Spread the News

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වෙස්‌ මුහුණ ගැලවෙයි

ලෝක ඉතිහාසයේ කිසි දිනෙක ජයග්‍රාහකයන් විසින් පරාජිතයන්ට වන්දි ගෙවා නැත. එහෙත් පසුගිය සඳුදා (15දා) ජිනීවාහි 29 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකා රජයට නියෝගයක්‌ කළේය. සැප්තැම්බර් මස ප්‍රකාශයට පත්වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ වාර්තාවට පෙර ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා අනිවාර්යයෙන්ම විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සහය ලබාගත යුතුයි යෑයි හෙතෙම සඳහන් කරනු ලැබීය.

ඉන් ඔහු කියා සිටියේ යුද අපරාධවලට වගකිවයුත්තන් සොයා ගැනීම සඳහා විශ්වාසනීය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමේ ක්‍රියාදාමයට මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයද සහය දක්‌වන බවයි.

සෙයිද් රාද් හුසේන් පවසන මේ විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල්වල අය යනු වෙනින් කවුරුත් නොව කොටි සංවිධානය සමග ක්‍රියා කළ පිරිස්‌ය.

කොටි සංවිධානය බරපතල ලෙස යුද අපරාධ සිදු කළේය. එම තත්ත්වය මත මානව හිමිකම් කොමසාරිස්‌ ශ්‍රී ලංකා රජයට සහය ලබා ගන්නා ලෙස කියන්නේ හිටපු කොටි ක්‍රියාකාරීන් හා ඔවුන්ට සහය වූ මක්‌කල් පඩෙයි නැමැති කොටි හිතවාදීන්ගෙන්ද? මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්‌ නොවේද? ජෝර්දානයේ හුසේන් රජු තම හමුදාව යවා කළු සැප්තැම්බර් ත්‍රස්‌ත කල්ලිය විනාශ කරද්දී විපතට පත් වූවන් සමග කටයුතු කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ ප්‍රකාශ කළේ නැත.

මෙම පසුබිම මත ශ්‍රී ලංකා රජය සිදු වූයේ කුමක්‌දැයි හිටපු කොටි 12000 කගෙන් විමසිය යුතුද?

එසේම යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්‌ථාපිත කිරීමට යෝජිත දේශීය යාන්ත්‍රණය සඳහා සියලුම දේශපාලන පක්‍ෂ, රාජ්‍ය නොවන සංවිධාන වෙතින්ද උපදෙස්‌ ලබාගන්නා ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේ විදෙස්‌ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයි. එම තත්ත්වය මත එන්. ජී. ඕ. සංවිධානවල උපදෙස්‌ ලබාගන්නේ කුමකටද?

මානව හිමිකම් කොමසාරිස්‌වරයා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට එකඑල්ලේ මැදිහත් වෙමින් මෙවන් ඉල්ලීමක්‌ කිරීමට පෙර ද්‍රවිඩ සංධානයේ හිටපු මන්ත්‍රීවරයකු වූ චන්ද්‍රකාන්තන් නේරු පුද්ගලික විද්යුත් නාලිකාවක්‌ ඔස්‌සේ සාකච්ඡාවක්‌ පවත්වමින් සුදු කොඩි ඔසවාගෙන යටත් වූ කොටි නායකයන්ට හමුදාව තේ වතුර ලබා දී වෙඩි තබා ඝාතනය කළ බව කියා සිටියේය.

මේ චන්ද්‍රකාන්තන් නේරු කවුද?

2005 පෙබරවාරි මස දිනෙක චන්ද්‍රකාන්තන් නේරුගේ පියා වූ ආරිය නායගම් චන්ද්‍ර නේරු ඝාතනය විය.

මෙම ඝාතනයෙන් පසු ප්‍රභාකරන්ගේ නියෝග මත චන්ද්‍රකාන්තන් නේරු සහ ඔහුගේ මව මඩකලපුවේ කන්ජිකුඩිච්චිආරුහි පිහිටි කොටි සම්මන්ත්‍රණ ශාලාවට ගෙන් වූ මඩකලපුව අම්පාර කොටි හමුදා නායක රාම් මාමනතීර් නැමැති කොටි සම්මානය පිරිනැමීය.

ද්‍රවිඩ ඊළම් අරගලය වෙනුවෙන් ආර්ය නායගම් නේරු කළ සේවය ඇඟයීම සඳහා එකී සම්මානය පිරිනමන බව ප්‍රභාකරන් තවදුරටත් ප්‍රකාශ කර තිබුණි.

2005 පෙබරවාරි 12 දා සිය පියා වූ ආරියනායගම් චන්ද්‍රනේරු වෙනුවෙන් කොටි සම්මානය පිළිගත් චන්ද්‍රකාන්තන් නේරු දැන් පවසන්නේ යුද්ධයේ අවසන් දින කීපයේ සිදු වූ සත්‍ය සිදුවීම් අනාවරණය කිරීමට තමා සූදානම් බවයි.

එසේම ඔහු තවදුරටත් දක්‌වන්නේ හිටපු ඇමැතිවරයකු විසින් යටත් වූ කොටි නායකයන්ට සිදු වූ දේ තමාට පැවසූ බවයි. එහෙත් එම ඇමතිවරයා තමා චන්ද්‍රකාන්තන් අමතා එවන් ප්‍රකාශයක්‌ කළේ නැතැයි පවසා ඇත.

මේ නිසා කොටි සමග සබඳතා පැවැත් වූ චන්ද්‍රකාන්තන් නේරු කරන ප්‍රකාශය විශ්වාස කළ හැකිද? බ්‍රිතාන්‍යයේ සිටි මාරි කොල්වින් නැමැති මාධ්‍යවේදිනිය පවසා තිබුණේ අවසන් අවස්‌ථාවේ කොටි සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානී පුලිතේවන් ඇයව ඇමතූ බවයි. එහෙත් චන්ද්‍රකාන්තන් පවසන්නේ පුලිතේවන් තමාව අමතා උපකාර ඉල්ලා සිටි බවය.

මේ පසුබිම මත ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා සනාථ කිරීම සඳහා ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය කරන්නේ තමිල්නාඩුවේ යෑයි අනාවරණය වී ඇත. මෑතකදී තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්‍ෂක කේ. ගනේශ් නැමැත්තා නිර්මාණය කළ පොර් කලාහිල් ඔරායු හෙවත් ඉසිප්‍රියා නැමැති කොටි නිවේදිකාව සම්බන්ධ චිත්‍රපටයෙන් ඒ බව මැනවින් සනාථ වී තිබේ.

මෙම චිත්‍රපටයේ ශ්‍රී ලංකා හමුදා සෙබළුන් යෑයි දක්‌වමින් රඟ පෑ නළුවන් ඇඳ ඇත්තේ යුද හමුදා භටයන් අදින කැලෑ ඇඳුම්ය. ඉන් තහවුරු වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් අඳින කැලෑ ඇඳුම්වලට සමාන කැලෑ ඇඳුම් තමිල්නාඩුවේ ඇති බවයි. එසේ නම් කැලම් මැක්‌රේගේ චැනල් ෙµda චිත්‍රපටවලට ව්‍යාජ වීඩියෝ දර්ශන සැපයූනේ තමිල්නාඩුවෙන් යෑයි කිව හැකිය.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට කෙරෙන ප්‍රකාශ සහ ඝාතන සිදු කර ඇති බව දක්‌වන වීඩියෝ පට ආදිය එකම ජාලයේ මෙහෙයුම්ය.

එය සනාථ වන්නේ කැලම් මැක්‌රේ පසුගියදා අයර්ලන්ත පාර්ලිමේන්තුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහි නෝ පයර් සෝන් චිත්‍රපටය තිරගත කිරීමෙනි.

එම අවස්‌ථාවට ජර්මනියේ ඡේ. ඩී. එස්‌. නැමැති ව්‍යාජ රාජ්‍ය නොවන සංවිධානය මෙහෙය වන රෝහිත භාෂණ අබේවර්ධන නැමැති කොටි හිතවාදියාද පැමිණ සිටියේය.

කොටි ත්‍රස්‌ත කණ්‌ඩායමේ දේදුන්න පුවත්පත සකස්‌ කළේ මොහුයි. මොහුගේ කොටි සබඳතා හෙලි වෙත්ම ජර්මනියට පැන ගොස්‌ සිය ද්‍රවිඩ බිරිය සමග දේශපාලන රැකවරණ ලබා ගත්තේය.

මෙලෙස ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ මෙවන් කොටි හිතවාදීන්ය.

එහෙත් 2011 ජුනි මස දිනෙක කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ හමුදා නිලධාරී ලුතිනන් කර්නල් ලෝරන්ස්‌ ස්‌මිත් පැවසුවේ කොටි සුදු කොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණි බවට දියත් වී ඇති ප්‍රචාරය සැක කටයුතු බවයි.

කොටි සංවිධානයේ බලය නඩේශන් වැන්නවුන්ට නැති බවත් එම තත්ත්වය මත යටත් වීමට ගත් තීරණය විශ්වාස කළ නොහැකි බවත් ලුතිනන් කර්නල්වරයා පවසනු ලැබීය. කොළඹ පැවැති ආරක්‍ෂක සමුළුවකදී ලෝරන්ස්‌ ස්‌මිත් කළ ප්‍රකාශය ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උදහසට පත් විය.

ලුතිනන් කර්නල් ස්‌මිත් කළ එම ප්‍රකාශය නිසා ඔහු යුද අධිකරණයට නොගොස්‌ බේරුණේ අනූනවයෙනි.

මේ අතර චන්ද්‍රකාන්තන් නේරු තවදුරටත් පවසා ඇත්තේ වන්නි අවසාන අදියරේ සිදු වීම් දුටු ලෙසිනි. කොටි 3000 ක්‌ද සිවිල් වැසියන් 22000 ක්‌ද යටත් වූ බව ඔහු ප්‍රකාශ කර ඇත.

එහෙත් රටින් බැහැර ඊළම් ආණ්‌ඩුවේ ප්‍රධානියා වු විශ්වනාදන් රුද්රකුමාරන් පැවසූවේ කොටි 300 ක්‌ මැරුම් කෑ බවත් 2700 ක්‌ විදේශ රටවල සිටින බවත්ය.

මෙලෙස කොටි හිතවාදීන් එකිනෙකා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ කරද්දී ඇමරිකානු රජය ජිනීවා මානව හිමිකම් සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව ලබන අගෝස්‌තු මසදී කියෑවීමට බලාපොරොත්තු වන බව දක්‌වා ඇත.

මෙවර 29 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන අතරේ ඊට සමීප ශාලාවක තවත් සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ රටින් බැහැර ඊළම් ආණ්‌ඩුව නැමැති සංවිධානය, සමූලඝාතනයට එරෙහි ජාත්‍යන්තර සංවිධාන සහ ඊ. බී. එස්‌. සීතා නැමැති රාජ්‍ය නොවන සංවිධානයයි.

මානව හිමිකම් පිළිබඳ රාජ නීතිඥ ජෙප්රි රොබට්‌සන්, මහාචාර්ය රාමු මානික්‌කන් සහ රටින් බැහැර ඊළම් ආණ්‌ඩුව නැමැති ව්‍යාජ සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු ඇමැති යෑයි හඳුන්වා ගත් මානික්‌කවාසගර් එකී සාකච්ඡාවට දායක වී ඇත.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන සනාථ කරමින් මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා රජයට නිසා ද්‍රවිඩයන්ට යුක්‌තිය හිමිවන්නේ නැතැයි ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ජෙප්රි රොබට්‌සන් නැමැත්තා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීමට ජාත්‍යන්තර අධිකරණයට සහ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට පැවරිය යුතු බවට යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන්ට එරෙහිව සමූලඝාතන ක්‍රියාදාමයක්‌ සිදු කර ඇති අතර මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සිදු කර ඇති බවද මේ සාකච්ඡාවට සම්බන්ධ වූවෝ ඒකමතිකව තීරණය කර තිබේ.

පැමිණිලිකරු සාක්‍ෂිකරු හා විනිසුරු ලෙස ක්‍රියා කර ඇති මෙම කොටි හිතවාදීන් කණ්‌ඩායම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළදී සාකච්ඡා කර තීන්දුවද මොහොතකින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම සාකච්ඡාවට විදේශ තානාපතිවරු කීපදෙනකුද සහභාගී වී තිබේ.

මෙකී සාකච්ඡාවට පෙර පසුගිය සඳුදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළදී කොටි මාධ්‍ය ඇමතූ රටින් බැහැර ඊළම් ආණ්‌ඩුවේ මාධ්‍ය ඇමැති යෑයි හඳුන්වාගත් සුදත් රාඡ් මෙලෙස ප්‍රකාශ කර ඇත.

“එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරනවා. ජිනීවා නුවරට පැමිණ සිටින දෙමළ සංවිධාන නියෝජිතයන් ඒ සඳහා ක්‍රියා කරනවා යෑයි ඔහු කියා සිටියේය.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළ කොටින්ට සාකච්ඡාවක්‌ පැවැත්වීමට ඉඩ ලැබීමත් එම සාකච්ඡාව තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතු යෑයි ප්‍රකාශ වීමත්ය.

මේ නිසා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඉදිරිපත් කිරීමට යෝජිත ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළත් පරීක්‍ෂණ වාර්තාව අඩංගු තොරතුරු දෙමළ සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් දන්නා බව පැහැදිලිය.

29 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයද සහභාගී වී ඇත.

එහිදී එකී කොටි හිතවාදී සංවිධානය මානව හිමිකම් කොමසාරිස්‌ සෙසිද් රාද් හුසේන් වෙත සන්දේශයක්‌ භාර දෙමින් ශ්‍රී ලංකාව විශාල ලෙස මිනිස්‌ ඝාතන සිදු කළ බවට මානව හිමිකම් වාර්තාවේ අඩංගු කරන ලෙසත් එම වාර්තාව මත ක්‍රියාකරන ලෙසත් ඉල්ලා ඇත.

මේ අතර ත්‍රිකුණාමල කොටි හමුදා නායකයා වූ එලිලන්ගේ බිරිය ආනන්දි සසිදරන් ශ්‍රී ලංකා හමුදාවට එල්ල කරන චෝදනා සාවද්‍ය යෑයි තහවුරු වී ඇත.

තම සැමියා හමුදාවට යටත් වූයේ තමිල් නාඩු මහ ඇමැතිව සිටි කරුණානිධිගේ දියණිය වූ කනමෝෂි කළ දැනුම් දීම මත යෑයි ආනන්දි සසිදරන් මුලතිව් අධිකරණය හමුවේ පවසා තිබුණි.

එහෙත් කනමෝෂි පැවසුවේ තමා එලිලන් නැමැත්තකු ගැන දන්නේ නැති බවත් ආනන්දි බොරුකියන බවත්ය.

මුලතිව් අධිකරණය හමුවේ කනමෝෂිගේ මැදිහත් වීම ගැන කරුණු දැක්‌ වූ ආනන්දි අතුරුදන් වූවන් පිළිබඳ වූ ජනාධිපති කොමිසම හමුවේ එකී ප්‍රකාශය කර නොතිබුණි.

චන්ද්‍රකාන්තන් නේරු තමා ශ්‍රී ලංකා රජයේ ඇමැතිවරයකු අමතා කොටි හමුදා නායකයන්ට යටත් වීමට අවස්‌ථාව දුන් බව පවසද්දී ආනන්දි සසිදරන් පවසන්නේ තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනමෝෂි සමග සාකච්ඡා කර යටත් වීමේ අනුමැතිය ගත් බවයි.

මේ තත්ත්වය මත මෙවැනි ප්‍රකාශ කෙරේ විශ්වාස කළ හැකිද? ශ්‍රී ලංකාව අන්තර්ජාතික යුද අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු යෑයි රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පවසන්නේ මෙවැනි බේගල් ප්‍රකාශ මතද?

මේ අතර පුදුමාකාර සිද්ධියක්‌ වාර්තා වීය. සූඩානයේ ජනාධිපති ඔමාර් බෂීර්ට දකුණු අප්‍රිකාවෙන් පිටත් වීමට ඉඩ දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රාජ්‍ය නොවන සංවිධින ක්‍රියාකාරීන් 42 ක්‌ සහ රාජ්‍ය නොවන සංවිධාන 12 ක්‌ නිවේදනයක්‌ නිකුත් කරමින් දකුණු අප්‍රිකානු රජයට චෝදනා කර ඇත. ජාත්‍යන්තර අධිකරණය විසින් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් බෂීර්ව අත්අඩංගුවට ගන්නැයි දකුණු අප්‍රිකානු රජයට නියෝaග කර තිබුණි. එහෙත් දකුණු අප්‍රිකානු බලධාරීන් එම නියෝගය පිළිගෙන නැත. මේ නිසා මෙරට විදෙස්‌ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සූඩානයේ අභ්‍යන්තර ප්‍රශ්නයකට මැදිහත් වී ඇත.

* කීර්ති වර්ණකුලසූරිය