ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ සිදුවන්නේ කුමක්‌ද?

Spread the News

ජිනීවා මානව හිමිකම්
සමුළුව තුළ සිදුවන්නේ කුමක්‌ද?



28 වැනි මානව හිමිකම් සමුළුව මාර්තු 2 වැනිදා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ විය. මෙවර මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉදිරිපත්වූයේ ජිනීවාහි ඇමරිකානු තානාපතිවරයා නොව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරියි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මානව හිමිකම් සමුළුවට පැමිණීම සුවිශේෂී සිද්ධියක්‌ විය. මෙයට පෙර මානව හිමිකම් සමුළුව අමතනු ලැබුවේ ජිනීවාහි ඇමරිකානු තානාපතිනිය ලෙස කටයුතු කළ අයිලින් ඩොනහෝ ඇතුළු තානාපති නිලධාරීන්ය.

එහෙත් ජෝන් කෙරි මානව හිමිකම් සමුළුව අමතන බව කොටි ඩයස්‌පෝරාව දැනසිටියේය. ඒ අනුව ප්‍රකට කොටි හිතවාදියකුවූ කැනඩාවේ ගැරි ආනන්දසංගරි ඇතුළු කොටි හිතවාදීහු මානව හිමිකම් සමුළු ශාලාවට කල්තියා පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාවේ වෙනස්‌කමක්‌ සඳහා මානව හිමිකම් කවුන්සලය අත්‍යවශ්‍යවූ රංගනයක්‌ දියත්කළ බව ජෝන් කෙරී සමුළුව අමතමින් කියා සිටියේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය දියත්කර තිබූ මෙහෙයුම ජෝන් කෙරීගේ ඇගයීමකටද ලක්‌විය. මානව හිමිකම් කවුන්සලය මියන්මාරය සහ ශ්‍රී ලංකාව පිළිබඳව අත්‍යවශ්‍ය මෙහෙයුම සාර්ථක වූ බව පැවසූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලය පිළිබඳ මානව හිමිකම් කවුන්සිලය දියත් කළ කටයුතු ඒකපාර්ශ්වික බවට චෝදනා කරනු ලැබීය.

මේ පසුබිම මැද 2004 සිට ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චිත්‍රපට නිර්මාණය කරමින් කටයුතු කරන බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේ යළිත් මතුවිය.

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තා මාස 6 කින් කල්දැමීම සඳහා මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාකිරීම ගැන නොසතුට පලකළ මැක්‌රේ ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික යුද අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතිය අත්සන් කිරීම, අත්අඩංගුවේ සිටින යුද සිරකරුවන් (කොටි) ගේ නාමලේඛනය ප්‍රකාශයට පත්කිරීම සහ උතුරු ප්‍රදේශයෙන් හමුදාව ඉවත්කළ යුතු බවද පවසා ඇත.

කැලම් මැක්‌රේ මෙවර මානව හිමිකම් සමුළුව වෙත තවත් මෙහෙයුමක්‌ දියත්කර තිබේ. ඒ ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ලකරන නෝµයර් සෝන් චිත්‍රපටයේ සංශෝධිත නිර්මාණයක්‌ නිපදවීමයි. මෙහි සිංහල පිටපතක්‌ද විකාශනය කරන බවත් ද්‍රවිඩයන් සඳහා සිංහලයන් වෙතින් හඬක්‌ ලබාගැනීම තම අරමුණ බවත් ඔහු තවදුරටත් අනාවරණය කර ඇත.

මැක්‌රේගේ සාවද්‍ය චිත්‍රපයේ සිංහල හඬ නැගෙන්නේ ජිනීවා සිට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකුගෙනි. ඔහු කවුදැයි හෙළිවී ඇත.

දසදහස්‌ සංඛ්‍යාත අහිංසකයන් ඝාතනය වූ බවට සාවද්‍ය චෝදනා නගන මැක්‌රේ වත්මන් හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා පිළිබඳවද චෝදනා නගමින් චැනල් ෆෝ චිත්‍රපටයෙන් එල්ලවූ යුද අපරාධ චෝදනා ගැන විභාග කිරීමට පසුගිය රජය පත්කළ පරීක්‍ෂණ මණ්‌ඩලයේ සභාපති ලෙස කටයුතු කලේද වත්මන් හමුදාපති බව කියා සිටී.

මැක්‌රේගේ නෝෆයර් සෝන් – 2 චිත්‍රපටයේ අරමුණ වී ඇත්තේ යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට එය ඉදිරිපත්කර ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකල බවට වරදකරු කිරීමටයි.

ශ්‍රී ලංකා රජයට යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත්‍රණයක්‌ ස්‌වාධීනව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්‌ නැති බව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට පෙන්නුම් කිරීම මගේ අරමුණ වී යෑයි මැක්‌රේ ප්‍රකාශ කර ඇත.

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් නොමඟ යෑවීම සඳහා කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා රජයට කේවට්‌ට උපදෙස්‌ දීමට ඉදිරිපත් වී තිබේ.

ජනතාවගේ දැනගැනීම සඳහා ඔහු ඉදිරිපත් කළ යෝජනා මෙලෙස දැක්‌විය හැකිය.

1. ඉදිරි මාස 6 තුළ ශ්‍රී ලංකා රජය යුද අපරාධ සම්මුතිය අත්සන් කළ යුතුයි.

2. එවිට ජාති ඝාතනය, වාර්ගික සංහාරය යන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන ක්‍රියාකිරීමට අන්තර්ජාතික අධිකරණයට හැකිවනු ඇත.

මැක්‌රේ මෙම ප්‍රකාශය කිරීමට පෙර මෙරට කටයුතු අවුල්සහගත තත්ත්වයකට පත්කිරීමට උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ජාති ඝාතනයන් සිදුවී ඇති බවට යෝජනාවක්‌ සම්මත කරගනු ලැබීය.

මින් තහවුරු වන්නේ මැක්‌රේ විග්නේශ්වරන් සහ කොටි ඩයස්‌පෝරාව එක්‌ව ක්‍රියාකරන බවයි.

එසේම මාර්තු 25 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිත වූ යුද අපරාධ වාර්තාවේ තිබෙන චෝදනා කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධාන මෙන්ම මෙරට රාජ්‍ය නොවන සංවිධානද දන්නා බව අනාවරණයවේ.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ද වත්මන් රජයට උපදෙස්‌ දෙමින් ඇත්ත පිළිගැනීමට ක්‍රියාකළ යුතු බවත් උතුරේ මවුවරු සමඟ රජයේ නායකයෝ සාකච්ඡා කළ යුතු බවත් සඳහන් කර ඇත.

එහෙත් කොටි සංවිධානය අතුරුදන්කළ දකුණේ පිරිසගේ මවුවරු සමඟ සාකච්ඡා කළ යුතු බව මේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියා පවසා නැත.

මෙලෙස ජිනීවා මානව හිමිකම් සමුළුව මැද උතුරේ අන්තවාදීන්ගේ ක්‍රියාදාමයක්‌ද සිදුවී ඇත.

පසුගිය 28 දා යාපනය කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික සමුළුව පැවැත්වුණි.

එම පෙරමුණේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී යෝජනා හතක්‌ සම්මත කරගෙන ඇත.

එම යෝජනා හතෙන් කීපයක්‌ මෙසේයි.

1. ස්‌වයංනිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක්‌ එකම රටක්‌ යන අපගේ අරමුණ ඉටුකරගැනීමට අප පක්‍ෂය ගම් මට්‌ටමින් පුළුල් කර සරණාගතව ජීවත්වන අපගේ ඥතීන් සහ තමිල්නාඩුවේ ඥතීන් ඒකාබද්ධ කරගෙන සටන් කරන්නෙමු.

2. දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ සහ සිදුකරමින් සිටින ජාති ඝාතනය පිළිබඳ අපක්‍ෂපාතී ජාත්‍යන්තර විමර්ශනයක්‌ පවත්වන ලෙස ඉල්ලා සිටිමු.

3. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ දෙමළ මාතෘ භූමියේ දෙමළ ජාතික සභාවක්‌ පිහිටුවා දෙමළ ජනතාව පාලනය කරන පරිපාලන ව්‍යුහයක්‌ ස්‌ථාපිත කිරීම.

4. දේශපාලන රැඳවියන් නිදහස්‌ කළ යුතුයි.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෙප්රි පෙල්ට්‌මන් සහ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් අතර පැවැති සාකච්ඡාවේදී යුද අපරාධ වාර්තාව සැප්තැම්බර් මස දක්‌වා කල්දැමීම ගැන තමා කණගාටුවට පත්වන බව පවසා ඇත.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ පෙල්ට්‌මන් එකී යුද අපරාධ වාර්තාව දෙවැනි වරටත් කල්දමන්නේ නැතැයි ප්‍රකාශ කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකාව ද්‍රවිඩයන් සංහාරය කළ බවට උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාවේ පිටපතක්‌ද විග්නේශ්වරන් විසින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරියාට ලබාදී තිබේ.

ද්‍රවිඩ ජාති ඝාතනයක්‌ පිළිබඳව යෝජනාවක්‌ සම්මත කිරීමට ක්‍රියාකළේ ඇයි? යයි ජෙප්රි පෙල්ට්‌මන් උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ගෙන් ප්‍රශ්න කර ඇත.

එම යෝජනාව අපේ ද්‍රවිඩ ජනතාවගේ හැඟීම් යෑයි විග්නේශ්වරන් ප්‍රතිචාරය දක්‌වා තිබේ.

උතුරේදී එක්‌සත් ජාතීන්ගේ නිලධාරියා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ නීති කටයුතු පිළිබඳ ක්‍රියාකරන්නියක්‌වූ ශාන්තා අබිමානසිංහම් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

මේ පසුබිම මැද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මානව හිමිකම් සමුළුව අමතමින් එක්‌සත් ජාතීන්ගේ යුක්‌තිය සහජීවනය පිළිබඳ විශේෂ විමර්ශන පැබ්ලෝකඩි ග්‍රෙප්ට ශ්‍රී ලංකාවට එනලෙස ඇරයුම් කර ඇති බවත් මානව හිමිකම් ප්‍රඥප්ති පිළිබඳව ශ්‍රී ලංකාව කටයුතු කරන බව කියා සිටියේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු උතුරු නැගෙනහිර හමුදා ආණ්‌ඩුකාරවරු වෙනුවට සිවිල් නිලධාරීන් පත්කළ බව පැවසූ මංගල සමරවීර මහතා රජය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පලකළේය.

වසර තුනක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාව සහ මානව හිමිකම් කවුන්සිලය අතර පැවැති අර්බුදය සමනය කරමින් මෙවර සැසිවාරය ආරම්භවූවත් ඉදිරි සතියේදී ගිනි ඇවිලවීමේ ක්‍රියාකාරීහු ජිනීවා වෙත පැමිණෙති. ඒ ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියතම සුරේෂ් සුරෙන්ද්‍රන් මානව හිමිකම් සැසිවාරයක්‌ ආරම්භවෙත්ම උදේ සිට සවස්‌ යාමය දක්‌වා කවුන්සිලයේ ආපන ශාලාව අසල පදිංචිව සිටින සුනන්ද දේශප්‍රිය නමැති හිටපු කැරලිකරුවා සහ කිරුබාකරන් කොටියා ප්‍රමුඛ කණ්‌ඩායම සහ ඔවුන්ට සහය වන විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පිරිසයි.

ද්‍රවිඩ සන්ධානයේ පිරිසක්‌ද යුද අපරාධ වාර්තාව කල්දැමීම පිළිබඳව හඬ නැගීමට ලබන සතියේ ජිනීවා යැමට නියමිතය. මෙයට සමගාමීව මාර්තු 16 දා කොටි ඩයස්‌පෝරාව ජීනිවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා පැරිස්‌ නුවර සිට කොටි ක්‍රියාකාරීන් ගෙනඒම සඳහා විශේෂ දුම්රියක්‌ද වෙන්කර තිබේ.

මේ ක්‍රියාදාමයෙන් ශ්‍රී ලංකාවේ සතුරන් වෙනස්‌වී නැති බව සනාථ වේ.

මේ අතර ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් – ආසියානු මානව හිමිකම් කොමිසම සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌ මෙවර මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට අදාල වාර්තා ඉදිරිපත් කර ඇත. එහෙත් ඒ මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්වන්නේ සැප්තැම්බර් 15 දායි.

මෙලෙස ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඇතුළු පිරිසක්‌ උතුරේ වඩමාරච්චි ප්‍රදේශයට ගොස්‌ බාල්රාඡ් නැමැති කොටි ත්‍රස්‌තයාගේ බිමහෙලා ඇති අනුස්‌මරණ ස්‌මාරකය නිරීක්‍ෂණය කර ඇත.

මෙවන් පසුබිමක්‌ මැද ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මානව හිමිකම් සමුළුව අමතමින් ඇමරිකාවද වගකීම් ක්‍රියාදාමයට අයත් බව පවසා තිබේ. එහෙත් ඇමරිකාවට එරෙහි යුද අපරාධ චෝදනාවක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වී නැත.

එසේ වූවත් අන්තර් ජාතික නීතිඥ සංගමය විසින් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් කොටි ත්‍රස්‌තයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බවට චෝදනා එල්ල කර ඇත.

කොටි ත්‍රස්‌තයන්ව පුනරුත්ථාපනය කිරීමේදී මානව හිමිකම් උල්ලංඝණය සිදුවී ඇති බවට එකී සංවිධානය පවසා තිබේ. මෙලෙස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවේ සතුරන් සාවද්‍ය වාර්තා ඉදිරිපත් කරද්දී මුහුදු කොටි කාන්තා බලකායේ නායිකාවක්‌වූ ජෙයාගනේෂ් පාකිරති නැමැත්තිය ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ආපසු යැමට උත්සාහ කරද්දී ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට අසුවිය.

2005 වසරේදී මෙරටින් පැනගිය ඇයට ප්‍රංශ රජය පුරවැසිබව ලබාදී තිබුණි.

සිය මවුපියන් බැලීමට ශ්‍රී ලංකාවට පැමිණි බව පැවසුවත් ඇය පරන්තන්හි නතරවී සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම මුහුදු කොටි නායිකාව විවාහ වී ඇත්තේ ප්‍රංශයේ කොටි අරමුදල් එකතුකරන්නකු සමඟ යෑයිද තවදුරටත් හෙලිවිය.

ජෙයාගනේෂ් පාකිරති නැමැත්තිය ත්‍රස්‌ත මර්දන බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුවත දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන අතර ඉතා වේගයෙන් පැතිර ගියේය.

ඇය කටුනායක ගුවන්තොටුපල වෙත කැඳවාගෙන පැමිණි ඥතීහු එකී තොරතුරු කොළඹ ප්‍රධානතම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකුට ලබාදී ඇත. මේ මුහුදු කොටි නායකාවගේ සෙහොයුරු වේලන් නැමැත්තා ඇයව අත්අඩංගුවට ගැනීමට ගැනීමේ සිද්ධිය විගස ලන්ඩනයේ බී.බී.සී. සේවයටද දැනුම් දී ඇත.

මෙකී මුහුදු කොටි නායිකාවගේ සැමියා ප්‍රංශයේ කොටි අරමුදල් එකතු කරන්නකු වූ සාමිරාඡ් හෙවත් ජෙගනේෂන් සුබ්‍රමනියම් යයි අනාවරණය වී තිබුණි.

ජිනීවා මානව හිමිකම් සමුළුවට මාර්තු 27 වැනිදා නිමාවට පත්වේ.

එහෙත් එකී සමුළුව වෙත විවිධ බොරු වාර්තා ඉදිරිපත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරන බව ජිනීවා ආරංචි මාර්ග කියාසිටී.

ඉන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සතුරා වී ඇත්තේ චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේය.

ඔහුගේ තේමාව වී ඇත්තේ වන්නි මෙහෙයුමේදී යුද අපරාධ සිදුවූ බවත් දෙමල ජනතාවට එරෙහිව කුරිරුකම් සිදුකල බවත් කියා සිටීමයි.

තමාගේ මීළඟ චිත්‍රපටය සිංහල ජනතාව පිළිගන්නා බව පවසන මැක්‌රේ කොටි සංවිධානය සිංහල ජනතාවට කළ සාහසිකකම් ගැන කියන්නේ නැත.

මේ අතර ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් බැහැර ඊලම් ආණ්‌ඩුව නැමැති සංවිධානයේ මහජන කටයුතු අමාත්‍ය යෑයි හඳුන්වා ගන්නා සුදන් රාඡ් නැමැත්තාද ජිනීවා මානව හිමිකම් සැසිවාරයට පැමිණ යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ මණ්‌ඩලයට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩදිය යුතු බව පවසා ඇත. එසේම යුද අපරාධ වලට වගකිවයුත්තන් අන්තර්ජාතික අධිකරණයට යොමු කරන ලෙස ඉල්ලා මිලියනයකගේ අත්සන් ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් වහසි බස්‌ දොඩා ඇත.

කීර්ති වර්ණකුලසූරිය