සම්බන්දන් විපක්‍ෂ නායක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩු යටිකුරු කිරීමක්‌

Spread the News

සම්බන්දන් විපක්‍ෂ නායක කිරීම
ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩු යටිකුරු කිරීමක්‌
ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක

සම්බන්දන් මහතා විපක්‍ෂ නායකයා ලෙස පත් කිරීම මේ රටේ මහජන වරම සහ ස්‌වාධිපත්‍යය සහමුලින්ම උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩුයටිකුරු කිරීමක්‌. ඔහුට මේ තනතුර ලබාදීම දෙස මා බලන්නේ ජනවාර්ගික ප්‍රිස්‌මයක්‌ තුළින් නෙමෙයි.

1977 දී අමිර්තලිංගම් මහතා විපක්‍ෂ නායක තනතුර දැරූ නමුත් ඒ අවස්‌ථාවේ ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වඩා ආසන සංඛ්‍යාවක්‌ හිමිව තිබුණා. නමුත් අද ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රීලනිපයට වඩා ආසන ප්‍රමාණයක්‌ හිමි වී නෑ. මේ රටේ ජනතාව මේ මහ මැතිවරණයේදී ඡන්දය දුන්නේ සාපේක්‍ෂ වශයෙන් දුබල ආණ්‌ඩුවක්‌ සහ ප්‍රබල විපක්‍ෂයකටයි. ජනතාවගේ මනාපය එයයි. නමුත් ඒ ජන මතය උල්ලංඝනය කරමින් ශ්‍රීලනිපයේ පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ප්‍රදානය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක්‌ විදිහට කිසියම් හිදැසක්‌ සහ අවුල් වියවුල් භාවයක්‌ ද නිර්මාණය කෙරුණා.

ඒ නිර්මාණය කරන ලද හිදැස තුළට ටී.එන්.ඒ. සංවිධානය රිංගවලා තියෙනවා. නමුත් ශ්‍රීලනිපයේ ආසන 95 ඉතාම පැහැදිලිව ටී.එන්.ඒ. හි ආසන 16 ට වඩා විශාලයි. ශ්‍රීලනිපයේ ආසන 95 න් කිසියම් ප්‍රතිශතයක්‌ ආණ්‌ඩුවට එකතු වුණත් මන්ත්‍රීවරු 55 කට වැඩි ප්‍රමාණයක්‌ විපක්‍ෂයේ වාඩිවෙන බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රීලනිපයේ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරු ප්‍රමාණය පවා ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 16 ට වඩා තුන්හතර ගුණයකින් විශාලයි. එවැනි තත්ත්වයක්‌ තුළ ශ්‍රීලනිපය විපක්‍ෂයෙන් ඉවත් කර එම තනතුර ටී.එන්.ඒ. සංවිධානයට බාරදීම මූලික අංක ගණිතයටත් මහජන මතයටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායටත් සාමාන්‍ය බුද්ධියටත් එරෙහිව යැමක්‌.

ටී.එන්.ඒ. සංවිධානයේ දේශපාලන අතීතය මොහොතකට අමතක කරමු. නමුත් ජුලි 25 දා ටී.එන්.ඒ. සංවිධානය මෙවර මහමැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ උතුරු වලිකාමම්හි පැවැති රැස්‌වීමේ මුලසුන හෙබවූයේ මේ විපක්‍ෂ නායකකම හිමිකර ගෙන සිටින සම්බන්දන් මහතාමයි. ඒ රැස්‌වීමේ ආරම්භයේ සිට අවසානය දක්‌වා සියලු කථිකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන්ගේ අසහාය නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් බවයි. එය ප්‍රකාශ වුණු හැම මොහොතකම රැස්‌ව සිටි දහස්‌ සංඛ්‍යාත පිරිස විසිල් ගසමින් නැටූහ. ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරු අතරින් වැඩිම මනාප ප්‍රමාණයක්‌ අත්කර ගෙන සිටින ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රභාකරන් වන්දනා කරන පුද්ගලයෙකි. ප්‍රභාකරන් වීරයෙක්‌ ලෙස පැහැදිලිවම සලකන ටී.එන්.ඒ. සංවිධානයට විපක්‍ෂ නායකකම ප්‍රදානය කිරීම වරදක්‌ කළ පුද්ගලයකුට වැදගත් තිළිණයක්‌ දීම හා සමානය. එය අතිශයින්ම අමනෝඥ ක්‍රියාවකි.

ටී.එන්.ඒ. සංවිධානයේ මැතිවරණ ප්‍රකාශනය කරුණු 4 කින් සමන්විතයි. දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය හිමිවන බව, උතුරු නැඟෙනහිර දෙපළාත වහාම නිත්‍ය වශයෙන් එකතු කළ යුතු බව, ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනුවට පෙඩරල් රාජ්‍ය ක්‍රමයක්‌ ඇති කළ යුතු බව සහ ලංකාවේ හමුදාව විසින් සිදුකළා යෑයි කියන යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව එම කරුණු 4 යි. ඊට අමතරව ශක්‌ති රූපවාහිනී නාලිකාව සමඟ ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් මහතා සහ ඊ.පී.ඩී.පී. මන්ත්‍රී ඩග්ලස්‌ දේවානන්ද මහතා අතර පැවැති උණුසුම් විවාදයේදී සුමන්තිරන් මහතා කියා සිටියේ එක්‌සත් ජාතික පෙරමුණ සහ ටී.එන්.ඒ. සංවිධානය අතර ලිත නොවන දේශපාලන එකඟත්වයක්‌ ඇති බවත් ඒ එකඟත්වයට ඉන්දියානු අගමැති මෝදි මහතාගේ සහයෝගයත් ලැබී ඇති බවත් ය. සුමන්දිරන් මහතා පැවසුවේ ඒ එකඟත්වය වනාහි මහ මැතිවරණයෙන් පසු එක්‌සත් ජාතික පෙරමුණ විසින් අලුත් ව්‍යවස්‌ථාවක්‌ රටට ගෙනැවිත් ඒකීය සංකල්පය හලන බවත් ය. රටේ මූලික ව්‍යවස්‌ථාවේ සඳහන්ව ඇති ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහය වන ඒකීය රාජ්‍ය ක්‍රමයට එරෙහි වන සංවිධානයකට විපක්‍ෂ නායකකම භාර දීම කෙතරම් වගකීම් විරහිත ක්‍රියාවක්‌ද?

මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කිසි දිනක ස්‌කොට්‌ලන්ත ජාතික පක්‍ෂයට විපක්‍ෂ නායකකම බාර දෙන්නේ නෑ. ඒ තනතුර ලැබෙන්නෙ කම්කරු පක්‍ෂයට, කන්සවේටිව් පක්‍ෂයට හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයටයි. අපේ රටේ මේ කර තිබෙන්නේ පනින රිලවුන්ට ඉණිමං බඳින ගමන් ම උන් අතට දැළි පිහියකුත් දීමයි.

විපක්‍ෂය යනු ආණ්‌ඩුවේ වැරදි හෙළිදරව් කරන පක්‍ෂයක්‌. නමුත් ටී.එන්.ඒ. සංවිධානය ආණ්‌ඩුව වැරදි දිශාවට තල්ලු කරන ස්‌ථාවරයක්‌ සහිත පක්‍ෂයක්‌. එක්‌ අතකින් ඔවුන් ආණ්‌ඩුවේ සගයන් ලෙස ජනවාරි 8 වැනිදා සිට කටයුතු කර ඇති අතර අනෙක්‌ අතට ඔවුන් ආණ්‌ඩුවට පක්‍ෂවන ගමන් රාජ්‍ය ව්‍යුහයට එරෙහි වෙති. එයට හේතුව පෙඩරල් ක්‍රමයක්‌ ගැන කතා කිරීමට පමණක්‌ නොව ලෝකයේ අනෙක්‌ පෙඩරල් රටවල්වල නැති එක ප්‍රදේශයක හා එක ජනවර්ගයක ජාතික ස්‌වයං තීරණ අයිතියක්‌ ගැන ඒ සමඟම කතා කරන නිසාය. එවැනි පක්‍ෂයකට විපක්‍ෂ නායකකම බාරදීමෙන් සිදුවන්නේ මෙම විපක්‍ෂ නායකකම කවදා හෝ අහිමි කළත් හිටපු විපක්‍ෂ නායක තත්ත්වය අමිර්තලිංගම්ට හිමි වූවා සේ මොවුන්ටත් හිමි වී ලෝකය පුරා ගමන් කර ඔවුන්ගේ ප්‍රදේශවලින් ඔවුන් ලද ජනවරම ක්‍රියාත්මක කිරීමට විශාල රුකුලක්‌ සැපයීමයි.

සාකච්ඡා කළේ –
පාලිත සේනානායක