින් හොබවන ලද නමුත් මේ පරිවර්තනය සඳහාද එතුමා කැමැත්තක් දක්‌වන්නේ නැහැ.
උතුර පළාත් ආණ්‌ඩුකාර-වරයා බොහෝවිට හෑල්ලුවට ලක්‌වන ඊළඟ කාරණය වන්නේ ඔහු සිය නිලධාරීන් වශයෙන් පත්කරගෙන සිටින සෙසු හමුදා නිලධාරීන් නිසාය. බොහෝ අවස්‌ථාවලදී ආණ්aඩුකාරවරයා ගත යුතු තීරණ ගනු ලබන්නේ ඔවුන් විසිනි. ඉතා සංකීර්ණ වූ ප්‍රශ්න විස¹ ගැනීම සඳහා ආණ්‌ඩුකාරවරයා හමුවීමට ජනතාව යන අවස්‌ථාවලදී එම ප්‍රශ්නය විසඳීමට උත්සාහ කරන්න් හමුදා නිලධාරියෙකි. ඇතැම් විට ආණ්‌ඩුකාරවරයාගේ කිසිදු අනුදැනුමකින් තොරව ප්‍රශ්නය අවශ්‍ය අන්දමට නොවිසඳෙන අවස්‌ථා ගැනද දකින්නට ලැබේ.
මේ නිසා උතුරු පළාත් ආණ්‌ඩුකාර ධූරයේ වෙනසකට වඩා එතුමාගේ පරිපාලන ව්‍යqහයේ වෙනසක් මෙන්ම එතුමාගේ වෙනසක්‌ද උතුරේ සාමාන්‍ය වැසියෝ අපේක්‌ෂා කරති. දෙමළ ජාතික සන්ධානයට හමුදා නිලධාරියා එපා වුවත් උතුරේ සාමාන්‍ය වැසියන්ට එවැනි තත්ත්වයක් නොමැත. උතුරේ සාමාන්‍ය වැසියන්ට අවශ්‍යව ඇත්තේ තමන්ගේ වැඩේ සර්ව සාධාරණව ඉටුකරන ආණ්‌ඩුකාරවරයකු පමණි.
දිනසේන රතුගමගේ