Spread the News

පොලිස්‌පතිවරයාට ඇමරිකාවෙන් ඔත්තුවක්‌
මහ කුඩු රජා මුජහීඩ් සොයා ගිය නාකොටික්‌ මෙහෙයුම

සාදු චරිතයක්‌ ලෙස සමාජයේ ගැවසෙමින් මේ පිං බිම මත් කුඩුවලින් වැනසූ ජාත්‍යන්තර කුඩු ඒජන්තයකු වන මොහොමඩ් මුබාරක්‌ මොහොමඩ් මුජහීඩ්ගේ සැබෑ නිරුවත ලෝකයට හෙළි කරමින් ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් රට වෙනුවෙන් කැප වී සිය යුතුකම ඉටු කළ අන්දම පිළිබඳ අපි ඉකුත් සතියේ සටහන් කළෙමු.

ඒ ඉතා කෙටියෙනි. එකී කෙටි සටහන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සිදු කළ ප්‍රශස්‌ථ සේවය අගැයීමට තරම් ප්‍රමාණවත් නොවන්නක්‌ බවද අපි දැන සිටියෙමු. නමුත් මුජහීඩ් සිද්ධිය ගෙන අන්තර් ජාලය ඔස්‌සේ “තණකොළ කපන්නට ගස්‌ නගින” උන් දුටු කල්හි අපට එසේ කරන්නට සිදු විය.

මන්ද “තණකොළ නැහැ ගහ මුදුනේ” ලෙසින් එසේ ගස්‌ නගින උන් කිසිවිටකත් නොකියන බව අප මැනවින් දැන සිටි නිසාය. උන් සැරසුණේ මුජහීඩ් සිද්ධිය ඔස්‌සේ දේශපාලන පාට කණ්‌ණාඩි දමාගෙන ගස මුදුනට නැග නැති තණ කොළ ගෙන රටට පෙන්වන්නටය. එකී උත්සාහය පරාජය කළ යුතුම වූ එකක්‌ බැවින් එහිදී අපට පෙනී සිටින්නට සිදු විය.

එහෙත් අවැසි තැනදී එසේ කළද මොහොමඩ් මුජහීඩ් කොටු කර යක්‍ෂයාගේ වෙස්‌ මුහුණ ගලවමින් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැඩි කැපවීමෙන් යුතුව කළා වූ මෙහෙවර අමතක කරන්නට අපට නොහැක.

මත් කුඩු හමුවේ බටේ කටේ තබමින් වැනසී ගියේ මේ රටේ තාරුණ්‍යය. අපේ සොයුරු සොයුරියන්ය. පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මුජහීඩ් වැනි සාදු වෙසින් සිටි අමනයකු ලෝකයට හෙළි කරමින් මේ සිදු කර ඇත්තේ කුඩු බිඳකින් වැනසී යන රටේ අනාගතය එකී ව්‍යසනයෙන් මුදා ගැනීමට හෙවත් මත් කුඩු ජාවාරම රටෙන් තුරන් කිරීමට එඩිතරව පියවර ගැනීම වන්නේය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනට වසර තුනක පමණ සිට ඉතා සැලසුම් සහගතව සිදු කර ඇති මුජහීඩ්ගේ වෙස්‌ මුහුණ ගැලෙව්වාක්‌ වැනිම වූ තවත් මෙහෙයුම් කිහිපයක්‌ම ඇත. ඒ සියල්ල ඔවුන් සිදු කර ඇත්තේ රටේ අනාගතය මත් රකුසාගෙන් බේරා ගැනීමේ අරමුණ ඇතිවය. එය අප ඉතා වගකීමෙන් සටහන් කරන්නකි. මෙහිදී කිවයුතු තවත් දෙයක්‌ද ඇත. ඒ කොතෙක්‌ මෙහෙයුම් සිදු කළද පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය කිසිවිටෙකත් මාධ්‍ය සංදර්ශන පවත්වමින් ඒවා සමාජගත කරන්නට උත්සාහ නොදැරූ බවය.

ඔවුන්ට අවැසි වූයේ කළ යුතු දේ කිරීම විනා අපි දක්‍ෂයෝ යෑයි කියමින් රටට අඬබෙර ගැසීම නොවීම නිසා එය එසේ සිදු විය. ඒ අන්දමින් මේ වන විට මත්ද්‍රව්‍ය කාර්යාංශය නිහඬවම රටට සිදු කර ඇති සේවය සුවිශාල බවද සඳහන් කළ යුතුය.

එහෙයින් මෙතැන් පටන් මුජහීඩ් සොයා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගිය ඒ ගමන පිළිබඳ කතාව අප රට ඉදිරියේ තබනුයේ එම නිලධාරින්ට මෙන්ම එකී මෙහෙයුමේදී ඔවුන්ට පූර්ණ සහාය දුන් එවකට මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණයන් මෙහෙය වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සහ නියෝජ්‍ය පොලිස්‌පති චන්ද්‍රd වාකිෂ්ඨ නායකත්වය දුන් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට පුදකර “දිවයිනේ” ආචාරයද සමගය. ඒ රට වෙනුවෙන් මෙවන් නිලධාරින්ට ආචාර කිරීම අපේ යුතුකම වන නිසාය.

2003 වසරේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට කොටු වූ වෝඩ් පෙදෙසේ කුඩු සියාම්ගේ සිද්ධියේදී මුලින්ම මුජහීඩ් පිළිබඳ තොරතුරක්‌ ලැබුණද මුජහීඩ් යනු කුඩු ඒජන්තයකු බව යම්තාක්‌ දුරට තහවුරු කර ගැනීමට පොලිසියට හැකි වූයේ ඉකුත් 2012 වසරේදී වනාතේ “පරයි සුදූ” නමැති කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමත් සමගිනි.

බියගම ප්‍රදේශයේදී මත් කුඩු තොගයක්‌ සමඟ පරයි සුදූ කොටුකර ගැනීමෙන් පසු ඔහුට මත්කුඩු ලබා දෙනුයේ කවරෙක්‌ද යන්න පිළිබඳ පොලිසියේ අවධානය යොමු විය. එහිදී ගුවන් සමාගම් නිලධාරියකු වූ සෙරිµaඩීන් නමැත්තකු එය සිදු කරන බව හෙළි කර ගැනීමට පොලිසියට හැකි විය.

ඒ අනුව පලා යැමට කිසිම අවස්‌ථාවක්‌ නොතබාම වහා සෙරිµaඩීන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී යළිත් වතාවක්‌ මුජහීඩ් යන නම කරළියට පැමිණෙන්නට විය. ඒ සෙරිµaඩීන්ගේ බැංකු ගිණුම හරහා මැලේසියාවේ සිටින මුජහීඩ් නමැත්තකුට විශාල වශයෙන් මුදල් හුවමාරු වී තිබෙන බව හෙළි වීමෙනි.

මෙම අනාවරණයත් සමග මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් ඉදිරියට පැමිණියේ විශාල අභියෝගයකි. ඒ මෙකී මුජහීඩ් යනු කුඩු සියාම්ගේ මස්‌සිනා බව ඒ වන විටත් පොලිසිය දැන සිටියද හේ කවරෙක්‌දැයි නිශ්චිතව හඳුනා ගැනීමට පොලිසියට අවස්‌ථාවක්‌ ලැබී නොතිබීම නිසාය.

මේ අනුව ඉදිරි විමර්ශන සාර්ථක කරගනුවස්‌ සිය ප්‍රධානියා වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා හමුවූ එහි නිලධාරින් කණ්‌ඩායමක්‌ මුජහීඩ් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට වූයේ තමන් ඉදිරියට පැමිණ ඇති අභියෝගය ජය ගැනීමට තිබෙන මාවත විවර කරගැනීමේ තිර අදිටනින් යුතුවය.

අවසානයේ ඔවුහු සිය ප්‍රධානියාගේද උපදෙස්‌ අනුව තීරණයකට එළැඹියහ. ඒ සියලු බාධක ජයගනිමින් මුජහීඩ් සොයා දීර්ඝ විමර්ශනයක්‌ ආරම්භ කරමිනි. ඒ වන විට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සතුව තිබුණේ මුජහීඩ් යනු සියාම්ගේ මස්‌සිනා සහ පරයි සුදූ සමග අත්අඩංගුවට ගත් සෙරිෆ්ඩීන්ගේ බැංකු ගිනුම ඔස්‌සේ ඔහු සම්බන්ධයෙන් සොයා ගත් තොරතුරු කිහිපයක්‌ පමණි.

එහෙත් ලැබී තිබුණු එකී සාධක කිහිපය ප්‍රයෝජනයට ගනිමින් මුජහීඩ් සොයා යන ගමන ආරම්භ කිරීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පසුබට නොවුණි. මෙසේ දින සති මාස බවට පෙරළෙමින් කාලය ගෙවී යන්නට විය. ඒ අන්දමින් 2012 වර්ෂයද ගෙවී ගියේය. නමුත් ඒ කාලය හා සමගම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරිහුද දිවා රෑ නොබලා මුජහීඩ් සොයා ඉලක්‌කය වෙත යන ගමනේ යෙදෙන්නට වූහ.

මේ අයුරින් 2013 වර්ෂයද ආරම්භ විය. ඒ අතරේ දිනක්‌ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා වෙත ඇමරිකානු බුද්ධි සේවාවක්‌ ඔස්‌සේ මෙරට මත් කුඩු ජාවාරම පිළිබඳ එක්‌තරා වැදගත් තොරතුරක්‌ ලැබෙන්නට වූයේ පොලිස්‌පති වරයාද විශ්මයට පත් කරමිනි.

එකී තොරතුරෙන් කියෑවෙන්නට වූයේ ශ්‍රී ලංකාව තුළ ගබඩා කර තිබෙන විශාල මත්කුඩු තොගයකින් කිලෝ ග්‍රෑම් දෙසීයක ප්‍රමාණයක්‌ ඕස්‌ටේ්‍රලියාවට යෑවීම සඳහා උපාය දූතයකු ලෙස පෙනී සිටින ඇමරිකානු බුද්ධි සේවා නිලධාරියකු සමග මෙරට සිටින පුද්ගලයකු සහ මැලේසියාවේ රැඳී සිටින්නකු දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටින බවකි.

එම තොරතුරත් සමග වහා ක්‍රියාත්මක වූ පොලිස්‌පති එන්.කේ. ඉලංගකොන් මහතා පොලිසියේ කිසිවකුටත් නොදැනෙන ලෙස මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා කැඳවා ඇමරිකානු බුද්ධි සේවාවෙන් ලද තොරතුර පිළිබඳ ඔහුව දැනුවත් කරනුයේ පවතින තත්ත්වය ඉතා භයානක බැවින් කෙසේ හෝ අදාළ ජාවාරම්කරුවන් කොටුකරගත යුතු බවට උපදෙස්‌ ලබා දෙමිනි.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයාට එසේ උපදෙස්‌ දෙන අතරේ එක්‌ වැදගත් තීන්දුවක්‌ ගැනීමටද පොලිස්‌පතිවරයා එහිදී කටයුතු කරන්නේය. ඒ සිදු කරන විමර්ශනයේදී කිසිවකුටත් වගනොකියන පරිදි තමා සමඟ Rජු සබඳතා පවත්වා ගනිමින් සියල්ල සිදුකිරීමට මත්ද්‍රව්‍ය කාර්යාංශයට අවසර ලබා දීමය.

මෙසේ පොලිස්‌පතිවරයාගෙන් ලද උපදෙස්‌ අනුව ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා ඒ වන විටත් මුජහීඩ් සොයා මෙහෙයුමක නිරතව සිටින සිය නිලධාරින් දසදෙනකු පමණ තමන් වෙත කැඳවා පොලිස්‌පතිවරයාට ලැබී ඇති ඇමරිකානු බුද්ධි සේවා තොරතුර හෙළි කරමින් ජාවාරම්කරුවන් කෙසේ හෝ කොටු කරගත යුතු බව ඔවුන්ට සඳහන් කරනුයේ පවතින බරපතල තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමිනි.

එහිදී එක්‌තරා අපූරු සැලසුමක්‌ මුලින්ම ක්‍රියාත්මක කිරීමටද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා කටයුතු කරන්නේය. එම සැලසුමට අනුව පොලිස්‌පතිවරයාගේ අවසරය මත ඇමරිකානු බුද්ධි සේවා කණ්‌ඩායම සමග සාකච්ඡා කරන හෙතෙම ශ්‍රී ලංකාවේ හා මැලේසියාවේ සිටින මත් කුඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන බුද්ධි නිලධාරියා මෙරටට ගෙන්වා ගන්නේය.

ඒ උපාය දූතයකු ලෙස ඇමරිකානු බුද්ධි නිලධාරියා යොදවා ගනුදෙනුව සාකච්ඡා කරන මුවාවෙන් මෙරට සිටින ජාවාරම්කරු හඳුනා ගැනීමේ උපක්‍රමයක්‌ ලෙසිනි. මේ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු බුද්ධි නිලධාරියාගේ නවාතැන ලෙස කොළඹ අධිආරක්‍ෂක කලාපය තුළ පිහිටි තරු හෝටලයක්‌ වෙන් කර දෙන්නට පොලිසිය පියවර ගන්නේ මෙහෙයුම් කටයුතු පහසු වනු පිණිසය.

නමුත් ඇමරිකානු බුද්ධි නිලධාරියා කොළඹට කැඳවා මෙරට රැඳී සිටින ජාවාරම්කරු හඳුනා ගන්නට පොලිසිය මෙසේ උත්සාහ දැරුවද මෙහිදී එක්‌ ගැටලුවකට මුහුණ දෙන්නට සියල්ලන්ට සිදු වන්නේ කිසිවකුත් නොසිතූ අයුරිනි. එකී ගැටලු වන්නේ ශ්‍රී ලංකාවට පැමිණියද මෙරට සිටින ජාවාරම්කරු හා Rජුව දුරකථන සාකච්ඡා පැවැත්වීමට ඇමරිකානු බුද්ධි නිලධාරියාට අවස්‌ථාවක්‌ නොලැබීමය.

එය ජාවාරම්කරුවන් සිය ආරක්‍ෂාව වෙනුවෙන් ගනු ලැබූ උපක්‍රමික පියවරක්‌ විය. මේ අනුව ඇමරිකානු නිලධාරියාට මෙරට සිටින ජාවාරම්කරු හා සාකච්ඡා කිරීමට සිදු වන්නේ මැලේසියාවේ ඒජන්තවරයාට ගනු ලබන ඇමතුමක්‌ හරහා කොන්µරන්ස්‌ ක්‍රමයට සම්බන්ධ වෙමිනි. මේ හේතුවෙන් දුරකථන දත්ත ඔස්‌සේ මූලික විමර්ශනය ආරම්භ කිරීමට පොලිසිය මුලින් තීරණය කර තිබුණද එය ව්‍යර්ථ වන්නේ බලාපොරොත්තු නොවූ අයුරිනිs.

එහෙත් මෙහිදී උත්සාහය අත්නොහරින මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අවසානයේ ගනුදෙනුව සාකච්ඡා කිරීමට බව හඟවමින් ඇමරිකානු බුද්ධි නිලධාරියා මගින් මෙරට ජාවාරම්කරු තරු හෝටලය වෙත කැඳවීමට පියවර ගනු ලබනුයේ ඔහුව එහිදී හඳුනා ගැනීමට තීරණය කරමිනි.

මේ අනුව ඇමරිකානු නිලධාරියා මැලේසියා ඒජන්තවරයා හරහා මෙරට ජාවාරම්කරු හා සම්බන්ධ වෙමින් දිගින් දිගටම කරනු ලබන ඉල්ලීමකට අනුව අවසානයේ දැඩි පෙරැත්තයකින් පසු ඔහු හමු වීම සඳහා තරු හෝටලය වෙත පැමිණීමට මෙරට ජාවාරම්කරු එකඟතාව පළ කරන්නේය.

ජවාරම්කරු මෙසේ එකඟතාව පළ කිරීමත් සමඟ වහා ක්‍රියාත්මක වන පොලිසිය ඕනෑම මොහොතක ඇමරිකානු නිලධාරියා රැඳී සිටින තරු හෝටලයේ සීසීටීවී කැමරා පද්ධතිය නිරීක්‍ෂණය කිරීම සඳහා අධිකරණ අවසරයක්‌ ගනු ලබනුයේ සුළු අතපසු වීමක්‌වත් වීමට ඉඩක්‌ නොතබා සිය ඉලක්‌කය සපුරා ගනු සඳහාය.

මේ අන්දමින් පොලිසිය මෙම කුඩු ජාවාරමේ සුලමුල සොයා ගැනීම සඳහා සියලු උපක්‍රම යොදන අතරේ දිනක්‌ මැලේසියාවේ සිටින ඒජන්තවරයාගෙන් ඇමරිකානු බුද්ධි නිලධාරියාට ඇමතුමක්‌ ලැබෙන්නට විය. එය ඉකුත් 2013 වසරේ මුල් කාර්තුවේ දිනයක්‌ විය. ඒ වන විට ඇමරිකානු නිලධාරියා මෙරටට පැමිණ සතියක පමණ කාලයක්‌ද ගෙවී ගොස්‌ තිබිණ.

මෙසේ මැලේසියානු ඒජන්තවරයා ඇමරිකානු නිලධාරියාට ලබා දුන් දුරකථන ඇමතුමෙන් කියන්නට වූයේ හරියටම පසුදා දහවල් 2.00 පමණ වන විට ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඒජන්තවරයා ඔහු හමුවීම සඳහා තරු හෝටලය වෙත පැමිණෙන බවකි.

මෙම ඇමතුමත් සමඟ ජාවාරම්කරු හෝටලය වෙත පැමිණෙන බව කී දිනයේ උදෑසන සිටම කිසිවකුටත් නොහැඟෙන පරිදි සිය නිලධාරින් සිවිල් ඇඳුමින් තරු හෝටලය තුළ අවේක්‍ෂණ රාජකාරියේ යෙදවීමට පියවර ගත් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා හෝටලයේ සීසීටීවී පද්ධතිය නිරීක්‍ෂණය සඳහාද තාක්‍ෂණික දැනුමැති නිලධාරින් දෙදෙනකු යෙදීය.

මේ අතරේ පොලිසියටද රහසේ තරු හෝටලය ඇතුළු අවට ප්‍රදේශයේ විශේෂ පොලිස්‌ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මකව තිබිණ. මෙහිදී පොලිසියට රහසේ යෑයි සටහන් කෙරුණේ සිදු වන්නේ කුමක්‌දැයි පොලිස්‌පතිවරයා ඇතුළු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිස දැන සිටියාට අන් කිසිවකුත් ඒ පිළිබඳ කිසිවක්‌ම දැන නොසිටි බැවිනි. මෙම මෙහෙයුමේ රහස්‍යභාවය රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණක්‌ වී තිබූ නිසා පොලිසිය එසේ ක්‍රියා කළේය.

මේ අන්දමින් එදින පෙරවරුවේ සිට මෙකී මහාපරිමාණ කුඩු ජාවාරමට මෙරට ඒජන්තයා තරු හෝටලය වෙත පැමිණෙන තුරු පොලිසිය බලා සිටියද රාත්‍රිය ළඟා වනතුරුත් පොලිසියේ බලාපොරොත්තු සුන් වී තිබිණ. මෙසේ හෝරාවෙන් හෝරාව ගෙවී යද්දී ආවේක්‍ෂණ රාජකාරියේ රැඳී සිටි මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් අත වූ ජංගම දුරකථන මගින් එකිනෙකා අතර හුවමාරු වන පණිවුඩ ප්‍රමාණයද වැඩි විය.

සියල්ලන්ම සිතා සිටියේ කිසියම් ආරක්‍ෂක උපක්‍රමයක්‌ ලෙස තමන්ගේ ඉලක්‌කය එදින තරු හෝටලය වෙත ළඟා වීමක්‌ සිදු නොවනු ඇතැයි යන්නය. එහෙත් එසේ පොලිස්‌ නිලධාරින්ගේ බලාපොරොත්තු සුන්ව යද්දී එදින රාත්‍රි 7.00 පමණ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්‌ කොළඹ මාවත් ඔස්‌සේ තරු හෝටලය වෙත ඇදී එමින් තිබිණි.

ඒ රථ දෙකේ සිටියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ගේ බලාපොරොත්තුව විය. මෙලෙස කොළඹ නගරයේ විවිධ මාර්ග ඔස්‌සේ යමින් තරු හෝටලය වෙත පැමිණෙමින් තිබූ මෝටර් රථ දෙකින් එක්‌ රථයක්‌ හෝටලය ආසන්නයට පැමිණ අතර මඟ නතර කෙරෙද්දී අනෙක්‌ රථය හෝටලයේ කොරිඩෝව දක්‌වාම ගමන් කරනු ලැබුවේ පොලිස්‌ නිලධාරින් උදැසන සිට කුසට හරි හැටි අහරක්‌ පවා නොමැතිව දැඩි වෙහෙසට පත්ව සිටියදීය.

තරු හෝටලයේ කොරිඩෝව වෙත පැමිණි මෝටර් රථයෙන් පිටතට පැමිණියේ තරුණයන් දෙදෙනෙකි. එසේ පැමිණි ඔවුන් දෙදෙනා කිසිදු අමුත්තක්‌ නොපෙන්වාම විදුලි සෝපානයට නැගී ඇමරිකානු නිලධාරියා රැඳී සිටින කාමරය වෙත යන්නට වූයේ හෝටලයේ නවාතැන් ගෙන සිටි අමුත්තන් දෙදෙනකු ලෙසිනි.

එහෙත් හෝටලයට පැමිණි තරුණයන් දෙදෙනා ඇමරිකානු නිලධාරියා රැඳී සිටින කාමරය දෙසට යන අයුරු ඒ වන විටත් එහි සීසීටීවී පද්ධතිය නිරීක්‍ෂණය කරමින් සිටි මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස්‌ නිලධාරින් දෙදෙනාගේ නෙත ගැටී තිබිණ. ඒ සමඟම සියලු තොරතුරු සිය ප්‍රධානියා වෙත දැනුම් දීමට පියවර ගත් එම නිලධාරින් දෙදෙනා එතැන් සිට සිදු වන්නේ කුමක්‌දැයි සීසීටීවී පද්ධතියෙන් දැස්‌ ඉවතට නොගෙනම දැඩි නිරීක්‍ෂණයක යෙදෙන්නට වූහ.

ඒ අතරේ රහසේම හෝටලය වෙත පැමිණි තරුණයන් දෙදෙනා ඇමරිකානු බුද්ධි නිලධාරියා රැඳී සිටි කාමරයට ඇතුළු වූයේ ඔහුගෙන් ලද උනුසුම් පිළිගැනීමක්‌ද සමගිනි.

තවත් කොටසක්‌ ලබන සතියේ

සමන් ගමගේ