Spread the News

හක්‌ ගෙඩිය ගිලී දියමන්තිය මතුවීම!

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී දැන් මාස 132 ක්‌ ගතවී ඇත. සෝම හිමියන්ගේ අපවත්වීම ගැන යළි සිහිකරන්නට සිදුවූයේ යළිත් වරක්‌ මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කර ඇති නිසාය. 2004 මැතිවරණයේදී නම් සෝම හිමියන්ගේ හදිසි අපවත්වීම මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛ කථා බහක්‌ විය. 2004 පෙබරවාරි 17 වැනිදා ජාතික හෙළ උරුමය බිහිවූයේද සෝම හිමියන්ගේ අභාවයෙන් පසු ඇතිවූ බෞද්ධ නැගිටීම දේශපාලන ව්‍යාපාරයකට හැරවීම සඳහාය. 2004 මැතිවරණ වේදිකාවේදී ජාතික හෙළ උරුමය ප්‍රකාශ කර සිටියේ අපවත්වූ සෝම හිමියන්ගෙන් ගිලිහුණු බෞද්ධ ප්‍රබෝධයේ ධජය ඉදිරියට ගෙනයන බවය.

එවක පැවැති එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුව පරාජය වීමටත් හෙළ උරුමයේ දේශපාලන ආගමනය බෙහෙවින් බලපෑ බව ප්‍රකට කරුණකි. එජාපය ගැන කළකිරී සිටි සිංහල බෞද්ධයෝ “දිවියේ එක්‌වරක්‌ රට දැය සමය වෙනුවෙන්” කියා හක්‌ගෙඩියට සිය ඡන්දය පූජා කළහ. එනිසාම 2004 අප්‍රේල් 04 වැනිදා පැවැති මහමැතිවරණයේ දී හෙළ උරුමයට ඡන්ද 552724 ක්‌ ලැබුණු අතර එයින් භික්‍ෂුන් නවදෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රිධුර හිමිවිය. බෞද්ධයාගේ අයිතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පැමිණි මේ දේශපාලන ව්‍යාපාරයෙන් මෙරට බහුතරයට සාධාරණය ඉටුවීද නැද්ද යන්න ඉතිහාසය විසින් තීරණය කරනු ඇත. නමුත් ඉදිරි මහමැතිවරණයේ දී මේ පක්‍ෂයේ නිල නමත් ලාංඡනයත් වෙනස්‌වන බව පසුගිය සතියේ ප්‍රකාශ විය. ඒ අනුව ජාතික හෙළ උරුමයද දේදුනු සන්ධානයක්‌ බවට පත්ව ඇත. ජාතික හෙළ උරුමය නම් බෞද්ධ පක්‍ෂය මරණයට පත්වී එක්‌සත් යහපාලන පෙරමුණ නම් නව පක්‍ෂය බිහිවූයේ ඉකුත් සතියේ දීය. ඒ අනුව හක්‌ගෙඩිය වෙනුවට දියමන්තිය ප්‍රාතීර්භූතවී ඇත.

කාලයෙන් කාලයට දේශපාලන අරමුණු වෙනස්‌ වේ. දේශපාලන මතවාදයන්ද වෙනස්‌වේ. එලෙසම හෙළ උරුමයේ බෞද්ධකම ගැලවී ගියේද? කවරක්‌ නමුත් 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ජාතික හෙළ උරුමය පොදු අපේක්‍ෂකයාට සහායදීමට දේදුනු සන්ධානය සමඟ එක්‌විය. ඒ සන්ධානයට එක්‌වීම පිළිබඳව 2014 දෙසැම්බර් 21 වැනිදා දිවයින පුවත්පතට ‘ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇදවැටීම’ මැයෙන් ලිපියක්‌ සටහන් කළෙමි. අද හක්‌ගෙඩිය ගිලී දියමන්තිය මතුවීමෙන්ම පෙනී යන්නේ එදා අප ප්‍රකාශ කළ ලෙන්දොරින් පහළට ඇදවැටීම නොවන්නේද? එදා මහින්ද රාජපක්‍ෂ රජය කඩා බිඳගෙන පැමිණි හෙළ උරුමය නායකයන් ප්‍රකාශ කළේ තමන් ගල්ලෙන බිඳ පැමිණි බවයි. හෙළ උරුම නායකයන්ට සිංහයා සමඟ ප්‍රශ්නයක්‌ තිබුණද සාමාන්‍ය පාක්‍ෂිකයින්ට සිංහයා සමඟ ප්‍රශ්නයක්‌ තිබුණේ නැත. ඔවුන් සිංහයා හැරදමා පැමිණ සන්ධාන ගතවුණේ වෘකයන් හා කොටියන් සමඟය. කවරක්‌ නමුත් හෙළ උරුමය ඇති කළ මහින්ද විරෝධී හඬ නිසාම මෙරට මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයන් කොටසක්‌ හංසයා සමඟ පිහිනා ගිය බව රහසක්‌ නොවේ. හංසයා සමඟ පිහිනා ගොස්‌ ටික කලකින්ම මෙය පිහිනීමටත් බැරි ගඳ ගසන කුණු ඇළක්‌ බව බොහෝ දෙනාට අවබෝධ වී ඇත. එහෙත් දැන් කල් පැනගොස්‌ය. ජනපතිවරණ සමයේදීද හෙළ උරුමය දෙදරා ගිය බව ප්‍රකට කරුණකි. දේදුනු සන්ධානය සමඟ ආණ්‌ඩු කරන විට හෙළ උරුමයද මිය යමින් තිබිණි. එනිසාම ගල්ලෙනෙන් පහළට ඇදවැටී හක්‌ගෙඩිය බිඳී දැන් එක්‌සත් යහපාලන පෙරමුණ බිහිව ඇත.

එක්‌සත් යහපාලන පෙරමුණ බිහිවන්නේ මන්ද? ජනවාරි 08 වෙනස රැකගන්නද? ජනවාරි 08 වෙනස රැකීමට හක්‌ගෙඩිය ගිල්වා ඇති බව නම් පෙනේ. ජනවාරි 08 දිනයට පෙර යහපාලනය ජනප්‍රිය වචනයක්‌ වුවද වර්තමානයේ එය අප්‍රිය දෙයක්‌ බවට පත්ව ඇත. මෙගා ඩීල් කාරයන්ට එරෙහිව කථා කළ හෙළ උරුම නායකයන්ට යළිත් සන්ධානය සමඟ එක්‌වී තරග කිරීමට නොහැකිය. එය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයකි. නමුත් යහපාලන පෙරමුණ සමඟ සම්බන්ධවන්නේ කවුරුන්ද යන්නත් සොයා බැලිය යුතුය. බර්ගොµa පදනමේ ක්‍රියාකාරීන්ද යහපාලන පෙරමුණ හා එක්‌වී ඇත. මොවුන් අර අඳින්නේ කවර කුමන්ත්‍රණයකටද? චම්පික රණවක මහතා නම් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු පුද්ගලයෙකි. එය ඔහුගේ දේශපාලන දර්ශනයට විරුද්ධ අය පවා කියන කතාවකි.

පිවිතුරු හෙටක්‌ සංවිධානය බිහිවන්නේ අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙනි. මහින්ද රාජපක්‍ෂ පාලනයට එරෙහිව මුලින්ම ගිනි බිඳින්නේ රතන හිමියන්ය. 2004 දී ජාතික හෙළ උරුමය බිහිවූ කාරණා හා 2014 දී පිවිතුරු හෙටක්‌ බිහිවූ කාරණා එකිනෙකට පරස්‌පරය, සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂිකයන්ට විධායක ජනපති ක්‍රමය වෙනස්‌ කිරීමට අත්‍යාවශ්‍ය වූයේ නැත. නමුත් එය 2014 දී රතන හිමියන්ට අවශ්‍ය විය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ටද අවශ්‍ය විය. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනපති වූ පසුව සම්මත කළ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනු ලැබුවේද? නැත. තම ප්‍රාර්ථනා ඉටු නොවීමත්, මහින්ද රාජපක්‍ෂ මහතා යළි දේශපාලන කරලියට පැමිණීමත් ගැන මාදුළුවාවේ සෝභිත හිමියෝ උකටලීව සිටිති. එහෙත් මහින්ද රාජපක්‍ෂ යළි දේශපාලනයට පිවිසීම ගැන මෙරට බහුතර ජනතාව උකටලී නොවෙති.

පිවිතුරු හෙටක්‌ ගැන සටහන් කිරීමට යද්දී සාධාරණ සමාජයක්‌ සඳහා වූ ව්‍යාපාරයත් සෝභිත හිමියන්වත් සිහිවිය. එහෙත් මේ යහපාලන පෙරමුණ පිළිබඳව රතන හිමියෝ සිටින්නේ උකටලීවද? 2014 නොවැම්බර් මස 16 වැනිදා දිවයින පුවත්පතට හෙළ උරුමය දැලි පිහියෙන් කිරිකෑම යනුවෙන් ලිපියක්‌ ලියූ අපි ඉදිරියේදී මහින්ද පරාජය වුවහොත් ඇතිවන දේශපාලන අස්‌ථාවරභාවය ගැන ඉඟි කළෙමු. ඒ අස්‌ථාවරභාවය දැන් සියළුදෙනාටම වඩා හොඳින් රතන හිමියන්ට දැනෙන බව නම් පැහැදිළිය.

ඇත්තෙන්ම හෙළ උරුමය දැලි පිහියෙන් කිරි කා ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇදවැටී තිබේ. එදා 2004 දී රට දැය සමය වෙනුවෙන් හක්‌ගෙඩියට ඡන්දය දුන් අයට අද ඇතිවන හැඟීම කුමක්‌ද? මේ යහපාලනයක්‌ ගැන ඔවුන් සිහිනෙන්ද සිතන්නට නැත. නමුත් නොසිතූ දෙයම සිදුවන බව අප හොඳින් අවබෝධකර ගත යුතුය. පුරා වසර දහයකට අධික කාලයක්‌ තිස්‌සේ හෙළ උරුමය කළ දේශපාලන වික්‍රමයන්ට දැන් විරාමයක්‌ ලැබී ඇත්තේ හදිසියේම දියමන්තිය ප්‍රාතීර්භූතවීම නිසාය. එදා හක්‌ගෙඩිය පූජනීය වූ අරමුණක්‌ දිනවන්නට භාවිත කෙරිණි. අද දියමන්තිය භාවිත වන්නේ කවර අරමුණකටද? ආර්ථික ලාභයද? ආත්ම ලාභයද? එසේ නැත්නම් ඉදිරි දේශපාලන පිම්ම සඳහාද? මේ පිළිබඳ තීරණයක්‌ ගැනීමට අගෝස්‌තු 17 වන තෙක්‌ බලා සිටිය යුතුව ඇත.

චතුර පමුණුව