දේදුනු විප්ලවය හා යහපාලන ආණ්‌ඩුව

Spread the News

දේදුනු විප්ලවය හා යහපාලන ආණ්‌ඩුව

source:

ජනවාරි 08 වැනිදා පැවැති දේශපාලනය ජනවාරි 09 වැනිදා අලුයම උදාවෙද්දී වෙනස්‌ විය. ශ්‍රී ලංකාවේ ඇති වූයේ අරාබි වසන්තයෙන් උදාකළ වෙනසක්‌ නොවේ. ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ එය දේදුනු විප්ලවයක්‌ බවයි. දේදුනු විප්ලවයෙන් රටට ලැබෙන්නේ කවර ලාභයක්‌ද යන්න තීරණය කිරීමට කාලයක්‌ ගතවනු ඇත. දේදුනු විප්ලවයෙන් නිර්මාණය වූ සිරිසේන ආණ්‌ඩුව ගැන ඉන්දීය රජය බෙහෙවින් සතුටු වන බව අපි පසුගිය සතියේද ප්‍රකාශ කළෙමු. එම නිසාම විදේශ ඇමැති මංගල සමරවීර මහතා සිය නව ඇමැති ධුරයේ වැඩ භාරගෙන දින කිහිපයක්‌ ගතවන්නටත් ප්‍රථම දිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රාහ්මණ වංශිකයන් හමුවීමට ගියේය. රාජපක්‍ෂ ආණ්‌ඩුව පිළිබඳව ඉන්දියාවේ ප්‍රභූ පාලක පංතිය අමනාපයෙන් සිටි බව නැවත නැවත පුනරුච්චාරණය කළ යුතු නැත. එනිසාම “සිරිසේන” රෙජීමය ට වහාම අවශ්‍ය වන්නේ ඉන්දියාවේ හොඳ හිත දිනා ගැනීමටය. මංගල සමරවීර මහතා දිල්ලියට ගොස්‌ විදේශ කටයුතු අමාත්‍යාංශයේ බ්‍රාහ්මණ වංශිකයින් හමුවේ ප්‍රකාශ කරනු ලැබුවේ තමන්ට කිසිම විටක අසල්වැසි “භාරත මාතාව” තරහ කර ගැනීමේ කිසිම උවමනාවක්‌ නැති බවයි. යුරෝපය මෙන්ම ඇමරිකාවද වත්මන් රජය පිළිබඳව හොඳ හිත පතුරවන්නේ ඉන්දියාව කොළඹ ආණ්‌ඩුව පිළිබඳ දරන ප්‍රතිචාරය මතය.

කෙසේ නමුත් මෝදි ආණ්‌ඩුව මෛත්‍රී පාලනය කෙරෙහි යහපත් ප්‍රතිචාරයක්‌ මෙන්ම සාධනීය ආකල්පයක්‌ද දරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා මගින්ම පැහැදිලිය. දැන් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාද ලබන මාර්තුවේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක්‌ සඳහා දින වෙන් කරගෙන ඇත.

දෙමළ සන්ධානය මෙන්ම ඉන්දියාවද උතුරේ ආණ්‌ඩුකාරයා ලෙස විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයකු පත්කිරීම ගැන බලවත් අකැමැත්තෙන් පසුවිය. උතුරු පළාත් ප්‍රධාන ඇමැති විග්නේශ්වරන්ගේ බලවත් කනස්‌සල්ල වූයේ මෙම උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාය. එහෙත් දැන් නව රජය දෙමළ සන්ධානය මෙන්ම ඉන්දියාවද සතුටට පත්කරමින් ආණ්‌ඩුකාරයා වෙනස්‌කර ඇත. හිටපු විදේශ ලේකම් එම්. එච්. ජී. බී. පලිහක්‌කාර මහතා උතුරේ නව ආණ්‌ඩුකාරයා ලෙස පත්කර ඇති අතර රජය පවසන්නේ මීට පසුව කිසිම විටක හමුදා නිලධාරියෙක්‌ ආණ්‌ඩුකාරයකු ලෙස පත්නොකරන බවය. දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර තිබුණේ පලිහක්‌කාර මහතා නව තනතුරට පත් කිරීම ගැන තමන් සතුටුවන බවයි. ආණ්‌ඩුකාරයා මාරු කිරීමෙන් දෙමළ ජනයාට යහපාලනය උදාකළ හැකිවන්නේද යන්න ඉදිරියේදී දැකගත හැකිවනු ඇත.

ඉකුත් සඳුදා දිනයේ දී නවදිල්ලි නුවරදී තෝරාගත් මාධ්‍යවේදී පිරිසක්‌ හමුවූ විදේශ ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ උතුරේ හමුදා ක්‍රියාකාරකම් අඩු කිරීමටත් දේශීය යුද අපරාධ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමටත් නව රජය කටයුතු කරන බවයි. එසේම ලොව පුරා විසිර සිටින මිලියනයකට අධික දෙමළ ඩයස්‌පෝරාව සමඟ සාකච්ඡා කිරීමටද තමන් සූදානම් බව හෙතෙම මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේය. එසේම දෙමළ සන්ධානයටත් නව රජය හා එක්‌වන ලෙස ආරාධනා කරන බව හෙතෙම ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ අනාවරණය කර සිටියේය. ඉදිරියේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්‌වීමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන චෝදනා සමහන් කිරීම සඳහා උතුරේ ආණ්‌ඩුකාරයා මාරු කිරීම විශේෂ වාසියක්‌ වන බව නව රජය කල්පනා කරයි. ඉන්දියාව සතුටු කරමින් දේශපාලනය කිරීම රජයට කොපමණ කලක්‌ කළ හැකිවේද යන්න අපට සැක සහිතය. මන්ද උතුරේ හමුදා ආණ්‌ඩුකාරයා වෙනස්‌ කිරීම පිළිබඳව මෙරට ජාතිකවාදී පක්‍ෂ දැරුවේ විරෝධ ආකල්පයකි. දැන් මෛත්‍රී පාලනය සමඟද ඔවුන් එක්‌ව සිටී. මේ අවස්‌ථාවේ දී නම් එම පක්‍ෂ උතුරු ආණ්‌ඩුකාරයා වෙනස්‌ කිරීම ගැන නිහඬ ආකල්පයක්‌ දරති.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ හදිසි ජනපතිවරණයක්‌ කැඳවීම ගැන ඔහුගේ සන්ධානයේම සමහර පක්‍ෂවල එකඟත්වයක්‌ තිබුණේ නැත. විශේෂයෙන්ම ඩිව් ගුණසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ නියමිත කාලයට වසර දෙකකට කලින් ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම දේශපාලන සියදිවි නසා ගැනීමක්‌ විය හැකි බවය. ගුණසේකර මහතා කිවූ පරිදිම එවැනි සියදිවි නසාගැනීමක්‌ සිදුවිය. නමුත් ඒ ගැන දැන් කතා කිරීමෙන් පලක්‌ වන්නේ නැත. එහෙත් රාජපක්‍ෂ රජය 2015 මුලදී ජනපතිවරණයක්‌ පැවැත්වීම සඳහා යොමුවූ ප්‍රබල කාරණයක්‌ තිබිණි. ඒ එක්‌සත් ජාතීන්ගේ කොමිසමේ යුද අපරාධ වාර්තාව 2015 වසරේ දී නිකුත් වීමය. 2014 ජුනි මාසයේ පැවැත්වුණු ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 26 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමේ යෝජනාව සම්මත විය. එයට ඉන්දියාව සහාය ලබා නොදීම ලංකා රජයේ බලවත් අස්‌වැසිල්ලට හේතුවක්‌ විය. කවරක්‌ නමුත් යුද අපරාධ කොමිසම පුරා මාස දහයක්‌ පරීක්‍ෂණ පවත්වා සිය වාර්තාව එළි දක්‌වන විට යළිත් වරක්‌ මහජන කැමැත්තෙන් මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පැමිණ තිබුණානම් එල්ලවන ජාත්‍යන්තර පීඩනය තරමක්‌ දුරට වළක්‌වාගත හැකිව තිබිණි. 2014 ජුනි 15 වැනි දා “දිවයින” පුවත්පතට හදිසි ජනාධිපතිවරණය යුද අපරාධ චෝදනාවලට පිළිතුරක්‌ද? මැයෙන් අප එදා ලියූ ලිපියේ ඉහත කරුණු ඇතුළත් විය. නමුත් 2015 ජනවාරි 08 වැනිදා මෙරට බහුතර ජනතාවට වෙනසක්‌ අවශ්‍ය විය. එනිසා හංසයා රජ විය.

වර්තමාන ආණ්‌ඩුවට ද ඉදිරියේ දී එළිදැක්‌වෙන යුද අපරාධ කොමිසමේ පරීක්‍ෂණ වාර්තාවට පිළිතුරු සැපයීමට සිදු වන්නේය. දැන් සිටින්නේ නව ජනාධිපතිවරයෙක්‌ කියා එයින් ගැලවීමට නොහැකිය. එම නිසාම උතුරේ යම් සාධනීය වෙනසක්‌ සිදු කිරීමට මේ රජය ක්‍රියා කිරීම නොවැළැක්‌විය හැකිය. විශේෂයෙන් එම වෙනස්‌කම් සිදුකරද්දී දෙමළ සන්ධානයත් ඉන්දියාවත් සතුටු කිරීම වැදගත් වේ. ඉහතින් දැක්‌වූ උතුරු ආණ්‌ඩුකාරයා මාරු කිරීමද එවැන්නකි. උතුරේ දෙමළ ජනයාගේ යහපතට යම් වෙනස්‌කම් සිදුකළාට කම් නැති වුවත් “කොටි ඩයස්‌පෝරාවේ” වුවමනාවන් වෙනුවෙන් වෙනස්‌කම් කිරීමට රජය සූදානම් විය යුතු නැත. නව රජය පත්වී පැවැති පළමු පාර්ලිමේන්තු රැස්‌වීමේදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ උතුරේ හමුදා කඳවුරු අඩු කිරීමට කටයුතු නොකරන බවයි. නමුත් නවදිල්ලියේදී විදේශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයත් පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා සිදුකළ ප්‍රකාශයත් අතර යම් පරස්‌පරතා පවතින බව පෙනේ. එහෙත් මේ සියල්ල දින සියයකින් අවසන් කළ නොහැක. අලුත් ජනාධිපතිවරයෙක්‌ ආණ්‌ඩුවක්‌ පත්වී එතරම් කාලයක්‌ ගතවී නැත. ඔවුනටද තම ක්‍රියාකාරකම් කිරීමට ඉඩදිය යුතුය. ඒ ගැන සොයා බලා විවේචන කළ යුතුය. එබැවින් අපි දේදුනු විප්ලවයෙන් බිහිවූ යහපාලන ආණ්‌ඩුවේ ක්‍රියාකාරකම් දෙස බලා සිටිමු.

චතුර පමුණුව