Fri. Nov 22nd, 2024
Spread the News

ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ඔක්තෝබර් 25 ඉරිදා දින, කොළඹ අභයාරාම විහාරස්ථානයේ පවත්වන ලද දේශනයේ පිටපත.

ආයුබෝවන්,

අති පූජනීය සංඝයාවහන්ස, සියලු ආගම්වල පූජකතුමනි,මිත්‍රවරුනි,

මට මෙලෙස ඔබ ඇමතීමට ලැබීම ගැන සතුටට පත්වෙනවා. මම ඔබ සැම මෙලෙස අමතන්නේ මේ රට හමුවේ බරපතල උවදුරක් ඇති අවස්ථාවකයි. ජිනීවා මානව අයිතීන් කවුන්සිලය තුල ලංකාවට එරෙහිව මෑතකදී සම්මත වූ යෝජනාව ගැන විවිධ අදහස් අපට ඇහෙනවා. පාර්ලිමේන්තුව තුලත් ඒ ගැන අදහස් පලවුනා. ඒ පලවූ අදහස් සම්බන්ධයෙන් මතබේදයට තුඩුදෙන කාරනා තිබෙන නිසාත්, මේ රටේ හිටපු ජනාධිපති හා හිටපු සේනාධීනායක හැටියට ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් මාගේ අදහස් ජනතාව ඉදිරියේතැබීම මගේ යුතුකමක් වන නිසාත් මෙලෙස මම ඔබ සැම ආමන්ත්‍රණය කරනවා.

ජිනීවා යෝජනාවට ලංකාවේ ආණ්ඩුව පක්‍ෂ වීම හේතුවෙන් අප ඉදිරියේ ඇති අභියෝගයේ සැබෑ ස්වරෑපය ගැන මහජනතාව දැනුවත් විය යුතුයි. ජිනීවා යෝජනාවේ වැඩියෙන්ම අවධානයට යොමු විය යුතු යැයි මම සිතන ක්‍රියාන්විත ඡේද ගැන යමක් මුලින්ම කියන්න ඕන. මේ යෝජනාවේ භයානක නිර්දේශ ගණනාවක්ම තියෙනවා. ඉන් බරපලතලම නිර්දේශ තුනක් පමණක් මෙහි ගෙන හැර දැක්වීමට මම කැමතියි.

ජිනීවා යෝජනාවේ හයවන ක්‍රියාන්විත ඡේදයට අනුව ලංකවේ ආණ්ඩුව විසින් ඊනියා යුද අපරාධ විමර්ශනය කිරීමටයුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට බාරගෙන තියෙනවා. එසේ පිහිටුවනු ලබන අධිකරණ යාන්ත්‍රනය තුල විදේශීය විනිශ්චයකරුවන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා නීතීඥයන් සහභාගී කරගැනීමටආණ්ඩුව දැනටමත් එකග වී තියෙනවා.

විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා විදේශීය නීතිඥයන් පවා ගෙන්වීමට එකග වීමෙන් අදහස් කරන්නේ, දැනට මේ රටේ පවතින යුක්තිය පසිදලන ආයතන සියල්ලටම පරිභාහිරව තවත් යුක්තිය පසිදලීමේ ආයතන පද්ධතියක් ඇති කිරීමයි. මේ අනුව අපේ විමර්ශන නිලධාරීන් වෙනුවට විදෙස් විමර්ශකයනුත්, අපේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවට විදෙස් පරිචෝදක කාර්යාලයකුත්, අපේ උසාවි වෙනුවට විදෙස් විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත උසාවිත් පිහිටුවීමට සිදුවෙනවා.

ජිනීවා යෝජනාවේ සිව්වන ක්‍රියාන්විත ඡේදයට අනුව “යටගියාව ගැන” සෙවීමට ආණ්ඩුව විසින් මේ ආකාරයට පිහිටුවීමට බලාපොරොත්තු වන යාන්ත්‍රනයන් වලටපිටරටින් මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ඉඩදීමට ලංකාවේ ආණ්ඩුව දැනටමත් එකග වී තිබෙනවා.මේ අනුව ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ ඇතුලු කාරණා සොයා බැලීමට පිහිටුවන යාන්ත්‍රන බටහිර රටවල මුදල් වලින් නඩත්තුවන තත්වයක් ඇති වෙනවා.

ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කලොත්, ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුලචෝදනා ගෙන එන්නේත්, ඒ යෝජනා අනුව පිහිටුවන නව අධිකරණ යාන්ත්‍රනවලට මුදල් සපයන්නේත්, මේ අධිකරණ වල විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන් සපයන්නේත් ලංකාවේ යුද්ධයේ අවසන් අදියර නැවැත්වීමට උත්සාහ ගත් රටවල් සමූහයමයි. මානව හිමිකම් කවුන්සිලය තුල ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන රටවල් විසින්ම ලංකාවේ යුද අධිකරණයක් නඩත්තු කරන්නේ නම් මෙතනදී යුක්තියක් ඉටුවේ යැයි සිතිය හැකිද?

ආණ්ඩුව මෙවැනි යෝජනාවකට එකග වීම සාධාරණීකරනය කිරීමට විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිටී. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතා ඝාතනය වීමෙන් පසු එම ඝාතනය ගැන සොයා බැලීමට පත්කරන ලද කොමිසමට ඊජිප්තු ජාතික විනිශ්චයකාරවරයකු සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් පත්කිරීම ලංකාවේ අධිකරණ පද්ධතිය තුල විදේශීය විනිශ්චයකරුවන් යෙදවීමට පූර්වාදර්ශයක් හැටියට ගෙනහැර දක්වා තිබෙනවා.

බණ්ඩාරනායක මැතිනිය විසින් එම ඊජිප්තු ජාතික විනිසුරුතුමා පත්කරනු ලැබුවේ විමර්ශන කොමිසම් පනත යටතේ පත්කරන ලද විමර්ශන කොමිසමකට මිස අධිකරණයකට නොවේ. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය පිළිබද නඩුව අසනු ලැබුවේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය තුලය. එමෙන්ම අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීමට මාගේ ආණ්ඩුව විසින් පත් කරනු ලැබු මැක්ස්වෙල් පරණගම කොමිසමට විදේශීය නීති විශාරදයින්ගේ ලිඛිත අදහස් දැක්වීම් ලබා ගැනීමට ඉඩදීමද “විදේශිකයන් ලංකාවේ නීතිමය ක්‍රියාවලියට සහභාගී කරවා ගැනීමට” පූර්වාදර්ශයක් හැටියට හුවා දැක්වෙනවා.

මගේ ආණ්ඩුව විසින් මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරාට පස්සෙ, පරණගම මහතාගේ ලිඛිත ඉල්ලීම පරිදි ඒ කොමිසමට ජාත්‍යන්තර යුධ නීතිය පිළිබද විශේෂඥයන් කිහිපදෙනෙකුගෙන් ලිඛිත නීතිමය මත විමසීම් ලබා ගැනීමට මාගේ ආණ්ඩුව සැලැස්සෙව්වා. ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, මහාචාර්ය මයිකල් නිවුටන්හා රොඩ්නි ඩික්සන් වැනි නීත විශාරදයින් සහ මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් වැනි යුද විශේෂඥයින් ඉතාම වටිනා විග්‍රහයන් ඒ කොමිසමට ලබා දුන්නා.මා මේ කතා කරන්නේ මැක්ස්වෙල් පරණගම වාර්ථාව ගැන නොව, එම කොමිසමට විදේශීය විද්වතුන් ලබලා දීල තියෙන ලිඛිත අදහස් දැක්වීම් ගැන බව මතක තබා ගත යුතුයි. මේ සියලුම ජාත්‍යන්තරයුද නීති විශේෂඥයන්ගේ මතයන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට ලබා දීමට යහපාලන ආණ්ඩුවට යුතුකමක් තිබුණා. ඒක කරන්න ඕනෑතරම් වේලාවත් තිබුණා. නමුත් ආණ්ඩුව එසේ කිරීම සිතාමතාම පැහැර හැරියා.

මා ඉහත සදහන් කලනීති විශාරදයන්ගේ මත මුලුමනින්ම “ද අයිලන්ඩ්” පුවත්පතේ පල වූ අතර, එම මතයන් සැලකිල්ලට ගතහොත් ඇතැම් බටහිර බලවතුන් ලංකාවට එරෙහිව ගෙන යන මේ යුද අපරාධ ව්‍යාපෘතිය පටන් ගැනීමටත් පෙර නවතා දැමීමට සිදුවෙනවා.

මැක්ස්වෙල් පරණගම කොමිසමද විමර්ශන කොමිසන් සභා පනත යටතේ පත්කරන ලද විමර්ශන කොමිසමක් මිස අධිකරණයක් නොවේ. එමෙන්ම මා පෙර සදහන් කල ජාත්‍යන්තර යුද නීතිය පිළිබද විශේෂඥයන් සිදු කලේ එම කොමිසමට ජාත්‍යන්තර යුද නීතිය සම්බන්ධයෙන් උපදේශන මට්ටමෙන්ලිඛිත අදහස් දැක්වීම් පමණි. එපමණක් ද නොව ඒ හැම අදහස් දැක්වීමක්ම අපේ රටට වාසිදායක වීම මෙහි විශේෂත්වයක් බව කියන්න ඕන. විදේශීය නීති විශාරදයින්ගෙන් අපේ පැත්තට කීමට ඇති කරුණු ලබා ගැනිමත් විදේශීය විනිශ්චයකාර වරුන් ලවා අපේ රටේ රණවිරුවන්ට එරෙහිව නඩු විභාග පැවැත්වීමත් අතර වෙනස ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුය.

මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහි යෝජනාව ගැන පාර්ලිමේන්තුවේ සිදුවූ විවාදයේදී, අතුරුදහන් වූවන් පිළිබදව සොයා බැලීමට පත්කල මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්ථාව ගැනද විවිධ අදහස් පලවුණා. මේ කොමිසම “රාජපක්‍ෂගේ කොමිසමක්” ලෙස හදුන්වනු මා ඇසුවා. රාජපක්‍ෂගේ කොමිසම විසින්ම අසවල් නිර්දේශ කර තිබෙනවාය කියමින් තමන්ගේ හිතේතිබෙන සැලසුම් සාධාරණීකරනය කිරීමට ඇතැම් දේශපාලඥයන් උත්සාහ කරන හැටි මම දැක්කා. අතුරුදහන් වූවන් පිළිබදව සොයා බැලීමට මැක්සවෙල් පරණගම කොමිසම මා විසින් 2013 අගෝස්තු මාසයේදී පත් කලා. නමුත් මේ වසරේ ජනාවාරි මාසයෙන් පස්සේ ඒක පැවතියේ යහපාලන ආණුඩව යටතේ. ඒක දැන් වත්මන් ආණ්ඩුවේ කොමිසමක්. මේ වසරෙ ජනවාරි සිට අලුතින් පත් වූ ජනාධිපතිතුමාට එම කොමිසම සම්බන්ධයෙන් ඕනම වෙනසක් කරන්න බලය ලැබුණා. එම නිසා එය “රාජපක්‍ෂගේ කොමිසමක්” කියලා කියන එක වැරදියි. කොහොම වුනත්, අපිට මෙතනදී වැදගත් වෙන්නේ ජිනීවා යෝජනාව නිසා වෙන්නේ කුමක්ද යන්නයි.

විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන් පවා පිටරටින් ගෙන්විය යුතුයැයි කීමෙන් අදහස් වන්නේ රටේ දැනට පවතින යුක්තිය පසිදලන ආයතනවලට පරිභාහිරව වෙනම ආයතන පද්ධතියක් බිහිකිරීමයි. මෙයට මම එකහෙලාම විරුද්ධ වෙමි. මේ යෝජනාව ඒනයින්ම අපේ උසාවි පද්ධතියටත්, නීතීඥ වෘත්තියටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත්, අපරාද විමර්ශන සිදු කරන ආයතන වලටත් කල ඍජු අපහාසයක් හැටියට මම සලකමි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අටවන ක්‍රියාන්විත ඡේදයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ මානව අයිතීන් උල්ලංඝනය කලා යැයි උසාවියක නඩු පැවරීමට ප්‍රමාණවත් තරම් සාක්‍ෂි නැති රණවිරුවන් පවා “පරිපාලනමය ක්‍රියාදාමයකින්” සේවයෙන් නෙරපා හැරීමයි.මෙවැනි ඡේදයක් ජිනීවා යෝජනාවේ නැති බව ඇතැම් ඇමතිවරු පාර්ලිමේන්තුවේ කියනවා මට ඇහුනා. ජිනීවා යෝජනාවේ සිවුවන ක්‍රියාන්විත නිර්දේශය ලෙස මේ කාරණය තිබෙන බව මම වගකීමෙන් කියමි.

ඉකුත් සැප්තැම්බර් 30 වන දා මානව හිමිකම් කොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සිලය ආමන්ත්‍රනය කල අවස්තාවේදීද ඔහු වැඩියෙන්ම අවධාරණය කල කාරණය වූයේ මේ අකාරයට මානව හිමිකම් උල්ලංඝනය කල බවට සැක කරන අය ආරක්‍ෂක අංශවලින් නෙරපිය යුතු බවයි. මේ අතිශයින්ම අසාධාරණ යෝජනාවටද ආණ්ඩුව වග විභාගයකින් තොරව එකගත්වය පලකොට තියෙනවා. උසාවියක නඩු පැවරීමට තරම් සාක්‍ෂි නැති අයෙක් අපේ නීතියේ හැටියට වරදකරුවකු නොවන අතර එවැනි පුද්ගලයන් හුදුසැකයක් මත ආරක්‍ෂක හමුදා වලින් නෙරපා හරින්නේ මොන යුක්ති ධර්මයකට අනුවද ? මේක රණවිරුවන් දඩයම් කිරීමට පිඹුරුපත් සකස් කිරීමක් මිස වෙන කුමක්ද?

මෙතන තවත් සදාචාරත්මක ප්‍රශ්නයකුත් තිබෙන බව කියන්න ඕන. මේ යුද්ධය සිද්ධ වුනේ ලංකාවේ. රණවිරුවන්ට දඩුවම් දීමට නම්, යුද්ධය සිදුවෙන අවස්ථාවේ අපේ රටේ නීතියට අනුව අපරාධයක් නොවු බොහෝ දේවල් අපරාධ හැටියට නීතියට ඇතුල්කරලා එම නීති ආපස්සට ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. අපේ රටේ ව්‍යවස්තාවට අනුව ඕන නම් ආපස්සට ක්‍රියාත්මක වෙන නීති හදන්න පුළුවන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර නීති මෙරටේ ක්‍රියාත්මක කිරීමට එසේ කල හැකි බව ව්‍යවස්තාවේ සදහන් වෙනවා. නමුත් අපරාධ නීතියේ තිබෙන ඉතාමත්ම පූජනීය මූලධර්මයක් වන්නේ, යමක් සිදුවෙන අවස්ථාවේ දී නීතියෙන් අපරාධයක් නොවේ නම් ඒ සම්බන්ධයෙන් පසුව නව නීති හදා ආපස්සට බලපැවැත්වෙන පරිදි දඩුවම් නොදිය යුතුය යන්නයි. ආපස්සට ක්‍රියාත්මක වෙන නීති හදන්න ව්‍යවස්තාවෙන් බලය තිබුණත්, නොකරම බැරි අවස්ථාවක් හැරුණ විට එවැන්නක් සමාන්‍යයෙන් කරන්නේ නැහැ.

අවසන් වරට එවැන්නක් සිදුවුනේ සේපාල ඒකනායක ඉතාලි ගුවන් යානයක් පැහැරගත්ත අවස්ථාවේ. ලංකාවේ නීතියට අනුව ඒකාලේ ගුවන් යානයක් පැහැර ගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ නොතිබුණු නිසා, ඔහුට දඩුවම් කිරිමට අලුත් නීති ගෙනල්ලා ඒවා අපස්සට ක්‍රියාත්මක කරන්න ඒ කාලේ ආණුඩුවට සිද්ධවුණා. නමුත් අපේ රණවිරුවන් සම්බන්ධයෙන් තියෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක් නොවෙයි. අපේ රටේ මිනීමැරුමක් සිදුවී තිබෙනවානම් ඒකට අපිට නීති තිබෙනවා. වධ බන්ධන පමුනුවා තිබෙනවානම් එයටත් නීති තියෙනවා. රණව්රුවෙක් කාට හෝ තර්ජනය කර තිබෙනවානම් එයටත් නීති තියෙනවා. අපහාස කරලා තියෙනවානම් ඒකටත් නීති තියෙනවා. ඉතින් රණවිරුවෙක් වැරද්දක් කරලා තියෙනවානම් ඒ නීති අනුව අපේ උසාවි වලට කටයුතු කරන්න පුළුවන්.

ඕනම වැරුද්දකට දඩුවම් කිරීමට අපේ රටේම නීති තියෙද්දි, අලුතෙන් නීති ගේන්නේ මොනවටද කියලා බොහෝ අයට ප්‍රහ්නයක් තියෙන්න පුළුවන්. මේ ආකාරයට අළුත් නීති ගේන්නේ අඩු සාක්ෂි සාධන භාරයක් මත රණවිරුවන්ට පහසුවෙන් දඩුවම් නියම කිරීමටයි. උසාවියට ගෙනයන්න තරම් සාක්‍ෂි නැතුව වුනත් “පරිපාලන ක්‍රියාදාමයකින්” හෝ රණවිරුවන් දොට්ට දැමිය යුතු යැයි ජිනීවා යෝජනාවේ කියලා තියෙනවා වගේ වැඩක් තමයි ඒකත්. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණවල සාක්‍ෂි සාධන භාරය අපේ උසාවිහා සාමාන්‍යයෙන් ඕනෑම රටක ජාතික උසාවි වලට වඩා පහලින් තියෙන්නේ. ඒ කියන්නේ අඩු සාක්‍ෂි මත වුනත් ජීවිතාන්තය දක්වා හිර දඩුවම් දෙන්න පුළුවන්.

ඇමරිකා එක්සත් ජනපදය ඒ රටේ පුරවැසියෙක් කිසිම හේතුවකටවත් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගෙන යාම සම්පූර්ණයෙම්ම තහනම් කරලා තියෙන්නෙත් මේ හේතුවටමයි. 2002 දී ඇමරිකාව “ඇමරිකානු සෙබළුන් ආරක්‍ෂා කිරීමේ පනත” සම්මත කරගත් අතර මෙයට අනුව කුමක් හෝ ජාතයන්තර අධිකරනයකින් ඇමරිකානු සෙබලෙක් හෝ වෙනත් පුරවැසියෙක් හිරභාරයට ගතහොත්, බලහත්කාරය යොදවා හෝ එම පුද්ගලයා බේරා ගැනීමට ඇමරිකානු ජනාධිපතිට බලය පැවරෙනවා. ඇමරිකානු ආණ්ඩුව තමන්ගේ මිනිස්සු ආරක්‍ෂා කරන්නේ ඒ ආකාරයට. නමුත් අපේ රටේ නම් පේන්නේ අපේ රණවිරුවන් පාවලා දෙන්න එකා මත ඒකානැගීගෙන පොරකන තත්වයක්. ඇමරිකාව තමන්ගේ පුරවැසියන් ජාත්‍යයන්තර යුද අධිකරණ ඉදිරියට ගෙන යන්න ඉඩ නොදෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ මේ ජාත්‍යන්තරයුද අපරාධ නීතියේ හා උසාවි ක්‍රියාපටිපාටියේ ඇති බරපතල අඩුපාඩු නිසා. දැන් මේ පිඹුරුපත් සකස් කරන්නේ ඒ කැකිල්ලේ නීති ලංකාවට හදුන්වා දීල අපේ රණවිරුවන් ඉක්මනට හා පහසුවෙන්ම හිරේ දමන්න. ආත්මගරුත්වයක් ඇති කිසිම රටවැසියෙක් මේ වගේ දේකට ඉඩ නොදිය යුතුයි කියලා මම කියනවා. සෙබලෙක් වරදක් කරල තියෙනවනම් ඒ ගැන හොයලා බලන්න ඕන අපේ නීතියට අනුව විතරයි.

රටක් පාලනය කරන කොට විවිධ විදේශිය බලවතුන්ගෙන් බලපෑම් එනවා. ඒවාට මුහුණ දීමට පාලකයන් දැනගෙන ඉන්න ඕන. පිටරටින් කියන හැම දෙයක්ම කරනවනම් මේ රටට ආණ්ඩුවක් මොනවටද?

මෙවැනි ලියවිල්ලකට කිසිදු වගවිභාගයකින් තොරව, පාර්ලිමෙන්තුවෙන් වත් නොවිමසා ජනතාවට කරුණු දක්වන්නේත් නැතුව එකග වීමෙන් ආණ්ඩුව කර ඇත්තේ කුමක්ද?මේවා ගැන ඔවුන් හරි හැටි සිතා බලා තියෙනවාද? විදේශීය විනිශ්චයකරුවන්, පරිචෝදකයන් හා විමර්ෂන නිලධාරීන්ගෙන් යුත් වෙනම යුක්තිය පසිදලීමේ පද්ධතියක් ඇති කරනවානම් ඒ සදහා අපේ සාමාන්‍ය නීතිය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවද වෙනස් කිරීමට සිදුවෙනවා. පසුගිය සතියේ අගමැතිවරයා සිංගප්පූරුවේ “ස්ට්රේත් ටයිම්ස්” පුවත්පත සමග කල සාකච්ඡාවේ දී මෙරටේ යුද අපරාධ අධිකරණයට විදෙස් විනිශ්චයකාරවරුන් බදවා ගන්නා බව කියලා තිබුණා.

මේ ආකාරයට අපි නීතියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවත් වෙනස් කරන්නේ අපේ රණවිරුවන්ට දඩුවම් දිමට පමණක්ම මිස වෙන කුමකටද ? දශක හතරක් පුරා ලියලමින් වැඩී, අවුරුදු තිහක් පමණ මුලුල්ලේ මුළු රටම වෙලාගත් ත්‍රස්තවාදය පරාජය කල රණවිරුවන්ට දඩුවම් කිරිම සදහාම රටේ ව්‍යවස්තාව පවා වෙනස් කිරීම මොනතරම් සාහසික ක්‍රියාවක්ද? රටට සාමය ගෙන දුන් රණවිරුවන්ට දඩුවම් දීමට පක්‍ෂව අත එසවීමට හැක්කේ කාටද ? අද මේ රටේ සෑම ජන කොට්ඨාශයකටම සාමකාමී වාතාවරනයක් තුල ජීවත් වීමට පුළුවන් වෙලා තියෙන්නේ ඒ රණවිරුවන් කල කැපවීම නිසා නොවේද ?

රණවිරුවන්ට දඩුවම් දීම සදහා විදේශිය විනිශ්චයකාරවරුන්ටත්, පරිචෝදකයන්ටත්, විමර්ශන නිලධාරීන්ටත් මේ රටතුල යුක්තිය පසිදලීමට හැකිවන ආකාරයට අපි සාමාන්‍ය නීතියත් රටේ ව්‍යවස්තාවත් වෙනස් කලායැයි කියා මොහොතකට සිතමු. රණවිරුවන් හිරේ දමා අවසන් කල පසු ඒ වෙනස් කල නීතිය එලෙසම තියෙන්න ඉඩ තබනවාද? විදේශිකයන්ට විනිශ්චයකරුවන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා නීතීඥයන් හැටියට දිගටම මේ රටේ කටයුතු කිරීමට හැකිවෙනවානම්, එය මේ රටේ නීති ක්‍ෂේත්‍රයටම ප්‍රශ්නයක් වෙනවා. පාර්ලිමේන්තුවෙත් නීතිඥයන් බොහෝ ගණනක් ඉන්නවා. මමත් නීතීඥයෙක්.

ඉන්දියාව සමග ඇති කිරීමට යන සීපා ගිවිසුමයටතෙත්, ඉන්දීය නීති වෘත්තිකයන්ට ලංකාවේ කටයුතු කිරීමට ඉඩ ලැබීමක් ගැන පසුගිය වකවානුවෙ කතා වුනා. රණවිරුවන්ට දඩුවම් දීමට කියා පෙර කී ආකාරයට අපේ ව්‍යවස්තාවත් නීති පද්ධතියත් වෙනස් කලොත්, එයින් සිදු වන්නේ සීපා ගිවිසුම නැතුව වුනත් මුලු නීති ක්‍ෂේත්‍රයම විදේශීකයන්ට විවෘත කර දීමක් නොවේද? රණවිරුවන්ට දඩුවම් කිරීමට පමණක් අපේ නීති පද්ධතිය වෙනස් කොට සියලුම රණවිරුවන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඒ සදහා ගෙන ආ විශේෂ නීති අවලංගු කර ලංකාවේ නීති පද්ධතිය නැවත තිබුණ ආකාරයටම ප්‍රතිසංශෝධනය කරනවානම්, එතකොට මේ ආණ්ඩුව මුලු නීති පද්ධතියම වෙනස් කර තියෙන්නේ රණවිරුවන් හිරේ දැමීමට පමණක්ය යන්න කාරණය ජනතාව ඉදිරියේ තහවුරු වෙනවා. එවන් තත්වයක් පිළිගත හැක්කේ කාටද?

ආණ්ඩුව මේ ගෙන යන වැඩපිළිවෙල ජනතාව ඉදිරියේ සාධාරණීකරනය කිරීම සදහා ඔවුන් විවිධ කාරණා ගෙනහැර දක්වමින් ඉන්නවා. ඔවුන්ගේ එක තර්කයක් වන්නේ අද මේ කරන හැම දේකටම මම 2009 මැයි 23 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් ලංකාවට පැමිණි ආවස්ථාවේදී අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයෙන් එකගත්වය පලකර තිබූ බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් ගෙනහැර දක්වන්නේ එම ලිපියේ අවසන් ඡේදයයි. එම ඡේදය මෙහෙමයි තිබුණේ.

“Sri Lanka reiterated its strongest commitment to the promotion and protection of human rights, in keeping with international human rights standards and Sri Lanka’s international obligations.  The Secretary-General underlined the importance of an accountability process for addressing violations of international humanitarian and human rights law.  The Government will take measures to address those grievances.”

මෙවැනි ඒකාබද්ධ ප්‍රකාශන වල දෙපාර්ශවයේම අදහස් සදහන් වෙනවා. මෙහිදී ලංකා ආණ්ඩුව කියා ඇත්තේ කුමක්ද, බැන්කී මූන් මහතා කියා ඇත්තේ කුමක්ද යන්න පැහැදිලිව සදහන් වෙනවා. ලංකාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට බැදී සිටින බව කියා තිබේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් මානව අයිතීන් පිළිගන්නවා පමණක් නොව අපේ ව්‍යවස්තාවෙත් මූලික අයිතීන් පිළිබද පරිච්ඡේදයක්ම තියෙනවනේ.

ඉන් පසු බැන්කී මූන් මහතා මානව අයිතීන් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියක් නැතිනම් “accountability process”එකක් ගැන කතා කරයි. අපි ඒකට එකග වුනේ නැහැ. අපි එකග වුනේ ඒ සම්බන්ධයෙන් ඇති දුක්ගැනවිලි එනම් “grievances” ගැන සොයා බැලීමට පමණයි.

යුධ අපරාධ අධිකරණ ඇති කිරීමටත් ඒවාට විදේශීය විනිශ්චය කරුවන් හා පරිචෝදකයන් යෙදවීමටත් උසාවියෙන් වරදකරුවන් හැටියට ඔප්පු නොවු රණවිරුවන් පවා “පරිපාලන ක්‍රියාවලියකින්” සේවයෙන් දොට්ට දැමීමටත් අප එකග වුනේ නැහැ. තිබෙන්නා වූ දුක්ගැනවිලි ගැන සොයා බැලීමට මාගේ ආණ්ඩුව විසින් පෙරොන්දු වූ පරිදිම උගත් පාඩම් හා සංහිදියා කොමිසමත් අතුරුදහන් වූවන් ගැන සොයා බැලීමට මැක්ස්වෙල් පරණගම කොමිසමත් පත්කරනු ලැබුවා.

රණවිරුවන් දඩයම් කිරීමට මේ සකසා ඇති පිඹුරුපත් ලංකාවේ නීතිය වෙනස් නොකොට ක්‍රියාවට නැංවිමට බෑ. මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් ජීවිත පරදුවට තබා ත්‍රස්තවාදීන් සමග සටන තුල ඇස්, ඉස්, මස්, ලේ දන් දුන් රණවිරුවන්ට එරෙහිව මේ කරන සියලු සැලසුම් ව්‍යාර්ථ කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා. රණවිරුවන් දඩයම් කිරීම අරමුණු කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොතබන මෙන් මම සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පක්‍ෂ භේදයකින් තොරව ඉල්ලා සිටිනවා. මෙය කුමක් හෝ එක් දේශපාලන පක්‍ෂයකට සීමා වූ කාරණයක් නොව රටත් ජාතියත් අපේ ස්වාධිපත්‍යයත්, ආත්මගරුත්වයත් පිළිබද ප්‍රශ්නයක්.

අපේ රණව්රුවන් හිරේ දමලා, හිරේ දමන්න බැරි අය “පරිපාලනමය ක්‍රියාදාමයකින්” ආරක්‍ෂක හමුදා වලින් දොට්ට දමලා, ජාතියේ කොදු නාරටිය බිදලා මේ බලවතුන් සැරසෙන්නේ කුමටද කියලා රටේ මහජනතාවත් අවදියෙන් සිටිය යුතුයි. අපි මේ සිටින්නේ 1948 නිදහස ලැබීමෙන් පසු ජාතියක් හැටියට වඩාත්ම අවදානම් සහගත මොහොතේය යන්න මගේ මතයයි. මේ මොහොතේ මව්බිම වෙනුවෙන් පෙරට ඒම අපි කාගේත් යුතුකමක් වෙනවා.

අපේ රටටත්, ජාතියටත් මම ජය පතනවා.
ඔබ සැමට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා!

Protected by Security by CleanTalk