Spread the News

පොදු ජන සෙතට දිවි දුන් ජනතාවගේ ජනපති

අදට යෙදෙන 22 වැනි ප්‍රේමදාස ගුණ සමරුව නිමිත්තෙනි

රාජ්‍ය පාලනය කිසියම් අදිසි බලවේගයක්‌ විසින් එක්‌තරා සුපිරි පැලැන්තියක්‌ මත පවරනු ලබන වරප්‍රසාදයක්‌ය යන ආකල්පය නිදහසින් පසුව මෙරට දේශපාලනයේ දැකිය හැකි වූ වැරදි ආකල්පයකි. මෙරටේ පොදු ජනතාව යටිපිල හැටියටත්, පාලක පිරිස හෝ සුපිරි පවුල් කීපයක්‌ සදාකාලික උඩුපිල හැටියටත් දශක ගණනාවක්‌ පාලක පාලිත සම්බන්ධය තහවුරු කරගෙන තිබිණි. මෙම මතවාදය බිඳ දැමීමට 80 – 90 දශකවල සිට බොහෝ අය දැරූ උත්සාහයන්ද ඵල රහිත විය.

රණසිංහ ප්‍රේමදාස චරිතය මෙරට දේශපාලනයෙහි මුල්වරට මතුවන්නේ මෙබඳු පසුබිමකය. දේශපාලනය තම පවුලේ බූදලයක්‌ යෑයි සිතූ දේශපාලන බමුණන්ට විරුද්ධව එක්‌ අතකින්ද, තමන් යටිපිලේය යන වහල් මානසිකත්වයෙන් ජනතාව මුදා රටේ උරුමය ඔවුන්ගේය යන හැඟීම රෝපණය කිරීම අනෙක්‌ අතින්ද, යනුවෙන් දෙආකාර අරගලයක්‌ එකවිට ගෙන ගිය පුද්ගලයා ආර්. ප්‍රේමදාස බව ඉතිහාසයට එකතු වී ඇති කරුණකි. ඔහුට එම අරගලය සඳහා කිසිදු අවියක්‌ තිබුණේ නැත. දේශපාලන පරපුරක්‌ විසින් ඔහු ඔසවා තබන ලද්දේ නොවීය. ජීවන ගමනේ විවිධ දුර්ග පසු කරමින් දහසක්‌ දුෂ්කරතා විඳ දරාගනිමින්, පුදුමාකාර ආත්ම ශක්‌තියකින් හා ආත්ම විශ්වාසයකින් සන්නද්ධ වී ඇතැම් තැනක සෙමින් ද, ඇතැම් තැනක වේගයෙන් ද, තව තැනකදී බාධක මඟහරවමින් ද, මහ දිග ගමනක යෙදී මුදුනටම පැමිණි පොදුජන නායකයා අන් කවරකුවත් නොව රණසිංහ ප්‍රේමදාස බව මුළු රටම පිළිගනී. ඒ අතින් ඔහුට සම කළ හැකි අයෙක්‌ තවම මෙරටේ පහළ වී නැති බව සත්‍යයකි.

රණසිංහ ප්‍රේමදාස පොදු ජනතාව අතරින් මතු වූ පොදු ජනතාව අතර ජීවත් වූ, පොදු ජනතාව අතරදී මියගිය නායකයකු වශයෙන් ද වැදගත් චරිතයකි. ඔහුගේ මුළු මහත් ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපවිය. දරුවන් සහ ඥතීන් පිරිවරාගත් ලෝකයක්‌ ඔහුට නොතිබුණි. තමාගේ ගම් පළාත පමණක්‌ අන් හැම තැනකටම වඩා උදාරය යන පටු අදහස කෙදිනකවත් ඔහු වෙතින් දිස්‌වූයේ නැත. මුළු රටම ඔහුට එකම ගමක්‌ විය. රට හදන්නට නම් ගම හැදිය යුතු බව නිතර පැවසූ ඔහු වැඩ කරන්නට කැමති අයට දුන් පළමු උපදේශය වූයේ මිනිසුන් අතරට යන්න, ඔවුන්ගෙන් ඉගෙන ගන්න. පහළම තැනින් වැඩ අරඹන්න යන්නයි. තමාගෙන් පසුව තම බලතල යොදා තමාගේ දරුවකු ඉහළට ඔසවා තබන්නට උනන්දු නොවූ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොළඹ අතහැර, මෙරටේ දුෂ්කරම කලාපය වූ හම්බන්තොට දිළිඳු ජනතාව අතරට ගොස්‌ එතැනින් පටන්ගෙන දේශපාලනය කරන ලෙස සිය පුතුට උපදෙස්‌ දුන්නේය. පවූල් දේශපාලනය පිළිබඳ එදා අපට අසන්නට නොලැබුණේ ඒ නිසාය. ඒ වෙනුවට ඔහුගේ සෙවණැල්ල බොහෝ දෙනකුට සෙවණ දුන් බොහෝ දිග පළල ඇති එකක්‌ විය. ඔහුගේ ආදර්ශයෙන් ජීවිත සකස්‌ කර ගත හැකි විය. ඔහුගේ ව්‍යායාමයට හවුල් වී තම ජීවිත පදම් කර ගත හැකි විය. සියල්ලටම වඩා රටට දැයට වැඩදායක මිනිසුන් බවට පත් විය හැකි විය. නිවාස තැනීම මෙරට ප්‍රධානතම ජාතික අවශ්‍යතාවයක්‌ බවට පත්කරලීමේ යෝධ වැඩපිළිවෙළේ නියමුවා වන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා බව මුළු රටම දනී. ඔහු හඳුන්වා දුන් උදා ගම, රජය මගින් මිනිසුන්ට සාදා දුන් ගෙවල් ගොඩක්‌ වූයේ නැත. මිනිසුන්ගේ සැඟවී තිබූ දක්‍ෂතා උඩට ගනිමින්, මිනිස්‌ ජීවිත උදා කළ වැඩපිළිවෙළකි. ඒ සඳහා කැප වූ, සේවය කිරීමෙන් සතුටක්‌ ලැබූ දක්‍ෂ පිරිසක්‌ හදා ගැනීමට ප්‍රේමදාස මහතාගේ ආදර්ශය වැදගත් විය. එය නායකයකු වශයෙන් ඉතා කලාතුරකින් කෙනකු තුළ විද්‍යමානවන සමත්කමකි. ප්‍රේමදාස මහතා සමග වැඩ කිරීමෙන් උගත් පාඩම් අපගේ පෞද්ගලික ජීවිතය තුළ ද අභ්‍යන්තරීකරණය වීම වැදගත් ජීවිතාදර්ශයකි. වේලාවට වේගවත්ව වැඩ කිරීම, ක්‍රමානුකූලව, කාලසටහනකට අනුගත වීම, වැඩ කල් නොදැමීම වැනි ගුණාංගවලින් පිරුණු නිර්මාණාත්මක මිනිසුන් රැසක්‌ බිහි කළ මෑත යුගයේ සිටි රාජ්‍ය නායකයා වන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා බව ස්‌ථිරවම කිව හැක. ඒ අතින්ද ප්‍රේමදාස චරිතය සුවිශේෂී චරිතයකි.

ප්‍රේමදාස මහතාගේ දීර්ඝ සේවා කාලය තුළ කැපී පෙනෙන ගුණාංගය වන්නේ සේවය කිරීමෙන් සතුටක්‌ ලැබීමේ ගුණය බව කිව හැකිය. බොහෝ දේශපාලනඥයන් බොහෝ වැඩ කළත් ඒ තුළින් දිස්‌වන්නේ දේශපාලන ප්‍රතිරූපයකි. එහෙත් ප්‍රේමදාස යුගයේ සිදු වූ බොහොමයක්‌ ව්‍යාපෘති මිනිසුන්ගේ ජීවිතවලට දැනෙන, බලපෑමක්‌ සිදුවූ දේශපාලනීකරණය නොවූ ව්‍යාපෘති විය. ජනසවිය ව්‍යාපාරය, ජනසවිය භාරකාර අරමුදල නම් ව්‍යවස්‌ථාපිත අරමුදල මගින් විධිමත්ව පාලනය වූ දේශපාලනයෙන් තොර වූ ජනහිතකාමී ව්‍යාපෘතියක්‌ ලෙස පවත්වා ගැනීමට ඔහුට හැකි විය. ජනශක්‌ති බැංකුව නම් බැංකුවක්‌ මගින් හම්බන්තොට වැනි දුෂ්කර පළාත්වල දිළිඳු ජනතාව වෙනුවෙන් අරඹනු ලැබූ ව්‍යාපෘති මෙරට ග්‍රාමීය සංවර්ධනයේ නවමු අත්දැකීම් වූ බව නොරහසකි. ඉන් පසුව ඇරඹූ සමෘද්ධි ව්‍යාපාරය තුළ මෙබඳු ගුණාංග දක්‌නට නොලැබුණු බව කිව යුතුයි.

ප්‍රේමදාස ජනපති චරිතයේ දැකිය හැකි තවත් සුවිශේෂී කරුණක්‌ වන්නේ කිසිවකුගේ අවධානයට ලක්‌ නොවූ, සමාජ ආන්තිකකරණයට ගන්වූ පිරිස්‌ හඳුනාගෙන ඔවුන් ඉහළට ගැනීමට කටයුතු යෙදීමය. උසස්‌ම අධ්‍යාපනයක්‌ නොලද පහළම මට්‌ටමේ රැකියාවකට ද යා නොහැකි සාමාන්‍ය උගත්කමක්‌ ඇති තරුණියන් මෙරට ශ්‍රම බළකායේ කැපීපෙනෙන මට්‌ටමක සිටින බව තේරුම්ගත් ඔහු මෙම පිරිස කේන්ද්‍ර කරගෙන පෞද්ගලික අංශයේ Rජු සහය ලබාගෙන, ඇඟලුම් කම්හල් සිය ගණනක්‌ පිහිට වූයේය. දිවා ආහාරය ද සමග සාධාරණ වැටුපක්‌ ද ලබා දුන්නා පමණක්‌ නොව එම ඇඟලුම් නිෂ්පාදන කෙලින්ම අමෙරිකාවට යොමු කොට මෙරටට ප්‍රධාන විදේශීය විනිමය ලැබෙන මගක්‌ ද විවෘත කර දුන්නේය. අමෙරිකාවේ බොහෝ වෙළෙඳ සල්වල විකිණීමට ඇති උසස්‌ නිමාවකින් යුතු ඇඟලුම් රැසක්‌ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බව අදටත් කිව යුතු කරුණකි. ජාතියට අමතකව තිබූ යුගයක්‌ අවදි කළ වියපත් ටවර්හෝල් කලා ශිල්පීන් වෙනුවෙන් කළ වැඩ කොටසද විශිෂ්ටය.

මෙසේ බලතොත් රණසිංහ ප්‍රේමදාස චරිතය මෑතකාලීන ශ්‍රී ලංකාවේ වීරෝදාලංකාර චරිතයකි. පුද්ගලයකු ලෙස ඔහු තුළ පැවති දක්‌ෂතා සහ ගුණාංගයනුත්, පාලකයකු ලෙස ජාතික සංවර්ධනය පිළිබඳ දැරූ දර්ශනයත්, නූතන ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට සහ දේශපාලනයට කියා දෙන්නේ විශිෂ්ට පාඩමක්‌ බව යළිත් කිව යුතුය. එදා ඔහු ගොඩනැඟීමට දිරිදුන් ගමත් ගැමියන්ගේ ලෝකයත් අද දේශපාලනීකරණය වී ඇත. නිර්මාණාත්මක මිනිසෙකු තැනීමට ප්‍රේමදාස මහතා හඳුන්වා දුන් වැඩසටහන් නැවතී ඇත. එබඳු දැවැන්ත වැඩ කොටසක්‌ සාර්ථකව කළ හැකි නායකයෙක්‌ පසුගිය දස වසර තුළ අපට දක්‌නට ලැබුණේ නැත. ඒ වෙනුවට මුදල් ලාබය සහ කොමිස්‌ සොයමින් දිවයන වාණිජවාදී මිනිසුන්ගෙන් සමාජ ආයතන පිරී ගියේය. මෙම ශෝචනීය තත්ත්වයෙන් මෙම රට මුදාගත යුතුය. ඒ සඳහා සුදුසු යුගය දැන් එළඹ ඇත. රණසිංහ ප්‍රේමදාස චරිතය එහිදී යොදාගත හැකි කදිම අත් පොතකි.

* මහාචාර්ය දයා අමරසේකර
සමාජ විද්‍යා අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය.