Sun. Nov 24th, 2024
Spread the News

එළියකන්ද වද කඳවුරේ සේවය කරන ලද මගේ රෝගියා
Posted on October 13th, 2015

වෛද් රුවන් එම්. ජයතුංග

වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම වැනි අරමුණක් සඳහා දඬුවමක්, තැතිගැන්වීමක් හෝ බලහත්කාර කමක් හෝ ඕනෑම ආකාරයක වෙනස්කමි කිරීමක් පදනමි කරගත් ශාරිරික හෝ මානසික අන්දමින් කිසිවෙකුහට දුකක් හෝ වේදනාවක්, වේතනාත්මකව පමුණුවන ඕනෑම ක්‍රියාවක් වශයෙනි.

වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම කැපෙන අසිපතකි. වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළෙන අය වන අතර, බොහෝවිට ඔවුහු පරපීඩාකාමී තෘප්තියක් ලබති. පමුණුවන්නාගේ චිත්තවේගී අවශ්‍යතාවයන් වධහිංසනය මගින් එක්තරා දුරකට සන්තර්පනය වන අතර, ඔහු සිය කැමැත්තෙන්ම මෙම ක්‍රියාකාරකම්වල යෙදේ. ඔවුන් සහවේදීතාවයෙන් ඌණවන අතර, වින්දිතයාගේ දුක්බර වේදනාත්මක ප්‍රතික්‍රියා, විලාප හා ආයාචනා ඔවුනට බලාධිකාරී හැඟීමක් හා උචිචභාවයේ වින්දනයක් ලබාදේ.

eliyakanda

රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද  වද කඳවුර නම් කෘතියෙහි එලියකන්ද වධකාගාරයේ (කේ පොයින්ට්) ප්‍රශ්ණ විචාරක විසින් සියැසින් දුටු සාක්ෂි තුලින් දකුණු සිරිලක තුල 1988-89 කාලසීමාව තුලදී උපයෝගී කරගත් වධහිංසන ක්‍රම ගැන ප්‍රත්‍යක්ෂ රචනයක් ඉදිරිපත් කර තිබේ. රැඳවියන්ව නිතර දෙවේලේ ශාරීරික පීඩාවලට හා අවමානයට පාත්‍රකරන ලද අතර, බොහෝ අයගේ මිත්‍රයින්ව මරාදමා ඇත්තේ ඔවුන් ඉදිරියේම ය. ‛කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ අය තවමත් අනේක මානසික ව්‍යාධිවලින් පෙළෙති.

මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී   එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න කිරීම් කරන්නෙකු මෙන්ම වදකයෙකු  වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනා ඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම්  ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් සිදුකර තිබේ.

වසර එකහමාරක් පමණ මෙම කඳවුරේ සේවය කල මොහුට උතුරේ පිහිටි හමුදා කඳවුරකට ස්ථාන මාරුවක් ලැබී තිබේ. 1992-1993 කාලසීමාව තුලදී ඔහුගේ මානසික සෞඛ්‍යය මැලවන්නට පටන් ගෙන තිබේ. තමා වධබන්ධනවලට ලක් කල අය වේදනාවෙන් කෑගසනවා ඔහුට ඇසෙන්නට පටන් ගැනුනි. සාමාන්‍ය සෙබළ XX2 දරුණු කෝපයෙන් පෙලුන අතර, නිරන්තරයෙන් සිදුවන ශාරිරික පරිභව නිසා ඔහුගේ බිරිය හා දරුවන් ඔහුව හැර ගියහ. ඔහු කීප වරක්ම සියදිවි නසා ගැනීමට තැත් කලේය.

2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක  වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය.  සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්, මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලට ඇබ්බැහිව සිටියේ ය.

රෝහිත මුණසිංහ විසින් ලියන ලද ‛ එළියකන්ද  වද කඳවුර’ නම් කෘතියෙහි සඳහන් බොහෝ විස්තර මෙම සෙබළාගේ මතකයට සමගාමි විය. මලකඳන් බැහැර කිරීම සඳහා යොදාගන්නා ලද ඩබල් කැබ් රථයේ වර්ණය ගැන විමසූ විට සාමාන්‍ය සෙබල XX2 නිවැරදි පරිදි පිළිතුරු   දුන්නේය​. (එය කහ වර්ණයෙන් යුතු ඩබල් කැබ් රියක් බව ඔහු කීවේය​)

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් සහ සයිකෝසියාවෙන් ( මෙම තත්වය Kessler’s Phenomena ලෙස හැඳින්වේ) පෙළුණු මෙම රෝගියා තුල පැවති දිවි තොර කර ගැනීමේ යොමුව නිශේදනයට සහ සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ ලක්‍ෂණ අවම කර ගැනීමට ඖෂධ සහ මනෝ ප්‍රතිකාරයන් යොදා ගැනිනි.

(මෙම කථාව මා පවසන්නේ කැරළි සමයන්හි දරුණුු ක්‍රියා සඳහා   යොදා ගන්නා දුප්පත් සහ අඩු අධ්‍යාපනයක් ඇති සමාජමය වශයෙන් කිසිම පිළිසරණක් නොමැති සෙබළුන්  අපවිත්‍ර වැඩ  කර ගැනීමෙන් පසුව දැහැටි කූරු මෙන් නොසලකා හරින  පාලකයන් සිටින රටක ඔවුන්ට පසු කාලීනව අත් වන ඉරණම පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීමටය​. වද බන්ධයට ලක් වූ සැකකරුවන් මෙන්ම මොවුන් ද වින්දිතයෝ වෙති)

Protected by Security by CleanTalk