Sun. Nov 24th, 2024
Spread the News

ජනපතිනියට ඇසක්‌ අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව – 05
මම බෝම්බයක්‌ බව මගේ අම්මවත්
සහෝදරයොවත් දන්නේ නැහැ…

මෙතෙක්‌ කතාව

1999 වර්ෂයේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර කොළඹ නගර සභා පිටියේදී මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයක්‌ එල්ල විය. කොටි බුද්ධි අංශ ප්‍රධානි පොට්‌ටු අම්මාන්ගේ උපදෙස්‌ මත ඉලංගදීර් සහ වෛට්‌ටි නමැති බුද්ධි අංශ සාමාජිකයන් මෙම ප්‍රහාරය සැලසුම් කළහ.

චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ තමිල් සෙල්වී නමැති කොටි කාන්තාව විසින්ය. කොටහේන බ්ලූමැන්ඩල්හි පිහිටි කාලි අම්මාන් කෝවිලේදී තමිල් සෙල්වි බෝම්බ ඇඳුමෙන් සැරසී ගොස්‌ ප්‍රහාරය එල්ල කළාය.

මෙම ප්‍රහාරයෙන් පසු එහි පරීක්‍ෂණ කටයුතු ක්‍රියාත්මක කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ය. ප්‍රහාරයට පැමිණි තමිල් සෙල්වි රැස්‌වීම් භූමියේ සිටින අයුරු වීඩියෝ පටවලින් හඳුනා ගත්තේය. ප්‍රහාරයට පැමිණි කොටි කාන්තාව සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූක්‍ෂම මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අයුරු 5 වැනි කොටසින් දිග හැරෙයි.

අද එතැන්සිට


16 වසරකට පසු අවසන්වූ නඩු තීන්දුවෙන් වසර 300ක සිරදඬුවමකට යටත්වූ බ්ලූමෙන්ඩල් කෝවිලේ පූසාරි රගුපති ශර්මා…

* ජැකට්‌ එක අඳින්න උදව් කළේ මම…
* මේ කරාබු ජෝඩුවයි පාද සළඹයි අම්මට දෙන්න…

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර කොටි සංවිධානය නගර සභා පිටියේදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන සඳහා රහස්‌ පොලිසිය නවීන තාක්‍ෂණික ක්‍රමෝපායන් යොදා ගත්තේය.

එහිදී යොදාගත් ඇතැම් තාක්‍ෂණික ක්‍රමයන් රහස්‌ පොලිසිය සිය විමර්ශන ඉතිහාසයේ මුල්වරට භාවිත කළ ඒවා විය.

පුරහල ප්‍රහාරය සම්බන්ධ බවට චෝදනා ලැබ සිටි පාතාල ලෝකයේ අංක එකේ කෙරුම්කාරයකු වූ කිඹුලාඇලේ ගුණාගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස්‌ පොලිසිය යොදාගෙන තිබුණේද එවැනිම වූ තාක්‍ෂණික ක්‍රමයකි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු කිඹුලාඇලේ ගුණාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ලබාදී තිබූ පිළිතුරු සත්‍යයෙන් තොර බව රහස්‌ පොලිසිය සැක කළේය. එහි නිරවද්‍යතාව සොයා ගැනීම සඳහා රහස්‌ පොලිසිය නවීන තාක්‍ෂණික මෙවලමක සහාය ලබා ගන්නට තීරණය කළේය.

සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ලබාදෙන පිළිතුරුවල නිවැරදිතාව පරීක්‍ෂා කිරීමේ යන්ත්‍රයක්‌ ඉන්දියාව නිර්මාණය කර තිබුණේය. එම තාක්‍ෂණික මෙවලම ශ්‍රී ලංකාවට ගෙනැවිත් ගුණාගෙන් ප්‍රශ්න කිරීම සඳහා එය යොදා ගැනීමේ කාර්ය භාර වී තිබුණේ එවකට රහස්‌ පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරිවරයකු වූ නෙවිල් ගුරුගේ වෙතය. (වර්තමානයේ අල්ලස්‌ කොමිසමේ කොමසාරිස්‌වරයෙකි)

මෙම තාක්‍ෂණික මෙවලම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දැනුම ලබා ගන්නට නෙවිල් ගුරුගේ ඉන්දියාව බලා පිටත්කර හැරීමට රහස්‌ පොලිසිය පියවර ගත්තේය.

මෙම නවීන තාක්‍ෂණික මෙවලම යොදාගෙන කිඹුලාඇලේ ගුණාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. මෙම තාක්‍ෂණික මෙවලමෙන් සිදුවන්නේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල සිදුවන වෙනස්‌වීම් පරීක්‍ෂා කිරීමය.

ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු ව්‍යාජ තොරතුරු ලබා දෙන්නේ නම් ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල වෙනස්‌වීම් සිදුවෙයි. මෙම තාක්‍ෂණික මෙවලම මගින් එම වෙනස්‌වීම හඳුනාගත හැකිවිය.

ඒ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුගේ හෘද ස්‌පන්දනය, නාඩි වැටීම සහ රුධිර පීඩනයේ වෙනස්‌ වීම පරීක්‍ෂා කිරීම මෙම තාක්‍ෂණික මෙවලම හරහා සිදුකරනු ලබයි.

කිඹුලාඇලේ ගුණා මෙම තාක්‍ෂණික මෙවලමට යොමුකර ඔහුගේ ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබුවේ සහකාර පොලිස්‌ අධිකාරි නෙවිල් ගුරුගේ ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින්ය.

කිඹුලාඇලේ ගුණාගෙන් සාමාන්‍ය ප්‍රශ්න පහක්‌ විමසා පසුව මෙම ප්‍රශ්නයට අදාළ ප්‍රශ්න පහක්‌ද විමසීමට නෙවිල් ගුරුගේ කටයුතු කළේය. ගුණා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්න සියල්ලටම ඔහු ලබාදුන් පිළිතුරු තාක්‍ෂණික මෙවලම හරහා පරීක්‍ෂා කළේය.

එහිදී නිගමනය වුණේ කිඹුලාඇලේ ගුණා ප්‍රශ්න සියල්ලටම කිසිම අපහසුවකින් තොරව පිළිතුරු ලබාදී ඇති බවයි. ඒවාට පිළිතුරු දීමේදී ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ කිසිදු වෙනස්‌වීමක්‌ සිදුවී නොතිබුණු බව තාක්‍ෂණික මෙවලම මඟින් තහවුරු වුණේය.

ඒ අනුව රහස්‌ පොලිසිය නිගමනය කළේ නගර සභා බෝම්බය සම්බන්ධයෙන් කිඹුලාඇලේ ගුණා වෙත එල්ල වී තිබූ චෝදනා පදනම් විරහිත බවයි. පසුව කිඹුලාඇලේ ගුණා අධිකරණයට ඉදිරිපත් කර මුදාහැරීමට කටයුතු කළේය.

පුරහල බෝම්බ සිද්ධියට සම්බන්ධ ඉතාම වැදගත් පරීක්‍ෂණයක්‌ එවකට පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ පී. අම්පාවිල (වර්තමාන සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකි) ඇතුළු නිලධාරීහු පිරිසක්‌ විසින් කරගෙන ගියහ.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ කොටි කාන්තාවගේ අනන්‍යතාව සොයා ගැනීම, ඇය නවාතැන් ගෙන සිටි ස්‌ථානය මෙන්ම ඇය හැසිරවූ කොටි ත්‍රස්‌තවාදියා සොයා ගැනීමේ කාර්ය භාරවී තිබුණේ පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල වෙතය.

මරාගෙන මැරුණු කොටි කාන්තාව ඇඳ සිටි හැට්‌ටයේ කොලරයේ තිබූ “මැගී” නමැති ලේබලය වෙතද රහස්‌ පොලිසියේ විශේෂ අවධානය යොමුව තිබුණේය. කුණු ලේ පැහැති හැට්‌ටයේ කොලරය සුදු පැහැයෙන් එම්බ්‍රොයිඩර් කර තිබිණි.

මැගී නමැති ලේබලය ඔස්‌සේ බෝම්බකාරිය සෙවීමේ පරීක්‍ෂණය රහස්‌ පොලිසිය විසින් ආරම්භ කළේ ඇයගේ අනන්‍යතාව සොයා ගැනීමට ප්‍රමාණවත් සාක්‍ෂි කිසිවක්‌ ඒ වන විට හමුව නොතිබූ නිසාය.

පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල රහස්‌ පොලිසියේ කොස්‌තාපල්වරියන් විසිපස්‌ දෙනෙකු කැඳවා ඔවුන් පිටකොටුව හා කොළඹ ප්‍රධාන නගර කීපයක සාප්පු සවාරි යෑවීමට සැලසුම් කළේය. එහි අරමුණ වී තිබුණේ මැගී ලේබලය සහිත ඇඳුම් ඇති ස්‌ථාන සොයා ගැනීමය.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරිනියන් කොළඹ නගරයේ සාප්පු පීරමින් මැගී ලේබලය සහිත කාන්තා ඇඳුම් සොයා ගන්නට උත්සාහ කළද එය සාර්ථක වුණේ නැත.

ඒ උත්සාහය අතහැර දැමූ රහස්‌ පොලිසිය මීළඟට සිදුකළේ මැගී ලේබලය මුද්‍රණය කළ කර්මාන්ත ශාලාව සොයා යැමය. කටුනායක සහ බියගම ආයෝජන කලාපවලට ගිය පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඇතුළු නිලධාරීන් මැගී ලේබලය නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාව සොයා ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක විය.

මේ අතර පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල වෙත තම ඔත්තුකරුවකුගෙන් වැදගත් තොරතුරක්‌ ලැබුණේය. පිටකොටුව දෙවන හරස්‌ වීදියේ පිහිටි නූරිසක්‌ස්‌ ආයතනය මහා පරිමාණයෙන් ඇඟලුම් ලේබල් ආනයනය කර බෙදාහරින බවට ඔත්තුකරුගෙන් ලැබුණු තොරතුරු මත අම්පාවිල ඇතුලු නිලධාරීන් එහි ගියේ කිසියම් බලාපොරොත්තුවක්‌ ඇතිවය.

රහස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ බලාපොරොත්තු සඵල වී තිබිණි. මැගී ලේබලය ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ තමන් බව නූරිසක්‌ස්‌ ආයතනය පිළිගත්තේය.

“අපි මේ ලේබල් තායිලන්තෙ, බැංකොක්‌වලින් ගෙන්වන්නේ. මැගී ලේබල් එක ලක්‍ෂ 10 ක ලොට්‌ එකක්‌ අපි ගෙනාවා. µeක්‌ටි්‍ර කීපයකින්ම මේ ලේබල් අරගෙන ගියා.”

ආයතන හිමියා රහස්‌ පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.

මැගී ලේබලය මිලදී ගත් කර්මාන්තශාලා පිළිබඳ සියලු විස්‌තර ලබාගත් රහස්‌ පොලිසියේ නිලධාරීහු එම කර්මාන්ත ශාලා සොයා යන්නට වූහ.

මැගී ලේබල් මිලදී ගත් කර්මාන්ත ශාලා කීපයක්‌ පරීක්‍ෂා කළද බෝම්බකාරිය ඇඳ සිටි ඇඳුමට සමාන ඇඳුම් එම කර්මාන්ත ශාලාවල මසා නිමකර තිබුණේ නැත.

දින කීපයක්‌ තිස්‌සේ කළ විමර්ශනයේ ප්‍රතිඵල අවසානයේ ලැබී තිබුණේය.

පානදුර ප්‍රදේශයේ පිහිටි වෙස්‌ටන් නමැති කර්මාන්ත ශාලාවේ මැගී ලේබලය සහිත හැට්‌ට මසා ඇති බව රහස්‌ පොලිසිය සොයා ගත්තේය.

පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඇතුළු නිලධාරීහු කර්මාන්ත ශාලාවේ හිමිකරුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළහ.

මේ හැට්‌ටය අපි තමයි මැහුවෙ. හැබැයි මේකේ කොලර් එක එම්බ්‍රොයිඩර් කරලා මැගී ලේබල් එක මැහුවෙ බොරලැස්‌ගමුව පැත්තේ ලේඩි කෙනෙක්‌. කර්මාන්ත ශාලාවෙන් ලැබුණු තොරතුරු මත බොරලැස්‌ගමුවේ කාන්තාව සොයාගිය රහස්‌ පොලිසියේ නිලධාරීහු මෙම හැට්‌ටය අලෙවි කළ ස්‌ථාන පිළිබඳව විමසන්නට වූහ.

මේ හැට්‌ටය එම්බ්‍රොයිඩර් කරලා ෂොප් දෙකකට විකුණන්න දැම්මා. එකක්‌ මහරගම මානෙල්, අනික දෙහිවල අපරැක්‌ක µeෂන්.

කාන්තාවගෙන් ලැබුණු තොරතුරු මත රහස්‌ පොලිසියේ නිලධාරීහු මහරගම මානෙල් රෙදිපිළි වෙළෙඳසල පරීක්‍ෂා කළහ. එහෙත් බෝම්බකාරිය ඇඳ සිටි කුණු ලේ පැහැති හැට්‌ට මානෙල් රෙදිපිළි වෙළෙඳසලේ අලෙවි කර තිබුණේ නැත.

පසුව දෙහිවල අපරැක්‌ක ෆැෂන් රෙදිපිළි වෙළෙඳසලද පරීක්‍ෂා කළේය. එහිදී බෝම්බකාරිය ඇඳ සිටි කුණු ලේ පැහැති හැට්‌ටයක්‌ එහි අලෙවියට තබා තිබියදී සොයා ගැනීමට රහස්‌ පොලිසිය සමත් විය.

කුණු ලේ පැහැති හැට්‌ටය මිලදී ගත් කාන්තාව පිළිබඳව වෙළෙඳසල් හිමියන්ට මතකයක්‌ තිබුණේ නැත. කෙසේ වෙතත් මරාගෙන මැරුණු ප්‍රහාරය එල්ල කළ කොටි කාන්තාව කුණු ලේ පැහැති හැට්‌ටය සහ සාය මිලදී ගෙන ඇත්තේ අපරැක්‌ක ෆැෂන් වෙළෙඳසලෙන් බව රහස්‌ පොලිසිය විශ්වාස කළේය.

මේ අතර මරාගෙන මැරුණු ප්‍රහාරය එල්ල කළ කොටි කාන්තාව රැස්‌වීම් භූමියේ ඉහළාගෙන සිටි නිල් පැහැති කුඩයද රහස්‌ පොලිසිය සොයාගෙන තිබුණේය. ඒ කුඩය හඳුනාගෙන තිබුණේ රැස්‌වීම් භූමියේ කොටි කත රැඳී සිටි අයුරු සටහන් වූ වීඩියෝපට පරීක්‍ෂා කිරීමෙන්ය.

කුඩය කඳුරට කුඩ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කර තිබූ එකකි. එහි තිබූ ලේබලයක සටහන් වූ අංකයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ රහස්‌ පොලිසිය එය අලෙවි කරනු ලැබූ වෙළෙඳසලද සොයා ගත්තේය. එම වෙළෙඳසල කොටි කාන්තාව ඇඳුම් මිලදී ගත් අපරැක්‌ක ෆැෂන් ආයතනයට නුදුරින් පිහිටි එකක්‌ බව හෙළිවීම රහස්‌ පොලිසියේ නිලධාරීන්ගේ සතුටට හේතු වී තිබිණි.

ඒ අනුව රහස්‌ පොලිසිය නිගමනය කළේ මරාගෙන මැරුණු ප්‍රහාරය එල්ල කළ කොටි කත දෙහිවල නගරයේ හෝ තදාසන්න ස්‌ථානයක ලැගුම්ගෙන සිට ඇති බවයි.

ඒ අනුව දෙහිවල සහ ඒ අවට ප්‍රදේශය වටකර දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කිරීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය. යුද හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ රහස්‌ පොලිසිය මෙම මෙහෙයුමට එක්‌ව සිsටියහ. රහස්‌ පොලිසියේ අරමුණ වී තිබුණේ කොටි කාන්තාව නවාතැන් ගෙන සිටි ස්‌ථානය හඳුනා ගැනීමය.

දවසක්‌ පුරා කළ මෙහෙයුමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි විය. කොටි කාන්තාව නවාතැන්ගෙන සිටි ස්‌ථානය තබා ඇය ආගිය ස්‌ථානයක්‌ හෝ සොයා ගැනීමට පොලිසියට හැකි වුණේ නැත.

මේ අතර පුරහල බෝම්බයට සම්බන්ධ සැකකරුවන් සොයා ගැනීම සඳහා කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන තවත් දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබිණි.

බෝම්බ ඇඳුම් කට්‌ටලය ඇඟලා ගත් කොටි කාන්තාව පුරහල භූමිය වෙත පැමිණියේ කොළඹ නගරයේ කිසියම් ස්‌ථානයක සිට බවට රහස්‌ පොලිසිය සැක කළේය. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ ඒ සැකය නිසාය.

මෙහෙයුමෙන් පසු කොටි සංවිධානයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෝ සියයකට ආසන්න පිරිසක්‌ අත්අඩංගුවට ගෙන සිටියහ. එහිදී අත්අඩංගුවට ගෙන සිටි එක්‌ දෙමළ ජාතිකයකුගෙන් ලැබුණු තොරතුරු මත යුද හමුදාව විසින් කොටහේන බ්ලූමැන්ඩල් පාරේ පිහිටි කාලිඅම්මාන් කෝවිල දැඩි පරීක්‍ෂාවට ලක්‌කළේය. යුද හමුදාවේ ප්‍රයත්නය සාර්ථක විය.

කෝවිලේ එක්‌තරා ස්‌ථානයක සඟවා තිබූ බෝම්බ පාර්සලයක්‌ සොයා ගැනීමට යුද හමුදාව සමත් වුණේය. එම බෝම්බ පාර්සලය පුරහල ප්‍රහාරය සඳහා රැගෙන ආ බෝම්බ ඇඳුම සමඟ ගෙන ආ අනෙක්‌ බෝම්බ පාර්සලය විය.

එහෙත් කෝවිලේ පූසාරිවරයා වූ රගුපති ශර්මා ඒ බව යුද හමුදාවට කීවේ නැත. ඔහු සියලු තොරතුරු වසන් කළේය. රගුපති ශර්මාගෙන් ප්‍රශ්න කිරීමේදී කිසිදු තොරතුරක්‌ හෙළි නොවීම නිසා ඔහුගේ බිරිඳ වූ වසන්ති ශර්මා අත්අඩංගුවට ගන්නට යුද හමුදාව පියවර ගත්තේය.

වසන්ති ශර්මාගෙන් ප්‍රශ්න කිරීමේදී පුරහල බෝම්බය සහ බ්ලූමැන්ඩල් කෝවිල අතර කිසියම් සම්බන්ධයක්‌ තිබෙන බව ආරක්‍ෂක අංශවලට වැටහී තිබිණි. ඒ අනුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා රගුපති ශර්මා සහ ඔහුගේ බිරිඳ වසන්ති ශර්මා රහස්‌ පොලිසිය වෙත භාර කෙරිණි.

පොලිස්‌ පරීක්‍ෂක පී. අම්පාවිල ඇතුළු නිලධාරීන් වසන්ති ශර්මාගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම්වල සාර්ථක ප්‍රතිඵල නෙළාගන්නට ලැබුණේය.

“ටවුන් හෝල් බෝම්බය පුපුරුවා හැරියේ තමිල් සෙල්වි. එයා බෝම්බ ජැකට්‌ එක ඇන්දේ කෝවිලට ඇවිත්. ජැකට්‌ එක අඳින්න උදව් කළේ මම.”

තවදුරටත් වසන් කළ යුතු යමක්‌ නැත. වසන්ති ශර්මා සියලු තොරතුරු හෙළිකරන්නට වූවාය.

තම බිරිඳ සත්‍ය හෙළිකිරීමත් සමඟම තවදුරටත් මුණිවත රැකිය නොහැකි බව රගුපති ශර්මා තේරුම් ගත්තේය.

“මේ ඇටෑක්‌ එකට ගෙනාව බෝම්බ ජැකට්‌ එක කෝවිලේ හංගලා තිබුණා. තමිල් සෙල්වි කෝවිලේ ඉඳලා තමයි ඇටෑක්‌ එකට ගියේ. එයාව හැන්ඩ්ල් කළේ ශෂී ක්‍රිෂ්ණා.”

තමිල් සෙල්වි පිළිබඳව මෙන්ම ඇය හැසිරවූ ශෂී ක්‍රිෂ්ණා පිළිබඳව ද සියලු තොරතුරු පූසාරිවරයා එකින් එක හෙළි කරන්නට පටන් ගත්තේ පුරහල බෝම්බ පරීක්‍ෂණය නව මාවතකට යොමු කරමින්ය.

තමිල් සෙල්වි බෝම්බ ජැකට්‌ එක ඇඳගෙන ගියේ ප්‍රෙසිඩන්ට්‌ චන්ද්‍රිකාට ඇටෑක්‌ කරන්න කියලා මම දැනගත්තේ රූපවාහිනියෙන්. ඒක අහපු වෙලාවෙ ඉඳලා මම අසනීප වුණා. මට උණ හැදුණා. නොනවත්වා වැසිකිළි යන්න වුණා. අන්තිමේදී රගුපති ශර්මා එක්‌ක ඩොක්‌ටර් කෙනෙක්‌ ළඟට යන්න වුණා. වසන්ති ශර්මා තමන් දන්නා සියලු කරුණු කාරණා නොවලහා හෙළිකරන්නට වූවාය.

මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම ඇඟලාගත් තමිල් සෙල්වි තම ජීවිතයේ අවසන් පැය කීපය ගත කළේ කාලිඅම්මාන් කෝවිලේ පූසාරිවරයා සහ ඔහුගේ බිරිඳ සමඟය. ඒ හෝරා කීපය අතිශය සංවේදී විය. තමිල් සෙල්වි රගුපති ශර්මාගේ දැත තරයේ අල්ලාගෙන එක එල්ලේම ඔහුගේ මුහුණ දෙස බලාගෙන කතා කරන්නට වූවාය.

“තව පැය කීපයකින් මම මැරෙනවා. අපේ සංවිධානය වෙනුවෙන් මම ඒ දේ කරන්නෙ බොහොම කැමැත්තෙන්. මම මරාගෙන මැරෙන ප්‍රහාරයකට යන බව මගේ අම්මවත් සහෝදරයොවත් දන්නේ නැහැ. මේ කරාබු ජෝඩුවයි පාද සළඹයි මම පුංචි කාලෙ මගේ අම්මා මට දුන්නෙ. මේවා මගේ අම්මට ලැබෙන්න සලස්‌වන්න. ඒක තමයි මගේ අන්තිම ඉල්ලීම.”

තමිල් සෙල්වි තම කනේ පැළැඳ සිටි කරාඹු ජෝඩුව සහ පාද සළඹය ගලවා එය රගුපති ශර්මා අත තැබුවාය. ඒ වන විට ඇය අලුත්ම කරාබු යුවළකින් දෙකන් සරසා ගෙන සිටියාය.

තමිල් සෙල්වි දුන්න කරාබු ජෝඩුවයි පාද සළඹයි මම කෝවිල පිටුපස වළ දැම්මා. මඩකලපුවෙන් එන කොටි නියෝජිතයෙක්‌ අතේ ඒ ටික මම තමිල් සෙල්විගේ අම්මාට යවන්න සූදානම් කරලා තිබුණේ.

රගුපති ශර්මා ලබාදුන් තොරතුරු මත කෝවිල පරීක්‍ෂා කළ රහස්‌ පොලිසියේ නිලධාරීන් එහි වළදමා තිබූ තමිල් සෙල්විගේ කරාබු යුගලය සහ පාද සළඹය සොයා ගත්තේය.

මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා යන බෝම්බකාරියන්ට අලුත් ඇඳුම්වලින් සැරසී යන්නට කොටි සංවිධානය උපදෙස්‌ දී තිබුණේය. තමිල් සෙල්වි පුරහල ප්‍රහාරය සඳහා අලුත් ඇඳුම්වලින් සැරසී යන්නේ මේ නියෝගය අනුවය. තමිල් සෙල්වි එදා ඇඳගෙන හිටිය ඇඳුම් ටිකයි සෙරෙප්පු දෙකයි මට දීලා ගියා. මම ඒවා කෝවිලේ හංගලා තිබ්බා. කෝවිලේ රෙදි සෝදන්න එන කෙල්ලට මම ඒ ඇඳුම් ටිකයි තමිල් සෙල්විගේ සෙරෙප්පු දෙකයි දුන්නා.

තමිල් සෙල්වි ඇඳ සිටි ඇඳුම් පැළඳුම් ලබාදුන් තරුණිය පිළිබඳව තොරතුරු හෙළි කරගත් පොලිස්‌ පරීක්‍ෂක අම්පාවිල ඇතුළු නිලධාරීහු ඇය සොයා තොටළඟ බ්ලූමැන්ඩල් කුණු කන්ද ආසන්නයේ නිවසකට ගියහ.

කෝවිලේ සේවය කරන තරුණිය සිය නිවසේ සිටියාය. පොලිස්‌ නිලධාරීහු ඇයගෙන් ප්‍රශ්න කරන්නට වූහ.

“කෝවිලෙන් දුන්න සෙරෙප්පු දෙක මම පාවිච්චි කළා. ඇඳුම් ටික තියනවා.” තරුණිය නිවසේ ලෑලි බිත්තියේ එල්ලා තිබූ ටියුලිප් බෑගයක දමා තිබූ හැට්‌ටයක්‌ සහ සාය පොලිස්‌ නිලධාරීන් අත තැබුවාය. පොලිස්‌ නිලධාරීන් මුහුණින් මුහුණ බලා ගත්හ. රෙදි දැමූ ටියුලිප් බෑගයේ දෙහිවල අපරැක්‌ක ෆැෂන් නම සඳහන්ව තිබුණේය.

තමිල් සෙල්වි මිලදී ගත් අලුත් ඇඳුම් අපරැක්‌ක ෆැෂන් ආයතනයේ ටියුලිප් බෑගයක දමාගෙන කෝවිල වෙත පැමිණි බව මෙයින් තහවුරු විය. ඇය ඇඳුම් මිලදී ගත්තේ දෙහිවල අපරැක්‌ක ෆැෂන් ආයතනයෙන් බව ඔප්පු කිරීමට මෙම බෑගය කදිම සාක්‍ෂියක්‌ විය. රගුපති ශර්මාගෙන් සහ වසන්ති ශර්මාගෙන් ලැබුණු තොරතුරු මත රහස්‌ පොලිsස්‌ පරීක්‍ෂණ දිගටම ක්‍රියාත්මක කළේය.

රගුපති ශර්මා කොළඹට එන්නේ 1994 වර්ෂයේදීය. කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු වන තිලීපන් විසින් රගුපති ශර්මා කොළඹට එවන්නේ ඉදිරි ප්‍රහාරක සැලසුම් සඳහා ඔහුගේ සහාය ලබා ගැනීම සඳහාය. රගුපති ශර්මාට කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කෝවිලක්‌ ඉදිකර දී ඔහු එහි නතර කර තැබීමට කොටි සංවිධානය සැලසුම් කළේ තම අවශ්‍යතාවන් සඳහා ඔහු යොදවා ගැනීමටය.

මේ අතර පුරහල භූමියෙන් සොයාගත් තමිල් සෙල්විගේ කඳ සුන් හිස කොටස ප්‍රතිනිර්මාණය කිරීමට රහස්‌ පොලිසිය පියවර ගෙන තිබුණේය. හිස කොටස සොයා ගන්නා විට එය දැඩි ලෙස තුවාල වී විකෘති වී පැවතිණි.

තමිල් සෙල්වි පිළිබඳව තොරතුරක්‌ ලබාදෙන පුද්ගලයකුට රුපියල් විසි ලක්‍ෂයක ත්‍යාග මුදලක්‌ ලබා දෙන්නට පොලිස්‌ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ඇය සම්බන්ධයෙන් කිsසියම් තොරතුරක්‌ ලබා ගැනීම සඳහාය. තමිල් සෙල්විගේ හිස කොටස යොදා මුද්‍රණය කළ පෝස්‌ටර් විශාල ප්‍රමාණයක්‌ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම රට පුරාම අලවා ප්‍රසිද්ධ කරන්නේ ඇය පිළිබඳව කිසියම් හෝඩුවාවක්‌ ලබා ගැනීමේ අරමුණු ඇතිවය.

තමිල් සෙල්විගේ රුව රැගත් පෝස්‌ටරය ඔස්‌සේ ඇය පදිංචිව සිටි ස්‌ථානය සහ පවුලේ ඥතීන් සොයාගත් අයුරු ලබන සතියේ කොටසින් බලාපොරොත්තු වන්න.

හේමන්ත රන්දුනු

 

Protected by Security by CleanTalk